Skip to content

පටුනට යන්න

බිම් බෝම්බවලින් තොර ලොවක්

බිම් බෝම්බවලින් තොර ලොවක්

බිම් බෝම්බවලින් තොර ලොවක්

බිම් බෝම්බ හා සම්බන්ධ ගැටලුවට පිළියමක් තිබෙන්නේ කා ළඟද? වෛරය, කුඩුකේඩුකම සහ ගිජුකම වැනි දේවල් අතුගා දැමීමට මිනිසාට බැරි බව පැහැදිලිය. එනමුත් කල්පවතින පිළියමක් ගෙන දීමට පුළුවන් කෙනෙක් සිටිනවා යන්න, බයිබල් ශිෂ්‍යයන් හොඳින් දන්නා කාරණයකි. ඒ තැනැත්තා, අපගේ මැවුම්කරුය. එහෙත් ඔහු ඒ දේ කරන්න යන්නේ කෙසේද?

සාමයට ප්‍රිය සමාජයක් බිහි කිරීම

යුද්ධ කරන්නේ මනුෂ්‍යයන් මිස අවි නොවේ. එමනිසා සාමය පිහිටුවීමට නම්, මිනිසාව ජාති, ගෝත්‍ර සහ වර්ග වශයෙන් භේදභින්න කරවන වෛරය ඉවත් කළ යුතුය. දෙවි තම රාජ්‍යය තුළින් එසේ කරන බවට පොරොන්දුවක් දී ඇත. ඇත්තෙන්ම ඒ රාජ්‍යය වෙනුවෙන් යාච්ඤා කරන්න කියා ලොව වටා මිලියන ගණන් මනුෂ්‍යයන්ට උගන්වා තිබේ.—මතෙව් 6:9, 10.

යෙහෝවාව ‘සමාදානය දෙන දෙවි’ හැටියට බයිබලයෙහි හඳුන්වා තිබේ. (රෝම 15:33, NW) ජාතීන් අතර යම් සාමයක් පැවතීමට සම්බාධක පැනවිය යුතුය. ගිවිසුම් පිහිටුවාගත යුතුය. එසේ නැතහොත් යම් “සාමයක්” පවතින්නේ අවිවලින් සන්නද්ධ වූ සතුරු ජාතියකට තිබෙන භය නිසාය. දෙවිගෙන් ලැබෙන සාමය පදනම් වන්නේ එවන් බාහිර දේවල් මත නොවේ. දෙවි දෙන සමාදානය භුක්ති විඳීමට ඊට වඩා ගැඹුරු පදනමක් ඇත. මිනිසාගේ කල්පනා ක්‍රමය වෙනස් කළ යුතුය. සෙසු ජනයා ගැන දරන ආකල්පය වෙනස් කළ යුතුය.

යෙහෝවාගේ අරමුණ වන්නේ මෘදු ගුණාංග ඇති යටහත් මනුෂ්‍යයන්ට සාමය පිළිබඳ ඔහුගේ මාර්ගයන් ගැන දැනුම ලබා දීමය. (ගීතාවලිය 25:9) සියලුදෙනා ‘යෙහෝවා විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය’ කියා දෙවිගේ වචනය වන බයිබලයෙහි පොරොන්දු වී ඇත. (යෙසායා 54:13) මෙය දැනටමත් සිදු වෙමින් පවතී. ලොව වටා, නානාවිධ පසුබිම්වලින් පැමිණෙන ජනයාට එකිනෙකා සමඟ සාමයෙන් සිටීමට දිරිගැන්වීම සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ හොඳ නමක් උසුලති. බයිබලයේ උසස් ප්‍රමිති ඉගෙනගන්නාවූ පුද්ගලයෝ, සාමාන්‍යයෙන් මිනිසුන්ව භේදභින්න කරවන ප්‍රශ්න මැදත් සමඟියෙන් දිවි ගෙවීමට වෙර දරති. ලබන බයිබල් අධ්‍යාපනය නිසා, වෛරයෙන් පසු වනවා වෙනුවට ප්‍රේමය විදහාපෙන්වීමට ඔවුහු පෙලඹෙති.—යොහන් 13:34, 35; 1 කොරින්ති 13:4-8.

අධ්‍යාපනයට අමතරව තවත් යමක් අවශ්‍යය. උදාහරණයකට, සමස්ත ලෝක පරිමාණයකින් සහයෝගය දැක්වීම අවි තුරන් කිරීම සඳහා බෙහෙවින් දායක වන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අනුව රතු කුරුස සංවිධානයේ ජාත්‍යන්තර කමිටුවේ නිර්දේශයකට අනුව ජාත්‍යන්තර සමාජයක් පිහිටුවිය යුතුයි. කුමන අරමුණින්ද? බිම් බෝම්බ උවදුර වැළැක්වීමට සහ මර්දනය කිරීමට සහයෝගයෙන් වැඩ කිරීම සඳහා එවන් දෙයක් දායක විය හැකි නිසාය.

යෙහෝවා පොරොන්දු වන දේ මිනිස් පොරොන්දු හා සැසඳිය නොහැකි තරම්ය. මේ ගැන අනාගතවක්තෘ දානියෙල් මෙසේ පුරෝකථනය කළේය. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [පිහිටුවයි]. . . . ඒක ඒ [පවතින] සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45ආ.

මිනිසාට කළ නොහැකි දේ දෙවිගේ රාජ්‍යය සිදු කරයි. නිදසුනකට ගීතාවලිය 46:9හි අනාවැකිමය ස්වරූපයකින් පවසා ඇති දේ සලකා බලන්න. ‘යෙහෝවා පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය. දුන්න බිඳ, හෙල්ලය කපා දමා, රථ ගින්නෙන් දවන්නේය.’ මෙලෙස, මිනිසාට තම මැවුම්කරු සහ අසල්වාසියා සමඟ සාමය සැබෑවටම භුක්ති විඳිය හැකි පරිසරයක් දෙවිගේ රාජ්‍යය මගින් ඇති කරනු ලැබේ.—යෙසායා 2:4; ශෙපනියා 3:9; එළිදරව් 21:3, 4; 22:2.

කලින් ලිපියේ මුල සඳහන් කළ අගුස්ටෝට බයිබලයේ පණිවිඩය තුළින් සහනයක් ලැබිණ. ඔහුගේ දෙමාපියෝ යෙහෝවාගේ සාක්ෂිකරුවෝය. එමනිසා බයිබලයේ අනර්ඝ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල දැක්වීමට ඔවුන්ගේ උපකාරය ඔහුට අඛණ්ඩව ලැබේ. (මාර්ක් 3:1-5) කෙසේවෙතත්, ඔහුව ආබාධිතයෙකු බවට පත් කළ බිම් බෝම්බ අනතුරේ සෑම වේදනාකාරි බලපෑමක්ම දැනට දරාගැනීමට ඔහුට සිදු වේ. එනමුත්, පාරාදීස පොළොවක් පිළිබඳ දෙවිගේ පොරොන්දුව යථාර්ථයක් වන දවස දෙස අගුස්ටෝ මහත් නොඉවසිල්ලකින් බලා සිටියි. ඒ ගැන අනාගතවක්තෘ යෙසායා මෙසේ පුරෝකථනය කළේය. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය . . . කොරා මුවෙකු මෙන් පැන යන්නේය.”—යෙසායා 35:5, 6.

පැමිණෙන ඒ පාරාදීසයේදී, බිම් බෝම්බවලින් අපගේ දිවියට තර්ජනයක් එල්ල නොවෙයි. ඒ වෙනුවට, පොළෝ තලය පුරාම ජනයා සුරක්ෂිතභාවයෙන් වෙසෙයි. අනාගතවක්තෘ මීකා ඒ අනාගත තත්වය මෙලෙස විස්තර කළේය. “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල [යෙහෝවාගේ] මුඛය එය [පැවසීය].”—මීකා 4:4.

දෙවිගේ වචනය වන බයිබලයෙහි අන්තර්ගත දෙවිගේ පොරොන්දු ගැන තවත් ඉගෙනීමට ඔබ කැමතිද? ඔබේ ප්‍රදේශයෙහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසීමට ඔබට පුළුවන. එසේ නැතහොත් මෙම සඟරාවේ 5වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියා දැන්විය හැක.

[8, 9වන පිටුවේ පින්තූරය]

දෙවිගේ රාජ්‍යය පාලනය කරන විට, බිම් බෝම්බවලින් තර්ජනයක් එල්ල නොවේ