Skip to content

පටුනට යන්න

‘විවිධත්වයෙන් පිරි දේශයේ’ අසාමාන්‍ය ඉතිහාසය

‘විවිධත්වයෙන් පිරි දේශයේ’ අසාමාන්‍ය ඉතිහාසය

‘විවිධත්වයෙන් පිරි දේශයේ’ අසාමාන්‍ය ඉතිහාසය

බ්‍රසීලයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

මේරට “විවිධත්වයෙන් පිරි දේශය” ලෙස හැඳින්වීමට හොඳ හේතු ඇත. වර්ග කිලෝමීටර 85,11,999කින් සමන්විත අපමණ චමත්කාරයෙන් පිරුණු මෙම අතිවිශාල දේශය තුළ සෑම ආකාරයකම දේශගුණික තත්වයන් දැකිය හැක. එහි ප්‍රධාන වශයෙන් පවතින්නේ නිවර්තන කලාපීය දේශගුණයකි. එහෙත් එහි දකුණු දෙසෙහි වඩාත් සෞම්‍ය උපනිවර්තන දේශගුණයක් ඇති අතර, ඇමසන් වනාන්තරය දෙසට ගමන් කරන විට සාමාන්‍යයෙන් සමකය ආසන්න රටවලට ආවේණික වූ දේශගුණයක්ද දකින්න පුළුවන. මේ රට කිලෝමීටර 7,400ක් පුරා දිවෙන අපූරු මුහුදු තීරයකටද හිමිකම් කියයි. පුරාණයේ සිට කලින් කලට, නානාප්‍රකාර සංස්කෘතීන්වලට අයත් මහත් ජනකායක් මේ දේශයට සංක්‍රමණය වී ඇත. මේ රට නම් බ්‍රසීලයයි.

ආගන්තුක සත්කාරය මෙහි වැසියන්ගේ ප්‍රධාන ගුණාංගයක් බව මීට අවුරුදු 500කට පමණ ඉහතදී මේ රටට පා තැබූ පෘතුගීසිහු හඳුනාගත්හ. එවිට, එනම් වර්ෂ 1500දී, එම කණ්ඩායමේ සාමාජිකයෙක් වූ පේරෝ වාස් ඩි කාමින්යා පෘතුගාලයේ එවකට සිටි රජතුමාට ලිපියකින් මේ ගැන දැන්වුවේය. බ්‍රසීලයේ මුල් වැසියන් පෘතුගීසි අමුත්තන්ව වැලඳගෙන පිළිගත් බව එහි සඳහන් විය. ඒත් පෘතුගීසින් බ්‍රසීලයට ගියේ මන්ද?

වර්ෂ 1500 මාර්තු 9වනදා පේතෘ අල්වාරිෂ් කබ්රාල් නම් නාවිකයා නැව් රැසක් ගෙන පෘතුගාලයේ සිට ඉන්දියාවේ කැලිකට් නගරය බලා පිටත් විය. ඒ නගරය හා වෙළඳ සබඳකම් ඇති කරගැනීම ඔහුගේ අධිෂ්ඨානය විය. එනමුත් තම ගමනාන්තය කරා යෑමට පෙර ඔහු තම කණ්ඩායම සමඟ ඈතින් පිහිටි බ්‍රසීලයේ බහියා ප්‍රාන්තයේ වෙරළට ගොඩ බැස්සේය. ඒ 1500 අප්‍රියෙල් 23වනදාය.

බ්‍රසීලයට, මෙලෙස ගොඩ බැසීම අහම්බෙන් සිදු වූවක් නොවන බව ඇතැම් පර්යේෂකයෝ පවසති. a එහෙත් එවකට පෘතුගීසින් දැන සිටි දේට අනුව බ්‍රසීලයේ වෙළඳාම් කිරීමට තරම් ලාභදායි සම්පත් තිබුණේ නැත. එහි සෑම තැනම වාගේ වැවී තිබුණු පතඟි ගස්වල සාරය ගෙන රතු හා දම් සායම් වර්ග නිපදවිය හැකි බව ඔවුහු දැන සිටියහ. මෙය දියුණු කළ හැකි ව්‍යාපාරයක් බව පෙනී ගියද, ඉන්දියාවේ තිබූ කුළුබඩු හා සැසඳූ කල එහි වටිනාකමක් නොතිබූ තරම්ය.

ඉන් අනතුරුව ෆර්නැන්ඩෝ ඩි නොරොන්හා නම් වූ පෘතුගීසි ජාතිකයෙකුට බ්‍රසීලය අවුරුදු දහයකට බද්දට දෙන ලදි. ඔහු පතඟි ව්‍යාපාරයෙන් මුදල් උපයා පෘතුගීසි අධිරාජ්‍යයට බදු ගෙව්වේය. නමුත් බ්‍රසීලය වැනි රටවල් සොයාගැනීම මාර්ගයෙන් තම වෙළඳාම හා ආර්ථිකය දියුණු කරගත හැකි බව වෙනත් යුරෝපීය රටවල්ද ඒ වෙද්දී වටහාගෙන තිබිණ. බ්‍රසීලයේ සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමට තැත් කළ ප්‍රංශ, බ්‍රිතාන්‍ය හා ස්පාඤ්ඤ නාවිකයන් හොර රහසේම බ්‍රසීලය තුළ ව්‍යාපාර කටයුතු ඇරඹීය. නොරොන්හාට මෙය පාලනය කරන්ට බැරි විය. තමන්ට බ්‍රසීලය අහිමි වෙයිදෝ කියා සිතූ පෘතුගීසිහු 1532දී එම දේශය තුළ ජනාවාස පිහිටුවන්ට පටන්ගත්හ. බ්‍රසීලයේ සැබවින්ම සාර්ථක වූවායයි සඳහන් කළ හැකි පළමු ව්‍යාපාරය වන්නේ සීනි කර්මාන්තයයි.

රත්තරන් හා දියමන්ති ආකර කර්මාන්ත ශීඝ්‍රයෙන් දියුණු වී 18වන ශතවර්ෂයේදී මහත් සේ සාර්ථක විය. දහනවවන ශතවර්ෂය අවසන් වෙද්දී රබර් කිරි එනම් ලේටෙක්ස් නිපැයීමද ඇමසන් ප්‍රදේශයේ ආර්ථිකයේ වැදගත්කමක් ඉසිලීය. b පසුව වර්ධනය වූයේ කෝපි වගාවයි. ඒ වගාවට අවශ්‍ය වූ දුම්රිය පාරවල් හා මහාමාර්ග තැනීම බ්‍රසීලයේ නාගරීකරණයට බෙහෙවින් දායක විය. රියෝ ද ජනේරෝහි හා සැන්ටස්හි වරායන්ද අලුත්වැඩියා කොට දියුණු කරන ලදි. දහනවවන ශතවර්ෂය අවසන් වන විට ලෝකයේ කෝපි නිපැයුමෙන් භාගයක් වැනි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කළේ බ්‍රසීලයේය. සාඕ පාවුලු නගරය එහි ප්‍රමුඛ ආර්ථික මධ්‍යස්ථානය බවටද පත්ව තිබිණ.

බ්‍රසීල ඉතිහාසයේ සිදු වූ එක් ඛේදජනක සිදුවීමකි, කෲර වහල් වෙළඳාම. මුලින්ම පෘතුගීසිහු ඉන්දියානුවන් ලෙස හැඳින්වූ බ්‍රසීලයේ මුල් පුරවැසියන්ව පතඟි ගස් කපා ප්‍රවාහණය කිරීමට යොදාගත්හ. පසුව උක් වගා කිරීමට මොවුන්ව යෙදවීය. යුරෝපීය රටවලට ආවේණික වූ නොයෙක් ලෙඩ රෝග මෙම වහලුන් අතරේ පැතිරෙන්න පටන්ගත්තේය. එයට ඔරොත්තු දීමේ ශක්තියක් නොතිබූ හෙයින් ඔවුන්ගෙන් මහත් සංඛ්‍යාවක් මිය ගියෝය. මෙයින් ඇති වූ අඩුව පියවීමට පෘතුගීසිහු අප්‍රිකාවෙන් වහලුන් ගෙනාහ.

වාර්තාගත තොරතුරුවලට අනුව බ්‍රසීලයට අප්‍රිකාවෙන් දසලක්ෂ ගණන් වහලුන් ගෙනැවිත් ඇත. මේ හේතුවෙන් මෙම වහලුන්ගේ සිරිත් විරිත් හා ගතිලක්ෂණ බ්‍රසීල සමාජයට ඇතුල් විය. බ්‍රසීලයේ මහත් ප්‍රසිද්ධියක් උසුලන නිතර දෙවේලේ අසන්ට ලැබෙන සම්බා සංගීතයෙහිත් කැපෝරා නම් සටන් කලාවෙහිත් අප්‍රිකානු බලපෑම් පැහැදිලිවම දැකගත හැක. බෝංචි, ඌරුමස්, ලිංගුස් හා වේළන ලද මස් වර්ග එකතු කර සාදන ෆයිසුආඩා නම් රසවත් ව්‍යාංජනය බ්‍රසීලයේ ජනප්‍රිය කෑමකි. මෙම ආහාරය පවා ඔවුන්ට හඳුන්වා දුන්නේ අප්‍රිකානුවන්යයි පෙන්වීමට පිළිගත හැකි සාක්ෂි ඇත. අන්තිමේදී 1888දී වහල් වෙළඳාම බ්‍රසීලයේ අහෝසි කරන ලදි. නොයෙක් වතුයායවල වැඩ කළ වහලුන් 7,50,000ක් පමණ නිදහස ලැබූහ.

දහනවවන ශතවර්ෂයේ පටන්, නොයෙක් රටවල්වලින් මහත් ජනකායක් පදිංචි වීම සඳහා බ්‍රසීලයට සංක්‍රමණය වූහ. මෙම සමූහයට ඉතාලි, ජපන්, ජර්මානු, පෝලන්ත, සිරීය-ලෙබනොන්, ස්පාඤ්ඤ හා ස්විට්සර්ලන්ත ජාතිකයෝ අයත් වූහ. මෙහි බහුලව ඇති ඇළ දොළවල් හා හරිත වර්ණ ගහකොළ අතරේ ජීවත් වන්නන්ගේ නෙතට නිතරම හසු වන්නේ සුන්දර දර්ශනයි. එලෙසම ලබන මානසික වින්දනය කියා නිම කළ නොහැක. ලෝකයේ අන් රටවල් හා සසඳද්දී, බ්‍රසීලයේ යුද්ධ, භූමිකම්පා, ගිනි කඳු පිපිරීම්, සුළි සුළං, මුහුද ගොඩ ගැලීම වැනි විපත්ති නැති තරම්ය. ඔබටත් බ්‍රසීලයට පැමිණ මෙම චමත්කාර දේශය සියැසින්ම දැකබලා ගත හැක. එවිට මීට අවුරුදු 500කට කලින් පෘතුගීසින් අද්දුටු ආගන්තුක සත්කාරයම අද්දකින්න ලැබීමෙන් ඔබත් පුදුමයට පත් වෙනවා නිසැකයි.

[පාදසටහන්වල]

a කබ්රාල් බ්‍රසීලයට පැමිණීමට වසර කිහිපයකට පෙර, එනම් 1494දී ස්පාඤ්ඤ අධිරාජ්‍යයත් පෘතුගීසි අධිරාජ්‍යයත් දකුණු අත්ලන්තික් සාගරයට බටහිරින් පිහිටි රටවල් තමන් අතරේ බෙදාගනිමින් ගිවිසුමක් ඇති කරගත්හ. ටෝර්ඩසිලාස් ලෙස හැඳින්වූ මෙම ගිවිසුමට අනුව බ්‍රසීලය අයත් වූයේ පෘතුගාලයටයි. ඒ කරුණු මත තර්ක කරන සමහරුන් පවසන්නේ, කබ්රාල් බ්‍රසීලයට ගියේ ඒ දේශය හා සම්බන්ධව පෘතුගාලයට තිබූ අයිතිවාසිකම් හිමි කරගැනීමේ නිශ්චිත අදහස ඇතිවයි කියායි.

b පිබිදෙව්! 1997 මැයි 22 කලාපයේ (ඉංග්‍රීසියෙන්) 14-17 පිටු බලන්න.

[16, 17වන පිටුවේ සිතියම⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

ඇමසන් ප්‍රදේශය

බහියා ප්‍රාන්තය

බ්‍රසීලා

රියෝ ද ජනේරෝ

සාඕ පාවුලු

සැන්ටස්

ඉගුආසු දියඇල්ල

[පින්තූර]

1. පේතෘ අල්වාරිෂ් කබ්රාල්

2. ටෝර්ඩසිලාස් ගිවිසුම, 1494

3. කෝපි ප්‍රවාහණය කරන්නෝ

4. බ්‍රසීලයේ සිට බලද්දී ඉගුආසු දියඇල්ල දිස් වන අයුරු

5. එපෙෂුනා ගෝත්‍රිකයෙක්

[හිමිකම් විස්තර]

Culver Pictures

Archivo General de Indias, Sevilla, Spain අනුග්‍රහයෙනි

Brazil and the Brazilians, 1857 යන පොතෙනි

FOTO: MOURA

[18වන පිටුවේ පින්තූර]

1. පූමා, බ්‍රසීලයේ බහුලව දැකගත හැකි දිවි වර්ගයක්

2. ඇමසන් වනයේ පිපෙන ඕකිඩ් මල්

3. බහියා ප්‍රාන්තයේ අගනගරය වන සැල්වදෝරයේ ජාතික ඇඳුමක්

4. මකව් නමින් හැඳින්වෙන ගිරවෙක්

5. බ්‍රසීලයේ කිලෝමීටර 7,000කට වඩා ඈතට දිවෙන සුන්දර වෙරළක් ඇත. මෙහි දක්වා ඇත්තේ රියෝ ද ජනේරෝහි කෝපකබානා නම් වූ මුහුදු තීරයයි

[හිමිකම් විස්තර]

São Paulo Zoo අනුග්‍රහයෙනි

[19වන පිටුවේ පින්තූරය]

බ්‍රසීලියා—වර්ෂ 1960 සිට බ්‍රසීලයේ අගනගරය

[19වන පිටුවේ පින්තූරය]

සාඕ පාවුලු—බ්‍රසීලයේ වාණිජ මධ්‍යස්ථානය

[හිමිකම් විස්තර]

FOTO: MOURA

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© 1996 Visual Language