Skip to content

පටුනට යන්න

එය කියන තරම්ම හානිකරද?

එය කියන තරම්ම හානිකරද?

එය කියන තරම්ම හානිකරද?

දැනටමත් සඳහන් කර ඇති පරිදි අන්තර්ජාලය ඔස්සේ වැඩිහිටියන්ට මෙන්ම දරු දැරියන්ටද කාමුක දර්ශන පහසුවෙන්ම නැරඹිය හැක. ඔබ මේ ගැන සැලකිලිමත් විය යුතුද? කාමුක දර්ශන නැරඹීම ඇත්තටම හානිකරද?

බොහෝ අය සිතන්නේ කාමුක දර්ශන ඉඳහිට නැරඹීමෙන් කිසිම හානියක් එල්ල නොවන බවය. කෙසේවෙතත්, එසේ සිතීම පවා උගුලකි. ඉතා සතුටින් කල් ගෙවනවායයි කොයි කවුරුත් සිතූ එක් යුවළකට සිදු වූ දේ සලකා බලන්න. ඔවුන්ට මුදල් ප්‍රශ්න තිබුණේ නැත. ගමන් බිමන් යෑමට මහත් ආශාවක් දැක්වූ ඔවුන්ව හිත මිතුරන් විසින් සලකනු ලැබුවේ එකිනෙකාට ඉමහත් ලෙන්ගතුකමක් සහ ආදරයක් දක්වන කිට්ටු යුවළක් හැටියටය. ඇත්තෙන්ම මෙය සැබෑවක් බව පැවසුවොත් නිවැරදිය.

නමුත් තත්වය වෙනස් වී ගැටලු ඇති වන්න පටන්ගත්තේ පුරුෂයා කාමුක දර්ශන නරඹන්න පටන්ගැනීමත් සමඟය. කනස්සල්ලට පත් වූ ඔහුගේ භාර්යාව පුවත්පත් තුළින් උපදෙස් සපයන ජනප්‍රිය තීරු ලේඛිකාවකට ඇගේ සිත්තැවුල මෙසේ හෙළි කළාය. “[මගේ මහත්තයා] රෑ දෙගොඩ හරියෙයි උදේ පාන්දරයි නිතරම කොම්පියුටරේ ළඟ ගැවසෙද්දී මං ඇහුවා ‘ඒ ඇයි’ කියලා. එතකොට නං මට කිව්වේ එයා තොරතුරු වගයක් ‘ගවේෂණය’ කරනවා කියලයි. හැබැයි එක දවසක් පාන්දරින්ම මම කොම්පියුටර් එක ළඟට ගියහම එයා [කාමුක දර්ශන] බල බල ඉන්නවා මගේ අතටම අහු වුණා. . . . එයා කිව්වෙ කුතුහලය නිසයි බලන්නේ කියලා. හැබැයි එයා බල බල හිටපු ඒවා ටිකක් දැක්කහම මට පුදුම අප්පිරියාවක් දැනුණේ. එයාට ලැජ්ජ හිතිල නතර කරනවා කියල පොරොන්දු වුණා. මම එයාව විශ්වාස කළා. මම කවදත් එයාව සැලකුවේ එයා පොරොන්දු ඉටු කරන විශ්වාසවන්ත කෙනෙක් කියලයි.”

ඉහත සඳහන් කළ පුරුෂයාට සමානව, බොහෝදෙනා කාමුක දර්ශන නැරඹීමට පෙලඹෙන්නේ කුතුහලය නිසාය. මෙය හොර රහසේ කිරීමට කැමති නිසා, ඔවුන් අන්තර්ජාලයට පිවිසෙන්නේ මහ රෑ එසේ නැතහොත් උදේ පාන්දරය. තමන්ව හසු වුවහොත්, එම පුරුෂයා කළාක් මෙන් තමන් කළ දේ වසං කිරීමට ඔවුහු බොරු කියති. “විශ්වාසවන්ත” වූ මෙම පුරුෂයා තම “විනෝදාංශයේ” යෙදීමට කාටත් හොරා මහ රෑ තෝරාගත්තේය. ඔහුගේ ආදරණීය බිරිඳට බොරු කීමට පවා පෙලඹුණේය. එවැනි දේවල් කිරීමට පෙලඹීමක් ඇති වේ නම්, එය හානිකර නැහැ කියා පැවසිය හැකිද?

මෙවැනි දර්ශන නැරඹීමට පුරුදු වීම බරපතළ පෞද්ගලික සහ පවුල් ගැටලුවලට මඟ පෑදිය හැක. කාමුක දර්ශන නැරඹීම, අන්‍යයන් සමඟ කිට්ටු සම්බන්ධතා ඇති කරගැනීමට බාධාවක් වී ඇති බව සමහරුන් පිළිගෙන තිබේ. එම විනෝදාංශයේ යෙදෙද්දී අන්‍යයන්ගෙන් බාධා එල්ල වෙනවාට ඔවුන් අකමැතිය. කාමුක දර්ශන නරඹන පුද්ගලයෙක් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ සිහින ලෝකයකයි. එවැනි සිහින ලොවක සිටින පුද්ගලයෙකුට සැබෑ ලොවෙහි ජීවත් වීමත්, කිට්ටු සම්බන්ධතා ඇති කර වර්ධනය කරගැනීමත් ඉතා අසීරු වේ. පුද්ගලයෙකුව තමාට ඉතා කිට්ටු අයගෙන් ඈත් කරවන විනෝදාංශයක් හානිකර නැහැ කියා පැවසිය හැකිද?

ඇතැම් අවස්ථාවලදී, කාමුක දර්ශන නරඹන හෝ කාමුක පොත් පත් කියවන පුද්ගලයන්ට තම විවාහක සහකාරිය හෝ සහකරුවා සමඟ තෘප්තිමත් ආකාරයකින් සාමාන්‍ය ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට අපහසු විය හැක. මීට හේතුව දැනගැනීමට, විවාහක යුවළක් සඳහා දෙවිගේ මුල් අරමුණ සලකා බැලීම මහෝපකාරි වේ. දෙවි ප්‍රේමනීය ලෙස පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට ගෞරවනීය ආකාරයෙන් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ ප්‍රස්තාව දුන්නේ එකිනෙකා සඳහා තිබෙන ප්‍රේමය ප්‍රීතිදායක ලෙස ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙසටයි. ලිංගික සම්බන්ධකම්වලින් යම් සතුටක් ලැබීම යෝග්‍ය දෙයක් බව හිතෝපදේශ 5:18, 19හි දැකිය හැක. එහි මෙසේ පැවසේ. “නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න. . . . ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.”—ඇල අකුරු අපගේය.

ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට පදනම වන්නේ ආදරය බව ඔබ දුටුවාද? කාමුක දර්ශන නරඹන පුද්ගලයෙක් කිට්ටු ප්‍රේමනීය බැඳීමක් වර්ධනය කරගන්න බව කිව හැකිද? එසේ පැවසිය නොහැක. ඔහු තමාගේ කාමාශාව සන්සිඳුවාගැනීමටයි උත්සාහ කරන්නේ. අනික් අතට, නිතරම පරිගණකයක් ඉදිරියෙහි සිටින ඔහු, එම ආශාවන් බොහෝදුරට සන්සිඳුවාගන්නේ තනිවය. ඇත්තෙන්ම කාමුක දර්ශන නරඹන පුරුෂයෙකු තම භාර්යාවව සලකන්නේ, තම කාමාශාවන් සන්සිඳුවාගැනීමට පාවිච්චි කළ හැකි භාණ්ඩයක් ලෙසය. මෙය මැවුම්කරුගේ අරමුණට බොහෝ සෙයින් පටහැනිව දිවයයි. ඔහු අදහස් කළේ පුරුෂයන් විසින් ස්ත්‍රීන්ට ගෞරවය දැක්වීමය. (1 පේතෘස් 3:7) විවාහයේ මෙම ඉතා සමීප මෙන්ම කුලුපග පැත්තට බාධා පමුණුවන මෙවැනි පුරුද්දක් ඇත්තටම යෝග්‍යයයි සැලකිය හැකිද?

එපමණක්ද නොව, ඉඳ හිට කරන පුරුද්දක් ලෙස පටන්ගත් යමක්, දිගු කාලීන ඇබ්බැහි වීමක් බවට පත් විය හැක. එක ලේඛකයෙක් මෙම අදහස පළ කළේය. “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය එකම මත්ද්‍රව්‍යයෙන් සෑහීමට පත් වන්නේ නැත. ඔවුන්ට ඊටත් වඩා බලගතු එකක් අවශ්‍යයි උපරිම වින්දනයක් ලබාගැනීමට. කාමුක දර්ශන නරඹන අයටත් ඇත්තේ ඒ හා සමාන ගැටලුවකි. කලින් ලැබූ තෘප්තියම ලබාගැනීමට ඊටත් වඩා කාමුක හැඟීම් අවුස්සන දර්ශන බැලීම අවශ්‍ය වේ.”

මෙම ලිපියෙහි කලින් සඳහන් කළ පුරුෂයාට සිදු වූ දේ එය බව පැහැදිලි වේ. කාමුක දර්ශන තවදුරටත් බලන්නේ නැති බවට පොරොන්දු වීමෙන් මාස කිහිපයක් ගත වූවායින් පසු, එක් සැන්දෑවක ඔහුගේ බිරිඳ ගමනක් ගොස් ගෙදර පැමිණි විට, ඔහු පරිගණකය ළඟ සිටිනවා දුටුවාය. ඔහුගේ ප්‍රතික්‍රියාවෙන්ම ඇයට පැහැදිලි වුණේ ඇගේ පැමිණීමෙන් ඔහු යම් අපහසුතාවකට පත්ව තිබූ බවය. ඇය මෙසේ පැවසුවාය. “[එයා] ටිකක් භයෙන්, කලබල වෙලයි හිටියේ. මම කොම්පියුටරේ දිහා බැලුවා. බලන කොට, කලින් ප්‍රශ්නයම තමයි. එයා බල බල හිටියේ ඉතා පිළිකුල් දර්ශන කිහිපයක්. මේ පුරුද්ද අත්හරින බව කියන කොට එහෙම කිව්වේ හොඳ චේතනාවෙන් වුණාට, ඒකට පුදුම විදිහට ඇබ්බැහි වුණා කියලා එයා පිළිගත්තා.”

ඇත්තෙන්ම කාමුක දර්ශන නැරඹීම හානිකරය. මෙම පුරුද්දට හසුවීම ඉතා පහසු නිසා, අප ඒ ගැන සැලකිලිමත් වන්නේ හොඳ හේතු ඇතුවය. ඔබවත් ඔබේ දරුවන්වත් ආරක්ෂා කරගැනීමට කුමක් කළ හැකිද? මෙම ලිපි මාලාවේ අවසන් ලිපියෙන් මීට පිළිතුරු සලකා බලමු.

[6වන පිටුවේ පින්තූරය]

කාමුක දර්ශන නැරඹීම පුද්ගලයෙකුව විනාශ කරයි