Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතයට චන්ද්‍රයා බලපෑම් කරයිද?

ඔබේ ජීවිතයට චන්ද්‍රයා බලපෑම් කරයිද?

ඔබේ ජීවිතයට චන්ද්‍රයා බලපෑම් කරයිද?

චන්ද්‍රයා මිහිපිට ජීවිතයේ ඇතැම් පැති පාලනය කරන බවට වසර දහස් ගණනක් පුරා මිනිසුන් අතර පිළිගැනීමක් තිබේ. චන්ද්‍ර කලාවන් (චන්ද්‍රයාගේ විවිධ හැඩයන්) ශාකවලට, සත්වයන්ට හා මිනිසුන්ට පවා බලපෑමක් ඇති කරන බවට විශ්වාස කෙරේ. නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින් ඈත අතීතයේ පටන් පැවතෙන සමහර සංකල්පයන් නිෂ්ප්‍රභ කර ඇතත්, වෙනත් විශ්වාසයන් අදටත් පවතී. එසේ පැවසීමට අපට ඇත්තේ කුමන සාක්ෂිද?

චන්ද්‍ර කලාවන් හා ශාකවල වැඩීම අතර සම්බන්ධයක් තිබෙන බව ඇතැම් අය තරයේ කියා සිටිති. මේ නිසා, මල් පැළ සිටුවීමට, පොහොර දැමීමට, වයින් බෝතල් කිරීමට හෝ කල් තබාගන්නා ආහාර පිළියෙළ කිරීමට සුදුසු කාලය තීරණය කිරීමට, ඔවුහු දිනදර්ශන හා ලිත්වලට යොමු වෙති. එසේ කරන්නේ, වැරදි චන්ද්‍ර කලාවකදී යම් යම් දේවල් නිපදවුවහොත්, නිෂ්පාදනයේ ගුණය බාල වේය යන විශ්වාසය පෙරදැරි කරගෙනය. එක ග්‍රන්ථයක, උයන්පල්ලන්ට මෙවැනි උපදෙසක් ඉදිරිපත් කරයි: “අමුවෙන් ආහාරයට ගන්නා එළවළුවල අස්වැන්න නෙළිය යුතු වන්නේ සාමාන්‍යයෙන් චන්ද්‍ර කලා පිරීමේදීය. කල් තබාගත හැකි එළවළුවල අස්වැන්න නෙළිය යුතු වන්නේ චන්ද්‍ර කලා ගෙවීමකදීය.” මේ ක්‍රියාවලිය සඳහා විද්‍යාත්මක පදනමක් ඇද්ද?

අධ්‍යයනයන් කීපයක්, චන්ද්‍රයාගේ හැඩයේ වෙනස් වීම් සමඟ ශාකවල වැඩීම සම්බන්ධ කර තිබේ. කෙසේවෙතත්, විද්‍යාඥයන් බොහෝදෙනෙක් ඒ ගැන සැක පහළ කරති. චන්ද්‍රයාගේ වෙනස් වීමේ චක්‍රයන් සංකීර්ණය. එමෙන්ම ඒවාවල සුළු සුළු වෙනස්කම් සිදු වේ. එපමණක්ද නොව ඒවායෙන් ඇති වන බලපෑම් ඒ තරම්ම කැපීපෙනෙන්නෙත් නැත. එබැවින් එය පදනම් කරගෙන කරන ලද අධ්‍යයනයන් නැවතත් කිරීම අසීරු කාර්යයකි.

කෙසේවෙතත්, චන්ද්‍රයාගෙන් ඇති වන ඇතැම් බලපෑම් පර්යේෂකයන්ට යම් දුරකට පැහැදිලි වී ඇත. උදාහරණයක් හැටියට, බොහෝ ජීවීන්ගේ ක්‍රියාවන්, ආහාර ගැනීමේ පුරුදු, බෝ කිරීම හා ජෛව චක්‍රයන්, වඩදිය බාදිය ක්‍රියාවලියට සම්බන්ධව ඇති බව සනාථ වී ඇත. තවද වඩදිය බාදිය ක්‍රියාවලිය චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණයේ බලපෑමට ලක් වන බව කවුරුත් දන්නා කරුණකි.

වඩදිය බාදිය කෙරෙහි චන්ද්‍රයා බලපෑම් කරනවා නම්, මනුෂ්‍ය ශරීරයේ ජලය වැඩි කොටසක් අඩංගු නිසා එය මනුෂ්‍යයන්ටත් බලපෑමක් කළ යුතුයි කියා සමහරු පවසා සිටිති. එමෙන්ම මානසික ආබාධයන්, කෙනෙකු උපදින වෙලාව හා චන්ද්‍ර මාසයක තරම්ම දීර්ඝ කාලයක් පවතින ඔසප් චක්‍රය අතරත්, චන්ද්‍ර කලාවන් අතරත් තිබෙනවායයි පැවසෙන සම්බන්ධය ගැන කුමක් කිව හැකිද?

මේ කාරණය සම්බන්ධයෙන් සැබෑව දැනගැනීමට, මනෝචිකිත්සාව, මනෝවිද්‍යාව හා ස්ත්‍රී රෝග විනිශ්චය පිළිබඳ ක්ෂේත්‍රයන් තුළ අධ්‍යයනයන් සිදු කර ඇත. ප්‍රතිඵල අවිනිශ්චිතය. මනුෂ්‍යයන්ගේ ක්‍රියා හා චන්ද්‍ර චක්‍ර අතර තිබෙන්නේ සුළු සම්බන්ධයක් බව ඇතැම් පර්යේෂකයන් පවසා සිටියත්, ඒවා අතර කිසිම සම්බන්ධකමක් නැති බවයි තවත් අය ස්ථිරයෙන්ම පවසා සිටින්නේ. චන්ද්‍ර චක්‍ර, මානව උපත්වලට විශේෂ බලපෑමක් කරනවා නම්, එහි සම්බන්ධතාවය බොහෝ කලකට පෙර සිට පැහැදිලිව දක්නට තිබිය යුතුයයි ඔවුහු තර්ක කරති. එපමණක්ද නොව, චන්ද්‍රයා මනුෂ්‍යයාට බලපෑමක් කරන බව පැහැදිලි කිරීමට ඉදිරිපත් කර ඇති කිසිම මතයකින් පොදුවේ විද්‍යාඥයන්ට යමක් ඒත්තු ගොස් නැත. a

මිහිපිට ජීවිතයේ විවිධ තත්වයන්ට චන්ද්‍රයාගෙන් යම් බලපෑමක් සිදු වන බව විද්‍යාඥයන් පෙන්නුම් කළත්, කෙතරම් දුරකටද කියා පහසුවෙන් නිශ්චය කළ නොහැකියි. අපේ භෞතික විශ්වය සංකීර්ණය. අඩු තරමින් දැනටවත්, එහි සිදු වන මවිතාකාර ක්‍රියාවලියන්ගෙන් බොහෝමයක් පිළිබඳව ඇත්තේ අල්ප දැනුමකි.

[පාදසටහන]

a මෙම මතවලින් සමහරකට හඳ එළිය, ගුරුත්වය, භූ චුම්බක බලයන් හා විද්‍යුත් චුම්බකත්වය ඇතුළත්ව පවතී.

[22වන පිටුවේ පින්තූරය]

චන්ද්‍රයාව නියෝජනය කරන තැනැත්තිය වශයෙන් සලකා පුරාණ ග්‍රීකයෝ හා රෝමවරු සෙලීන් දේවතාවියට වැඳුම් පිදුම් කළහ

[හිමිකම් විස්තර]

Musei Capitolini, Roma