Skip to content

පටුනට යන්න

ඔබේ දසුනට බාධා කරන තිත්

ඔබේ දසුනට බාධා කරන තිත්

ඔබේ දසුනට බාධා කරන තිත්

සමහරවිට ඔබ ඒවා දැක ඇති. ඒ තමයි, ඔබේ ඇස් ඉදිරියෙහි පාවෙනවා වගේ පෙනෙන කුඩා අළු පාට තිත් හෝ කැබලි. කියවන විට හෝ ලා පාට බිත්තියක් දෙස හෝ වලාකුළු නොමැති අවස්ථාවකදී අහස දෙස හෝ බැලූ විට ඔබට මේවා දැකබලා ගැනීමට හැකියාව වැඩියි.

ඒවා දෙස වැඩි වේලාවක් බලාගෙන සිටින්ට කිසිවෙකුටවත් බැහැ. ඇස යන්තම් හෝ සෙලවුණහොත් ඒවා එකපාරටම නොපෙනී යයි. ඇතැම්විට ඉන් එක් කැබැල්ලක් හෝ තිතක් ඔබට පෙනෙන සේ ඔබගේ ඇස් ඉදිරියට පාවී ඇවිත් තිබෙනවායයි ඔබට හැඟෙන්නත් පුළුවන්. ඒත් ඔබට එය කුමක්ද කියා තේරුම්ගැනීමට අපහසුයි.

මේ කැබලි නොහොත් තිත් මොනවාද? ඒවා කොහෙන්ද එන්නේ? ඒවා ඔබේ ඇසේ මතුපිට රැඳී තිබෙනවාද? එහෙමත් නැත්නම් ඒවා තිබෙන්නේ ඔබේ ඇසෙහි අභ්‍යන්තරයෙහිද? එක එල්ලේ ඒ දෙස බලාගෙන සිටින ගමන්ම ඇස්පිල්ලමක් ගසන්න. දැන් කුමක්ද සිදු වුණේ? එම තිත් හෝ කැබලි ගමන් කළ මාර්ගය වෙනස් වී ඒවා අතුරුදහන් වුණාද? එසේ වූවා නම් ඒවා තිබෙන්නේ ඔබේ ඇසේ මතුපිටෙහි වන අතර මෙම ලිපිය සාකච්ඡා කරන්නේ ඒවා ගැන නෙවෙයි.

නමුත් ඔබ එලෙස ඇසි පිය ගැසූ අවස්ථාවේදී වැඩි වෙනසක් සිදු නොවූවා නම් එම තිත් හෝ කැබලි තිබෙන්නේ ඔබේ ඇස අභ්‍යන්තරයෙයි. එනම් ඔබේ ඇසෙහි කාචය පිටුපසෙහි තිබෙන දියරයක් වන කාච රසය නම් කොටසෙයි. එම නිසා මෙම කැබලි ඔබේ ඇස් ඉදිරියෙන් තිබෙනවා කියා ඔබට පෙනුණත් ඒවා ඇත්තෙන්ම තිබෙන්නේ ඔබේ ඇසෙහි කාචය පිටුපස මෙම දියරය තුළ පාවෙමිනුයි. මේවායෙහි ඡායාව ඔබේ ඇසෙහි දෘෂ්ටි විතානය නම් කොටසට වැටුණ විට, ඔබට ඒවා තිත් හෝ කැබලි ලෙස ඇස ඉදිරියෙහි තිබෙන්නාක් මෙන් පෙනෙයි. කාච රසයෙහි ඝනත්වයෙයි ජලයෙහි ඝනත්වයෙයි වැඩි වෙනසක් නැහැ. ඒ නිසා මෙම කැබලිවලට වේගයෙන් එම දියරය තුළ එහා මෙහා පාවිය හැක. ඉතින් එක් මොහොතක එහි ඡායාව ඔබේ දෘෂ්ටි විතානය මත වැටුණු විට එය ඔබට පෙනෙන අතර, ඊළඟ මොහොතේ එය වෙන අතකට පාවී යෑම නිසා ඔබට එය නොපෙනී යා හැකියි. මේ ක්‍රියාවලිය පදනම් කරගෙන එය වෛද්‍ය විද්‍යාවෙහි මස්කි වොලිටාන්ටි යන නමින් හඳුන්වයි. ලතින් භාෂාවෙන් ඒ නමෙහි අර්ථය “එහෙ මෙහෙ පියාඹන මැස්සෝ” යන්නයි.

මෙම කැබලි පැමිණියේ කොහෙන්ද?

අපේ ඇස තුළ ඒවා ඇති විය හැකි ක්‍රම කිහිපයක් තිබේ. දරුවෙකු මව් කුසෙහි සිටින විට ඇස තුළ සිදු විය යුතු ස්වාභාවික විපර්යාසයන් සම්පූර්ණයෙන්ම සිදු නොවීම ඊට එක හේතුවක්. මේ කාලයෙහි එනම් කලල අවස්ථාවෙහි දරුවෙකුගේ ඇසෙහි අභ්‍යන්තරය කෙඳි සහිතයි. නමුත් ඉපදුණ විට මේ කෙඳි සියල්ලම හා වෙනත් සෛල දිය වී කාච රසය බවට පත් වෙනවා. එහෙත් සමහර අවස්ථාවන්හිදී මේවායින් සමහරක් දිය වෙන්නේ නැහැ. එවිට ඒවා කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම කාච රසයෙහි පාවෙමින් තිබෙන්ට යනවා. කලල අවස්ථාවේදී ඇසෙහි කාචයට පෝෂණය ගෙන ඒම සඳහා, ඇස පිටුපස ඇති අක්ෂි ස්නායුවේ සිට ඇස ඉදිරියෙහි ඇති කාචය දක්වා දිවෙන නහරයක් ඇත. මෙයද දරුවා උපත ලැබීමට පෙර දිය වී යා යුතුයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී මෙම නහරයෙහි දිය නොවූ කොටස් කිහිපයක්ද කාච රසය තුළ ඉතිරි විය හැකියි.

මේ කැබලි ඇති විය හැකි තවත් ක්‍රමයක්ද ඇත. ඒ ගැන සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන් ඇසෙහි සැකැස්ම අපි කෙටියෙන් සලකමු. කාච රසය ඉතා සියුම් සිවියක් වන හයලොයිඩ් පටලයෙන් වට වී තිබේ. එම පටලය දෘෂ්ටි විතානයේ ඉදිරි මායිමට සම්බන්ධ වී ඇත. දෘෂ්ටි විතානය යනු අපේ ඇසෙහි අභ්‍යන්තරය වටා තිබෙන්නාවූ ආලෝක සංවේදී පටලයයි. අප දකින සියල්ලම මුලින්ම සටහන් කරගන්නේ එයයි. හයලොයිඩ් පටලය දෘෂ්ටි විතානයට සම්බන්ධ වන ස්ථානවල ඉතා කුඩා කෙඳි කිහිපයක් ඇත. මෙම කෙඳි හයලොයිඩ් පටලය වටා ඇති හෙයින් කාච රසයටත් ඇතුල් වේ.

කෙනෙකු වයස්ගත වන විට මෙම කුඩා කෙඳි හැකිළෙන්ට පටන්ගනී. එවිට ඒවා හයලොයිඩ් පටලයෙන් කැඩී වෙන් වී කාච රසයට වැටී පාවෙන්න ගනී. ඒත් එක්කම කෙනෙකුගේ කාච රසයෙහි ඇති ද්‍රව ගතියද වැඩි වෙයි. එවිට එය තුළට වැටුණු මෙම කුඩා කෙඳිවලට වඩාත් පහසුවෙන් එහා මෙහා පාවීමටද පුළුවන්. ඒ විතරක් නොවෙයි, තවත් විපර්යාසයක්ද සිදු වෙනවා. එනම් කාච රසයද හැකිළෙන්ට පටන්ගනී. මෙය සිදු වන විට එය දෘෂ්ටි විතානයෙන් ඈත් වෙයි. මේ ක්‍රියාවලිය නිසා ඒ අවට ඇති සෛල කිහිපයක්ම මිය යයි. එම සෛලද කාච රසයෙහි පාවෙයි. ඒ නිසා, වයස්ගත වූ කෙනෙකුට මෙම “එහෙ මෙහෙ පියාඹන මැස්සෝ” වැඩි වැඩියෙන් දක්නට ලැබුණහොත් එය පුදුමයට කාරණයක් නොවෙයි.

දෘෂ්ටි විතානයට රුධිරය ගෙන එන වාහිනියක් තුවාල වීම නිසාද මෙවැනි කැබලි හටගන්ට පුළුවන්. හිසට වැදුණු පහරක් හෝ අක්ෂි ගෝලයට එල්ල වන අධික පීඩනය නිසා මෙම වාහිනි තුවාල වී ඒවායින් රතු රුධිරාණු පිටට ගලා යන්ට පුළුවන්. රතු රුධිරාණු ඇලෙනසුලුයි. එම නිසා ඒවා එකට ඇලී පොකුරු වශයෙන් හෝ දම්වැල් වශයෙන් ගමන් කරයි. මේවා ඇතැම්විට තනි සෛල වශයෙනුත් එසේ නැතහොත් පොකුරු වශයෙනුත් කාච රසයට ඇතුල් විය හැක. මෙලෙස ගලාගෙන ආ රතු රුධිරාණු දෘෂ්ටි විතානය අසල කාච රසය තුළ පාවෙන්ට ගත්තොත්, ඒවායෙහි ඡායාව දෘෂ්ටි විතානයේ වැටීම නිසා අපට අපේ ඇස ඉදිරියෙහි කැබලි පාවෙනවා මෙන් දකින්ට පුළුවන්. නමුත් ටික කලක් ගත වූ පසු මේ රතු රුධිරාණු නැවතත් ශරීරයටම උරාගැනෙයි. එවිට ඒවා ඇස් ඉදිරියෙහි පාවෙනවා අපි දකින්ට යන්නේ නැති නිසා මෙය තාවකාලික ගැටලුවක්. ඇත්තෙන්ම ඉතා කුඩා පරිමාණයේ ලේ ගැලීමක් නිසා අපේ ඇස් ඉදිරියෙහි කැබලි දැකගත හැකි වුවත්, මෙය අපි කලින් සඳහන් කළ අපේ දෘෂ්ටියට බාධා කරන්නාවූ මස්කි වොලිටාන්ටි ගණයට අයත් වන්නේ නැහැ.

මස්කි වොලිටාන්ටි ඇස්වල හටගත් විට ඉන් කෙනෙකුට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් ඇති බව අදහස් කරනවාද? බොහෝ අවස්ථාවන්හිදී එය බරපතළ ගැටලුවක් නොවෙයි. සාමාන්‍යයෙන් කෙනෙකු මෙවැනි කැබලි තම ඇස් ඉදිරියෙහි පාවෙනවා දුටුවත් කාලයාගේ ඇවෑමෙන් ඒවා ගණන් නොගෙන සිටීමට ඔහු පුරුදු වෙයි. නමුත් තත්වය නරක අතට හැරී ඇති බව අඟවන ලක්ෂණ මොනවාද?

අවදානම් අවස්ථාව

එක්වරම ඔබේ ඇස් ඉදිරියෙහි පාවෙන කැබලි ප්‍රමාණය වැඩි වී ඇතැයි ඔබට හැඟුණහොත් එය විශේෂ අවධානයක් යොමු කළ යුතු සෞඛ්‍ය ගැටලුවක්. ඒත් එක්කම ඔබේ ඇස තුළ තරු පෙනෙනවා නැතහොත් ක්ෂණික ආලෝක ධාරා ඇති වනවායයි විටින් විට ඔබට හැඟිය හැකියි. මෙවන් ලක්ෂණ පහළ වුවහොත් එය සිදු වන්නේ දෘෂ්ටි විතානයේ ඇති වන දුර්වලකමක් නිසයි. දෘෂ්ටි විතානය යනු අපේ ඇසට ඇතුල් වන ආලෝක කිරණවලින් ලැබෙන පණිවිඩ, ස්නායු ඔස්සේ මොළයට යැවිය හැකි ආකාරයට සකස් කරන්නාවූ වැදගත් අවයවයයි. එක්වරම පාවෙන කැබලි ප්‍රමාණය වැඩි වුවහොත් හෝ තරු පෙනීම වැඩි වුවහොත් දෘෂ්ටි විතානය ඇසට සම්බන්ධ වී ඇති ස්ථානවලින් වෙන් වී ඇති බවද අඟවන්ට පුළුවන්. මෙය සිදු වන්නේ කෙසේද?

දෘෂ්ටි විතානයේ ඝනකම, තෙත් කළ ඉතා සියුම් ටිෂූ කඩදාසියක ඝනකමට සමාන කළ හැක. එපමණක් නොව ටිෂූ කඩදාසියක් මෙන් එය විගස ඉරෙන්ටත් පුළුවන්. එය ඇසට සම්බන්ධ වී ඇති ආකාරය මොහොතකට සලකන්න. දෘෂ්ටි විතානයේ ආලෝක-සංවේදී තරලය එය පිටුපසින් ඇති තවත් තරලයකට තදින් සම්බන්ධ වී තිබේ. එහි ඉදිරි කොටස කාච රසයටත්, ඇස පිටුපස ඇති අක්ෂි ස්නායුවටත් මධ්‍ය කූපයටත් සම්බන්ධ වී ඇත. මධ්‍ය කූපය හා දෘෂ්ටි විතානය අතර සම්බන්ධය ඒ තරම් ශක්තිමත් එකක් නෙවෙයි. දෘෂ්ටි විතානයේ ඉතිරි කොටස් කාච දේහය මගින් නියමිත ස්ථානයෙහි රඳවාගනී. එනිසා දෘෂ්ටි විතානයට පහසුවෙන් ගැළවී යා නොහැකියි. තද පහරක් වැදුණු විටකදී පවා සාමාන්‍යයෙන් දෘෂ්ටි විතානය ඉරෙන්නේවත් වෙන් වන්නේවත් නැහැ.

එහෙත් ඇසට වැදුණු තද පහරක් නිසා දෘෂ්ටි විතානයට කොහෙත්ම හානියක් වන්නේ නැහැයයි කිව නොහැකියි. ඇතැම්විට පහරක් නිසා දෘෂ්ටි විතානය දුර්වල විය හැක. සමහරවිට දෘෂ්ටි විතානයෙහි ඉරීමක් හෝ සිදුරක් ඇති වන්නත් පුළුවන්. ක්ෂණික ගැස්සීමක් නිසා කාච රසය හා දෘෂ්ටි විතානය සම්බන්ධ වූ ස්ථානයෙහි ඇදීමක් සිදු වී එය ඉරෙන්ට පුළුවන්. එවිට එතැන සිදුරක් ඇති වෙයි. තවද දෘෂ්ටි විතානය හා කාච රසය සම්බන්ධ වන ස්ථානය කලින් දුර්වල වී තිබුණොත් එය මගින්ද කෙමෙන් කෙමෙන් දෘෂ්ටි විතානයෙහි ඉරීමක් සිදු වී සිදුරක් ඇති විය හැකියි. කාච රසය ද්‍රවයක් බව අප කලින් සාකච්ඡා කළා. ඒ නිසා දෘෂ්ටි විතානය හා කාච රසය පිරි පටලයෙහි මෙවන් සිදුරක් ඇති වූ විට මෙම දියරය දෘෂ්ටි විතානය තුළට කෙමෙන් කෙමෙන් කාන්දු වෙයි. මෙසේ පිටට ගලන දියරය නොහොත් කාච රසය දෘෂ්ටි විතානය යටින් තැන්පත් වෙයි. එවිට දෘෂ්ටි විතානයට ඇතුල් වන ආලෝක කිරණවලින් ලැබෙන පණිවිඩ ස්නායු ඔස්සේ මොළයට යැවිය හැකි සේ සකස් වෙද්දී, ආලෝක කිරණ ශක්තිය බවට පරිවර්තනය කරන ක්‍රියාවලියේ දෝෂ හටගනී. ඒ හේතුවෙන් කෙනෙකුට අභ්‍යන්තරයෙන් තරු නැතහොත් ආලෝක ධාරා පෙනෙනවා කියා හැඟෙන්න පුළුවන්.

දෘෂ්ටි විතානයට අවශ්‍ය රුධිරය සැපයීමට එහි අභ්‍යන්තර තරලයේ රුධිර නාලිකා ගණනාවක් ඇත. යම් හෙයකින් ඉරීමක් ඇති වී දෘෂ්ටි විතානයෙන් කාච රසය පිරි පටලය වෙන් වුවහොත් දෘෂ්ටි විතානයෙන් රුධිර ගැලීමක් සිදු වෙයි. ගැලිය හැකි රුධිර ප්‍රමාණය නිශ්චිත ලෙසම කිව නොහැකියි. නමුත් දෘෂ්ටි විතානයෙන් ගලන මේ රුධිරය කාච රසය තුළට ඇතුල් වී පාවෙන්ට ගනියි. මේ නිසා මෙය සිදු වූ විට කෙනෙකුට තමාගේ ඇස් ඉදිරියෙහි පාවෙන තිත් හෝ කැබලි සංඛ්‍යාව බෙහෙවින් වැඩි වී ඇති බව දැනෙයි. වැඩි කලක් ගතවීමට පෙර දෘෂ්ටි විතානය සම්පූර්ණයෙන්ම වෙන් වෙයි. එවිට ක්‍රමානුකූලව කෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී අවසානයේදී පෙනීම සම්පූර්ණයෙන්ම නැති වී යයි.

ඒ නිසා ඔබේ ඇස් ඉදිරියෙහි පාවෙන තිත් හෝ කැබලි සංඛ්‍යාව වැඩි වෙනවා කියා ඔබට හැඟුණොත් පමා නොවී පියවර ගත යුතුයි. කැබලිවල වැඩිවීමක් සමඟම ඔබට ඇස් අභ්‍යන්තරයෙන් තරු නොහොත් ආලෝක ධාරා පෙනුණොත් වහාම අක්ෂි විශේෂඥයෙකුව හමු වන්න! එවැන්නෙක්ව මුණගැසීමට ඔබට නොහැකි වුවහොත් අඩුම තරමින් ආරෝග්‍ය ශාලාවකටවත් ගොස් වහාම ප්‍රතිකාර ලබාගන්න. ඔබේ දෘෂ්ටි විතානය කාච දේහයෙන් වෙන් වී තිබෙන්ට පුළුවන්. දෘෂ්ටි විතානයක් සම්පූර්ණයෙන් වෙන් වූ පසු කිරීමට කිසිම ප්‍රතිකාරයක් නැති විය හැකියි.

ඔබ බොහෝ කලක් තිස්සේ ඔබේ ඇස් ඉදිරියෙහි තිත් හෝ කැබලි පාවෙනවා දැක තිබෙන්ට පුළුවන්. එහෙත් ඔබ කිසි දිනෙක ඔබේ ඇස් අභ්‍යන්තරයෙන් තරු හෝ ආලෝක ධාරා නොදැක ඇති. එසේ නම් ඔබ ඒ ගැන අනිසි ලෙස කරදර වන්ට අවශ්‍ය නැහැ. ඇත්තෙන්ම මෙය හුඟදෙනෙක් අද්දකින සාමාන්‍ය දෙයක්. බොහෝ අවස්ථාවන්හිදී මෙයින් කිසිම අනතුරක් එල්ල වන්නේ නැහැ. ඔබට ඒවා ඉවත් කරගන්න බැරි වුණත් කාලයාගේ ඇවෑමෙන් ඔබට ඒවා තිබෙනවා කියලවත් තේරෙන්නේ නැති වෙයි. ඊට හේතුව, ඔබේ මනස ක්‍රමානුකූලව ඒවා නොසලකා හැරීමට පුරුදු වන නිසයි. මෙවැනි කැබලි ඔබේ ඇස් අභ්‍යන්තරයෙහි පාවෙමින් තිබුණත් ඔබේ පෙනීමට මහත් හානියක් වන්නේ නැහැ. මෙවන් බාධාවන් තිබුණත් ඇස ක්‍රියා විරහිත නොවීම එය පුදුමාකාර නිර්මාණයක් බවට තවත් සාක්ෂියක්. අපේ මනසද මෙවන් දෙයකට ඔරොත්තු දීමට සැකසුණු විශේෂිත අවයවයක් බව මෙයින් පෙනී යයි.

කෙසේවෙතත් ඇස ඉදිරියෙහි තිත් හෝ කැබලි පාවෙනවා කියා පෙනෙන කෙනෙකුට සෞඛ්‍යමය ගැටලුවක් තිබෙනවාද නැද්ද යන්න හරියටම කිව හැක්කේ, අක්ෂි විශේෂඥයෙකු හෝ දෘෂ්ටි විශේෂඥයෙකුගේ පරීක්ෂාවකින් පසුවයි.

[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නූතන වර්තන සැකසුමෙහි මූලාරම්භය

මස්කි වොලිටාන්ටි නිසා ලොවට යහපතක්ද වී තිබෙනවා. දහනවවන ශතවර්ෂයේ ෆ්‍රාන්ස් කොර්නේලිස් ඩොන්ඩර්ස් නම් ප්‍රවීණ වෛද්‍යවරයාට මස්කි වොලිටාන්ටි පිළිබඳව දත්ත රැස් කරගැනීමට මහත් ඕනෑකමක් ඇති වුණා. ඇති වූ ඒ කුතුහලය නිසා ඔහු ඇසෙහි ක්‍රියාකාරිත්වය හා ඇස් රෝග පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කළේය. ඔහු කෙනෙකුගේ ඇසක මස්කි වොලිටාන්ටි ඇති විය හැකි ක්‍රම කිහිපයක් සොයාගත්තා පමණක් නොව, ඇස්වල වෙනත් ආබාධ කිහිපයකට ප්‍රතිකාර කිරීමේ මාර්ග සොයාගැනීමටද ඔහුට හැකි විය. දූර දෘෂ්ටිකත්වයට හේතුව අක්ෂි ගෝලය කුඩාවීම බව ඔහු සොයාගත්තා. විෂම දෘෂ්ටිකතාව නිසා බොඳ වී පෙනීමට හේතුව කුණිතය රළුවීම කියාද ඔහු සොයාගත්තා. පෙනීමේ දුර්වලතාවලට ඇස් කණ්ණාඩි මාර්ගයෙන් ප්‍රතිකාර කිරීමේ ක්ෂේත්‍රය දියුණු කිරීමට ඔහුගේ මෙම අධ්‍යයනය දායක වුණා.

[පින්තූරය]

ඩොන්ඩර්ස්

[හිමිකම් විස්තර]

National Library of Medicine අනුග්‍රහයෙනි

[12වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

දෘෂ්ටි විතානයේ සිදුරක්

රතු රුධිරාණු

වෙන් වූ දෘෂ්ටි විතානයක්

හයලොයිඩ් පටලය

කාචය

කණිනිකාව

කාච රසය

රුධිරවාහිනි

තාරා මණ්ඩලය

පක්ෂ්මීය දේහය

මොළය හා සම්බන්ධ අක්ෂි ස්නායුව