Skip to content

පටුනට යන්න

ඔබ නම් එය අතපසු කරන එකක් නැහැ!

ඔබ නම් එය අතපසු කරන එකක් නැහැ!

ඔබ නම් එය අතපසු කරන එකක් නැහැ!

මේ මොකක් ගැනද කතා කරන්නේ? යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවත්වන්න යන “දෙවිගේ වචනය පිළිපදින්නෝ” නමැති දිස්ත්‍රික් සමුළුව ගැනයි. අගෝස්තු මාසය මුලදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු පිළියෙළ කර තිබෙන මෙම සමුළු ඉදිරි මාසවලදී ලොව පුරා නගර බොහොමයක පැවැත්වීමට නියමිතව ඇත. ස්ථාන බොහොමයක වැඩසටහන ආරම්භ වන්නේ සිකුරාදා උදෑසන 9:30ට සංගීතය සමඟිනි.

දෙවිගේ වචනය පවසන දේවලට සාවධානව ඇහුම්කන් දීමට දිරිගැන්වීමක් සපයමින් වැඩසටහන ආරම්භ වනු ඇත. අනතුරුව, “යෙහෝවාගේ යහපත්කම ගැන ප්‍රීතියෙන් ඉපිල යන්න” හා “අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටින්න” යන තේමාවලින් යුත් කතා උදෑසන වැඩසටහනේ ඉදිරිපත් කරනු ඇත. “පුදුම ක්‍රියා කරන යෙහෝවාට ප්‍රශංසා කරන්න” යන තේමාවෙන් යුත් සමුළුවේ මූලික ඇමතුමෙන් පසු උදෑසන වැඩසටහන නිමාවට පත් වේ.

“යහපත්කම් කිරීමට මැළි නොවෙමු.” දහවල් සැසිවාරයේ ආරම්භක කතාවේ තේමාව එයයි. මෙම කතාවෙන් අනතුරුව කොටස් තුනකින් යුත් කතා මාලාවක් ඉදිරිපත් කරනු ලබන අතර, එහිදී කලත්‍රයෙක් තෝරාගන්නේ කෙසේද, ආත්මිකව ශක්තිමත් පවුලක් ගොඩනඟන්නේ කෙසේද හා යෙහෝවාට ප්‍රේම කිරීමට දරුවන්ට උගන්වන්නේ කෙසේද යන කාරණා අවධානයට යොමු කරනු ඇත. ඉන් අනතුරුව අප ඇහුම්කන් දෙන්න යන්නේ “යෙහෝවාගේ සංවිධානය සමඟම ගමන් කිරීම” යන තේමාවෙන් යුත් මුල් දිනයේ අවසන් කතාවටයි. මෙම කතාවේදී දෙවිගේ අරමුණු තේරුම්ගැනීම සම්බන්ධයෙන් නවීන කාලවලදී ක්‍රමානුකූලව ලබා තිබෙන ප්‍රගතිය සලකා බලනු ඇත.

“දෙවිගේ වචනයෙහි සේවකයෝ” යන තේමාවෙන් යුත් කොටස් තුනකින් යුත් දෙවන කතා මාලාව සෙනසුරාදා උදෑසන වැඩසටහනේදී ඉදිරිපත් කිරීමට නියමිතය. අපට පවරා තිබෙන ගෝලයන් සෑදීමේ වැඩය සඳහා යෝජනා මෙම කතා මාලාවෙන් ඉදිරිපත් කරනු ඇත. ඉන්පසු, “දෙවිව ලජ්ජාවට පත් නොකිරීමට වගබලා ගැනීම” යන තේමාවෙන් යුත් හද දනවනසුලු කතාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව තිබෙන්නේ බව්තීස්ම කතාවයි. බව්තීස්ම වීමට සුදුසුකම් ලබා තිබෙන අයට මෙම සමුළුවේදී බව්තීස්ම වීමට කටයුතු යොදා තිබේ.

දහවල් සැසිවාරයේදී ඉදිරිපත් කරන කොටස් තුනකින් යුත් තුන්වන කතා මාලාවේදී “ආත්මිකත්වය ගොඩනැඟීමට වෙහෙස මහන්සි වන්න” යන තේමාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇත. මෙම කතා මාලාව මගින් ආත්මිකත්වය වර්ධනය කිරීමට අවශ්‍ය කරන ප්‍රායෝගික යෝජනාද ඉදිරිපත් කරනු ඇත. “දෙවිගේ වචනයෙන් ප්‍රගතිශීලීව නික්මෙන ආලෝකයෙහි ගමන් කරන්න” යන තේමාවෙන් යුත් අපේ ආත්මික අවබෝධය පුළුල් කරන කතාව සමඟින් සෙනසුරාදා දින වැඩසටහන නිමාවට පත් වේ. මෙම කතාවේදී යෙසායා 25 සහ 26 යන පරිච්ඡේද සාකච්ඡා කරමින්, බයිබලයෙහි අඩංගු මෙම සිත්ගන්නාසුලු පොත අපට වඩාත් හොඳින් තේරුම්ගත හැකි ආකාරය විස්තර කරනු ඇත.

“දෙවිගේ කැමැත්ත කරන්නන් සඳහා ශෙපනියාගේ අර්ථාන්විත අනාවැකිය” යන තේමාවෙන් යුත් කොටස් තුනකින් සමන්විත අවසන් කතා මාලාව ඉරිදා උදෑසන ඉදිරිපත් කරනු ඇත. එම අනාවැකිය පුරාණයේ විසූ යූදා ජාතියට අදාළ වූ ආකාරයත්, අපේ කාලයට, විශේෂයෙන්ම මේ ලෝකයේ තිබෙන ආගම්වලට අදාළ වන ආකාරයත් එමගින් පැහැදිලි කරන්න යනවා. ඉන්පසු, “අපේ කාලයට අනතුරු ඇඟවීමක්” යන තේමාවෙන් යුත් පුරාණ බයිබල් චරිත රඟ දක්වන නාට්‍යයක් ඔබට නැරඹිය හැක. ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වීමට ආසන්නව සිටියදී, ඉශ්‍රායෙල් පුරුෂයන් දුරාචාරයට හසුවීම ගැන එම නාට්‍යයෙන් සාකච්ඡාවට ලක් කරනු ඇත. ඉරිදා දහවල් සැසිවාරයේ ඉදිරිපත් කරන සමුළු වැඩසටහනේ අවසන් අංගවලින් එකක් වන්නේ ප්‍රසිද්ධ කථාවයි. “දෙවිගේ පුදුම ක්‍රියා කල්පනාවට ගත යුතු හේතු” යන තේමාවෙන් එය ඉදිරිපත් කෙරේ.

මෙම සමුළුවේ දවස් තුනටම යෑමට දැන්ම සැලසුම් කරන්න. සමුළු පවත්වන ස්ථාන ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගන්න. නැත්නම් මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලියා දැනගන්න. ශ්‍රී ලංකාවේ මෙම සමුළු පවත්වන ස්ථාන, අප ප්‍රකාශයට පත් කරන අනෙක් සඟරාව වන මුරටැඹ සඟරාවේ පෙබරවාරි 15 කලාපයේ සඳහන් වේ.