Skip to content

පටුනට යන්න

කාමුක දර්ශන අන්තර්ජාලය ඔස්සේ

කාමුක දර්ශන අන්තර්ජාලය ඔස්සේ

කාමුක දර්ශන අන්තර්ජාලය ඔස්සේ

අන්තර්ජාල භාවිතය දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතී. ලොව පුරා මිලියන ගණන් මනුෂ්‍යයන්ට එය ඉමහත් සේ ප්‍රයෝජන ගෙන දේ. සමහරු ව්‍යාපාර ගනුදෙනු කිරීමට, දස දෙසින් එන පුවත් කියවීමට, කාලගුණ වාර්තාව දැනගැනීමට, විවිධ රටවල තොරතුරු ලබාගැනීමට, ගමන් බිමන් යෑම සඳහා අවශ්‍ය තොරතුරු එකතු කිරීමට හෝ ලොවේ හැම තැනකම පාහේ විසිර සිටින තම පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට අන්තර්ජාලයේ පිහිට පතති. එනමුත් තවත් සමහරු අන්තර්ජාලය වෙත පිවිසෙන්නේ හාත්පසින්ම වෙනස් හේතුවක් සඳහාය. මේ අය අතරේ විවාහක මෙන්ම තනිකඩ වැඩිහිටියන්ද සිටියි. පුදුමයට කරුණක් වන්නේ දරුවන් විශාල සංඛ්‍යාවක්ද සිටීමය. ඔවුන් සැමගේ අභිලාෂය? කාමුක දර්ශන නැරඹීමය!

අන්තර්ජාලය ඔස්සේ කාමුක දර්ශන නැරඹීම කොතරම් ජනප්‍රිය දෙයක් වී ඇද්ද කිවහොත් එය ඩොලර් මිලියන ගණන් උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඒ සම්බන්ධව ද වෝල් ස්ට්‍රීට් ජර්නල් මෙම අදහස පළ කළේය. “දැන් තිබෙන වෙබ් අඩවිවලින් ගජ ලාභ ලබන්නේ කාමුක දර්ශන ප්‍රදර්ශනය වන ඒවායි.”

එම ජර්නලය, කාමුක දර්ශන නැරඹීමට බොහෝදෙනෙකු අන්තර්ජාලය වෙත හැරීමට හේතුව තවදුරටත් පැහැදිලි කළේ මෙසේය. “කාමාශාව සන්සිඳුවාගැනීමට පොත්හලකට හෝ ළඟපාත වීඩියෝ සාප්පුවකට යන්න නම් සෑහෙන ධෛර්යයක් උපදවාගත යුතුය. නමුත් අන්තර්ජාලය තුළින් එවැනි අපහසුතාවක් අද්දැකීමට සිදු වන්නේ නැත. නිවසක හෝ කාර්යාලයක පිහිට ඇතුව තමාට කැමති කැමති කාමුක දර්ශන නැරඹීමේ නිදහස තිබේ.”

දරුවන්ද ඉන් ගැළවී නැත

අන්තර්ජාලය මගින් කාමුක දර්ශන බලන අය අතර දරුවන් රැසක් සිටීම කනගාටුවට හේතුවකි. කාමුක පොත් පත් ලබාගැනීම හෝ කාමුක වීඩියෝ පටි කුලියට ගැනීම දරුවන්ට නීතියෙන් තහනම් කර තිබේ. එනමුත් පරිගණක මවුසය පාවිච්චි කර පහසුවෙන්ම එවැනි දර්ශන අන්තර්ජාලයෙන් නැරඹීමට ඔවුන්ට පුළුවන. නැරඹිය හැකි දර්ශනවලට සීමාවක් නොමැති තරම්ය.

බොහෝ දරුවන් අන්තර්ජාල අඩවිවලට පිවිසෙන්නේ තම දෙමාපියන්ගේ අනුදැනුම නැතුවය. ද ඩීට්‍රොයිට් නියූස් නමැති පුවත්පතට අනුව, “දෙමාපියන්ගෙන් සියයට 85ක් පමණ අන්තර්ජාලයට පිවිසීම සම්බන්ධයෙන් දැඩි නීති පැනවුවද, සෑම දරුවන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුම යම්කිසි වෙබ් අඩවියකට පිවිස හෝ අන්තර්ජාලයෙන් ලැබෙන යම් සේවාවකට දායක වී ඇත.”

දරුවන් සහ වැඩිහිටියන් වැඩි පිරිසක් තමන් කාමුක දර්ශන බලනවා යන කාරණය සැඟවීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද, සියල්ලන්ම එසේ කිරීමේ අවශ්‍යතාව දකින්නේ නැත. සමහරුන් එය සලකන්නේ අහිංසක විනෝදාංශයක් ලෙසයි. කාමුක දර්ශන නැරඹීම දරුවන්ට යෝග්‍ය නැති බව තවත් සමහරුන් පිළිගත්තද, වැඩිහිටියන් පෞද්ගලිකව කරන දේට අප ඇඟිලි නොගැසිය යුතු බව ඔවුහු තරයේ කියා සිටිති.

ඇතැම් රටවල කාමුක කෘති සම්බන්ධ මතභේදය සමාජය දෙකඩ කරමින්, මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වී තිබේ. එක් පාර්ශ්වයක් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගෙනහැර දක්වමින් කාමුක කෘති ප්‍රචලිත කිරීමේ වරදක් නැතැයි කියා සිටියි. අනික් අතට, පවුල් රැකගැනීමට උත්සුක වන අය තරයේ කියා සිටින්නේ ආණ්ඩු බලධාරීන් විසින් කාමුක කෘති සහමුලින්ම තහනම් කළ යුතු බවය.

සමාජය දෙකඩ කරවන මෙවැනි ප්‍රශ්නවලදී, පිබිදෙව්! පැති ගැනීමෙන් වැළකී සිටියි. කෙසේවෙතත් මෙම ලිපි මාලාවට අරමුණක් තිබේ. කාමුක දර්ශන නැරඹීම අනතුරු සහිතය. එමනිසා එම අනතුරු ගැන දැනුවත් කිරීම එක් අරමුණකි. තවද තමන්ව මෙන්ම තමන්ගේ පවුලේ සාමාජිකයන්ව ආරක්ෂා කරගත හැකි ආකාරය ගැන අපගේ පාඨකයන්ව දැනුවත් කිරීමටත්, කාමුක දර්ශන නැරඹීමේ උගුලට හසු වී ඉන් මිදීමට උත්සාහ දරන අයට බයිබලය මත පදනම් යෝජනා කිහිපයක් සැපයීමටත් අපි අදහස් කරන්නෙමු.