Skip to content

පටුනට යන්න

ටයි පටියේ ඉතිහාසය

ටයි පටියේ ඉතිහාසය

ටයි පටියේ ඉතිහාසය

ශතවර්ෂ ගණනාවක් පුරා පිරිමි පක්ෂය තම ගෙල වටා යමක් පැළඳීමට කැමැත්තක් දක්වා තිබෙනවා. මෙයට නිදසුනක් වශයෙන්, පො.යු.පෙ. 1737දී මිසරයේ ඵාරාවෝ යෝසෙප්ට දුන් රත්තරන් මාලය සඳහන් කළ හැකියි.—උත්පත්ති 41:42.

අද බොහෝ රටවල වෙසෙන පිරිමින් ටයි පටියක් පළඳිනවා. දහසයවන සියවසේ අගභාගය වන විට එංගලන්තයේ හා ප්‍රංශයේ බොහෝ පිරිමින් ජැකැට්ටුවක් ඇඳීමට පටන්ගත්තා. මෙම ජැකැට්ටුව අලංකාරවත් කිරීම සඳහා රැළි කර පටියක්ද ඔවුන් ඇඳ සිටියා. කර පටියේ හැඩය හරියට විශාල රවුම් පිඟානක් හා සමානව තිබුණා. එය ගෙල වටා පැළඳි අඟල් කිහිපයක් පළල වළල්ලක්. එය සුදු රෙදිවලින් සෑදූ අතර, එහි හැඩය දිගටම පවත්වාගැනීමට කැඳ පාවිච්චි කළා. ටයි පටියේ මූලාරම්භය මෙයයි කියා බොහෝ මූලාශ්‍රවල පවසා තිබෙනවා.

කාලයාගේ ඇවෑමෙන් රැළි කර පටිය වෙනුවට උරහිස් සම්පූර්ණයෙන්ම වැසී යන ආකාරයට වැලමිට දක්වා වැටෙන සුදු පාට කොලරයක් ඇඳීමට පටන්ගත්තා. මෙම කොලරවලට වැන්ඩයික් යන නමද දී තිබුණා. ප්‍යූරිටන් නමැති ක්‍රිස්තියානි නිකායට අයත් අය අතරේ මෙම කොලරය ජනප්‍රිය වී තිබුණා.

දහහත්වන සියවසේදී, සාමාන්‍යයෙන් අඳින දිග කබායට අමතරව යට කබාය වශයෙන් හැඳින්වූ තවත් කබායක් ඇඳීමට පටන්ගත්තා. එය සමඟ ගෙල වටා සළුවක් වැනි කර පටියක්ද ඔවුන් ඇඳ සිටියා. මෙම සළුව ගෙල වටා දෙතුන් වතාවක් එතූ අතර, එය ඇන්දේ කොන් දෙක කමිසයේ ඉදිරිපස දෙපැත්තෙන් එල්ලෙන ලෙසයි. දහහත්වන සියවසේ අගභාගයේදී නිර්මාණය කළ කලා කෘති දෙස බැලූ විට, මෙම සළුව ඒ කාලයේ ජනප්‍රිය විලාසිතාවක් බවට පත් වී තිබුණ බව පැහැදිලි වෙනවා.

සාමාන්‍යයෙන් මෙම සළු සෑදීමට භාවිත කළේ කපු, ලිනන් හෝ ලේස් වැනි රෙදිය. ලේස්වලින් සාදන ලද ඒවා මිල අධික වුණා. එංගලන්තයේ IIවන ජේම්ස් රජුගේ ඔටුනු පැළඳීමේ උත්සවය සඳහා ඔහු පවුම් 36ක් හා ශිලිං 10ක් වියදම් කර සළුවක් සාදවාගත් බව පැවසෙයි. ඒ කාලයේදී මෙය සෑහෙන ලොකු මුදලක් වශයෙන් සැලකුවා. ලේස්වලින් සෑදූ සමහර සළු සෑහෙන විශාලයි. වෙස්ට්මිනිස්ටර් පල්ලියේ තිබෙන IIවන චාල්ස් රජුගේ ප්‍රතිමූර්තියේ පෙන්වන ආකාරයට, ඔහු අඟල් 6ක් පළල හා අඟල් 34ක් දිග සළුවක් ඇඳ සිටියා.

සළුවක් ගැටගැසීමට විවිධ ගැට භාවිත කළා. බොහෝ විට එය එක තැනක රඳවාගැනීම සඳහා සිල්ක් රිබන් පටියක් එයට අල්ලා, ඉන්පසු නිකට යටට වෙන්න එයින් ලොකු බෝ එකක් බැන්දා. මේ ආකාරයට පැළඳගත් සළුවක් සොලිටෙයාර් යන නමින් හැඳින්වුවා. බෝ එක හරියට අද කාලයේ පළඳින බෝ පටිය හා සමානයි. සළුවක් ගැටගැසීම සඳහා පිළිගත් ක්‍රම සියයකටත් වැඩිය තිබෙන බව ඇතමෙක් පවසනවා. පිරිමින්ගේ විලාසිතා නිර්මාණය කිරීමට මහත් සේ දායක වූ කෙනෙකි, ඉංග්‍රීසි ජාතික බෝ බ්‍රමල්. ඔහු තම සළුව සකස් කිරීම සඳහා එක් දිනක් මුළු උදේ වරුවම ගත කළ බව පැවසෙනවා!

එක්දහස් අටසියහැට ගණන්වලදී දිග කොන් සහිත සළුව ජනප්‍රිය වීමට පටන්ගත්තා. එය අද කාලයේ පළඳින ටයි පටියට සමාන කරන්න පුළුවන්. එය බැඳීම සඳහා ෆෝ ඉන් හෑන්ඩ් වශයෙන් හැඳින්වෙන විශේෂ ගැටයක් භාවිත කළා. කොලර සහිත කමිසද ජනප්‍රිය විලාසිතාවක් බවට පත් වුණා. ටයි පටියේ ගැටය බෙල්ලට වෙන්න බැඳ තිබුණ අතර එහි දිග පටි දෙක කමිසය ඉදිරියෙන් වැටෙන්න සැලැස්සුවා. අදදින පළඳින ටයි පටියේ ආරම්භය එයයි. එක්දහස් අටසිය අනූ ගණන්වලදී තවත් ටයි පටියක් ජනප්‍රිය වීමට පටන්ගත්තා. ඒ තමයි බෝ පටිය.

අදදින ඇතැම් රටවල පිරිමියෙකු විසින් ටයි පටියක් පැළඳීම ඉතා වැදගත් දෙයක් වශයෙනුයි සලකන්නේ. ඇතැම් අය නාඳුනන කෙනෙකුගේ ටයි පටියෙන් ඔහුගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් යම් යම් දේවල් තීරණය කිරීමට පවා පුරුදු වී තිබෙනවා. එමනිසා ඔබේ කමිසයට, කලිසමට හා ජැකැට්ටුවට ගැළපෙන පාටක් හා මෝස්තරයක් ඇති පිරිසිදු ටයි පටියක් පළඳින එක වැදගත්.

දාගන්න යන ගැටය කුමක් හෝ වේවා එය ලස්සනට දාගැනීමට පුරුදු වෙන්න. අදදින හුඟක් දුරට භාවිත කරන්නේ ෆෝ ඉන් හෑන්ඩ් නමැති ගැටයයි. (14වන පිටුවේ රූප සටහන බලන්න.) එය ලස්සන, චාම් පෙනුමක් ඇති ගැටයක් වන අතර විශේෂ අවස්ථාවලටත් එය සුදුසුයි. තවත් ජනප්‍රිය ගැටයක් වන්නේ ෆෝ ඉන් හෑන්ඩ් ගැටයට වඩා තරමක් විශාල වින්ඩ්සර් ගැටයයි. එම ගැටයට පොඩ්ඩක් පහළින් කුඩා කානුවක් හා සමාන හැඩයක් දැකගන්න පුළුවන්.

බොහෝදෙනෙක් ටයි පටියක් පළඳින්න ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන්ගේ බෙල්ල හිර වෙනවා වගේ ඔවුන්ට දැනෙනවා. නමුත් බොහෝදුරට මෙයට හේතුව වන්නේ ඇඳගෙන සිටින කමිසයයි. එහි කොලරය උවමනාවට වඩා පොඩි වුණාම බෙල්ල හිර වන ගතියක් දැනෙනවා. නමුත් කොලරය සාමාන්‍ය ගානකට තිබෙන විට ටයි පටියක් දාගෙන සිටින බව ඔබට දැනෙන්නේවත් නැතුව යයි.

ඇතැම් රටවල ව්‍යාපාර කටයුතුවලදී හෝ වැදගත් අවස්ථාවලදී ටයි පටියක් පැළඳීම අත්‍යවශ්‍ය දෙයක් වශයෙන් සලකනවා. එමනිසා බොහෝ ක්‍රිස්තියානි පුරුෂයන් තම දේවසේවයේ යම් අංගවල නියැලෙද්දී ටයි පටියක් පැළඳීමට පුරුදු වී සිටිනවා. ඇත්තෙන්ම, කෙනෙකුට ගෞරවාන්විත හා වැදගත් පෙනුමක් ලබා දීමට ටයි පටියකට හැකියි.

[14වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ෆෝ ඉන් හෑන්ඩ් ගැටයක් බඳින ආකාරය a

1 ටයි පටියේ මහත කොටස එහි සිහින් කොටසට වඩා අඩියක් පමණ දිගට තබාගන්න. ඊට පස්සේ මහත කොටස සිහින් කොටස හරහා ගෙනැවිත් යටි පැත්තෙන් අනික් පැත්තට ගන්න.

2 මහත කොටස නැවතත් සිහින් කොටස හරහා යවමින් යටි පැත්තට ගෙන, දැමීමට යන ගැටයට ඉහළින් නැවතත් උඩට ගන්න.

3 දබර ඇඟිල්ලෙන් ගැටය සැහැල්ලුවට අල්ලා ගැටය තුළට මහත කොටස දමා පහළට අදින්න.

4 සිහින් කොටස අල්ලා ගැටය කොලරය දෙසට තල්ලු කර එය සෙමෙන් තද කරන්න.

[පාදසටහන]

a කමිසය හා ටයිපටිය යන පොත ඇසුරෙන්.

[15වන පිටුවේ පින්තූර]

දහහත්වන සියවසේ සිට අද දක්වා ටයි පටි විලාසිතා