Skip to content

පටුනට යන්න

දෙවි වෙනස් වනසුලු කෙනෙක්ද?

දෙවි වෙනස් වනසුලු කෙනෙක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

දෙවි වෙනස් වනසුලු කෙනෙක්ද?

මානව විද්‍යාඥයෙකු වූ ජෝජ් ඩෝර්සි “පැරණි ගිවිසුමේ” දෙවිව විස්තර කර තිබෙන්නේ “ම්ලේච්ඡ දෙවිකෙනෙකු” ලෙසය. ඔහු මෙසේද පැවසීය: “යාවේ . . . නපුරුම නපුරු දෙවි කෙනෙක්. ඔහු කොල්ලකන, වධහිංසා දෙන, සටන්කාමී මෙන්ම කෙසේ හෝ ජයගන්න කෙනෙක්.” යාවේ නැතහොත් යෙහෝවා යන “පැරණි ගිවිසුමේ” දෙවි සම්බන්ධයෙන් වෙනත් අයද එවැනිම නිගමනයන්ට එළඹී ඇත. මෙබැවින්, යෙහෝවා, ප්‍රේමනීය මෙන්ම දයාන්විත දෙවි කෙනෙකු මෙන් “නව ගිවිසුම” තුළින් පෙනී සිටීමට තම පෞද්ගලිකත්වය සකස් කරගත් නපුරු දෙවි කෙනෙකු වන්න බැරිද කියාත් අදදින සමහරු කල්පනා කරති.

බයිබලයේ සඳහන් දෙවි පිළිබඳ එවැනි අදහසක් අලුත් යමක් නොවේ. මුලින්ම මෙවැනි අදහසක් ඉදිරිපත් කරනු ලැබුවේ පො.යු. දෙවන සියවසේ යම් දුරකට ඥානවාදියෙක් වශයෙන් සැලකිය හැකි මාර්සියන් විසිනි. මාර්සියන් “පැරණි ගිවිසුමේ” දෙවිව ප්‍රතික්ෂේප කළේය. ඔහු එම දෙවිව සැලකුවේ, ප්‍රචණ්ඩ හා පළිගන්නාසුලු, තමන්ට නමස්කාර කරන අයට පමණක් ද්‍රව්‍යමය ත්‍යාග පිරිනමන කෲර පාලකයෙකු හැටියටය. අනික් අතට, මාර්සියන් “නව ගිවිසුමේ” දෙවිව විස්තර කළේ, යේසුස් ක්‍රිස්තුස් තුළින් එළිදරව් වූ කරුණාබරිත, සමාව දෙන, පවිත්‍ර ප්‍රේමයෙන් හා දයාවෙන් පිරි පරිපූර්ණ දෙවි කෙනෙකු වශයෙනි.

වෙනස් වන තත්වයන්ට අනුව යෙහෝවා සකස් වේ

යෙහෝවා යන දෙවිගේ නමේ අර්ථය “සිදුවීමට සලස්වයි” යන්නය. යෙහෝවා තම පොරොන්දු සියල්ලක්ම ඉටු කරන තත්වයට තමාවම පත් කරගන්න බවයි මින් අදහස් කරන්නේ. මෝසෙස් දෙවිගෙන් නම ඇසූ විට, යෙහෝවා එහි අර්ථය විස්තර කළේ මෙයාකාරයෙනි: “මම යම්සේ සිටිම්ද එසේම සිටිමි.” (නික්මයාම 3:14) රොදහම්ගේ පරිවර්තනය එය දක්වන්නේ මෙයාකාරයෙනි: “මම කැමති තත්වයකට පත් වෙමි.”

එබැවින්, ඔහුගේ ධර්මිෂ්ඨ අරමුණු හා පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය මොනයම් තත්වයකට හෝ පත්වීමට යෙහෝවා තෝරාගන්නේය. ඔහුව පදවි නාම හා විවිධ යෙදුම් බොහෝමයකින් හඳුන්වනු ලැබීම මෙයට සාක්ෂියකි. ඔහුව සේනාවල යෙහෝවා, විනිශ්චයකාරයා, පරමාධිපති, අන්‍ය භක්තිය නොඉවසන තැනැත්තා, පරමාධිපති වූ ස්වාමීන්, මැවුම්කරු, පියාණන්, උදාර උපදේශක, එඬේරා, යාච්ඤා අසන තැනැත්තා, මිදුම්කාරයා, සන්තෝෂවත් දෙවි හා වෙනත් බොහෝ නම්වලින් හඳුන්වනු ලැබේ. තම ප්‍රේමනීය අරමුණු ඉටු කිරීම සඳහා මේ සියලුම තත්වයන්ට මෙන්ම ඊටත් වඩා බොහෝ තත්වයන්ට පත්වීමට ඔහු කටයුතු කර ඇත.—නික්මයාම 34:14, NW; විනිශ්චයකාරයන් 11:27; ගීතාවලිය 23:1; 65:2; 73:28, NW; 89:26; යෙසායා 8:13, NW; 30:20, NW; 40:28; 41:14; 1 තිමෝති 1:11, NW.

එසේනම් මින් අදහස් කරන්නේ දෙවිගේ පෞද්ගලිකත්වය හෝ ප්‍රමිති වෙනස් වන බවක්ද? නැත, දෙවි සම්බන්ධයෙන් යාකොබ් 1:17 [NW] මෙසේ පවසයි: “ඔහු සේයා මාත්‍රයකුදු වෙනස් නොවනසුලු දෙවිකෙනෙකි.” වෙනස් නොවී සිටින අතරතුරේදීම වෙනස් වන තත්වයන්ට අනුව සකස් වීමට දෙවිට හැකි වන්නේ කෙසේද?

තම දරුවන්ගේ සුභසිද්ධිය උදෙසා නොයෙක් වැඩවල යෙදෙන සැලකිලිමත් දෙමාපියන්ගේ ආදර්ශය මෙයට හොඳ උදාහරණයකි. එක දවසක් ඇතුළත දෙමාපියෙක් කෝකියෙකු, ගෘහපාලකයෙකු, විදුලි කාර්මිකයෙකු, සාත්තු සේවකයෙකු, මිත්‍රයෙකු, උපදේශකයෙකු, ගුරුවරයෙකු, හික්මවන්නෙකු මෙන්ම ඊටත් වඩා දේවල් ඉටු කරන්නෙකු බවට පත් වේ. මේ වැඩ කොටස් අනුව දෙමාපියාගේ පෞද්ගලිකත්වය වෙනස් වන්නේ නැත. පැනනඟින අවශ්‍යතාවන්ට අනුව ඔහු හෝ ඇය සකස් වේ. යෙහෝවා සම්බන්ධයෙන්ද මෙය ඊටත් වඩා විශාල පරිමාණයකින් සැබෑවක් වේ. ඔහුගේ අරමුණු ඉටු කිරීම සඳහාත්, ඔහුගේ මැවිලිවල ප්‍රයෝජනය සඳහාත් තමාව විවිධ තත්වයන්ට පත් කරගැනීමට ඔහුට තිබෙන්නේ අසීමිත හැකියාවකි.—රෝම 11:33.

උදාහරණයක් වශයෙන්, හෙබ්‍රෙව් හා ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි යන දෙකෙහිම යෙහෝවාව දක්වා තිබෙන්නේ ප්‍රේමයේ හා දයාවේ දෙවිකෙනෙකු වශයෙනි. පොදු යුගයට පෙර අටවන සියවසේදී සිටි ප්‍රොපේත මීකා යෙහෝවා සම්බන්ධයෙන් මෙසේ ඇසීය: ‘අපරාධය කමා කරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබ සමාන දෙවිකෙනෙක් කවුද? ඔහු කරුණාවට ප්‍රිය වන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නේය.’ (මීකා 7:18) එලෙසම, ප්‍රේරිත යොහන් ‘දෙවි ප්‍රේමයය’ යන සුප්‍රසිද්ධ වචන ලීවේය.—1 යොහන් 4:8.

අනෙක් අතට, බයිබලයේ කොටස් දෙකේම යෙහෝවාව ඉදිරිපත් කර තිබෙන්නේ පසුතැවිලි නොවී නොකඩවාම ඔහුගේ නීති බරපතළ ලෙස කඩ කරන අයව හා අන්‍යයන්ට හානි කරන අයව ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන කෙනෙකු හැටියටය. “[යෙහෝවා] සියලු දුෂ්ටයන් විනාශ [කරන්නේය]” කියා ගීතිකාකරු පැවසුවේය. (ගීතාවලිය 145:20) එලෙසම යොහන් 3:36 මෙසේ පවසයි: “පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, [දෙවිගේ] උදහස ඔහු කෙරෙහි පවතියි.”

ගුණාංග වෙනස් නොවේ

යෙහෝවාගේ පෞද්ගලිකත්වය සහ ප්‍රේමය, ප්‍රඥාව, යුක්තිය හා බලය යන ප්‍රධාන ගුණාංග වෙනස් වී නැත. ඔහු ඉශ්‍රායෙල් ජනයාට මෙසේ පැවසුවේය: “[යෙහෝවා] වන මම වෙනස් නොවෙමි.” (මලාකී 3:6) මෙසේ පැවසුවේ දෙවි මනුෂ්‍යවර්ගයාව මවා වසර 3,500ක් පමණ ගතවීමෙන් පසුය. එම දිව්‍යමය ප්‍රකාශයට එකඟව, සමස්තයක් වශයෙන් මුළු බයිබලයම හොඳින් පරීක්ෂා කර බලන විට පෙනී යන්නේ දෙවිගේ ප්‍රමිති හා ගුණාංග වෙනස් නොවන බවය. සියවස් ගණන් ගෙවී යද්දී යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වය ක්‍රමක්‍රමයෙන් වෙනස් වූයේ නැත. එවැනි වෙනස් වීමක් අවශ්‍ය වූයේද නැත.

බයිබලය පුරාම දක්වා ඇති ආකාරයට, ධර්මිෂ්ඨකම සඳහා දෙවිගේ ස්ථාවරයෙහි අඩුවීමක් හෝ ඒදන් උයනේදී මනුෂ්‍යයන් සමඟ කටයුතු කිරීමට ඔහු පටන්ගත් අවදියේ තිබුණාට වඩා ඔහුගේ ප්‍රේමයේ වැඩිවීමක්වත් දක්නට නැත. බයිබලයේ විවිධ තැන්වල ඔහු විවිධ පෞද්ගලිකත්වයන් ඇති පුද්ගලයෙකු ලෙස පෙන්වා තිබුණත්, මෙය පෞද්ගලිකත්වයේ වෙනස් වීමක් නොවේ. නමුත් එය පෞද්ගලිකත්වයේ විවිධ පැති තිබෙන බවට සාක්ෂියකි. ඔහු තම පෞද්ගලිකත්වයේ මෙම විවිධ පැති විදහාපෙන්වන්නේ විවිධ තත්වයන්ට අනුව සකස් වන විට හෝ විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කරන විටය.

මෙබැවින්, සියවස් ගණන් ගත වී ඇතත් දෙවිගේ පෞද්ගලිකත්වය වෙනස් වී නැති බවත්, අනාගතයේදී පවා වෙනස් නොවන බවත් ශුද්ධ ලියවිලිවල පැහැදිලිව පෙන්නුම් කරයි. යෙහෝවා වෙනස් නොවන ශ්‍රේෂ්ඨ පෞද්ගලිකත්වයක් ඇති දෙවිකෙනෙකි. සැමවිටම ඔහු විශ්වසනීය දෙවිකෙනෙකි. අපට සැමදා ඔහු මත රඳා සිටිය හැකියි.

[16, 17වන පිටුවේ පින්තූර]

සොදොම හා ගොමොරාව විනාශ කළ දෙවිම . . .

. . . ධර්මිෂ්ඨ නව ලෝකයක් ගෙනෙනු ඇත