Skip to content

පටුනට යන්න

පරිණාමවාදය තර්කානුකූලද?

පරිණාමවාදය තර්කානුකූලද?

පරිණාමවාදය තර්කානුකූලද?

පරිණාමවාදයට පක්ෂව කතා කරන්නන් කියා සිටින්නේ එය සත්‍යයක් බවයි. එහෙත් මෙය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් නිතර නිතර කරන ප්‍රකාශයන් කොතෙක් දුරට තර්කානුකූලද? පහත සඳහන් විස්තරය සැලකිල්ලට ගන්න.

මකුළුවන් විසින් සාදනු ලබන සිල්ක් තන්තු මෙතෙක් සොයාගෙන තිබෙන ශක්තිමත්ම ද්‍රව්‍යවලින් එකකි. නියූ සයන්ටිස්ට් සඟරාවේ සඳහන් වන පරිදි, “සෑම තන්තුවක්ම එහි දිග ප්‍රමාණය මෙන් සියයට 40ක් දක්වා ඇදිය හැකියි. මෙය නොකැඩෙන අතර යකඩ මෙන් සියගුණයක් ශක්තිමත්ය.” මෙම අසමසම ශක්තියකින් යුත් සිල්ක් තන්තු සාදනු ලබන්නේ කෙසේද? ඇලෙනසුලු ස්‍රාවයක් වන ප්‍රෝටීනයක් මකුළුවාගේ සිරුරේ තිබෙන කුඩා නාල ඔස්සේ ගමන් කරයි. මෙම ප්‍රෝටීනයේ අඩංගු අණු යම් සකස් කිරීමකට ලක්වීමෙන් පසු, ශක්තිමත් නූලක් බවට පත් වෙනවා කියා එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි පැහැදිලි කර තිබේ.

නියූ සයන්ටිස්හි මෙම නිගමනය සඳහන් වේ. “මකුළුවා ඉතාමත් දක්ෂ රසායන විද්‍යාඥයන්ටත් වඩා අතිදක්ෂ තාක්ෂණික ශිල්ප ක්‍රමයක් ක්‍රමානුකූලව දියුණු කර ඇත.” මිනිසාට තවමත් තේරුම්ගැනීමට නොහැකි වී තිබෙන මෙවන් සංකීර්ණ නිෂ්පාදන ශිල්ප ක්‍රමයක් මකුළුවෙකු සතුවීම සිතාගැනීමටත් හැකිද?

පරිණාමවාදය ඔප්පු කිරීමට සාක්ෂි නොමැති වූවත්, එයට පක්ෂව කරුණු දක්වන්නන් ඒ ගැන ප්‍රශ්න කරන අයව තවමත් උපහාසයට ලක් කරනවා කියා ද වෝල් ස්ට්‍රීට් ජ’නල් නමැති සඟරාවේ පළ වූ ලිපියක සඳහන් විය. එම ලිපිය සම්පාදනය කරනු ලැබුවේ කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන පිලිප් ඊ. ජොන්සන් විසිනි. එම ලිපියෙහි මෙසේ අදහස් දක්වා තිබිණ. “සාක්ෂි නොමැති වීම නිසා පරිණාමවාදය මහත් අසරණ අඩියකට වැටී ඇත. ලොව පුරා ප්‍රචලිත වී ඇති තම මත බිඳ වැටෙන නිසා පරිණාමවාදීන් විවෘත විවාදයකට හවුල් වීමට අකමැතිය.”

පරිණාමවාදයේ තර්කානුකූලත්වයක් නොමැති බව පෙන්වීමට තිබෙන තවත් උදාහරණයක් පැළෑටි හා සම්බන්ධය. මොරොක්කෝවෙහි පර්යේෂණවල නිරත වී සිටින විද්‍යාඥයන් පිරිසක්, කැණීම්වලදී ආකියෝඔප්ටිරස් පොසිල 150ක් සොයාගෙන ඇත. “බීජවලින් හටගත් මුල්ම පැළෑටි හා ආකියෝඔප්ටිරස් අතර කිට්ටු නෑකමක් තිබෙන අතර, අද තිබෙන ගස් වර්ග බොහොමයක් පැවතෙන්නේ එම පැළෑටිවලිනි” කියා ලන්ඩන්හි පළ වන ද ඩේලි ටෙලිග්‍රාෆ් නමැති පුවත්පතෙහි සඳහන් වේ. “අද දක්නට නොලැබෙන විවිධ කොළ හා අතු ජාති නිර්මාණය කිරීමෙන් නවීන ලෝකයේ වෙනසක් කිරීමට [ආකියෝඔප්ටිරස්] ඉවහල් වී තිබේ” කියා එම පුවත්පතෙහි විද්‍යාත්මක ලිපිවල ලේඛකයා ප්‍රකාශ කරයි. “නිර්මාණය කරනවා” කියන්නේ “සිතීමේ හැකියාව යොදාගනිමින් දේවල් තැනීමයි.” සිතීමේ හා නිර්මාණය කිරීමේ හැකියාව පැළෑටියකට තිබෙනවා කියා පිළිගැනීම තර්කානුකූලද?

“ඔබේ සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න” කියා ප්‍රඥාවන්තම මිනිසුන් අතරින් කෙනෙක් වූ සාලමොන් පැවසුවේය. වෙන කවරදාටත් වඩා අදදින, එසේ කිරීමේ අවශ්‍යතාවක් පවතී.—හිතෝපදේශ 5:1, NW.