Skip to content

පටුනට යන්න

පලා යන පියවරුන්—ඇත්තටම ඔවුන්ට පලා යා හැකිද?

පලා යන පියවරුන්—ඇත්තටම ඔවුන්ට පලා යා හැකිද?

යෞවන අය අසති . . .

පලා යන පියවරුන්—ඇත්තටම ඔවුන්ට පලා යා හැකිද?

“‘මම ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්න යනවා’ කියලා එයා කිව්වාම මාව නිකම් කරකවලා අතහැරියා වගේ මට දැනුණා. කවුද දරුවාව බලාගන්නේ? මට පවුලක් රැකබලා ගන්න තරම් හැකියාවක් නෑ. ඒ හින්දා හෙමින් සැරේ මාරු වෙලා යන්න මට හිතුණා.”—ජිම්. a

“සෑම වසරකදීම නහඹර වියේ ගැහැනු ළමයි මිලියනයක් පමණ ගැබ්ගන්නවා” කියා ඇලන් ගුට්මෙකර් නමැති ආයතනය වාර්තා කරනවා. මෙයින් “දරු උපත් සියයට හැත්තෑඅටක්ම සිදු වන්නේ අවිවාහක නහඹරයන්ගෙනුයි.”

අතීතයේදී, තම දරුවන් වෙනුවෙන් වගකීම් ඉටු කිරීම පියවරුන්ගේ යුතුකමක් කියා පුරුෂයන්ට හැඟුණා. නමුත් නහඹර වියේ පියවරුන් (ඉංග්‍රීසියෙන්) නමැති පොත පෙන්වන ආකාරයට දැන් “අතීතයේ මෙන් විවාහයට පෙර ගැබ්ගැනීම ලැජ්ජාවක් ලෙස සලකන්නේ නෑ.” සමහර සමාජ ක්‍රම තුළ තරුණයන්, පියෙකු වීම සලකන්නේ සමාජ තත්වය පෙන්නුම් කිරීමක් හැටියටයි! එහෙත් පියෙකුගේ වගකීම් ඉටු කිරීමට ඉදිරිපත් වෙන්නේ තරුණයන් ස්වල්පදෙනෙකු පමණයි. බොහෝදෙනෙක් අන්තිමේදී පලා යනවා. b

පලා ගියත් දුරාචාර හැසිරීම නිසා ඇති වන ප්‍රතිඵලවලින් තරුණයෙකුට සම්පූර්ණයෙන් ගැළවෙන්න පුළුවන්ද? කොහෙත්ම බැරි බව බයිබලයේ පවසනවා. එහි මෙසේ අනතුරු අඟවනවා. “නොරැවටෙන්න; [දෙවිට] සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.” (ගලාති 6:7) ඇත්තෙන්ම ලිංගික දුරාචාරය නිසා තරුණියන්ට මෙන්ම තරුණයන්ටත් දිගු කාලීන ප්‍රතිවිපාක අද්දකින්න සිදු වන බව පැහැදිලියි. ලිංගික දුරාචාරයෙන් වළකින්න කියා බයිබලයේ දෙන පැහැදිලි උපදෙස් පිළිපැදීමෙන් යෞවන අයට එවැනි ප්‍රතිවිපාකවලින් වැළකෙන්න පුළුවන්.

මඟහැර යන එක හිතන තරම් පහසු නෑ

දරුවෙකුව රැකබලා ගැනීම කාලය, මුදල් වගේම තම පෞද්ගලික නිදහස ආදි සියල්ලම කැප කිරීමට සිදු වන ක්‍රියාවලියක්. “සමහර තරුණයන්, තමන්ගේ වියහියදම් සඳහා මුදල් හිඟ වන නිසා ‘වෙන කෙනෙක්ව රැකබලා ගැනීමට කැමති නෑ’” කියා තරුණ අවිවාහක පියවරුන් (ඉංග්‍රීසියෙන්) නමැති පොත සඳහන් කරනවා. නමුත් බොහෝදෙනෙක් විනෝද වෙන්න නම් ඕනෑ තරම් සල්ලි වියදම් කරනවා. කෙසේවුවත්, දැන් බොහෝ රටවල උසාවි මගින් සහ නීති සම්පාදකයන් විසින් දරුවන්ව නඩත්තු කිරීම පැහැර හරින තරුණයන්ට විරුද්ධව දැඩි පියවර ගැනීමට සැලසුම් කර ඇති නිසා, දරුවාගේ නියම පියා බවට කරන චෝදනාව ඔප්පු වුවහොත් පියවරුන්ට අවුරුදු ගණනක් හෝ දිගටම නඩත්තු ගෙවීමට සිදු වෙනවා. මෙම වගකීම් ඉටු කිරීමට තරුණයන්ට තම පාසැල් ගමන නතර කිරීමට හෝ අඩු වැටුප් ගෙවන රැකියාවන්වල නිරත වීමට සිදු වී තිබෙනවා. “බාල වයසේදීම මාපියභාවයට පිවිසීම” පිළිබඳව පාසැල් වියේ ගැබ්ගැනීම සහ මාපියභාවය (ඉංග්‍රීසියෙන්) නමැති පොත මෙසේ පවසනවා. එය “තරුණ පියෙකුට අඩු මූලික අධ්‍යාපනයක් ලැබීමට මඟ පාදනවා.” ඒ වගේම නඩත්තු මුදල් ගෙවීමට අසමත් වීම නිසා නොගෙවූ නඩත්තු මුදල් එකතු විය හැකියි.

ඇත්තෙන්ම සෑම තරුණයෙක්ම තම දරුවන්ගේ වගකීම් පැහැර හරින්නේ නෑ. සමහර අය හොඳ චේතනාවෙන් එම තත්වයන්ට හැඩගැහෙන්න උත්සාහ කරනවා. එක් අධ්‍යයනයක් පෙන්වන්නේ නහඹර වියේ පියවරුන්ගෙන් සියයට හැත්තෑපහක් තම දරුවාව බැලීමට රෝහලට පැමිණෙන බවයි. එහෙත් වැඩි කල් යන්නට පෙර තරුණ පියවරුන්ගෙන් බොහෝදෙනෙකුට දරුවාව රැකබලා ගැනීමේදී පැවරෙන වගකීම් විශාල බරක් ලෙස හැඟෙන්න යනවා.

බොහෝදෙනෙක්ට ප්‍රමාණවත් වෘත්තීමය නිපුණත්වයක් සහ පුහුණුවක් නොමැති නිසා සුදුසු රැකියාවක් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. මේ හේතුව නිසා මුදලින් සහයෝගය දක්වන්න නොහැකි වන විට ලැජ්ජාවට පත් වී වගකීම් පිළිබඳව ඔවුන්ට තිබූ හොඳ ආකල්පය අත්හරිනවා. නමුත් කාලයක් යන විට තමන් කළ දේ ගැන තරුණයෙක් පසුතැවිය හැක. ඒ සම්බන්ධයෙන් තරුණ පියෙක් මෙසේ පිළිගත්තා: “මගේ පුතාට මොනවාද වුණේ කියලා සමහර වෙලාවලදී මට කල්පනා වෙනවා . . . මම [එයාව] දාලා ආපු එක ගැන දුක් වෙනවා. දැන් මගේ පුතා මගෙන් ඈත් වෙලා. කවදා හරි දවසක කවුද එයාගේ තාත්තා කියලා දැනගන්න එයා මාව හොයයි.”

දරුවන්ට කරන හිංසාව

පලා යන පියවරුන්ට තමන්ගේම දරුවාට හිංසා කිරීම ගැන විශාල ලැජ්ජාවක් ඇති විය හැකියි. සලකා බැලූ කරුණුවලට අමතරව, බයිබලයේ පවා සඳහන් කරන්නේ දරුවෙකුට මව සහ පියා යන දෙදෙනාවම අවශ්‍ය බවයි. (නික්මයාම 20:12; හිතෝපදේශ 1:8, 9) මනුෂ්‍යයෙක් තමන්ගේ දරුවාව අත්හැර යෑමෙන් සිදු වන්නේ, ඔහුම ජාතක කළ දරුවාව ප්‍රශ්න ගොඩකට ඇද දැමීමක්. අමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවාවන් පිළිබඳ දෙපාර්තමේන්තුවක් මෙසේ වාර්තා කරනවා. “තනි මාපිය පවුල්වල නහඹර වයසේ දරුවන් පාසැලේ ගණිතය සහ කථික හැකියාව සම්බන්ධ විභාගවලදී අඩු ලකුණු මට්ටමක් ලබාගන්න බවක් දක්නට ලැබෙනවා. තනි මාපිය පවුල්වල සිටින අවුරුදු 7ත් 10ත් අතර වයස් මට්ටමේ දරුවන් පාසැල් ක්‍රියාකාරකම්වලදී අඩු ලකුණු මට්ටමක් ලැබීමට නැඹුරුවාවක් තිබෙනවා. එමෙන්ම, හැසිරීමේ දුර්වලතා, බරපතළ සෞඛ්‍ය හා මානසික ආබාධ බොහෝමයකින් පීඩා විඳිනවා. තනි මාපිය පවුල්වල හැදෙන නහඹරයන් සහ යෞවන වියට පා තබන දරුවන්, නහඹර වියේදී ගැබ්ගැනීම, උසස් අධ්‍යාපනය ඇණහිටීම, සිරදඬුවම්වලට නියම වීම සහ රැකියාවක හෝ පාසැල් අධ්‍යාපනයෙහි නිරත නොවී සිටීම වැනි දේවලට මුහුණ දෙනවා.”

ඇට්ලැන්ටික් මන්ත්ලි යන සඟරාව මෙසේ නිගමනය කරනවා: “සමාජ විද්‍යාත්මක සාක්ෂි විශාල ප්‍රමාණය සලකා බලන විට පෙනී යන්නේ, දික්කසාද වූ පවුල්වල සහ අවිවාහක මාපියන්ගේ දරුවන් නීත්‍යානුකූල මාපියන් සිටින දරුවන්ට වඩා ක්ෂේත්‍රයන් කිහිපයකම අඩු සාර්ථකත්වයක් අද්දකින බවයි. ඒ වගේම තනි මාපිය පවුල් දුප්පත් වීමේ ප්‍රවණතාව හය ගුණයකින් වැඩියි. සමහරවිට එම දරුවන්ට කවමදාකවත් දුප්පත්කමෙන් ගොඩ එන්න බැහැ.”

ඉහත සඳහන් අවදානම් තත්වයන් නිරීක්ෂණය කර ඇත්තේ කණ්ඩායම් යොදාගෙන නිසා එය පෞද්ගලිකව සෑම දරුවෙකුටම එක සේ අදාළ නොවන බව සැලකිල්ලට ගන්න. මන්ද අසාර්ථක පවුල් පසුබිම්වල හැදී වැඩුණු බොහෝ දරුවන් පවා සාර්ථක වැඩිහිටියන් වී තිබෙනවා. කොහොම වුණත්, තරුණ පියෙකු ඔහුගේ දරුවාව අත්හැර යෑම නිසා මනසින් නිරතුරුවම වද විඳිය හැකියි. “මගේ දරුවාගේ ජීවිතය සදාකාලයටම අවුල් කළ එක ගැන ඇත්තටම මට පුදුම භයක් දැනෙන්නේ” කියා එක් අවිවාහක පියෙක් පැවසුවා.—නහඹර වියේ පියවරුන්.

සහයෝගය දීමේ අභියෝගය

සෑම තරුණ පියෙක්ම වගකීමෙන් පලා යන්නේ නෑ. මන්ද සමහර තරුණයන්ට දරුවන් වෙනුවෙන් පැවරෙන පියෙකුගේ යුතුකම් ඉටු කිරීම, ඔවුන් විසින් කළ යුතු සදාචාරය හා බැඳි වගකීමක් ලෙස හැඟී ගොස් තිබෙන අතර, දරුවන් හදාවඩා ගැනීමේදී සහයෝගය දැක්වීමට ඔවුන්ට අවංකවම වුවමනාවක් තිබෙනවා. මෙය කියන්න නම් පහසුයි, නමුත් ක්‍රියාත්මක කරන්න තමයි අමාරු. මන්ද අවිවාහක පියෙකුට ඇත්තේ සුළු නීතිමය අයිතියක්. අවිවාහක වීම හේතුවෙන් ඔහුට දරුවාව බැලීමට ඉඩ දෙන්නේ කොයිතරම් කාලයකටද යන්න පාලනය කිරීමට තරුණියට හෝ තරුණියගේ දෙමාපියන්ට අයිතිය ඇත. “එය ඇත්තෙන්ම පියෙකු දරුවාගේ අයිතිය වෙනුවෙන් නිතරම කරන කඹ ඇදිල්ලක්” කියා මුලදී සඳහන් කළ ජිම් පවසනවා. මව විසින් දරුවාව වෙන කෙනෙකුට හදාගැනීම සඳහා දීමට හෝ ගබ්සා කිරීමට තීරණය කළ විට එයට තරුණ පියෙක් තදින්ම විරුද්ධ වූවත්, අවසානයේදී ඔහුට ඒ තීරණය පිළිගැනීමට සිදු වෙනවා. c “දරුවාව වෙන කෙනෙකුට හදාගන්න දෙන එක මට දරාගන්න බෑ” කියා එක් තරුණ පියෙක් පැවසුවා. එහෙත් “මට වෙන කරන්න දෙයක් නෑ” කියා ඔහු තවදුරටත් පවසනවා.

සමහර තරුණයෝ දරුවාගේ මවව විවාහ කරගැනීමට ඉදිරිපත් වී තිබෙනවා. d ඇත්තෙන්ම එවැනි ක්‍රියාමාර්ගයක් තුළින්, තරුණියට මුහුණ දීමට සිදු වන ලැජ්ජාවෙන් ගැළවෙන්නත් දරුවාට දෙමාපියන් දෙදෙනාගේම රැකවරණය යටතේ හැදී වැඩෙන්නත් අවස්ථාවක් උදා වෙනවා. වැරදි හැසිරීමක යෙදුණත් එම තරුණ යුවළ අවංකවම ආදරයෙන් බැඳී සිටිනවා විය හැකියි. කෙසේ නමුත් දරුවෙකු ජනිත කළ හැකි මට්ටමකට තරුණයා වැඩී තිබුණු පළියට, ඔහුට ස්වාමිපුරුෂයෙක් සහ පියෙක් වීමට තරම් මානසික මෙන්ම චිත්තවේගීය මේරූකම තිබෙන බව ඉන් අඟවන්නේ නැහැ. තවද ඔහුට භාර්යාව සහ දරුවාව නඩත්තු කිරීමට මූල්‍යමය ලෙස හැකියාවක් ඇති බවත් එයින් අදහස් කරන්නේ නෑ. අධ්‍යයනයන් පෙන්නුම් කරන්නේ ගැබ්ගැනීම නිසා ඉක්මනින් විවාහයට එළඹුණත් එවැනි විවාහයන් වැඩි කල් පවතින්නේ නැති බවයි. මෙයින් පැහැදිලි වන්නේ විවාහ වීමට ඉක්මන් වීම සෑමවිටම නැණවත් විසඳුම නොවන බවයි.

බොහෝ තරුණයන් තමන්ගේ දරුවන් වෙනුවෙන් මූල්‍යමය සහයෝගය දීමට ඉදිරිපත් වෙනවා. කලින් සඳහන් කළ ආකාරයට, අවුරුදු 18ක් හෝ ඊට වැඩි කාලයක් පුරා එවැනි සහයෝගයක් දීම තරුණ පියෙකුට ඉතාමත් අසීරු කාර්යයක්. එමනිසා හොඳ අධිෂ්ඨානයක් අත්‍යවශ්‍යයි! නමුත් එවැනි ස්ථාවර මූල්‍යමය සහයෝගයක් පිරිනැමීමෙන් මව සහ දරුවාට දුගී ජීවන තත්වයකින් ගොඩ ඒමට හැකියාව ලැබෙනවා.

දරුවෙකුව හදාවඩා ගැනීමට සහය වීම ගැන පැවසිය හැක්කේ කුමක්ද? මෙයත් අසීරු අභියෝගයක් විය හැකියි. තරුණයා සහ තරුණිය නැවතත් ලිංගික හැසිරීමකට පෙලඹීමට ඉඩ ඇතැයි සිතා ඔවුන්ගේ දෙමාපියන් එකිනෙකා මුණගැසෙන අවස්ථා මඟහැරවීමට හෝ වැළැක්වීමට පුළුවන. සමහරවිට තරුණිය පවා තම ස්වාමිපුරුෂයා නොවන කෙනෙකු සමඟ දරුවා “බැඳීමක්” ඇති කරගන්නවාට අකමැති වෙන්න පුළුවන්. කෙසේවෙතත්, පියාට දරුවා බැලීමට වැඩි ඉඩ කඩක් ලබා දෙනවා නම්, එම අවස්ථාවන්වලදී ඔවුන් වැරදි හැසිරීමකට යළි නොවැටෙන ලෙස තත්වයන් නිසියාකාරව පාලනය කිරීමට දෙමාපියන් විසින් නැණවත් ක්‍රියාමාර්ග ගත යුතුයි.

තම දරුවන්ට සමීප වීමේ අරමුණෙන් සමහර අවිවාහක පියවරුන්, දෙමාපියන් විසින් ඉටු කරන සමහර දේවල් වන නෑවීම, කැවීම හා දරුවන්ට ඉගැන්වීම වැනි දේවල් පුරුදු පුහුණු වෙනවා. බයිබල් ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා අගය කරන්න පටන්ගෙන ඇති තරුණ පියෙකුට, දෙවිගේ වචනයේ ඇති ඉගැන්වීම් තම දරුවාට කියා දෙන්න පුළුවන්. (එපීස 6:4) දරුවෙකු පියෙකුගේ හව්හරණක් නැතුව හැදෙනවාට වඩා සුළුවෙන් හෝ පියෙකුගේ ප්‍රේමනීය සැලකිල්ල ලැබීම යහපත් දෙයක්. නමුත් සෑම දවසකම දරුවෙකුට පියෙකුගේ රැකවරණය ලැබීමේ ප්‍රයෝජනවලට එය කිසිසේත් සම කළ නොහැකියි. දරුවාගේ මව වෙනත් පුද්ගලයෙක් සමඟ විවාහ වී, එම පුද්ගලයා දරුවාව රැකබලා ගන්න භාරගත් විට තරුණ පියා කිසිවක් කරකියා ගැනීමට නොහැකි තත්වයකට පත් වෙනවා.

විවාහයට පෙර පියෙක් වීම දෙමාපියන්වත් දරුවන්වත් ගැටලු රාශියකට ඇද දමන බව පැහැදිලියි. ප්‍රායෝගිකව සලකා බැලූ කරුණුවලට අමතරව, වැරදි ලිංගික හැසිරීම් හෙළා දකින යෙහෝවා දෙවිගේ අනුමැතිය අහිමි වීමටත් එය මඟ පාදන බව කිසිවිටකත් අමතක කරන්න එපා. (1 තෙසලෝනික 4:3) නහඹර වියේ ගැබ්ගැනීම සමඟ පසු කලක සාර්ථකව කටයුතු කිරීමට තම උපරිමය කළ හැකි වුවත්, මුලදීම එවන් දුරාචාර හැසිරීමකින් වැළකී සිටීම නැණවත්ම දෙය බව පැහැදිලියි. එක් තරුණ පියෙක් මෙසේ පිළිගත්තා: “විවාහයට කලින් දරුවෙකුට පියෙක් වුණාට පස්සේ ජීවිතය සාමාන්‍යයෙන් තිබුණ තත්වයට ආයෙ කවදාවත් පත් වෙන්නේ නෑ.” තරුණ පියෙකුට තමන් කළ වරද නිසා මුළු ජීවිත කාලය පුරාම දුක් විඳින්න සිදු වන බව පැහැදිලියි. (ගලාති 6:8) “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” කියා බයිබලයේ සඳහන් උපදේශය කොතරම් නැණවත්ද යන වග නැවතත් ඔප්පු වෙයි.—1 කොරින්ති 6:18.

[පාදසටහන්වල]

a මෙම ලිපියෙහි සමහර නම් වෙනස් කර ඇත.

b 2000 මැයි 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . . නමට පියෙක් වීම නියම පිරිමිකමක්ද?” යන ලිපිය බලන්න. අවිවාහක යෞවනියන් මව්වරුන් වීමේ ප්‍රතිඵල ගැන සාකච්ඡා කිරීමට 1985 ජූලි 22, පිබිදෙව්! කලාපයේ (ඉංග්‍රීසියෙන්) “යෞවන අය අසති . . . අවිවාහක මව් පදවිය—එය මට සිදු විය හැකිද?” යන ලිපිය බලන්න.

c 1995 ජූලි 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . . ගබ්සාව—පිළිතුර එයද?” යන ලිපිය බලන්න.

d මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව යම් මනුෂ්‍යයෙක් තරුණියකව ලිංගික සබඳතා පැවැත්වීමට පොලඹවාගතහොත් ඔහුට ඇයව අනිවාර්යයෙන්ම විවාහ කරගැනීමට සිදු වුණා. (ද්විතීය කථාව 22:28, 29) කෙසේ නමුත්, තරුණියගේ පියා විවාහයට විරුද්ධ වුවහොත් විවාහ කරගැනීමේ අපේක්ෂාව අත්හැරගැනීමට සිදු වුණා. (නික්මයාම 22:16, 17) අදදින ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටියත්, විවාහයට පෙර ලිංගික හැසිරීම කොතරම් දරුණු අපරාධයක්ද කියා එය පසක් කර දෙනවා.—1989 නොවැම්බර් 15 මුරටැඹ කලාපයේ (ඉංග්‍රීසියෙන්) “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති ලිපිය බලන්න.

[30වන පිටුවේ පින්තූරය]

දුරාචාර හැසිරීමෙන් වැළකී සිටීම හොඳම දෙයයි