Skip to content

පටුනට යන්න

යෝධ ඇනකොණ්ඩාව හඳුනාගනිමු

යෝධ ඇනකොණ්ඩාව හඳුනාගනිමු

යෝධ ඇනකොණ්ඩාව හඳුනාගනිමු

පිබිදෙව්! වාර්තාක රුගෙන්

වෙන කිසිම සතෙකුට වඩා විශාල සර්පයන් මගේ සිත්ගන්නවා. විශාල සර්පයන් ගැන කතා කරද්දී මට මතක් වෙන්නේ බෝඩී නමැති සර්ප විශේෂයට අයත් වන ඇනකොණ්ඩයි. ඌට යෝධ සිරුරක් තිබෙනවා. නමුත් පුදුමයකට මෙන්, මෑතක් වෙනකම් උගේ හැසිරීම් රටාව ගැන කවුරුත් වැඩිය දැනගෙන හිටියේ නැහැ.

වර්ෂ 1992 ජීව විද්‍යාඥ හේසුස් ඒ. රීබාස්, නියූ යෝක්වල වන හා සත්ව සංරක්ෂණ සමිතියේ (WCS) පර්යේෂකයන් කිහිපදෙනෙක් සමඟ එකතු වී මෙම යෝධ ඇනකොණ්ඩාව අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. a වසර හයක් පුරා වෙනිසුවේලාවේ මඩ වගුරු ප්‍රදේශයක කළ මෙම අධ්‍යයනය, ඇනකොණ්ඩාව උගේම පරිසරයේ සිට කළ මුල්ම අධ්‍යයනයයි. ඇනකොණ්ඩා ගැන කලින් නොදැන සිටිය තොරතුරු රැසක්ම එයින් හෙළි වුණ බව මට කියවන්න ලැබුණා. මෙම අලුත් තොරතුරු දැනගන්නකම් මම ඉන්නේ නොඉවසිල්ලෙන්. මං හිතනවා මට අද ඒ තොරතුරු දැනගන්න ලැබෙයි කියලා.

නම ගම සොයා බලමු

දැන් මම බෘක්ලින්වල තිබෙන මගේ කාර්යාලයේ සිට WCSහි ප්‍රධාන කාර්යාලය වෙත ගමන් කරනවා. එය තිබෙන්නේ නියූ යෝක් නගරයේ බ්‍රොන්ක්ස් නමැති සත්ව උද්‍යානයේ. මම දැනටමත් ඇනකොණ්ඩා ගැන හුඟක් තොරතුරු එකතු කරගෙනයි තිබෙන්නේ.

ඇනකොණ්ඩාගේ නිජ බිම දකුණු අමෙරිකාවයි. නමුත් උගේ නම පැමිණ ඇත්තේ ඊට සෑහෙන ඈතින් පිහිටි ප්‍රදේශයකින් විය හැකියි. සමහර අය විශ්වාස කරන්නේ එය දෙමළ වචන දෙකකින්, එනම් “අලියා” යන අර්ථය ඇති යානෙයි හා “ඝාතකයා” යන අර්ථය ඇති කොල්රා නමැති වචන දෙකෙන් සෑදුණු බවයි. තවත් සමහරු විශ්වාස කරන්නේ, හෙණ හා කඳ යන සිංහල වචන දෙකෙන් සෑදුණු හෙණකඳයා යන වචනය එයට මුල් වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ මුලදී මෙම නම භාවිත කර තිබුණේ පිඹුරාටයි. එම නම, ආසියාවේ සිට දකුණු අමෙරිකාව කරා ගමන් කළ පෘතුගීසි වෙළෙන්දන් විසින් හඳුන්වා දුන් බව ඇතමෙක් විශ්වාස කරනවා.

ඇනකොණ්ඩාගේ විද්‍යාත්මක නම වන යූනෙක්ටස් ම්‍යුරිනස් පවා සියයට සියයක් ඌට ගැළපෙන්නේ නැහැ. යූනෙක්ටස් යන ග්‍රීක වචනයේ “දක්ෂ පිහිනුම්කරු” යන අර්ථය ගැබ් වී ඇත. එය නම් ඌට ගැළපෙන නමක්. නමුත් ම්‍යුරිනස් යන ලතින් වචනය “මීයෙකුගේ පාට” යන අදහස දෙයි. ගොම පාටට හුරු සමක් ඇති ඇනකොණ්ඩාට නම් මෙම නම “කොහෙත්ම නොගැළපෙයි” කියා එක් ආශ්‍රේය ග්‍රන්ථයක පවසා තිබෙනවා.

ඇනකොණ්ඩාගේ විද්‍යාත්මක නම් පිළිබඳව හා වර්ගීකරණය පිළිබඳව තවත් යමක් පැවසීමට තිබෙනවා. සාමාන්‍යයෙන් ඇනකොණ්ඩා වර්ග දෙකක් සිටින බව පොත් පත්වල සඳහන් වෙනවා. මෙම ලිපියේ කතා කරන්නේ කොළ පැහැති ඇනකොණ්ඩා ගැනයි. ඇමසන් ප්‍රදේශයේ, ඔරිනෝකෝ ගං දෙණියේ හා ගයනාවේ මඩ වගුරුවල වෙසෙන නිසා ඌව ජල පිඹුරා යන නමිනුත් හඳුන්වනවා. පැරගුවේ, දකුණු බ්‍රසීලයේ හා ආර්ජන්ටිනාවේ වෙසෙන කහ පැහැති ඇනකොණ්ඩා (යූ. නොටෙයුස්) නම් ඊට වඩා කුඩා සර්පයෙක්.

උරග විද්‍යාඥයෙක් හමු වෙමු

දැන් මම ඉන්නේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේ. ගස්වැල්වලින් පිරුණු මෙම වන සත්ව උද්‍යානය අක්කර 265ක් විශාලයි. එහි ඇනකොණ්ඩන් දොළොස්දෙනෙක් ඇතුළු සතුන් 4,000කටත් වඩා ඉන්නවා. කාකි ඇඳුමක් ඇඳ සිටින WCSහි විද්‍යා අංශයේ සේවය කරන විලියම් හොල්ස්ට්‍රම් උද්‍යාන ගේට්ටුව අසලදී සිනහමුසු මුහුණකින් මාව පිළිගන්නවා. කණ්ණාඩි කුට්ටමක් පැළඳගෙන සිටින ඔහුට උඩු රැවුලකුත් තිබෙනවා. හොල්ස්ට්‍රම් මහතා හැදී වැඩුණේ නියූ යෝක් නගරයේ. ඔහුට දැන් වයස අවුරුදු 51යි. WCSහි විද්‍යා දෙපාර්තමේන්තුවේ උරග විශේෂ එකතු කිරීම භාරව කටයුතු කරන ඔහු, වෙනිසුවේලාවේ ඇනකොණ්ඩන් ගැන කළ අධ්‍යයනයට සහභාගි වී තිබුණා. විද්‍යාඥයන් දැන් තවත් ඇනකොණ්ඩා විශේෂයක් සොයාගෙන ඇති බව හොල්ස්ට්‍රම් මහතා මට පවසනවා. ඒ ඊසානදිග බ්‍රසීලයේ හා ප්‍රංශ ගයනාවේ වෙසෙන (යූ. ඩෙෂෞඑන්සී) ඇනකොණ්ඩා විශේෂයයි. b දැන් හොල්ස්ට්‍රම් මහතා මාව උද්‍යානය වටේ ගෙනියන්නයි සූදානම් වෙන්නේ.

සමහර අය බල්ලන්ට හා ගිරවුන්ට ආදරේ කරනවා වගේ හොල්ස්ට්‍රම් මහතා සර්පයන්ට ගොඩක් ආදරෙයි කියලා මට තේරෙනවා. කුඩා කාලයේ සිටම ඔහුගේ නිවසේ කටුස්සෝ, ගෙම්බෝ හා ඒ හා සමාන වෙනත් සතුන් ඇති කළ බව ඔහු මට පවසනවා. “මගේ තාත්තා තමයි උන්ව ඇති කෙරුවේ. අම්මා එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ, හැබැයි උන්ව ඇති කරන්න එයා තාත්තාට ඉඩ දුන්නා.” හොල්ස්ට්‍රම් මහතා ඔහුගේ තාත්තාගේ අඩි පාරේ යන බව මට පැහැදිලියි.

ඇනකොණ්ඩාව කිරා මැන බලමු

වසර සියයක් පමණ පැරණි මෙම උරග නිවසේ තිබෙන විශාල කූඩුවක් අසල අප දැන් නතර වෙනවා. ඒකේ ඉන්නේ ඇනකොණ්ඩෙක්. ඌ කොච්චර විශාලද කියා මම කලින් සිතින් මවාගෙන තිබුණත්, දැන් ඌව දකිද්දී මගේ ඇඟේ මයිල් කෙළින් වෙනවා! ඌ එච්චරම විශාල සතෙක් කියා මම කීයටවත් හිතුවේ නැහැ. උගේ නහය තරමක් චප්පයි, ඔළුව මිනිසෙකුගේ අල්ලකටත් වඩා විශාලයි. නමුත් උගේ යෝධ සිරුරෙන් එය සම්පූර්ණයෙන්ම සැඟවිලා. දැන් අප ඉදිරියේ ඉන්න සතා, අඩි 16ක් දිග හා රාත්තල් 180ක් විතර බර ගැහැනු සතෙක් කියා මගේ මඟ පෙන්වන්නා මට කියනවා. උගේ ශරීරය ලයිට් කණුවක් තරම් මහතයි. නමුත් ලෝකයේ දැනට සොයාගෙන ඇති විශාලතම ඇනකොණ්ඩා එක්ක සසඳද්දී ඌ “පොඩි බට්ටෙක්” කියා මට හොල්ස්ට්‍රම් මහතා පවසනවා. වර්ෂ 1960දී අල්ලාගත් එම විශාලතම ගැහැනු සතාගේ බර කීයද? රාත්තල් 500ක් විතර. අදහගන්නවත් පුළුවන්ද!

නමුත් පිරිමි සතා ඊට වඩා සෑහෙන කුඩායි. පිරිමි සතා හා ගැහැනු සතාගේ ප්‍රමාණයේ වෙනසක් තිබුණා කියා උරග විද්‍යාඥයන් දැනගෙන සිටියා. නමුත් කලින් සිතුවට වඩා සෑහෙන ලොකු පරතරයක් තිබෙන බව දැන් සොයාගෙන තිබෙනවා. ගැහැනු සතා පිරිමි සතාට වඩා පස් ගුණයක් විශාලයි කියා මෑතකදී වෙනිසුවේලාවේ කළ අධ්‍යයනයෙන් හෙළි වුණා! උන් දෙදෙනා අතර පවතින මෙම වෙනස නිසා ජීව විද්‍යාඥ හේසුස් රීබාස් හොඳටම රැවටුණා. ඔහු ඇනකොණ්ඩා පැටියෙක්ව ඇති කළා. නමුත් පැටියා ඔහුව නිතරම හපා කෑවා. එහෙම වුණේ ඇයි කියා ඔහු කිහිප වතාවක්ම කල්පනා කර තිබුණා. නමුත් වෙනිසුවේලාවේ අධ්‍යයනයට සහභාගි වෙද්දි තමයි ඔහුට වැටහුණේ ඔහු සුරතල් කරමින් හිටියේ සම්පූර්ණයෙන්ම වැඩුණු පිරිමි සතෙක්ව කියා!

ඇනකොණ්ඩෙක්ව අල්ලාගනිමුද?

ඇනකොණ්ඩාගේ බර උගේ වඩාත්ම කැපීපෙනෙන ලක්ෂණයයි. නමුත් උගේ දිග ප්‍රමාණයත් අපව පුදුමයට පත් කරවනවා. හොලිවුඩ් මගින් නිෂ්පාදනය කළ එක් චිත්‍රපටයක අඩි 40ක් දිග දැවැන්ත ඇනකොණ්ඩෙක්ව පෙන්නුවා! ඒ තරම් විශාල ඇනකොණ්ඩන් නැති බව ඇත්තයි. නමුත් අඩි 30ක් වන උන්ගේ උපරිම දිග පවා අපව පුදුමයට පත් කරන්නේ නැද්ද?

ඒ තරම් විශාල ඇනකොණ්ඩෙක්ව සොයාගන්න ලැබෙන්නේ කලාතුරකින්. අධ්‍යයනයේදී අල්ලාගත් විශාලතම ඇනකොණ්ඩන් රාත්තල් 200ක් බර හා අඩි 17ක් විතර දිග ගැහැනු සතුන්. ඊට වඩා විශාල උන්ව සොයාගැනීම කොතරම් දුෂ්කරයිද කියා පවසනවා නම්, අඩි 30ට වඩා දිග ඇනකොණ්ඩෙක්ව පණ පිටින් අල්ලාගත් කෙනෙකුට ඩොලර් 1,000ක ත්‍යාගයක් පිරිනමන බවට නියූ යෝක් ජීව විද්‍යාත්මක සමිතිය පොරොන්දු වී තිබුණා. දැන් අවුරුදු 90ක් විතර ගත වෙලත්, පොරොන්දු වූ එම ත්‍යාගය තවමත් කවුරුවත්ම දිනාගෙන නැහැ! “ඒ තරමේ ඇනකොණ්ඩෙක්ව අල්ලාගත් බවට දකුණු අමෙරිකාවේ සිට අවුරුද්දකට දුරකථන ඇමතුම් තුනහතරක් විතර ලැබෙනවා. හැබැයි ඒගොල්ලන් අල්ලාගත්ත සර්පයා ගැන අපට විස්තර සපයන්න කිව්වාම ඒගොල්ලන්ගෙන් සද්දයක්වත් නැහැ. ඉතිං අපි එහෙට ගිහිල්ලා බලන එකේ තේරුමක් නෑනේ” කියා හොල්ස්ට්‍රම් මහතා පැහැදිලි කර දෙනවා. ආ, ඒක නෙවෙයි, දැන් අඩි 30ක් දිග සර්පයෙක්ව අල්ලාගත් කෙනෙකුට පිරිනමන ත්‍යාගය ඩොලර් 50,000 දක්වා ඉහළ ගිහිල්ලා!

ළඟටම ගිහින් බලමු!

මගේ මඟ පෙන්වන්නා දැන් මාව දෙවෙනි මහලට ගෙනියනවා. එතැන තමයි අභිජනන කුටිය තිබෙන්නේ. එතැන හරිම රස්නෙයි. දහඩියත් දානවා. ඇනකොණ්ඩාව හොඳට දැකබලා ගන්න පුළුවන් වෙන්න හොල්ස්ට්‍රම් මහතා විශාල ගැහැනු සතෙක් ඉන්න කූඩුවක් ඇරලා පෙන්වනවා.

අපත් මෙම යෝධ සතාත් අතර තියෙන්නේ අඩි අටක දුර ප්‍රමාණයක්. ඌ සෙමින් සෙමින් හිස ඔසවමින් අපි ගාවට ඇදෙනවා. දැන් උගේ හිසත් අපේ හිසත් අතර තිබෙන්නේ අඩි තුනක දුරක් විතරයි!

“ඌ කන්න දෙයක් හොයනවා ඇති! අපි ඉක්මනට යමු” කියා හොල්ස්ට්‍රම් මහතා අනතුරු අඟවනවා. කූඩුවේ දොර වසා දමමින් අපි පුළුවන් තරම් ඉක්මනටම එතනින් අයින් වෙද්දී, ඇනකොණ්ඩා උගේ හිස පිටුපසට හරවාගෙන දඟරයක් වගේ එතී ඇති උගේ ශරීරයේ හරි මැදට හිස ඔබාගත්තා.

ඇනකොණ්ඩාගේ නපුරු බැල්ම ගණන් ගන්න එපා. උගේ හිසේ රතු පාටට හුරු ඉරි තිබෙනවා. ඒ දෙස හොඳින් බලන්න. එතකොට ඌ ඇත්තෙන්ම සිත්ඇදගන්නාසුලු සතෙක් බව ඔබට වැටහෙයි. උගේ හිස උඩින්ම තිබෙන්නේ උගේ නාස් පුඩු දෙකයි, ඇස් දෙකයි. හරියට කිඹුලෙක් හා සමානව, උගේ මුළු ශරීරයම වතුර යට තිබෙද්දී නාස් පුඩුයි ඇස් දෙකයි විතරක් වතුර මතුපිටින් තබාගැනීමට මෙය ඉඩ සලසා දෙනවා. ඌ පහසුවෙන්ම තම ගොදුරු රවටාගන්නේ කොහොමද කියා මෙයින් පැහැදිලි වෙනවා.

කෑම කන හැටි බලමු

ඇනකොණ්ඩාට විෂ සහිත දළක් නැහැ. ඌ ගොදුර තදින් වෙළාගන්නවා. නමුත් ගොදුර පොඩි කර දමන්නේ නැහැ. ඒ වෙනුවට, ගොදුර හුස්ම පිට කරන සෑම විටම ඌ තව තවත් තදින් ගොදුර වෙළාගන්නවා. මෙලෙස ඌ ගොදුර කරගෙන සිටින සතාගේ හුස්ම හිර කර මරා දමනවා. ඇනකොණ්ඩාට අහු වන ඕනෑම දෙයක් ඌ ගිල දමනවා. ඌ තාරාවන්, මුවන් වැනි සතුන් තම ගොදුර කරගන්නවා. නමුත් මිනිසුන්ව තම ගොදුර කරගන්නා බව අසන්න ලැබෙන්නේ කලාතුරකින්.

සර්පයන්ට ආහාර හැපීමට හෝ ඉරා දැමීමට නොහැකි නිසා, ඇනකොණ්ඩා උගේ ගොදුර එහෙන් පිටින්ම ගිල දමනවා. ගොදුර ඌට වඩා විශාල වුණත් ඌ ඒක කරනවා. ඔබ රටකජු ඇටයක් ගිලිනවා හා සමානව පොල් ගෙඩියක් ගිල දමනවා කියා සිතන්න. අන්න එහෙම තමයි ඇනකොණ්ඩා උගේ කෑම කන්නේ. ඌ මෙය කරන්නේ කොහොමද?

“උගේ හකු ගොදුර උඩ ඇවිද්දවනවා හා සමාන වැඩක් කිරීමෙන්” කියා හොල්ස්ට්‍රම් මහතා පිළිතුරු දෙනවා. ඇනකොණ්ඩාගේ හකු හරිම බුරුල් කියා ඔහු මට දැන් පැහැදිලි කරනවා. ගොදුරක් ඩැහැගන්න කලින් උගේ යටි හක්ක පහළට දමා විහිදුවනවා. ඊට පස්සේ, උගේ යටි හක්කේ එක් පැත්තක් ඉදිරියට තල්ලු කරමින් ඒ පැත්තේ දත්වලින් තම ගොදුර හයියෙන් අල්ලාගන්නවා. ඒත් සමඟම තම ගොදුර කට ඇතුලට ඇදගන්නවා. ඊට පස්සේ, උගේ යටි හක්කේ අනිත් පැත්තෙනුත් එම දෙයම කරනවා. උඩු හක්කෙනුත් යම් තාක් දුරකට එලෙස කරන්න පුළුවන්. මෙසේ හක්ක මාරුවෙන් මාරුවට ඉදිරියට ඇදී යන විට ඒක පේන්නේ හරියට ගොදුර උඩ ඇවිදිනවා වගෙයි. ගොදුර ගිලගත්තාට පස්සේ, ඇනකොණ්ඩා කිහිප සැරයක්ම ඈනුම් අරිනවා. එතකොට උගේ හිස නැවතත් එහි සාමාන්‍ය හැඩයට හැරෙනවා.

ඇනකොණ්ඩාගේ හුස්ම හිර වෙන්නේ නැහැ. ඒ ඇයි? අවශ්‍ය අවස්ථාවලදී දික් කළ හැකි ස්වාසනාලයක් උගේ දිව යට තිබෙන නිසයි. ගොදුර ගිලින විට ඇනකොණ්ඩා උගේ ස්වාසනාලය ඉදිරියට තල්ලු කරනවා. මේ හේතුවෙන් ඌට කන ගමන්ම වාතාශ්‍රය ලබාගත හැකියි.

එක් එක් ඇනකොණ්ඩාව වෙන් කර හඳුනාගනිමු

මගේ මඟ පෙන්වන්නා දැන් ඇනකොණ්ඩා පැටව් දෙන්නෙක් ඉන්න කුටියක් අරිනවා. දෙන්නා අතර කිසිම වෙනසක් නැහැ. වෙනිසුවේලා අධ්‍යයනයේදී කැලෑවේ ඉන්න ඇනකොණ්ඩන්ව පර්යේෂකයන්ට වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න පුළුවන් වුණේ කොහොමද කියලා මම කල්පනා කළා.

මේක ඇත්තෙන්ම ප්‍රශ්නයක් වුණා කියා හොල්ස්ට්‍රම් මහතා කියනවා. නමුත් එය විසඳන්න ඔවුන් පේපර් ක්ලිප්වලින් ඉලක්කම් සාදා, ඒවා රත් කර ඇනකොණ්ඩන්ගේ හිසේ ලකුණක් තැබුවා. මෙලෙස ඔවුන්ට සර්පයන්ව වෙන් කර හඳුනාගැනීමට පුළුවන් වුණා. නමුත් ටික කලකට පස්සේ හැව අරිනවත් එක්කම උන්ගේ හඳුනාගැනීමේ ලකුණත් නැති වී ගියා. හැබැයි හැම ඇනකොණ්ඩෙකුටම ආවේණික වූ හඳුනාගැනීමේ ලකුණක් තිබෙන බව පර්යේෂකයන්ට අවබෝධ වෙන්න පටන්ගත්තා. උන්ගේ වල්ගයේ යටි පැත්ත කහ පාටයි. ඒකේ සර්පයාගෙන් සර්පයාට වෙනස් වන කළු පාට පුල්ලි තිබෙනවා. ඒවා හරියට අපේ ඇඟිලි සලකුණු වගෙයි. “අපි කොරපොතු 15ක් විතර තියෙන හැව කෑල්ලක් අරගෙන ඒකේ මෝස්තරය සටහන් කරගත්තා. මෙයින් අපි අධ්‍යයනය කරපු සර්පයන් 800දෙනා එකිනෙකට වෙනස් බව දැකගැනීමට ඇති තරම් සාක්ෂි ලැබුණා.”

තරඟයක් නරඹමු

අපි දැන් ඉන්නේ හොල්ස්ට්‍රම් මහතාගේ කාර්යාලයේ. අන්තිමට ඔහු මට පිරිමි ඇනකොණ්ඩන් ගණනාවක් එකට එතිලා ඉන්න ඡායාරූපයක් පෙන්වනවා. ඒක අරගෙන තිබුණේ වෙනිසුවේලාවේදී. එය ඇත්තෙන්ම මනබඳින දර්ශනයක්. සංසර්ගයේ යෙදීමට වෑයම් කරන පිරිමි ඇනකොණ්ඩන් කිහිපදෙනෙක්ම එකට එතිලා ඉන්නවා. උන් එතිලා ඉන්නේ හරියට බෝලයක් වගෙයි. (26වන පිටුවේ ඡායාරූපය බලන්න.) “මෙම පිරිමි ඇනකොණ්ඩන් මැද ගැහැනු සතෙකුත් ඉන්නවා. එක සැරයක් එක ගැහැනු සතෙක් වටේ පිරිමි සතුන් 13දෙනෙක්ම එතිලා හිටියා! ඒ වගේ දර්ශනයක් දැකගන්න හම්බ වෙන්නේ කලාතුරකින්” කියා හොල්ස්ට්‍රම් මහතා මට පැහැදිලි කර දෙනවා.

මෙම ඇනකොණ්ඩන්ගේ පිරිමි සතුන් එකිනෙකා සමඟ පොරකනවාද? ඒක හරියට මන්දගාමීව යන මල්ලව පොරයක් වගෙයි. සෑම පිරිමි තරඟකරුවෙක්ම බලන්නේ අනිත් පිරිමි සතාව තල්ලු කර, ගැහැනු සතා ගාවට යන්නයි. සමහරවිට තරඟය සති දෙකේ සිට හතර දක්වා කාලයකට පවා දිග්ගැස්සෙන්න පුළුවන්. දිනන්නේ කවුද? වේගය වැඩිම සතාද (ගැහැනු සතා වෙතට මුලින්ම යෑමට සමත් වන සර්පයා), උචිතම සතාද (ශුක්‍රාණු වැඩිම සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන සර්පයා) නැත්නම් ශක්තිමත්ම (අනිත් සර්පයන්ව පැරදවීමට සමත් වන සර්පයා) සතාද? පර්යේෂකයින් තවමත් මෙයට පිළිතුරු සොයනවා.

මම දැන් මගේ මඟ පෙන්වන්නාගෙන් සමුගන්නයි යන්නේ. මේ සිත් ඇදගන්නාසුලු සංචාරයේ මාව ගෙනගිය එක ගැන මම ඔහුට මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. ඔහුගෙන් සමුගෙන මම මගේ කාර්යාලය කරා ගමන් කරද්දී මම ඉගෙනගත්ත දේවල් ගැන කල්පනා කළා. ජීව විද්‍යාඥ හේසුස් රීබාස් ඇනකොණ්ඩා “දිහා බලලා හුඟක් විනෝද වෙන්න පුළුවන්” කියා පවසා තිබුණා. මම නම් ඒකට එකඟ වෙන්නේ නැහැ. හැබැයි උන් මගේ අවධානය ඇදගත්තා කියලා නම් මට කියන්න පුළුවන්. පර්යේෂකයින් මෙම යෝධ සර්පයන්ව උන්ගේ පරිසරයේ සිටම දිගින් දිගටම අධ්‍යයනය කරද්දී, උන් පිළිබඳව තව තවත් රහස් හෙළි වන බවට කිසිම සැකයක් නැහැ.

[පාදසටහන්වල]

a මෙම අධ්‍යයනයට අවශ්‍ය අරමුදල් සැපයුවේ, වෙනිසුවේලාවේ වන හා සත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අනතුරට ලක් වූ වන සතුන් හා ශාකවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මේලනයට සහභාගි වූ අයයි.

b උභය ජීවී හා උරග අධ්‍යයන දෙපාර්තමේන්තුව මගින් සම්පාදිත උරග විද්‍යා ජ’නලය (ඉංග්‍රීසියෙන්) ඇසුරෙන්. අංක 4, 1997, 607-9 දක්වා පිටු.

[24වන පිටුවේ පින්තූරය]

වෙනිසුවේලාවේදී ඇනකොණ්ඩන් පිළිබඳ අධ්‍යයනය

[25වන පිටුවේ පින්තූරය]

විලියම් හොල්ස්ට්‍රම්

[26වන පිටුවේ පින්තූරය]

ඇනකොණ්ඩන් සංසර්ගයේ යෙදෙන හැටි