Skip to content

පටුනට යන්න

රූපවාහිනිය නරඹන විට කල්පනාකාරි වන්න

රූපවාහිනිය නරඹන විට කල්පනාකාරි වන්න

රූපවාහිනිය නරඹන විට කල්පනාකාරි වන්න

රූපවාහිනිය “කතන්දර කියන්නෙකු ලෙසද, කුඩා ළමුන්ව බලාගන්නෙකු ලෙසද, මහජනයාගේ අදහස්වලට දැඩි බලපෑමක් එල්ල කරන්නෙකු ලෙසද” කටයුතු කරනවා කියා එක්සත් ජනපදයේ මාධ්‍ය කටයුතු නිරීක්ෂණ කණ්ඩායමක් ව්සින් සකස් කර ලද වාර්තාවක සඳහන් විය. මහජන ශුභසිද්ධියට දායක නොවන අමෙරිකාවේ ප්‍රාදේශිය රූපවාහිනි ප්‍රවෘත්ති ලෙස එම වාර්තාව නම් කර තිබිණ. “සෑම නිවසකම වගේ රූපවාහිනියක් ඇත . . . එයින් ඇති කරන බලපෑම දුම්වැටියකින් නිකුත් වන අහිතකර දුමට සමානයි” කියා එහි සඳහන් විය. එවැනි දුමක් ආශ්වාස කිරීම හානිකර වන්නාක් මෙන්, තෝරා බේරාගන්නේ නැතුව පැය ගණනාවක් තිස්සේ රූපවාහිනි වැඩසටහන් නැරඹීමත් හානිකරයි. තවද, එය විශේෂයෙන්ම ළමුන්ට හානිකරයි.

අපරාධ හා ප්‍රචණ්ඩකාරි ක්‍රියා ඇතුළත් රූපවාහිනි වැඩසටහන් ගැන එම වාර්තාවෙහි මෙසේ සඳහන් වේ. “ප්‍රචණ්ඩකාරි දර්ශන නැරඹීම දරුවන්ගේ ඉගෙනීමට අහිතකර ලෙස බලපාන බවත්, මෙවැනි දරුවන් කලහාකාරි මෙන්ම අසංවේදී අය බවට පත් වන බවත්, අධ්‍යයනයන් සියගණනකින් අනාවරණය වී තිබේ.” “රූපවාහිනියේ පෙන්වන ප්‍රචණ්ඩකාරි ක්‍රියා තරුණයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කරයි” කියා 1922දී අමෙරිකානු වෛද්‍ය සංගමය සඳහන් කළේය.

ඔබේ දරුවන් කෙරෙහි හානිකර බලපෑමක් ඇති කරන රූපවාහිනි වැඩසටහන් නැරඹීම ඔබට පාලනය කළ හැක්කේ කෙසේද? රූපවාහිනිය නැරඹීමේදී වඩාත් කල්පනාකාරි විය හැකි ආකාරය ගැන මහජන සෞඛ්‍ය සංවිධාන කිහිපයක් කර තිබෙන නිර්දේශ සැලකිල්ලට ගෙන සකස් කරන ලද උපදෙස් කිහිපයක් කලින් සඳහන් කළ වාර්තාවේ ඇතුළත් කර ඇත. එම උපදෙස්වලින් සමහරක් මතු දැක්වේ.

◼ රූපවාහිනිය නැරඹීම සීමා කරන්න. නරඹන වැඩසටහන් කලින් තීරණය කරන්න. දරුවන්ට නැරඹිය හැකි කාල වේලාවන් නියම කරන්න. දරුවන්ගේ කාමරවල රූපවාහිනි යන්ත්‍ර නොතබන්න.

◼ දරුවන්ට රූපවාහිනියෙන් නරඹන ස්ථාන ගැන සොයා බැලීම සඳහා එය අසල ලෝක සිතියමක් තබන්න.

◼ දරුවන් සමඟ රූපවාහිනිය නරඹන්න. මෙසේ කිරීමෙන් මනඃකල්පිත දේවල් මොනවාද, සැබෑ දේවල් මොනවාද කියා ඔවුන්ට පැහැදිලි කර දීමට ඔබට හැකියි. වයස අවුරුදු දහයට අඩු දරුවන් බොහෝදෙනෙකුට මේ දේවල් අතර වෙනස හඳුනාගත නොහැකියි.

◼ රූපවාහිනිය පහසුවෙන් නැරඹිය හැකි තැනක නොතබා, දොරවල්වලින් වැසිය හැකි කැබිනට් එකක දමන්න. මෙසේ කිරීමෙන් රූපවාහිනිය නිතර ක්‍රියාත්මක කිරීම හා චැනල් මාරු කිරීම තරමක් අපහසු කාර්යයක් වනු ඇත.