Skip to content

පටුනට යන්න

ගංගා දෙකක ගමන

ගංගා දෙකක ගමන

ගංගා දෙකක ගමන

ඉන්දියාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

ඉන්දියානු අර්ධ මහද්වීපයේ දශලක්ෂ ගණනකගේ ජීවිතය රඳා පවතින්නේ එම රටෙහි තිබෙන ප්‍රධාන ගංගා දෙකක් මතයි. ලෝකයේ උසම කඳුවැටියේ ග්ලැසියර්වලින් වැසුණු කඳු මුදුන්වලින් නික්මෙන මෙම දැවැන්ත ගංගා දෙකෙහි උල්පත් තිබෙන්නේ එකිනෙකට නුදුරිනි. ඒවා ප්‍රධාන වශයෙන් රටවල් දෙකක් හරහා කිලෝමීටර් 2,400කටත් වඩා දුර ගලා යයි. එම ගංගාවන් අන්තිමේදී මුහුදට ගලාබසින්නේ වෙනස් ස්ථාන දෙකකිනි. ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාර දෙකක් හා ආගම් දෙකක් එම ගංගා දෙකෙන් බිහි විය. එම ගංගාවලින් ලැබෙන සම්පත් ඉතා අගය කොට සලකයි. ඉන් එක් ගංගාවකට අදදින පවා ගරුබුහුමන් කරනු ලබයි. අප මේ කතා කරමින් සිටින්නේ ඉන්දු හා ගංගා නම් ගංගා දෙක ගැනයි.

මිනිසාගේ පැවැත්මට හා වර්ධනයට ජලය අවශ්‍ය වන නිසා පුරාණ ශිෂ්ටාචාරයන් වර්ධනය වූයේ ජලාශ්‍රිත ප්‍රදේශවලයි. සමහර ශිෂ්ටාචාරයන් ගංගා සැලකුවේ දෙවි දේවතාවන් ලෙසයි. එමනිසා එම ශිෂ්ටාචාර සම්බන්ධයෙන් තිබෙන පුරාවෘත්තවල මිථ්‍යා ප්‍රබන්ධ ඇතුළත් වී තිබීම පුදුමයක් නොවේ. ඉන්දු හා ගංගා නම් ගංගා දෙක සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි. ගංගා නම් ගඟට ඉන්දියාවේ ජනතාව ගංගා මා (ගංගා මෑණියන්) යන නමද දී තිබීම මෙයට නිදසුනක් වශයෙන් සඳහන් කළ හැක.

හින්දු භක්තිකයන් හා බෞද්ධයන් යන දෙපිරිසම, මීටර් 6,714ක් උස කයිලාස් කන්ද හා ඊට ආසන්නව පිහිටි මාපාන් විල දෙවි දේවතාවන්ගේ නිවහන වශයෙන් සලකයි. ටිබෙට්හි වැසියන් මාපාන් විලට මනසාරොවාර් යන නමද දී තිබේ. එම විලේ විසූ සතුන් සතරදෙනෙකුගේ මුඛයෙන් ගංගා සතරක් නික්මුණ බව සෑහෙන කාලයක් පුරා විශ්වාස කෙරිණ. ඉන්දු ගඟ, සිංහ ගඟ වශයෙන් සැලකුව අතර ගංගා නම් ගඟ සැලකුවේ මොනර ගඟ වශයෙනුයි.

ටිබෙට් ජාතිකයන් විදේශ රටවලින් පැමිණි ගවේෂකයන්ව සැලකුවේ සතුරන් ලෙසයි. නමුත් 1811දී, ඊස්ට් ඉන්ඩියා නමැති සමාගමට අයත් ඉංග්‍රීසි ජාතික පශු වෛද්‍යවරයෙක් වෙස් මාරු කරමින් රට පුරා ගමන් කළේය. මනසාරොවාර් විලෙන් ගංගා නික්මෙන්නේ නැති බවත්, ඒ වෙනුවට කඳුකර ප්‍රදේශයේ දිය පාරවල් කිහිපයක් එය තුළට ගලා එන බවත් ඔහු සොයාගත්තේය. නමුත් ඉන්දු හා ගංගා නම් ගංගාවල උල්පත් සොයාගැනීමට සමත් වූයේ 20වන ශතවර්ෂයේ මුලදීය. ඉන්දු ගඟේ උල්පත් හිමාල කඳුවැටියේ උතුරු ප්‍රදේශය වන ටිබෙට්හි සොයාගත හැක. ගංගා නම් ගඟ ආරම්භ වන්නේ උතුරු ඉන්දියාවේ හිමාල කඳුවැටියේ පිහිටි හිම ගුහාවකිනි.

ඉපැරණි ශිෂ්ටාචාර දෙකක මූලාරම්භය

ඉන්දියා අර්ධ මහාද්වීපයේ මුල්ම වැසියන් නැඟෙනහිර දෙසට ගමන් කරමින් ඉන්දු නිම්නය ආශ්‍රිතව පදිංචි වූ බව විශ්වාස කෙරේ. ඉන්දියාවේ මෙම මුල් පදිංචිකරුවන් නොදියුණු, තැනින් තැන ගමන් කරන එඬේර ගෝත්‍රිකයන් වූ බව දිගු කලක් පුරා පොදු පිළිගැනීමක්ද තිබිණ. නමුත් හරප්පා හා මොහෙන්ජෝදාරෝ වැනි ප්‍රදේශවල ඉතා දියුණු ශිෂ්ටාචාර පැවතුණු බව පුරාවිද්‍යාඥයෝ සොයාගත්හ. එමනිසා ඉන්දියාවේ මුල්ම පදිංචිකරුවන් ගැන දැරූ එම මත 20වන ශතවර්ෂයේ මුල් දශක කිහිපය තුළදී වෙනස් වීමට පටන්ගත්තේය. තිබෙන සාක්ෂිවලට අනුව, වසර 4,000ට පෙර පැවති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තරම්ම දියුණු තත්වයක පැවතිණ. ඇත්තෙන්ම සමහරදෙනෙකු පවසන ආකාරයට එය සමහරවිට ඊටත් වඩා දියුණු ශිෂ්ටාචාරයක් වූවා විය හැක. සොයාගෙන ඇති තොරතුරුවලින් හෙළි වී ඇත්තේ කුමක්ද කියා සලකා බලන්න. එහි විශේෂ මෝස්තර සහිත පාරවල්, තට්ටු නිවාස, නිවාස සංකීර්ණ හා කැළි කසළ හා අසූචි බැහැර කිරීමේ ඉතා දියුණු ක්‍රම තිබූ බව සොයාගෙන ඇත. එපමණක්ද නොව, දැවැන්ත ධාන්‍යාගාර, මාළිගා හා පිරිසිදු වීමේ වත්පිළිවෙත් සඳහා භාවිත කළ විශාල පොකුණුද එහි තිබූ බවට සාක්ෂි තිබේ. මේ සියල්ලෙන් ඔප්පු වන්නේ ඔවුන් ඉතා දියුණු නාගරික ජීවිතයක් ගත කළ බවයි. ඉන්දු ගංගාව, ගොඩබිමේ සිට අරාබි මුහුද දක්වා කිලෝමීටර් සිය ගණනක් දුරට විහිදී ගිය නිසා මෙසපොතේමියාව හා මැද පෙරදිග රටවල් අතර වෙළඳ සබඳතා පැවතුණ බවටද සාක්ෂි ඇත.

කාලයාගේ ඇවෑමෙන්, භූමිකම්පා හෝ විශාල ජලගැලීම් හේතුවෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දුර්වල වූ බවක් පෙනෙන්න තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මධ්‍යම ආසියාවේ සිට පැමිණි එඬේර ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණවලට එරෙහිව පියවර ගැනීමට ඔවුන් අසමත් විය. ආර්ය ජාතිකයන් වශයෙන් හැඳින්වූ මෙම ආක්‍රමිකයෝ ගඟ අසබඩ පිහිටි නගරවල විසූ ජනයාව පන්නා දැමූහ. එමනිසා ඉන්දු නිම්නය ආශ්‍රිතව වර්ධනය වූ ඉපැරණි සංස්කෘතිය දකුණු ඉන්දියාවට මාරු විය. අද පවා දකුණු ඉන්දියාවේ ප්‍රධාන ජන කොට්ඨාසයක් වන ද්‍රවිඩ ජනයාව සොයාගත හැක.

ආර්ය ගෝත්‍රයට අයත් ඇතමෙක් නැඟෙනහිරට ගමන් කරමින් ගංගා නිම්නය තමන්ගේ වාසස්ථානය කරගත්හ. මේ අනුව, ආර්ය ජනයාගේ සුවිශේෂි සංස්කෘතිය විකාශනය වූයේ උතුරු ඉන්දියාවේ, විශේෂයෙන්ම ගංගා නම් ගඟ ආශ්‍රිතවය. අද පවා අර්ධ මහද්වීපයේ ආර්ය ජන කොට්ඨාසය ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ එම ප්‍රදේශය ආශ්‍රිතවයි.

ආගම් දෙකක මූලාරම්භය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ හා මෙසපොතේමියාවේ ඇදහූ ආගම් අතර සමානකම් තිබෙන බව පුරා විද්‍යාත්මක සොයාගැනීම්වලින් හෙළි වේ. ආර්ය ජනයා හින්දු ආගම ඇදහූ බව බොහෝ කලක් පුරා විශ්වාස කෙරිණ. මෙයට සාක්ෂි වශයෙන් ඉන්දු නිම්නයෙන් සොයාගෙන ඇති හින්දු භක්තිකයන්ගේ පුරාවස්තු සඳහන් කළ හැක. හින්දු ආගම යනු, ආර්ය යුගයට පෙර විසූ හා ඒ අතරතුර විසූ ජනයා ඇදහූ දෙවිවරුන් මෙන්ම විශ්වාසයන්ගේ සංකලනයකි. ආර්යයන් ඉන්දු ගඟ ශුද්ධ ගඟක් වශයෙන් සැලකුවත්, පසුව ඔවුහු නැඟෙනහිර දිශාවට ගමන් කර ගංගා නම් ගඟ අසල පදිංචි වූහ. ඉන් පසුව, ඔවුහු එම ගංගාවට වැඳුම් පිදුම් කිරීමට පටන්ගත්හ. කාලයාගේ ඇවෑමෙන් හරිද්වා, අලහබාද් හා වාරාණසී වැනි නගර ගංගා නම් ගඟ ආශ්‍රිතව බිහි විය. මෙම නගරවල ජීවත් වූයේ හින්දු භක්තිකයන්ය. අද වන්දනා ස්ථාන වශයෙන් සැලකෙන මෙම නගර ඇතුළු වෙනත් නගරවලට දැන් මිලියන ගණන් ජනයා එක්රොක් වෙයි. ඔවුන් මෙසේ පැමිණෙන්නේ සුවය ගෙන දීමට හා පවිත්‍ර කිරීමට බලය ඇති බවට විශ්වාස කරන ගංගා නම් ගඟේ ස්නානය කිරීම සඳහායි.

හින්දු ධර්මය ආරම්භ වූයේ ඉන්දු ගඟ අසල වන අතර බෞද්ධ ධර්මය ආරම්භ වූයේ ගංගා නම් ගඟ ආශ්‍රිතවයි. බුදුන් ලෙස සැලකෙන සිද්ධාර්ථ ගෞතම නමැත්තා තම පළවෙනි දේශනය පැවැත්වූයේ වාරාණසී නුවරට නුදුරින් පිහිටි සර්නත් නම් ප්‍රදේශයේය. වයස අවුරුදු 79දී ඔහු ගංගා නම් ගඟ හරහා පිහිනණු ලැබූ බව පැවසේ.

වර්තමාන තත්වය

ගංගා ජලය පෙර කිසිම දාකටත් වඩා අද අත්‍යවශ්‍යයි. වසර 4,000කට පෙර ඉන්දු හා ගංගා නම් ගංගා මත ජනයා රඳා පැවතිණ. අදදින වෙන කිසිදාකටත් වඩා මෙම ගංගා මත ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලාදේශය යන විශාල රටවල් තුනේම ජනයා යැපෙන නිසා ඒවා ඉතා පරෙස්සමින් පරිහරණය කළ යුතුයි. (16-17 පිටුවල සිතියම බලන්න.) තවද ගංගා දෙක රටවල් කිහිපයක් හරහා ගලායන නිසා එම රටවල් අතර මේ සම්බන්ධයෙන් ගිවිසුම් ඇති කිරීමේ අවශ්‍යතාවක්ද පැනනැඟ ඇත. පකිස්ථානයේ බැඳ ඇති වේලි අතරින් ටාර්බෙලා වේල්ල ප්‍රධාන තැනක් ගනියි. වාරිමාර්ග සඳහා යොදාගන්නා මෙය දිගින් කිලෝමීටර් තුනක් හා උසින් මීටර් 143කි. එය ලෝකයේ විශාලතම වේලිවලින් එකක් වන අතර එය සෑදීමට ඝන මීටර් 14,85,00,000ක්ම පස් පුරවන ලදි. ගංගා නම් ගඟට අවශ්‍ය ජල සැපයුම ලබා දීමට හා එම ජල මට්ටම ස්ථාවරව පවත්වාගැනීමට, ඒ මත පිහිටි ෆරක්කා අමුණ ප්‍රයෝජනවත් වේ. මෙම අමුණ කල්කටා වරායේ වැඩි වෙමින් පවතින නැව් ගමනාගමනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.

ගංගා නම් ගඟ වෙනත් බොහෝ ගංගා මෙන් දූෂණයට ලක් වී ඇත. මෙය සෑහෙන විශාල ගැටලුවක් බවට පත් වී ඇත. මෙයට පිළියමක් වශයෙන් 1984දී ඉන්දියානු රජය විසින් ගංගා ක්‍රියාන්විත යෝජනා ක්‍රමය දියත් කළේය. එමගින් කැළි කසළ, අසූචි ආදිය පොහොර හෝ ජීවවායුව බවට පත් කිරීමට, ගඟට එක් වන කානු වසා දැමීමට හා රසායනික අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට විශේෂ අවධානයක් යොමු කළේය.

කෙසේවෙතත්, ලෝකයේ ගංගාවලට පරිසර දූෂණයෙන් සිදු වී ඇති හානිය නැති කර දැමීමට මිනිස් ආයතන සමත් වී නැත. නමුත්, දෙවි ළඟදීම මෙයට විසඳුමක් ගෙන දෙයි. ඔහුගේ රාජ්‍යය යටතේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වන අතර ‘ජල ධාරාවන්ද අත්පොළසන් දෙයි.’—ගීතාවලිය 98:8.

[16, 17වන පිටුවේ කොටුව⁄සිතියම]

දැවැන්ත ඉන්දු ගඟ

ඉන්දු ගඟ සෑදීමට කුඩා දිය පාරවල් ගණනාවක්ම එකතු වන නිසා එහි උල්පත තිබෙන්නේ කොහේද යන්න ගැන බොහෝ අදහස් පළ වී ඇත. නමුත් මෙම දැවැන්ත ගංගාව හිමාලය කඳු මුදුනේ සිට ගලා එන බවට දැන් කිසිම සැකයක් නැත. එය වයඹදිග පැත්තට වෙන්න පිහිටි “ලෝකයේ පියස්ස” වශයෙන් හඳුන්වන ටිබෙට් සානුව හරහා කි.මී. 320ක් දුර ගලාගෙන යයි. ඒ අතරතුරේදී එයට දිය පාරවල් ගණනාවක්ම එකතු වෙයි. එය ඉන්දියාවේ දේශ සීමාව වන ලඩක් ප්‍රදේශයට ළඟා වෙද්දී කඳු හරහා ගමන් කරමින් හිමාලය හා කාරකෝරම් වැටි අතර ඇළක් සාදමින් වේගවත්ව ඉදිරියට ඇදී යයි. මෙම ස්ථානයේ සිට කි.මී. 560ක් ගලා යමින්, එය මීටර් 3,700ක බෑවුමක් දිගේ පහළට ඇද හැළෙයි. එතැන් සිට උතුරට ගලා යන එය, එක විගසම හිමාල කඳුවැටියේ බටහිර දෙසට ඇදී යයි. එතැන් සිට හින්දු කුෂ් කඳුවැටියෙන් නික්මෙන විශාල ගඟක් වන ජිල්ගිට් මෙයට එක් වෙයි. ඉන්පසු එය පකිස්ථානය හරහා දකුණු දෙසට ගලාගෙන යයි. අනතුරුව, ඉතා වේගයෙන් කඳු අතරින් ගලා යමින් එය ඉන්දු නිම්නයට ළඟා වී පන්ජාබ් ප්‍රදේශය මැදින් යයි. පන්ජාබ් යන නමෙහි අර්ථය වන්නේ “ගංගා පහක්” යන්නය. මෙය ඉන්දු නදිය සඳහා ඉතා යෝග්‍ය වූ නමකි. මන්ද පන්ජාබ් ප්‍රදේශයේදී ඉන්දු ගංගාවට අතු ගංගා පහක් වන බීයස්, සට්ලෙජ්, රවී, ජීලම් හා චීනාබ් එකතු වන නිසාය. ඒවා යෝධ අතක ඇඟිලි පහක් විහිදෙන්නාක් මෙන් ඉන්දු ගංගාව වෙත ගලා බසී. එතැන් සිට ඉන්දු ගංගාව තව කි.මී. 2,900ක් දුරට ගලා යමින් එහි ගමන අවසන් කරයි.

ගරුබුහුමනට පාත්‍ර වන ගංගා නම් ගඟ

ඉන්දු ගඟේ උල්පත පිහිටා ඇත්තේ හිමාල කඳුවැටියේය. එතැනින් කි.මී. 100ක් ඈතින් දකුණු දෙසට වෙන්න පිහිටි ගංගා නම් ගඟ, බෙංගාල බොක්ක කරා කි.මී. 2,500ක දුර ගමනක් ආරම්භ කරයි. පසුව මීටර් 3,870ක උසක සිට එය කඩා හැළෙමින් භගිරාති නම් ඇළ බවට පත් වේ. ඉන්දු නදිය කඩා හැළෙන්නේ එළදෙනකගේ මුඛයක් මෙන් දිස් වන ග්ලැසියර් නෙරුවකිනි. එයට දී ඇති හින්දි නම ගෞමුක් වේ. ඉන්දු නදියේ උල්පත්වල සිට කිලෝමීටර් 214ක් ඈතින්, එනම් දේව්ප්‍රයාග් නම් ස්ථානයේදී එයට එලක්නන්ද නම් තවත් ඇළක් එකතු වේ. ඉන්පසු මන්දාකිණි, ධෞලිගඟ හා පින්ඩා නම් ඇළවල්, එලක්නන්ද හා භගිරාතිට එකතු වී ගංගා නම් ගඟ බවට පත් වේ.

අර්ධ මහද්වීපය හරහා ගිනිකොනදිග පැත්තට ගලා බසිද්දී ගංගා නම් ගඟට තවත් විශාල ගංගා කිහිපයක්ම එකතු වේ. අලහබාද්හි යමුනා නදිය හා බංග්ලාදේශයෙහි පිහිටි මහ බ්‍රහ්මපුත්‍රා ගඟ මෙයට උදාහරණ වේ. ගංගා නම් ගඟ හා එහි ශාඛා විශාල ප්‍රදේශයක් හරහා විහිදී යන නිසා ඉන්දියාවේ භූමි ප්‍රදේශයෙන් හතරෙන් පංගුවක් වන ගංගා නිම්නය ආශ්‍රිත සාරවත් ප්‍රදේශයටම මෙමගින් ජලය සැපයේ. එයට වර්ග කිලෝමීටර් 10,35,000ක ප්‍රදේශයකින් ජලය එකතු වන අතර ඉන්දියාවේ ජනගහනයෙන් තුනෙන් පංගුවක්ම ඒ මත යැපෙයි. දැන් ජනගහනය බිලියනකටත් වඩා ඉහළ ගොස් ඇති ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් ඇති රටවලින් එකකි. බංග්ලාදේශය දෙසට ළඟා වෙද්දී ගංගා නම් ගඟ විශාල මුහුදක් හා සමාන වේ. එහි විවිධාකාර යාත්‍රා වර්ගද දැකගත හැකි වේ. ඊට පසුව එය විවිධ ප්‍රධාන ගංගා හා කුඩා දිය පාරවල් ගණනාවකට බෙදී ලෝකයේ විශාලතම ඩෙල්ටාව බවට පත් වේ.

[සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ටිබෙට්

පකිස්ථානය

ඉන්දු

ජීලම්

චීනාබ්

සට්ලෙජ්

හරප්පා

මොහෙන්ජෝදාරෝ

ඉන්දියාව

ගංගා

යමුනා

බ්‍රහ්මපුත්‍රා

අලහබාද්

වාරාණසී

පැට්නා

කල්කටා

බංග්ලාදේශය

නේපාලය

භූතානය

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[පින්තූර]

හින්දු භක්තිකයෝ ගංගා නම් ගඟෙහි ස්නානය කරති

[හිමිකම් විස්තර]

Copyright Sean Sprague/Panos Pictures