Skip to content

පටුනට යන්න

ජීවිතයෙහි කිසිදු වටිනාකමක් නැද්ද?

ජීවිතයෙහි කිසිදු වටිනාකමක් නැද්ද?

ජීවිතයෙහි කිසිදු වටිනාකමක් නැද්ද?

“අප ජීවත් වන ලෝකය මනුෂ්‍ය ජීවිතය වටිනා යමක් සේ නොසලකයි. පුද්ගලයෙකුව ඝාතනය කිරීමට අවශ්‍ය වන්නේ [ස්ටර්ලිං] පවුම් සියයක්, දෙසියයක් වැනි සුළු මුදලකි. තවද එම සේවාව සැපයීමට ඉදිරිපත් වන අයගේ අඩුවකුත් නැත.”—ද ස්කොට්ස්මන්.

මුළු ලොවම සසල කළ පහර දීමක් 1999 අප්‍රියෙල් මාසයේදී සිදු විය. අමෙරිකා එක්සත් ජනපදයේ, කොලරාඩෝ ප්‍රාන්තයේ ලිටල්ටන්හි කලම්බයින් උසස් පාසැලට කඩා වැදුණු නහඹරයන් දෙදෙනෙකුගෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයක ප්‍රතිඵලයක් වශයෙන් 15දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෙම ප්‍රහාරකයන්ගෙන් එක්කෙනෙකුට වෙබ් පිටුවක් තිබූ බවත් එහි “මැරිච්ච අයගෙන් කරදරයක් නැහැ!” කියා සඳහන් වී තිබූ බවත් පසුව පැවැත්වූ පර්යේෂණවලින් හෙළි විය. මෙම නහඹරයෝ දෙදෙනාත් තමන් විසින්ම දියත් කළ ප්‍රහාරයේදී මියගියහ.

දිනපතාම අපට ගිණිය නොහැකි ජන පිරිසක් සාහසික ලෙස මරණයට ගොදුරු වේ. මිනීමැරීම නමැති අපරාධය දස දෙස පැතිර පවතින බව සැබෑවකි. මේ සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටියේ දකුණු අප්‍රිකාවයි. වර්ෂ 1995දී, එහි විසූ වැසියන් සෑම 1,00,000කින්ම 75දෙනෙක් මරු දුටූහ. එක් දකුණු අමෙරිකානු රටක තත්වය දෙස බලද්දී, ජීවිතයෙහි කිසිදු වටිනාකමක් නැති බව මනාව පැහැදිලි වේ. වර්ෂ 1997දී දේශපාලනික හේතු මත 6,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් විය. කොන්ත්‍රාත්තුවකට පුද්ගලයන්ව ඝාතනය කිරීම එහි සාමාන්‍ය දෙයක් වී තිබේ. එම රට ගැන එක් වාර්තාවක මෙසේ පැවසේ. “ඝාතනය කරන දරුවන් සංඛ්‍යාවේ වැඩිවීම කම්පිත කරවන්නකි. වර්ෂ 1996දී දරුවන් 4,322ක් මරු දුටූහ. ඉන් අදහස් වූයේ වසර දෙකක් තරම් සුළු කාලයක් ඇතුළත සියයට 40ක වැඩිවීමකි.” කෙසේවෙතත්, දරුවන්ද මිනිමරුවන් වන බවට ලකුණු පහළ වී ඇත. ඔවුන් වෙනත් දරුවන්ව හා තමන්ගේම දෙමාපියන්ව පවා ඝාතනය කරන්නේ කිසිදු අදිමදි කිරීමකින් තොරවය. මේ අනුව බලද්දී ජීවිතයෙහි කිසිදු වටිනාකමක් නොමැති තරම්ය.

‘මරණය හා බැඳි සංස්කෘතියක්?’

මෙම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වන කාරණය කුමක්ද? ඉන් පැහැදිලි වන්නේ ජීවිතයේ වටිනාකම පිළිබඳව තිබෙන අගය දිනෙන් දිනම හීන වන බවයි. බලය හා මුදල පසුපස හඹායන උදවිය සිත් පිත් නොමැතිව වෙනත් අයව ඝාතනය කරති. පාතාල ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පවුල් පිටින් මිනිසුන්ව ඝාතනය කිරීමට විධාන නිකුත් කරති. පුද්ගලයන්ව ඝාතනය කිරීම ඔවුන් සලකන්නේ සාමාන්‍ය රාජකාරියක් ලෙසයි. නන් දෙසින් අසන්න ලැබෙන සමූලඝාතන සහ වාර්ගික ශෝධන ව්‍යාපාර, මිනිස් ජීවිතයේ වටිනාකම තව තවත් අඩු වී ඇති බවට සාක්ෂියකි. ප්‍රතිඵලය? රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය තුළින් අසන්න දකින්න ලැබෙන ලොව පුරා දෛනිකව සිදු වන ඝාතන අපට හුරුපුරුදු දෙයක් වී ඇත.

ඊට අමතරව වර්තමානයේ, රූපවාහිනියේ සහ චිත්‍රපටවල ප්‍රචණ්ඩකාරිත්වයට සහ සාහසිකකමට ප්‍රමුඛ තැනක් දී ඇති බවත් පෙනී යයි. ඇත්තෙන්ම සමාජය මරණය හා බැඳි සංස්කෘතියකට වහ වැටී ඇත්තාක් මෙනි. මේ සම්බන්ධව එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි මෙසේ පැවසේ. “විසිවන සියවසේ අගභාගයේදී, පුදුමයකට මෙන් මරණය ජනප්‍රිය විෂයක් බවට පත්ව ඇත. මීට කලින් එය ගැඹුරු විද්‍යාත්මක උපකල්පනවලදී සහ යම් දුරකට දාර්ශනික පසුබිමක් ඇති උපකල්පනවලදී පවා මඟහරින ලද විෂයක් විය.” සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳ ස්පාඤ්ඤ විශාරද චොසෙප් ෆෙරික්ග්ලා මෙසේ අදහස් පළ කළේය. “දැන් සමාජයේ මරණය නමැති විෂය ගැන සාකච්ඡා කිරීමට මිනිස්සු පසුබට නොවෙති. ඇත්තෙන්ම එය මිනිසාගේ චින්තනය මෙහෙයවීමට බෙහෙවින් ඉවහල් වන සංකල්පයක් වී තිබේ.”

බලය, ආධිපත්‍යය, මුදල් සහ විනෝදය වැනි දේවල් මිනිස් ජීවිතවලට සහ සදාචාර ගුණධර්මවලට වඩා වැදගත් බවට ජනප්‍රිය විශ්වාසයක් පවතී. ‘මරණය හා බැඳි සංස්කෘතියේ’ වඩාත්ම කැපීපෙනෙන ආකල්පය ලෙස මෙය සැලකිය හැකිය.

‘මරණය හා බැඳි මෙම සංස්කෘතියේ’ බලපෑම පැතිරෙන්නේ කෙසේද? තම දරුවන්ටත් බලපාන, හාත්පස පැතිර පවතින මෙම නිෂේධාත්මක බලපෑමට එරෙහිව කටයුතු කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද? මීළඟ ලිපිවල සලකා බලනු ලබන කරුණු අතරට මේවාද ඇතුළත්ය.

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ජීවිතයෙහි කිසිදු වටිනාකමක් නැද්ද?

◼ “[ඉන්දියාවේ මුම්බායිවල] සැරිසරන කල්ලි සාමාජිකයන් අතර සිටින තරුණයන් මුදල්වලට කොතරම් කෑදරද කිවහොත්, රුපියල් 5,000ක [ශ්‍රී ලංකා රුපියල්, 7,500ක්] තරම් සුළු මුදලකට පවා කෙනෙකුව ඝාතනය කිරීමට ඔවුහු කොන්ත්‍රාත්තුවක් භාරගනිති.”—ෆාර් ඊස්ටන් ඉකනොමික් රිවියූ.

◼ “සිගරට් එකක් නුදුන් නිසා මඟියෙකුව ඝාතනය කෙරේ.”—චිලීහි සන්තියාගෝවල පුවත්පතක් වන ලා ටෙර්සෙරාහි සිරස්තලයක්.

◼ “රුසියාවේ [1995දී] සාමාන්‍යයෙන් කෙනෙකුව ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් භාර දෙන විට ඩොලර් 7,000ක් පමණ ගෙවිය යුතුය. කොමියුනිස්ට් පාලනයෙන් මිදී ඇති රුසියාවේ, දක්නට ලැබෙන ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිඵලයක් වශයෙන් කොන්ත්‍රාත්තුවකට පුද්ගලයන්ව ඝාතනය කිරීමේ නැඹුරුවාව බෙහෙවින් වැඩි වී තිබේ.”—මොස්කව් නියුස් මත පදනම් වූ රොයිටර් ආරංචි මාර්ග.

◼ “තම ගැබිණි බිරිඳ සහ ඇගේ මවව ඝාතනය කිරීමට නහඹරයෙකුට ගෙවිය යුතු කුලිය වූ ඩොලර් 1,500න් කොටසක් ගෙවීමේ චෝදනාව පිට බෘක්ලින්හි විසූ දේපොළ වෙළඳාම්කරුවෙකුව අත්අඩංගුවට ගැනේ.”—ද නියූ යෝක් ටයිම්ස්.

◼ “එංගලන්තයේ පුද්ගලයෙකුව ඝාතනය කිරීමට අය කරන මුදල අඩු වේ . . . වසර පහකට කලින් කෙනෙකුව ඝාතනය කිරීමට පවුම් 30,000ක් පමණ වියදම් විය. දැන් ඒ සඳහා කුලිය පවුම් 5,000ත් 10,000ත් අතර වේ. එම ගාස්තුව බොහෝදෙනෙකුට දැරිය හැක.”—ද ගාඩියන්.

◼ “බෝල්කන් ප්‍රදේශයේ දරුණු කල්ලි දෙස බලද්දී, මාෆියා සංවිධානයේ සිටින්නේ දේවදූතයෝ. දැන් අලුත්ම ගණයේ අපරාධකරුවන් පිරිසක් බිහිව ඇත. තමන්ගේම අලුත් අලුත් නීතිවලට අනුව සහ නවීන පන්නයේ අවි යොදාගෙන ඔවුහු තම කාර්යයන්හි නිරත වී සිටිති. බෝම්බ සහ මැෂින් තුවක්කුවලින් සන්නද්ධව සිටින ඔවුහු, ඒවා භාවිත කිරීමටද කිසිවිටෙක පසුබට නොවෙති.”—ගාඩියන් වීක්ලි.