Skip to content

පටුනට යන්න

දිනපතා ඇස්ප්‍රින් ගැනීම හොඳද?

දිනපතා ඇස්ප්‍රින් ගැනීම හොඳද?

දිනපතා ඇස්ප්‍රින් ගැනීම හොඳද?

පහත දැක්වෙන කතාව සැබෑ එකකි. වෛද්‍යවරයෙකු විස්තර කරන මෙම අද්දැකීම අදදින බහුලව අසන්න ලැබෙන සෞඛ්‍යමය ගැටලුවක් හා සම්බන්ධයි.

ඔහුගේ පවුලේ සෑම දෙනෙක්ම බියෙන් වෙළී සිටියහ. මේ වන විට වෛද්‍යවරයා පවා මේ ගැන කලබලයට පත් වී සිටියේය. “ඉක්මනින්ම එයාගේ ලේ ගැලීම නැවතුනේ නැත්නම් එයාට රුධිර ප්‍රවේශනයක් දෙන්න වෙයි” කියා වෛද්‍යවරයා කීවේය.

සති ගණනාවක් පුරාම කෙමෙන් කෙමෙන් මොහුගේ ආමාශයෙන් ලේ ගලන්න පටන්ගෙන තිබිණ. මේ ආබාධය ආමාශයික ප්‍රදාහය නොහොත් ගැස්ට්‍රයිටිස් බව සොයාගෙන තිබිණ. නමුත් ඊට හේතු වූයේ කුමක්දැයි කිසිවෙකුට සොයාගත නොහැකි විය. “මං දීපු බෙහෙත් ඇරුණහම ඔයා වෙන කිසිම බෙහෙතක් ගන්නේ නැහැ කියල ඔයාට හරියටම කියන්න පුළුවන්ද?” කියා කලකිරීමට පත් වෛද්‍යවරයා ඇසුවේය.

“නෑ. මගේ ආතරයිටිස්වලට (සන්ධි ප්‍රදාහයට) මම ෆාමසියෙන් ගත්ත මේ ස්වාභාවික ඖෂධය ඇර වෙන කිසි බෙහෙතක් අරං නෑ” කියා රෝගියා පැවසුවේය.

මෙය ඇසූ විගස වෛද්‍යවරයා තරමක් කලබල විය. “කෝ මට ඒක බලන්න දෙන්න” කියමින් ඔහු එම ඖෂධය අඩංගු පැකට්ටුව අතට ගෙන ලේබලය කියවමින් එම බෙහෙත සෑදීමට යොදාගත් වට්ටෝරුව පරෙස්සමින් කියෙව්වේය. ගැටලුවට හේතුව කුමක්දැයි එවිට ඔහුට සොයාගත හැකි විය. එනම් එහි ඇසිටයිල්සැලිසැලික් අම්ලය නොහොත් ඇස්ප්‍රින් අඩංගුව තිබූ බවය! පසුව මෙම රෝගියා ඇස්ප්‍රින් අඩංගු මෙම ඖෂධය ගැනීම නතර කර ඒ වෙනුවට යකඩ පෙති සහ ආමාශය සුව කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් ලබාගත් විට රුධිර ගැලීම නතර වී, ඔහුගේ රුධිර මට්ටම නැවතත් කෙමෙන් කෙමෙන් යථා තත්වයට හැරුණේය.

රුධිර ගැලීම ඇති වූයේ බෙහෙත් නිසයි

බෙහෙත් ගැනීම හේතුවෙන් ආහාර මාර්ගයෙන් ලේ ගැලීමක් සිදුවීම අදදින පවතින බරපතළ ගැටලුවකි. මීට තුඩු දෙන බොහෝ බෙහෙත් වර්ගද ඇත. එහෙත් මේ ගැටලුවට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ සන්ධි ප්‍රදාහය (ආතරයිටිස්) සඳහා හා වේදනාව සඳහා නියම කරන්නාවූ බෙහෙත් වර්ගයි. මෙයට, ප්‍රදාහය වැළඳුනු විට නියම කරන්නාවූ NSAIDS වර්ගයේ වේදනා නාශකද ඇතුළත් වේ. මේ සඳහා යොදාගන්නා සමහර බෙහෙත් වර්ගවල නම් රටින් රටට වෙනස් වෙයි.

වෛද්‍යවරයෙකුගේ නියමයක් නැතිව ෆාමසියෙන් ගත හැකි බොහෝ බෙහෙත් වර්ගවල ඇස්ප්‍රින් අඩංගුය. එපමණක්ද නොව සමහර රටවල ඇස්ප්‍රින්වල දෛනික භාවිතය බොහෝ සෙයින් වැඩි වී ඇත. ඒ මන්ද කියා අපි දැන් සලකා බලමු.

ඇස්ප්‍රින් කෙරෙහි ඇති උනන්දුව

වර්ෂ 1995දී හාවඩ් සෞඛ්‍ය ලිපිය (ඉංග්‍රීසියෙන්) “නිතිපතා ඇස්ප්‍රින් ගැනීම නිසා ජීවිත රැසක් බේරාගැනෙයි” කියා වාර්තා කළේය. මෙම සොයාගැනීම බොහෝදෙනෙකු අනුමත කර ඇති නිසා, “ඇස්ප්‍රින්වලට අසාත්මිකතාවක් නැත්නම්, හෘදයාබාධයකට හෝ ආඝාතයකට (ස්ට්‍රෝක්) ගොදුරු වූ, පපුවේ කැක්කුමෙන් පෙළෙන්නාවූ (ඇන්ජයිනා), හෝ බයිපාස් සැත්කමට ලක් වූ ඕනෑම කෙනෙකු දෛනිකව ඇස්ප්‍රින් පෙත්තක් හෝ පෙති එකහමාරක් ගන්න අවශ්‍යයි” කියා පර්යේෂකයෝ නිගමනය කළහ. a

හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඇති සහ වයස අවුරුදු 50 ඉක්මවූ පිරිමින්ට ඇස්ප්‍රින් ගැනීම හිතකර බව තවත් පර්යේෂකයන් පෙන්වා දෙයි. හෘදයාබාධ සඳහා අවදානමක් ඇතැයි සලකන ස්ත්‍රීන්ටත් මෙය අගනා ප්‍රතිකාරයක්යයි ඔවුහු කියති. මහාන්ත්‍රයේ පිළිකාව වැළඳීමේ හැකියාවද බොහෝ සෙයින් අඩු වෙන බවත් ඇස්ප්‍රින් දීර්ඝ කාලීනව ගත් විට දියවැඩියාවෙන් පෙළෙන අයගේ රුධිරයෙහි ඇති සීනි මට්ටමද අඩු කළ හැකි බවත් තවදුරටත් කළ අධ්‍යයනවලින් ඔප්පු වී ඇත.

මෙම ප්‍රයෝජන අත් කර දීම සඳහා ඇස්ප්‍රින් ශරීරය තුළ ක්‍රියා කරන්නේ කෙසේද? වෛද්‍ය ක්ෂේත්‍රයෙහි වැඩ කරන අය පවා මේ සම්බන්ධව සෑම දෙයක්ම නොදනිති. සොයාගැනීම්වලට අනුව ඇස්ප්‍රින් රුධිරයෙහි පට්ටිකාවල ඇලෙනසුලු ගතිය අඩු කරයි. මේ නිසා හෘදයට හෝ මොළයට රුධිරය ප්‍රවාහණය කරන්නාවූ කුඩා ධමනිවල රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව අඩු කරමින් ශරීරයේ වැදගත් ඉන්ද්‍රියයන්ට සිදු විය හැකි හානි මෙමගින් වළක්වනවායයි පැවසේ.

ඇස්ප්‍රින් ගැනීමෙන් මෙවන් ප්‍රයෝජන අත් කර දිය හැකි නම් සෑම කෙනෙකුම එය ලබා නොගන්නේ මන්ද? ඇස්ප්‍රින් පිළිබඳව තවමත් අනාවරණය නොවූ කරුණු රැසක් තිබීම මෙයට එක් හේතුවකි. තවද එය ලබාගන්නා කෙනෙකු එයින් ගත යුතු මාත්‍රාව කුමක්දැයි තවමත් ස්ථිරවම කිව නොහැක. ඇතැම් වෛද්‍යවරුන් දෛනිකව සාමාන්‍ය ඇස්ප්‍රින් පෙති දෙකක් ලබාගැනීමට නිර්දේශ කරන අතරම තවත් සමහරු දවසක් ඇර දවසක් ළමා පෙත්තක් ගැනීමට නියම කර ඇත. පිරිමින්ට නියම කරන ප්‍රමාණයට වඩා වෙනස් ප්‍රමාණයක් ස්ත්‍රීන්ට නියම කළ යුතුද? වෛද්‍යවරු ඒ ගැන තවමත් ස්ථිරවම නොදනිති. ආමාශයට සිදු විය හැකි හානිය අඩු කිරීම සඳහා ආමාශයෙහි දිය නොවන නමුත් අන්ත්‍රවල දියවීමට සලස්වන පෙති දැන් නිපදවා ඇත. නමුත් එලෙස සකස් කරන ලද ඇස්ප්‍රින් පෙති ලබාගැනීමේ සැබෑ අවදානමක් නොතිබෙනවායයි නිශ්චිත ලෙසම කිව නොහැක.

ප්‍රවේසම් වීමට හේතු

අමෙරිකානු රතු ඉන්දියානුවන් ඇස්ප්‍රින් නිපදවීමට ප්‍රධාන සංඝටකය ලබාගත්තේ විලෝ ගහේ පොත්තෙන්ය. ඒ නිසා ඇස්ප්‍රින් ස්වාභාවික ඖෂධයක් ලෙස හැඳින්විය හැක. එනමුත් එයින් නොයෙක් අහිතකර අතුරු ආබාධ ඇතිවීමට පුළුවන. ඇතැම් විට එය ලේ ගැලීමකටද හේතු විය හැකි අතර ඇස්ප්‍රින්වලට අසාත්මිකතාවක් ඇති අයට වෙනත් අහිතකර රෝග ලක්ෂණ මතුවීමට ඉඩ ඇත. මෙයින් පැහැදිලි වන්නේ දිනපතාම ඇස්ප්‍රින් ගැනීම සෑම කෙනෙකුටම සුදුසු නොවන බවයි.

හෘදයාබාධයට හෝ ආඝාතයට ගොදුරු වීමට ප්‍රවණතාවක් ඇති අය ඇස්ප්‍රින් ගැනීම අවශ්‍යද නැද්ද කියා සලකා බැලිය යුතුයි. නමුත් එසේ කිරීමට ප්‍රථමයෙන් තමාට පෞද්ගලිකවම ඉන් අත් වන ප්‍රයෝජන හා ඒ සමඟම ඇති විය හැකි හානියද වෛද්‍යවරයෙකුගෙන් විමසා බැලිය යුතුයි. මූලිකවම රෝගියා තමාට රුධිර ගැලීම, ඇස්ප්‍රින් අසාත්මිකතාව, ආමාශයික හෝ අන්ත්‍රවල දුර්වලකම් නැති බවට සහතික කරගැනීම වැදගත්ය. වෙනත් බෙහෙතක් දැනටමත් භාවිතා කරනවා නම් ඇස්ප්‍රින් ලබාගැනීමේදී අහිතකර ප්‍රතික්‍රියාවක් ඇති වේද නැද්ද යන්න ගැන හා ඇති විය හැකි වෙනත් ගැටලු ගැනද දැනගැනීම යෝග්‍යයි.

කලින් සඳහන් කළ ආකාරයට ඇස්ප්‍රින් හෝ ඇස්ප්‍රින් සතු ලක්ෂණ ඇති වෙනත් බෙහෙත් වර්ග ලබාගැනීමේදී රුධිරය ගැලීමේ අවදානමක් ඇත. මෙම ලේ ගැලීම එතරම් ප්‍රමාණයකින් සිදු නොවුණත් කාලයක සිට සිදුවීම නිසා භයානක තත්වයන් උද්ගත විය හැක. ඔබ ගන්නා සියලුම බෙහෙත් වර්ග ගැනද විශේෂයෙන්ම ප්‍රදාහය සඳහා ගන්නා වෙනත් බෙහෙත් වර්ග ගැනද සැලකිලිමත් වීම අවශ්‍යයි. ඔබ දැනටමත් ගන්නා ඕනෑම බෙහෙතක් ගැන ඔබේ වෛද්‍යවරයාට දැනුම් දීමද ඉතා වැදගත්ය. ශල්‍ය කර්මයකට භාජනය විය යුතු නම් ඔබ බෙහෙත් ගැනීම නතර කිරීම වඩාත් සුදුසුයි. ඇස්ප්‍රින් දීර්ඝ කාලීනව ගන්නා කෙනෙකු තම රුධිර මට්ටම කලින් කලට පරීක්ෂා කර බැලීමද යෝග්‍යයි.

“නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති” කියා බයිබලයේ සඳහන් උපදෙස පිළිපැදීමෙන් අපට අනාගතයේදී මුහුණ පෑමට සිදු විය හැකි ගැටලුවලින් බොහෝදුරට ආරක්ෂා විය හැක. (හිතෝපදේශ 22:3) අප සාකච්ඡා කළ මෙම වෛද්‍යමය කාරණය පිළිබඳව අප නුවණ ඇත්තන් මෙන් ක්‍රියා කළහොත් අපට අපේ සෞඛ්‍යය ආරක්ෂා කරගත හැකි වෙයි.

[පාදසටහන]

a කෙසේවුවද, පිබිදෙව්! සඟරාව කිසිම බෙහෙත් වර්ගයක් නිර්දේශ නොකරයි.

[18, 19වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෛනිකව ඇස්ප්‍රින් ලබාගැනීම පිළිබඳව සලකා බැලිය යුත්තේ කවුද?

● හෘදයට රුධිරය ප්‍රවාහණය කරන්නාවූ ධමනිවල රුධිර කැටිගැසීම නිසා හෘදයාබාධයට ලක් වූ හෝ කරෝටික ධමනිය (බෙල්ලෙහි ඇති ප්‍රධාන රුධිර වාහිනිය) සිහින් වී ඇති අය.

● ශ්‍යානි ආඝාතයකට (ලේ කැටියක් හිරවීම නිසා ඇති වන ආඝාතය) හෝ රුද්ධ රක්තික අනතුරට (තාවකාලිකව මොළයට රුධිරය ප්‍රවාහණය කරන්නාවූ නාලිකාවක රුධිර කැටිගැසීමක්) ගොදුරු වූ කෙනෙකු.

● අවුරුදු 50ට වඩා වයසැති හා අඩුම තරමින් හෘදයාබාධවලට හේතුකාරක වන පහත සඳහන් එක් සාධකයක්වත් බලපා ඇති පිරිමින්: දුම් පානය, අධික රුධිර පීඩනය, දියවැඩියාව, සමස්ත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගොස් ඇති, එච්. ඩී. එල් කොලෙස්ටරෝල් අඩු, ස්ථූලතාවයෙන් පෙළෙන, අධික මත්පැන් පානය, ආඝාතය හෝ අවුරුදු 55ක් ඉක්මවීමට පෙර හෘදයාබාධ ඇතිවීම සඳහා පවුල තුළ ඇති පරම්පරානුගතික නැඹුරුවාවක් හා ව්‍යායාමයකින් තොර වූ ජීවිත රටාවක් ගත කරන අය.

● ඉහත සඳහන් සාධක දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති සහ අවුරුදු 50 ඉක්මවූ ස්ත්‍රීන්.

මෙම කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර වෛද්‍යවරයා හා ඒ ගැන කතා කිරීම සුදුසුයි.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: සෞඛ්‍යය පිළිබඳ පාරිභෝගික වාර්තා (ඉංග්‍රීසියෙන්)