Skip to content

පටුනට යන්න

දේවසේවකයා යන වචනයේ සැබෑ අර්ථය කුමක්ද?

දේවසේවකයා යන වචනයේ සැබෑ අර්ථය කුමක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

දේවසේවකයා යන වචනයේ සැබෑ අර්ථය කුමක්ද?

යේසුස්ගේ පූජනීය මරණය සිදු වූ සන්ධ්‍යාවේදී, ඔහුගේ හිතෛෂිම මිත්‍රයන් අතර බහින්බස් වීමක් ඇති විය. ලූක් 22:24ට අනුව ‘වඩා උසස් කවුද කියා දැනගැනීමට ඔවුන් අතරේ උණුසුම් විවාදයක් ඇති වුණි.’ ඇත්තෙන්ම යේසුස්ගේ ප්‍රේරිතයන් අතර මෙවන් උණුසුම් විවාදයක් හටගත් පළමුවතාව මෙය නොවෙයි. අඩුම තරමින් මීට පෙර වතාවන් දෙකකදීවත් ඔවුන්ගේ ආකල්පය වෙනස් කිරීමට යේසුස්ට ආයාසයක් දැරීමට සිදු වුණි.

එම වැදගත් රාත්‍රියේදීත් ක්‍රිස්තියානි දේවසේවකයෙක් කොයි ආකාරයේ පුද්ගලයෙක් විය යුතුද කියා ඔවුන්ට නැවතත් මතක් කර දෙන්න සිදුවීම කොතරම් කනගාටුදායක දෙයක්ද! ඔහු මෙසේ පැවසුවා. “නුඹලා අතරෙන් වඩා උත්තමයා බාලයා මෙන් වේවා; ප්‍රධානයා උපස්ථානකරන්නා මෙන් වේවා.”—ලූක් 22:26.

ප්‍රේරිතවරුන්ට තනතුරු සහ ප්‍රමුඛත්වය ලබාගැනීමේ වැදගත්කම සම්බන්ධව වැරදි ආකල්පයක් තිබීම ගැන අප පුදුමයට පත් නොවිය යුතුයි. මන්ද යේසුස්ට පෙර ආගමික නායකත්වය සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ආදර්ශ වූයේ ලියන්නන් සහ ඵරිසිවරුන්ය. මෙම බොරු දේවසේවකයන් මනුෂ්‍යයන්ට ආත්මික වශයෙන් මඟ පෙන්වීම ලබා දෙනවා වෙනුවට, චාරිත්‍ර සහ නීතිවලට තදින්ම ඇලී සිටීම නිසා, ‘මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා තිබුණි.’ ඔවුන් තත්වය, ප්‍රසිද්ධිය හා තමන්ගේම ශුභසිද්ධිය ගැන පමණක් සෙවූ අතර ඔවුන් කටයුතු කළේ “මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය.”—මතෙව් 23:4, 5, 13.

අලුත් ආකාරයේ දේවසේවකයෙක්

කෙසේනමුත්, යේසුස් තම ගෝලයන්ට දේවසේවය සම්බන්ධයෙන් නව සංකල්පයක් ඉදිරිපත් කළේය. ඔහු මෙසේ ඉගැන්වීය. ‘රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන් එක්කෙනෙක්මය. නුඹලා සියල්ලෝම සහෝදරයෝය. පොළොවෙහි කාටවත් පියාණෝයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය. . . . නමුත් නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය.’ (මතෙව් 23:8-11) තම ගෝලයන් එදා සිටි වංක ආගමික නායකයන්ව අනුගමනය නොකළ යුතු බව යේසුස් මෙයින් පෙන්වූයේය. ඔවුන්ට සැබෑ දේවසේවකයන් වීමට අවශ්‍ය වූයේ නම්, යේසුස්ව අනුගමනය කළ යුතු විය. මේ සඳහා යේසුස් තබා ගියේ කොයි ආකාරයේ ආදර්ශයක්ද?

බයිබලයේ “දේවසේවකයා” සඳහා නිතර භාවිතා කරනු ලබන්නේ ඩී·යාʹකො·නොස් යන ග්‍රීක් වචනයයි. එම ග්‍රීක් වචනයේ අදහස දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් පැහැදිලි කරන්නේ මෙසේයි. “එය යම්කිසි තනතුරක් නොව නමුත් දේවසේවකයාත් ඔහුගෙන් සේවය ලබන පුද්ගලයාත් අතර ඇති සම්බන්ධතාවයක් ලෙස අඟවයි. . . . ක්‍රිස්තියානි දේවසේවය යනු කුමක්ද කියා තේරුම්ගැනීමට යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.”

“දේවසේවකයා” නමැති වචනයේ නියම අර්ථකථනයට එකඟව, යේසුස් අන් අයට උපකාර කිරීමට තම ජීවිතය මුළුමනින්ම වැය කළේය. “මනුෂ්‍ය පුත්‍රයා [පැමිණියේ] සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද” කියා ඔහු ඉතා ඉවසිලිවන්තව පැහැදිලි කර දුන්නේය. (මතෙව් 20:28) යේසුස් අන්‍යයන්ට ශාරීරිකව සහ ආත්මිකව උපකාර කිරීමට නොමසුරුව ඔහුගේ කාලය, ශක්තිය සහ හැකියාවන් යොදවන ලදි. ඔහු එසේ කළේ ඇයි? ඔහුව දැකබලා ගැනීමට ඔහු වෙතට එක් රොක් වී සිටි ආත්මික ලෙස නොමඟ යවා තිබූ සෙනඟ කෙරෙහි ඔහුට ඉමහත් අනුකම්පාවක් ඇති වුණ නිසයි. ඔවුන්ට උපකාර කරන්න ඔහුට අවශ්‍ය විය. ඇත්තෙන්ම, අන්‍යයන් වෙනුවෙන් සේවය කිරීමට ඔහුව පෙලඹුවේ ප්‍රේමයයි. ඔහුගේ ගෝලයන් විසිනුත් එම ප්‍රේමයම විදහාපෙන්වීම ඔහුට අවශ්‍ය විය.—මතෙව් 9:36.

යේසුස් තම ජීවන රටාව තුළින් අනාගත දේවසේවකයන්ට ආකෘතියක් තබාගියේය. ඔහු මෙසේ පැවසීය. “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්න.” (මතෙව් 9:37, 38) ඇත්තෙන්ම ක්‍රිස්තුස්ගේ දේවසේවකයන් ලෝකයේ මෙතෙක් සිදු කර ඇති දැවැන්තම කර්තව්‍යයේ එනම්, දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් සහ ඉගැන්වීමෙන් සියලු මනුෂ්‍යයන්ට ආත්මික සහනය සැපයීමේ කාර්ය බහුල විය යුතුයි.—මතෙව් 28:19, 20.

ක්‍රිස්තුස්ගේ දේවසේවය අද්විතීය එකක් වූයේ, නිතරම අන්‍යයන්ගේ අවශ්‍යතාවලදී උපකාර කිරීමට සහ ඔවුන්ට සේවය කිරීමට ඔහු තුළ නැඹුරුවාවක් තිබුණු නිසයි. ඔහු තම සේවකයන්ට විශේෂ සළු පිළිවලින් සහ ආභරණවලින් සැරසී, මුනිවරයන් ලෙස හෝ නිකායක සාමාජිකයන් ලෙස සිටීමට නොව වැඩකරුවන්, ආත්මික මසුන් අල්ලන්නන් සහ එඬේරුන් ලෙස සිටීමට ඉගැන්වීය.—මතෙව් 4:19; 23:5; යොහන් 21:15-17.

බයිබලයේ දෘෂ්ටිය

ශතවර්ෂ ගණනාවක් පුරාම ආත්ම පරිත්‍යාගී දේශනාකරුවන්ට සහ ගුරුවරුන් වන දේවසේවකයන්ට තිබූ පාරාර්ථකාමී ආකල්පය නැති වී යාම කනගාටුවට කාරණයකි. ක්‍රිස්තියානි දේවසේවය ලෙස ආරම්භ වුණු දෙය අවසානයේදී චාරිත්‍රවලට මුල් තැන දෙන, ප්‍රධාන පූජකවරුන්ගෙන් සමන්විත ආයතනයක් බවට පත් වුණි. එපමණක්ද නොව ඔවුන් විසින් සමාජ පාලන ක්‍රම සහ උසස් තනතුරුද ඇති කරන ලදි. ඔවුන් කීර්තිය සහ බලය ලබාගත් අතර ධනය රැස් කරගැනීමටද උත්සුක විය. මෙය බෙදීම් ඇතිවීමට මඟ පෑදීය. මෙසේ කාලයාගේ ඇවෑමෙන් පූජක පන්තියක් බිහි විය. පූජකයන්ගේ ප්‍රධානතම කාර්යයන් වූයේ ආගමික උත්සවවලදී චාරිත්‍ර හා වත්පිළිවෙත් ඉටු කිරීම සහ වරදට වැටුණ කෙනෙකුට උපදෙස් දීමයි. කාලයාගේ ඇවෑමෙන් පළමුවන ශතවර්ෂයේ ක්‍රියාශීලීව තිබූ ක්‍රිස්තියානි ධර්මය ක්‍රමයෙන් අඩපණ වීමට පටන්ගත්තේය. මුලදී සෑම ක්‍රිස්තියානියෙකුම දේවසේවකයන් වශයෙන් දේශනා කිරීමෙහි හා ඉගැන්වීමෙහි නිරත වුණත්, ක්‍රමක්‍රමයෙන් එම වගකීම්, විශේෂයෙන් පුහුණු කරන ලද සහ බලය ලත් අතළොස්සකට පමණක් පවරන ලදි.

ක්‍රිස්තියානි දේවසේවකයෙක්ව හඳුනාගත හැක්කේ ඔහු පිරිනමන නොමසුරු ශ්‍රමයෙන් මිසක ඔහු අඳින විශේෂිත ඇඳුමෙන්වත්, පිළිපදින චාරිත්‍රවලින්වත්, ලබන වැටුපෙන්වත් හෝ ඔහුට ඇති බලතලවලින්වත් නොවෙයි කියා අපට බයිබලය මනාව පැහැදිලි කර දෙයි. ක්‍රිස්තියානි දේවසේවකයෙක් විදහාපෑ යුතු ආකල්පය ප්‍රේරිත පාවුල් මනාව පෙන්නුම් කළේය. ‘නිෂ්ඵල පාරට්ටුකාරකමෙන් කිසි දෙයක් නොකොට, යටහත්කමින් සිතන්න’ කියා ඔහු දේවසේවකයන්ව දිරිගැන්වීය.—පිලිප්පි 2:3.

පාවුල් තමන් දේශනා කළ දෙය එලෙසම ක්‍රියාවේ යොදවන ලදි. ඔහු ක්‍රිස්තුස්ගේ ආකෘතිය ඉතා කිට්ටුවෙන් අනුගමනය කළ අතර කිසිවිටකවත් ඔහුගේම ‘වාසියට දේවල් නොසොයා බොහෝදෙනෙකුගේ ගැළවීම උදෙසා කටයුතු කළේය.’ ‘ශුභාරංචිය නොමිලේ දීමේ’ තම වගකීම ඔහු හොඳින් තේරුම්ගත් අතර ඒ සම්බන්ධව ඔහු මෙසේ පැවසීය. ‘ශුභාරංචිය දේශනා කරන කල මට තිබෙන බලය මම අයුතු ලෙස යොදා නොගන්නෙමි.’ ඇත්තෙන්ම, ඔහු ‘මනුෂ්‍ය ගෞරවය ලබාගැනීමට නොසෙව්වේය.’—1 කොරින්ති 9:16-18; 10:32; NW; 1 තෙසලෝනික 2:6.

සැබෑ ක්‍රිස්තියානි දේවසේවය සම්බන්ධයෙන් කොතරම් වටිනා ආකෘතියක්ද! ශුභාරංචිය දේශනා කිරීමෙන් අන්‍යයන්ට ආත්මික උපකාරය සහ සහනය දීමේදි තමන්වම වැය කළ යුතු ආකාරය පිළිබඳව, යේසුස් ක්‍රිස්තුස් තැබූ පරාර්ථකාමී ආදර්ශය පිළිපදින අය, ඇත්තටම දෙවිගේ සැබෑ දේවසේවකයන් බව පෙන්නුම් කරයි.—1 පේතෘස් 2:21.