Skip to content

පටුනට යන්න

මම විදේශ රටක ජීවත් විය යුතුද?

මම විදේශ රටක ජීවත් විය යුතුද?

යෞවන අය අසති . . .

මම විදේශ රටක ජීවත් විය යුතුද?

“මට ඕන වුණා කොහේ හරි වෙන තැනකට ගිහිල්ලා ජීවත් වෙන්න.”—සෑම්.

“මට දේවල් දැනගන්න පුදුම ආසාවක් තියෙන්නේ. මට අලුත් දෙයක් බලන්නම ඕනේ වුණා.”—මෙරන්.

“මගේ හිතවත් මිතුරෙක් කිව්වා ටිකක් ගෙදරින් පිට වෙලා ඉන්න එක මට හොඳයි කියලා.”—ආන්ඩ්‍රෙආස්.

“නුපුරුදු අද්දැකීමක් විඳගන්න මම පුල පුලා බලාගෙන හිටියා.”—හේගන්.

ඔබ කවදා හෝ වෙනත් රටක ටික කාලයකට හරි ජීවත් වීමට සිහින මවා තිබෙනවාද? සෑම අවුරුද්දකදීම, යෞවනයන් දහස් ගණනක් වෙනත් රටවල්වලට සංක්‍රමණය වෙනවා. ආන්ඩ්‍රෙආස් එයාගේ විදෙස්ගත වීමෙන් ලද අද්දැකීම් ගැන මෙසේ පවසනවා. “මට ආයෙත් සැරයක් යන්නමයි හිතෙන්නේ.”

මුදල් උපයාගැනීමට හෝ විදේශ භාෂාවක් ඉගෙනගැනීම සඳහා සමහර යෞවනයන් ටික කාලයකට හෝ වෙනත් රටකට තම පදිංචිය මාරු කරනවා. උදාහරණයක් ලෙස, බොහෝ රටවල්වල ඇති ගෘහ සේවා ක්‍රම දැක්විය හැක. මේ මගින් යෞවන විදේශිකයන්ට කෑම බීම සහ ඉඳුම් හිටුම් සඳහා ගෘහ සේවයේ නිරත වීමට හා ඔවුන්ගේ විවේක කාලය එම රටෙහි භාෂාව ඉගෙනගැනීමට ඉඩ සලසනවා. තවත් සමහර යෞවනයන් අධ්‍යාපනය ලැබීමට විදේශ රටවලට පිටත්ව යනවා. වෙනත් අය තමන්ගේ පවුල්වල ආර්ථික කටයුතු සඳහා සහයෝගය ලබා දීමට රැකියාවක් සොයාගැනීම සඳහා පිටරටකට පිටත්ව යනවා. ඉහත සඳහන් හේතු තිබුණත්, බොහෝ යෞවනයන් තම අධ්‍යාපනය නිම වූ සැනින් ඔවුන්ට යොමුවීමට දෙයක් නැති නිසා විදේශ රටක විවේක ගැනීම සඳහා පිටත්ව යනවා.

සමහර ක්‍රිස්තියානි යෞවනයන් තම දේවසේවය පුළුල් කිරීම සඳහා එවැන්ජලිස්තවරුන් අඩු රටවලට පදිංචියට යෑම නම් ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. විදේශ රටක පදිංචිය සඳහා යෑමට හේතුව කුමක් වුවත්, ඒ මගින් වැඩිහිටි කෙනෙකුගේ වගකීම් ගැන වටිනා පාඩමක් ඉගෙනගැනීමට ප්‍රස්තාවක් උදා වන අතරම විවිධ සංස්කෘතීන් ගැන ඔබේ දැනුමද පුළුල් කරගැනීමට මං සැලසෙනවා. සමහරවිට ඔබට හොඳ රැකියා ප්‍රස්තාවලට මං එළි කරන විදේශ භාෂාවක් ප්‍රගුණ කරගැනීමටත් මෙමගින් හැකි වේවි.

නමුත් විදේශ රටක ජිවත් වීම සෑමවිටම හිතකර අද්දැකීමක් නොවෙයි. උදාහරණයකට, රටවල් දෙකක් අතර සිදු වන ශිෂ්‍ය හුවමාරු ක්‍රමය (එක් රටක ශිෂ්‍යයෙක් වෙනත් රටක අධ්‍යාපනය ලබන විට එම රටෙහි ශිෂ්‍යයෙක් ඉහත කී ශිෂ්‍යයාගේ මව් රටේ අධ්‍යාපනය ලැබීම) යටතෙහි අවුරුද්දක් තුළ වෙනත් රටක අධ්‍යාපනය ලැබූ සුසැන් මෙසේ පවසනවා. “වෙන රටක ඉගෙනගන්න එක මම හිතුවේ හොඳ ඇද්දැකීමක් වෙයි කියලා. ඒත් හිතුව දේ නෙමෙයි වුණේ.” සමහර යෞවනයෝ බොහෝ ප්‍රශ්නවලට හසු වී තිබෙනවා. ඒ නිසා ඔබ විදේශ රටක පදිංචියට යන්න තීරණය කරන විට ඒ ගැන දෙවතාවක් සිතීම ඇත්තෙන්ම නැණවත් දෙයකි.

ඔබේ චේතනා සෝදිසි කරන්න.

දෙවතාවක් සිතා බැලීමට ඇතුළත් වන්නේ, විදේශ රටකට යන්න ඔබට සිතුණේ ඇයි කියා සෝදිසි කර බැලීමයි. මෙහිදී ආත්මික ඉලක්කයක් අත් කරගැනීම සඳහා හෝ පවුලේ වගකීම් ඉටු කිරීම සඳහා විදේශ රටකට පදිංචියට යෑම වෙනම කාරණයකි. එහෙත් මුලින් සඳහන් කළ ආකාරයට බොහෝදෙනෙක් තමන්ට නුපුරුදු අද්දැකීමක් ලබන්න, වැඩි නිදහසක් භුක්ති විඳින්න හෝ විනෝද වෙන්න වෙනත් රටකට යනවා. ඇත්තෙන්ම මෙය වැරදි දෙයක් නොවෙයි. මන්ද දේශනාකාරයා 11:9හි “යෞවන වයසේදී ප්‍රීතිවෙන්න” කියා යෞවනයන්ව දිරිගන්වනවා. නමුත් 10වන පදයේ “නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න” කියා අපට අවවාද කරනවා.

ඔබ විදේශ රටකට පදිංචියට යන්නේ ඔබේ දෙමාපියන්ගේ හික්මවීමෙන් පැන යන්න නම් ඔබ කරන්නේ කරදරවලට අත වැනීමක්. ඔව්, එය බොහෝ ‘දුකට’ මඟ පෑදිය හැකියි. අකීකරු පුත්‍රයා ගැන යේසුස් පැවසූ උපමා කතාව ඔබට මතකද? පෙනෙන විදිහට එහි කතා කරන්නේ වැඩි නිදහසක් භුක්ති විඳින්න විදේශ රටකට ගිය තරුණයෙක් හා සම්බන්ධවයි. එහෙත් වැඩි කල් නොගොස් ඔහුට කරදරවලට මුහුණ දීමට සිදු වූ අතර කන්න දෙයක්වත් නැතුව, අන්ත දුගී තත්වයකට පත් වුණා. ඒ විතරක් නොවෙයි ඔහුගේ ආත්මිකත්වය පවා පහත් අඩියකට වැටුණා.—ලූක් 15:11-16.

සමහර අය විදේශ රටක පදිංචියට යන්නේ, පවුල තුළ ඇති ගැටලුවලින් ගැළවීම සඳහායි. හයික බ’ග් නමැති කතුවරිය විසින් රචිත ඔබේ ගැටලුව කුමක්ද? නමැති පොතේ මෙසේ ලියනවා. “ඔබට වෙනත් රටකට යන්න අවශ්‍ය වන්නේ සන්තෝෂය නැති නිසාද. . . එහෙම නැත්නම් එම රටේ කිසිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැයි කියලා ඔබ විශ්වාස කරන නිසාද? එහෙම නම් ඔබට වැරදිලා!” එඩිතරව ප්‍රශ්නවලට මුහුණ දීම හොඳ දෙයක්. අප මුහුණ දීමට අකමැති තත්වයන්වලින් පලා යෑමෙන් කිසිම යහපතක් සිදු වන්නේ නැති බව තේරුම්ගන්න.

ගිජුකම සහ ද්‍රව්‍යවාදිබව නිසා වෙනත් රටකට පදිංචිය මාරු කිරීමත් භයානක තත්වයකට මඟ පාදයි. පොහොසත් වීමට ආශාවන ඇතැම් යෞවනයන්, කාර්මීක රටවල්වල ජීවිතය සම්බන්ධයෙන් කිසිදා සැබෑ නොවන සිහින මවනවා. සමහර අය සිතනවා බටහිර ලෝකයේ සිටින සෑම කෙනෙක්ම පොහොසත් අය කියලා. නමුත් යථාර්ථය එය නොවේ. බොහෝ යෞවනයන් විදේශ රටකට ගිය පසු, දුගීකමෙන් ගොඩ ඒමට දතකනවා. a බයිබලය අපට මෙසේ අනතුරු අඟවනවා. “මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.”—1 තිමෝති 6:10.

ඔබ එයට සුදානම්ද?

තවත් සලකා බැලිය යුතු කරුණක් වන්නේ, විදේශ රටකදී පැන නඟින ගැටලු සහ අමාරුකම්වලට මුහුණ දීමට තරම් ඔබ මේරූ පුද්ගලයෙක්ද යන්නයි. බොහෝවිට ඔබට ජීවත් වීමට සිදු වන්නේ මිතුරෙක් සමඟ හෝ වෙනත් පවුලක අය සමඟයි. ඔබට ඔවුන්ගේ ජීවන රටාවට අනුව හැඩගැහෙන්නම සිදු වේවි. මෙහිදී සලකා බැලිය යුතු කරුණු වන්නේ, ඔබ දැන් ඔබේ පවුලේ අය සමඟ කටයුතු කරන්නේ කෙසේද? ඔබ අන් අය ගැන සැලකිලිමත් නැති ඔබගේ ඕනෑ එපාකම් ගැන පමණක්ම සොයා බලන කෙනෙක් කියා ඔබේ දෙමාපියන් නිතරම ඔබට දොස් නඟනවාද? ඔබ නිතරම තෝරා බේරාද කෑම කන්නේ? ගෙදර වැඩවලදී ඔබ අන් අයට සහයෝගය දක්වනවාද? මෙම දේවල් සම්බන්ධයෙන් ඔබට දැන් ගැටලුවක් තිබෙනවා නම්, වෙනත් රටකට ගියාම තත්වය කොහොම වේවිද!

ඔබ ක්‍රිස්තියානියෙක් නම්, දිගටම ඔබේ ආත්මිකත්වය හොඳ තත්වයකින් තබාගන්න පුළුවන්ද? නැතිනම්, බයිබල් පාඩම ගැන, ක්‍රිස්තියානි රැස්වීම් ගැන සහ දේශනා සේවය ගැන ඔබේ දෙමාපියන් නිතරම ඔබට සිහිගන්වන්න අවශ්‍යද? ඔබේ මව්බිමේ මුහුණ නොදෙන පීඩන සහ පරීක්ෂාවලට වෙනත් රටකදී මුහුණ දීමට තරම් ඔබ ආත්මිකව ශක්තිමත්ද? විදේශ රටක පිහිටි පාසලක ඉගෙනගනිමින් සිටි ක්‍රිස්තියානි යෞවනයෙකුට, පළමු දවසේදීම නීති විරෝධි මත්ද්‍රව්‍ය ලබාගන්න පුළුවන් තැන් තිබෙන්නේ කොහේද කියා දැනගන්න ලැබුණා. ඊට පසු, පාසැලේ ගැහැනු ළමයෙක් ඇයත් සමඟ ආශ්‍රය කරන්න එන්න කියා ඔහුට පැවසුවා. ඔහුට මෙය අදහාගන්න බැරුව ගියා. මන්ද, ඔහුගේ රටේ යෞවනියන් කවමදාකවත් එලෙස තම හැඟීම් ප්‍රකාශ කරන්නේ නෑ. යුරෝපයට පදිංචිය සඳහා ගිය එක් අප්‍රිකානු තරුණයෙක් ඔහු නිරීක්ෂණය කළ දේ මෙසේ පැවසුවා. “අපේ රටේ අසභ්‍ය පින්තූර එළිපිට දකින්නේ නෑ. ඒත් මෙහෙ නම් ඒවා හැම තැනම දකින්න තියෙනවා.” ඇත්තෙන්ම යම් කිසි කෙනෙක් “ඇදහිල්ලේ ස්ථිරව” නැත්නම් වෙනත් රටකට යෑම තුළින් ඔහුගේ ආත්මිකත්වය විනාශ විය හැකියි.—1 පේතෘස් 5:9.

නිවැරදි තොරතුරු සොයාගන්න!

ඔබ විදේශ රටක පදිංචියට යන්න පෙර අවශ්‍ය සියලුම තොරතුරු ලබාගැනීම වැදගත්. නිවැරදි තොරතුරු නොදැන කිසිවිටකවත් වෙනත් රටකට යන්න එපා. උදාහරණයකට ශිෂ්‍ය හුවමාරු ක්‍රමය යටතේ අධ්‍යාපනය ලැබීමට ඔබ යන්නෙහි නම්, ඒ සඳහා යන වියදම කොපමණද කියා ඔබ සොයා බැලුවාද? එයට ඩොලර් දහස් ගණනක් වැය වන බව තක්සේරු කර තිබෙනවා. ඒ වගේම ඔබ තවත් දෙයක් දැනගත යුතුයි. එනම්, ඔබ වෙනත් රටකදී ලබාගන්නා අධ්‍යාපනයට ඔබගේ රටේදී පිළිගැනීමක් තියෙනවාද යන්නයි. ඒ වගේම එම රටේ නීතිය, සංස්කෘතිය සහ සිරිත් විරිත් ආදිය සම්බන්ධයෙනුත් තොරතුරු රැස් කරගන්න. එහි ජීවත් වීමට යන වියදම් කොපමණද? ඔබට ගෙවීමට සිදු වන බදු මොනවාද? සලකා බැලිය යුතු අවදානම් සෞඛ්‍ය තත්වයන් තිබෙනවාද? එමෙන්ම ඔබ පදිංචියට යෑමට සුදානම් වන රටේහි ජීවත් වූ අයගෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමට ඔවුන් සමඟ කතා කිරීම ප්‍රයෝජනවත් වේවි.

ඊළඟට මතු වන ගැටලුව නම් ඔබේ නවාතැන් පහසුකම් සපයාගැනීමයි. සාමාන්‍යයෙන් ශිෂ්‍ය හුවමාරු ක්‍රමය යටතේ ඔබට කැපකරු මාපිය රැකවරණය ලැබෙනවා. ඔවුන් ඔබෙන් මුදල් බලාපොරොත්තු නොවුවත්, සමහරවිට එම පවුල් සමාජිකයන් බයිබල් ප්‍රතිපත්ති ගරු නොකරන අය නිසා ඔබට යම් පීඩනයකට මුහුණ දීමට සිදු වේවි. නෑදෑයින් හෝ මිතුරන් ළඟ නවාතැන්ගැනීමට තෝරාගැනීම වඩාත් නැණවත් දෙයක් වන්න පුළුවන්. ඔවුන් එසේ කිරීමට ඔබට පෙරැත්ත කළත් ඔවුන්ට බරක් නොවී සිටීමට වගබලා ගන්න. නමුත්, මේ මගින් ඔවුන් සමඟ තිබෙන ඔබේ සබඳතාවය පලුදු වීමට හෝ කැඩී යෑමටද පුළුවන්.—හිතෝපදේශ 25:17.

ඔබ විදේශ රටක සිටියදීම රැකියාවකත් නිරත වීමට අදහස් කරනවා නම්, එක් දෙයක් මතක තබාගන්න. එනම් ඔබ ඉහළ අධිකාරීන්ට යටත් විය යුතු බව. (රෝම 13:1-7, NW) එම රටෙහි නීතිය ඔබට රැකියාවක් කිරීමට අවසර ලබා දෙනවාද? අවසර ලබා දෙනවා නම්, කුමන ප්‍රතිපත්ති යටතේද? ඇත්තෙන්ම ඔබ නීති වීරෝධි ලෙස රැකියාවක නිරත වීමෙන් සිදු වන්නේ අවංක ක්‍රිස්තියානියෙක් ලෙස ඔබට තිබිය යුතු ස්ථාවරය විනාශ කරගැනීමක්. ඊට අමතරව, ඔබට ලැබෙන මූලික අරක්ෂාවන්ද නැති කරගැනීමක්. එනම්, අනතුරු රක්ෂණය වැනි දේ ඔබට අහිමි විය හැකියි. රැකියාවක් කිරීමට නීතියෙන් අවසර ලැබුණත්, ඔබ පරෙස්සම් විය යුතුයි. (හිතෝපදේශ 14:15) මන්ද, වංචනික සේවාලාභීන් බොහෝවිට විදේශිකයන්ගෙන් අයුතු ප්‍රයෝජන ලබාගැනීමට බලා සිටිනවා.

තීරණයක් ගැනීම

විදේශ රටකට පදිංචියට යෑමට ගන්නා තීරණය සුළුවට තැකිය යුතු දෙයක් නොවෙයි. එවැනි තීරණයක් ගැනීම තුළින් ලැබෙන වාසි සහ සිදු විය හැකි අනතුරු ගැන ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න. ඔබේ සිහි බුද්ධිය යටපත් කිරීමට, ඔබේ ආශාවන්ට ඉඩ නොදෙන්න. විදේශ රටකට යන්න ඔබට අවශ්‍ය වන්නේ මන්ද කියා ඔබේ චේතනා සෝදිසි කිරීමේදී, ඔබටම අවංක වන්න. ඔබේ දෙමාපියන්ට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබ සැතපුම් සියගණනක් දෙමාපියන්ගෙන් වෙන්ව ගියත්, තවමත් ඔබ ගැන ඔවුන්ට වගකීමක් තිබෙන බව දෙමාපියන්ට හැඟෙනවා. සමහරවිට ඔවුන්ගේ මූල්‍යම සහයෝගය ඔබට අවශ්‍ය වෙන්නත් පුළුවන්.

සෑම දෙයක්ම සලකා බැලූ පසු, විදේශ රටකට පදිංචියට යෑම ඥානවන්ත දෙයක් නොවෙයි යන තීරණයට ඔබ එළඹිය හැකියි. මෙය ඔබව අධෛර්යය කරවන්නත් පුළුවන්. නමුත්, ඔබට ඕනෑ තරම් කරන්න දේවල් තිබෙනවා. ටිකක් හිතන්න ඔබේම රට ගැන. ඔබට දැනගැනීමට සහ නැරඹීමට තව කොතරම් ස්ථාන තියෙනවාද? වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට ඔබ උත්සාහ නොකරන්නේ ඇයි? කාලයාගේ ඇවෑමෙන් ඔබට වෙනත් රටකට යන්න අවස්ථාවක් උදා වෙන්නත් පුළුවන්.

නමුත් ඔබ විදේශ රටකට යන්න තීරණය කළා නම් තත්වය කුමක්ද? ඔබ පිටරටකදී ජීවත් වන විට ඔබට සාර්ථක වීමට හැක්කේ කෙසේද කියා මතුවට සාකච්ඡා කරනු ලැබේ.

[පාදසටහන]

a Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිත, 1991 අප්‍රියෙල් 1වනදා මුරටැඹ කලාපයේ, “ධනවත් රටකට ඇදීයාමේ දී වියදම ගණන් බැලීම” යන ලිපිය බලන්න.

[24වන පිටුවේ පින්තූරය]

සමහර යෞවනයන් රාජ්‍ය දේශනා සේවය කිරීම සඳහා වෙනත් රටක පදිංචියට යයි

[25වන පිටුවේ පින්තූරය]

වෙනත් රටකට යෑමෙන් ලැබෙන වාසි සහ සිදු විය හැකි අනතුරු ගැන ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න