“මරණය හා බැඳි සංස්කෘතිය”
“මරණය හා බැඳි සංස්කෘතිය”
“කොසොවෝ ප්‍රාන්තයේ බියෙන් වෙළී සිටින සරණාගතයන් සහ ප්‍රචණ්ඩකාරිත්වයට හා වෙනත් දරුණු අද්දැකීම්වලට ලක්ව ඇති අමෙරිකානු දරුවන් අතර කිලෝමීටර් දහස් ගණනක දුරක් ඇතත්, ඔවුන් මානසිකව විඳින පීඩනය එක හා සමානය.”—මාක් කවුෆ්මන්, ද වොෂිංටන් පෝස්ට්.
අප කැමති වුවත් නැතත්, මරණය නමැති තර්ජනය අපට ඍජුව හෝ වක්‍රාකාරව බලපායි. දරුණු ගැටුම්වලින් භේදභින්න වූ රටක හෝ වේවා, යම් දුරකට සාමයක් ඇති රටක හෝ වේවා, ඇත්තෙන්ම, අප කොතැනක සිටියත් මෙය සත්‍යයකි.
වර්තමානයේ, අසහනය, ශෝකය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ගබ්සාව, විනාශකාරි හැසිරීම් රටාව, සියදිවි හානි කරගැනීම සහ සමූල ඝාතන ශීඝ්‍රයෙන් වැඩි වන ආකාරය දකින විට, ‘මරණය හා බැඳි සංස්කෘතියක්’ පවතින බවට සක්සුදක් සේ පැහැදිලිය. මරණය නමැති විෂය කූට ලෙස යොදාගෙන ඇති ආකාරය පැහැදිලි කරමින්, අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ඇන්ටෝනියෝ ටෙක්සස්හි පිහිටා ඇති ට්‍රිනිටි සරසවියේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අංශයේ මහාචාර්ය මයිකල් කර්ල් මෙසේ පැවසීය. “අපට පෙනී යන පරිදි, විසිවන සියවසේ අගභාගය [1999] වන විට ජීවන රටාවට හා සමාජීය ව්‍යූහයට ප්‍රධාන වශයෙන් පණ පොවන දෙය වන්නේ මරණය නමැති සංකල්පයයි. අපගේ ආගම්, දර්ශන, දේශපාලනමය සංකල්ප, කලා ක්ෂේත්‍රය සහ වෛද්‍ය විද්‍යාවේ යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිටුපස මරණය නමැති සංකල්පයේ ප්‍රබල බලපෑම දක්නට ලැබේ. පුවත්පත් හා රක්ෂණ ඔප්පු විකුණාගැනීමට එය ප්‍රබල හේතුවක් වී තිබේ. අප නරඹන රූපවාහිනී වැඩසටහන් තවත් රසවත් වන්නේ මරණය ඊට මුසුව පවතින විටය. . . . අපගේ කර්මාන්තවලටද මෙය අමුතු ජීවයක් ගෙන දෙයි.” අපගේ කාලයේදී ‘මරණය හා බැඳි මෙම සංස්කෘතිය’ ව්‍යාප්ත වී ඇති ආකාරය තේරුම්ගැනීමට අපි උදාහරණ කිහිපයක් සලකා බලමු.
අවි වෙළඳාම
“මරණය හා බැඳි සංස්කෘතිය” දිනපතාම විදහාපෙන්වන එක් ක්‍රමයකි අවි වෙළඳාම. අවි ආයුධ සෙබළුන්ව ඝාතනය කිරීමට යොදාගැනුණද, සෙබළුන්ගේ ප්‍රධානතම ඉලක්කය බවට පත් වන්නේ සාමාන්‍ය ජනතාවයි. මෙම ඛේදනීය ඉරණමට ගොදුරු වන්නන් අතර අහිංසක ස්ත්‍රීහු සහ දරු දැරියෝද සිටිති. ඇත්තෙන්ම ඕනෑම යුද්ධයකදී, ජීවිතයට කිසිදු වටිනාකමක් නොදෙන තරම්ය. මරු කැඳවන වෙඩි උණ්ඩයකට වැය වන්නේ කොතරම් සුළු මුදලක්ද!
ඇතැම් රටවල වෙසෙන මහජනයාට පහසුවෙන්ම අවි ආයුධ මිල දී ගත හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජය තුළ දැඩි භීතියක් ජනිත කරමින්, සාමූහික වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් මිනිසුන්ව ඝාතනය කරන අවස්ථා නිරන්තරයෙන්ම වැඩි වේ. කොලරාඩෝහි ලිටල්ටන්වල පාසැලක සිදු වූ ඝාතනයෙන් පසුව, අවි ආයුධ පුළුල්ව බෙදාහැරීම හා බාල වයස්කාරයන්ට පවා ඒවා පහසුවෙන්ම ලබාගත හැකිවීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ව්‍යාපාරයක් දියත් කෙරිණ. නියුස්වීක් සඟරාවට අනුව, එක්සත් ජනපදයේ සාහසික ලෙස ඝාතනය වීම්වලට ලක් වන යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව තැතිගන්වනසුලුය. එනම් සතියකට සාමාන්‍යයෙන් 40දෙනෙක්වත් මරු දකිති. එම සංඛ්‍යාවෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක්ම මියයන්නේ වෙඩි තැබීමකට ගොදුරු වීම හේතුකොටගෙනය. එනම් ලිටල්ටන්හි සිදු වූ ඝාතන මෙන් 150 ගුණයක් වසරකට සිදු වන්නාක් මෙනි!
සිනමාව, රූපවාහිනිය සහ සංගීතය
මරණය නමැති විෂය චිත්‍රපටවල බෙහෙවින් යොදාගැනේ. නිදසුනකට, චිත්‍රපටයක කතා වස්තුවේ, දුරාචාරය, මැරවරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ අපරාධ පිළිබඳව ඇතුළත් විය හැකි අතර, මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය සහ සදාචාර ප්‍රමිතිවල වටිනාකම සුළු කොට තැකීමට කෙනෙක් පෙලඹේ. මරණය නමැති විෂය සිත්ගන්නා ලෙස ඉදිරිපත් කරන චිත්‍රපටද තිරගත කෙරේ. මරණින් පසු ජීවිතයක් ඇති ආකාරයද, ජීවතුන්ව බැහැදැකීමට මළවුන් එන ආකාරයද කතා වස්තුවල ඇතුළත්ය. ඇත්තෙන්ම ඉන් සිදු වන්නේ මරණය සාමාන්‍ය හා ගණන් නොගත යුතු දෙයක් ලෙස සැලකිය යුතු බවට සංකල්පයක් පැලපදියම් කිරීමය.
ඇතැම් රූපවාහිනී වැඩසටහන් සහ ගීත සම්බන්ධයෙන් පැවසිය හැක්කේද ඒ ටිකමය. ලැබී ඇති පුවත්පත් වාර්තාවලට අනුව, ලිටල්ටන්හි ඝාතනවලට හවුල් වූ තරුණයන්ද එක්තරා රොක් ගායකයෙකුට ලොල්බවක් දක්වා තිබිණ. එම ගායකයා, “ස්ත්‍රී පුරුෂ භේදය විකෘති කිරීම සම්බන්ධයෙන්ද, සාතන්ට කරන යොමු දැක්වීම් සම්බන්ධයෙන්ද, කැරලි ගැසීම සහ මරණය හුවා දක්වන” ගී ගැයීම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියක් ඉසිලූ කෙනෙකි.
එක්සත් ජනපදයේ රූපවාහිනී වැඩසටහන් ශ්‍රේණිගත කරන ආකාරය යළි ශෝධනය කිරීමට තීරණය කළේ, යෞවන යෞවනියන්ට අහිතකර ලෙස බලපෑ හැකි දේවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමේ අරමුණෙනි. කෙසේවෙතත්, ඉන් සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන නැත. මෙවැනි දෙයක් කිරීමෙන් “යෞවනයන් තුළ නුසුදුසු දේ සඳහා ඇති ආශාව තවත් වැඩි කළ හැකි බව” නියුස්වීක් සඟරාවට ලිපියක් ලියූ ජොනතන් ඕටර් පැවසීය. ජන මාධ්‍යයෙහි දක්නට ලැබෙන ප්‍රචණ්ඩකාරිත්වය අඩු කිරීමට, ඒ සඳහා වගකිව යුතු අයව පෙලඹිය යුතුය. ඔවුන් තුළ ප්‍රචණ්ඩකාරිත්වය පිළිබඳව ලජ්ජාවක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා “විශාල සමාගම්වල (සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ) සියලුම නම්” ජනාධිපති ක්ලින්ටන් විසින් ප්‍රසිද්ධියේ කියවිය යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය. මෙම සමාගම්වලට, පිහි ඇණුම් ඇතුළත් දර්ශන සහිත චිත්‍රපට සම්පාදනය කරන අයව, ‘ගැංස්ටා රැප්’ සංගීතය පටිගත කරන අයව මෙන්ම “පරිගණක තාක්ෂණය යොදා කරන මවාපෑමකින් පුද්ගලයන්ව ඝාතනය කිරීමට දරුවන්ට” අවකාශ සලසා දෙමින් පරිගණක ක්‍රීඩා නිෂ්පාදනය කරන අයව ඇතුළත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
වීඩියෝ ක්‍රීඩා සහ අන්තර්ජාලය
මාරාන්තික සටන් ප්‍රකාශනය (ඉංග්‍රීසියෙන්) යන මැයින් යුත් තම පොතේ රොබට් වෙයාරිං, නහඹරයන් අතර මාරාන්තික සටන් ක්‍රීඩා ජනප්‍රිය වී ඇති ආකාරය ගැන අධ්‍යයනයක් කළේය. a මෙම ක්‍රීඩාවට ලොල් වූ රහසිගත සමාජයක් බිහි වී ඇති බව වෙයාරිං මහතා විශ්වාස කරයි. ඇත්තෙන්ම මෙම ක්‍රීඩාවලින් යහපතක් නම් සිදු නොවේ. ඒ වෙනුවට එහි උගන්වන්නේ කෙනෙකුව මරා දමන ආකාරයයි. “ලෝකයේ ඕනෑම කෙනෙකු සමඟ අන්තර්ජාලය ඔස්සේ සජීවීව සටන් කරමින්, සටන් කිරීමට ඇති ඔබේ දස්කම්ද පෙන්නුම් කිරීමට උත්සාහ කිරීම මතකයේ රැඳෙන අද්දැකීමකි. එවැනි දෙයකට හසුවීම ඉතා පහසු දෙයක්” බව වෙයාරිං තවදුරටත් පවසයි. ලෙයින් නැහැවුණු මෙම සටන්වලට පසුබිම සපයන විචිත්‍රවත් ත්‍රිමාන දර්ශනවල සිත් ඇදගන්නාසුලුභාවයටද නහඹරයෝ පහසුවෙන්ම ඇදී යති. අන්තර්ජාලයට පිවිසීමේ මඟක් නොතිබෙන විට, නිවෙස් තුළම, රූපවාහිනියට සම්බන්ධ කර භාවිත කළ හැකි වීඩියෝ ක්‍රීඩා මිල දී ගෙන භාවිත කිරීමට සමහරු යොමු වෙති. තවත් සමහරු ප්‍රසිද්ධ ස්ථානවලට ගොස් ගාස්තුවක් ගෙවා වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කළ හැකි කුටි භාවිත කරමින් ප්‍රතිවාදීන් සමඟ ‘මරණය දක්වාම’ සටන් කරති.
මෙවැනි “මාරාන්තික සටන්” ක්‍රීඩා ක්‍රීඩකයාගේ වයස අනුව වර්ග කළද, එයින් එතරම්ම ආරක්ෂාවක් සැලසෙන්නේ නැත. එක්සත් ජනපදයේ වෙසෙන 14 හැවිරිදි එඩීගේ අදහස් සලකා බලන්න. “කෙනෙක් ළාබාල වැඩියි කියලා මිනිස්සු කියන පළියටම, [ඒ ක්‍රීඩාව] මිල දී නොගෙන
ඉන්නේ නැහැ.” එක දිගට වෙඩි තැබීම් සිදු කරන ක්‍රීඩාවකට එඩී විශේෂ කැමැත්තක් දක්වයි. ඔහුගේ දෙමාපියන් ඔහුගේ විනෝදාංශය ගැන දැන සිටියත්, එයට එතරම් කැමැත්තක් පළ නොකළත්, ඔහු එය සෙල්ලම් කරනවාද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට ඔවුහු එතරම්ම උනන්දුවක් නොදක්වති. එක් නහඹරයෙක් මෙම නිගමනයට එළඹුණේය. “වෙන කිසිම පරම්පරාවකට වඩා අපේ පරම්පරාව තමයි ප්‍රචණ්ඩකාරි දේවලට කිසිම ගානක් නැතුව යොමු වෙන්නේ. දරුවන්ව හදා වඩා ගන්නේ දෙමාපියන් නෙමෙයි, නුමුත් රූපවාහිනියයි. රූපවාහිනියේ වැඩි හරියක් දකින්න ලැබෙන්නේ දරුවන් තුළ ප්‍රචණ්ඩකාරි දේවලට ආශාවක් පුබුදුවන වැඩසටහන්.” නියූස්වීක් සඟරාවට ලිපියක් ලියමින් ජොන් ලේලන්ඩ් මෙසේ පැවසීය. “දැන් [එක්සත් ජනපදයේ] නහඹරයන්ගෙන් මිලියන 11කට වැඩි පිරිසක් අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නිසා, නහඹර ජීවිතය, දෙමාපියන් නොදන්නා බලපෑම්වලට බෙහෙවින් නිරාවරණය වන බව පැවසිය යුතුයි.”මරණයට අත වනන ජීවන රටාවන්
“මාරාන්තික සටන්” ක්‍රීඩා සහ ප්‍රචණ්ඩකාරි සිනමා ලෝකයෙන් පිට, මනුෂ්‍යයන්ගේ හැසිරීම ගැන කුමක් කිව හැකිද? සැබෑ ජීවිතයේදී අද්භූත ජීවීන් සමඟ මාරාන්තික සටනක නිරත වීමට අපට සිදු නොවුවත්, බොහෝදෙනෙකුගේ ජීවන රටාව දෙස බලන කල, ඔවුන් තමාගේම විනාශයට මඟ පාදන ආකාරයේ ජීවන රටාවක් අනුගමනය කරන බව නම් පැහැදිලිය. නිදසුනක් ලෙස, පවුලේ සාමාජිකයන්, සෞඛ්‍ය බලධාරීන් සහ වෙනත් බලධාරීන් දුම්පානයේ සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතයේ අනතුරු සම්බන්ධයෙන් කොතරම් අනතුරු ඇඟවීම් කර තිබුණත්, මෙවැනි පුරුදුවල අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබේ. බොහෝවිට ප්‍රතිඵලයක් වශයෙන් මනුෂ්‍යයෝ අකල් මරණවලට ගොදුරු වෙති. නීති විරෝධීව ලබන ලාභ තව තවත් වැඩි කිරීම සඳහා, ව්‍යාපාරිකයෝ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, මහජනයාගේ කනස්සල්ලෙන්, බලාපොරොත්තු විරහිතකමින් සහ ආත්මික දුගීකමෙන් අනිසි ප්‍රයෝජන ගැනීමට පසුබට නොවෙති.
වගකිව යුත්තේ කවුද?
බයිබලය මරණය නමැති සංකල්පය විනෝදයට යෝග්‍ය විෂයක් ලෙස ඉදිරිපත් කරයිද? නැත. මරණය කරා මඟ පාදන ජීවන රටාවන් යුක්තිසහගත කළ හැකිද? එසේ කළ නොහැක. ප්‍රේරිත පාවුල් හා සමානව සැබෑ ක්‍රිස්තියානීන්ද මරණය සලකන්නේ ‘සතුරෙකු’ ලෙසය. (1 කොරින්ති 15:26) ක්‍රිස්තියානීහු මරණය සිත්ගන්නා විනෝදය ගෙන දෙන යමක් ලෙස නොව, අපගේ ස්වාභාවික නැඹුරුවාවන්ට එරෙහිව දිවයන දෙයක්, දෙවිට විරුද්ධව පව් කිරීමේ සහ කැරලි ගැසීමේ ප්‍රතිඵලයක් වශයෙන් උරුම වෙන දෙයක් ලෙස සලකති. (රෝම 5:12; 6:23) මිනිසා සඳහා වූ දෙවිගේ මුල් අරමුණට එය කිසිදාක ඇතුළත් වූයේ නැත.
“මරණය සිදු කිරීමට බලය” සාතන් සතු බව පැවසේ. ඔහුව “මිනීමරන්නෙක්” හැටියටද හඳුන්වා ඇත. එසේ හඳුන්වා ඇත්තේ ඔහු ඍජුවම ඝාතන සිදු කරන නිසාම නොවේ. සාතන් මනුෂ්‍යයන්ව පාපයට පොලඹවයි. ඔහු එසේ කරන්නේ මරණයට මඟ පාදන නොමනා හැසිරීමට අනුබල දීමෙනි. ඒ සඳහා පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරු දැරියන්ගේ පවා මනස් සහ හදවත් තුළ ඔහු කුරිරු අදහස් හටගැන්වීමට සලස්වයි. (හෙබ්‍රෙව් 2:14, 15, NW; යොහන් 8:44; 2 කොරින්ති 11:3; යාකොබ් 4:1, 2) කෙසේවෙතත්, තරුණ පරපුර ඔහුගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ මන්ද? ඔවුන්ට උපකාර කිරීම සඳහා අපට කළ හැක්කේ කුමක්ද?
[පාදසටහන]
a මෙම වාර්තාවලට අනුව, “මාරාන්තික සටන්” ක්‍රීඩාවල නිරත වන “ක්‍රීඩකයෝ අන්තර්ජාලයෙන් එකිනෙකා සමඟ සම්බන්ධ වී, ත්‍රිමාන රූප ආධාරයෙන්, එකිනෙකාව ඝාතනය කිරීමට පොර අල්ලති.”
[7වන පිටුවේ පින්තූරය]
“වෙන කිසිම පරම්පරාවකට වඩා අපේ පරම්පරාව තමයි ප්‍රචණ්ඩකාරි දේවලට කිසිම ගානක් නැතුව යොමු වෙන්නේ”