Skip to content

පටුනට යන්න

‘මරණය හා බැඳි සංස්කෘතියෙන්’ මිදීමට තරුණ පරපුරට අත්වැලක්

‘මරණය හා බැඳි සංස්කෘතියෙන්’ මිදීමට තරුණ පරපුරට අත්වැලක්

‘මරණය හා බැඳි සංස්කෘතියෙන්’ මිදීමට තරුණ පරපුරට අත්වැලක්

අදදින වෙසෙන තරුණ පරපුර මරණය නමැති සංකල්පයට මෙතරම් වහ වැටී ඇත්තේ මන්ද? අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි ජනපදයේ නියෝජිත හෙන්රි හයිඩ් මේ සම්බන්ධයෙන් පැවසූ දේ සැලකිල්ලට ගැනීම වටී. ඔහු මෙසේ පැවසීය. “මෙම යෞවන යෞවනියන් තුළ අධ්‍යාත්මික වශයෙන් යම් හිස්බවක් දක්නට ලැබෙන අතර, එම අඩුව පිරවීමට මරණය හා සාහසිකකම මුසු වූ සංස්කෘතියක් ඉදිරිපත් වී ඇත.”

“අදදින අපගේ යෞවන යෞවනියන් අතර පවතින මරණය හා බැඳි සංස්කෘතියට මූලිකවම වගකිව යුත්තේ, දෙමාපියන්ගේ නොසැලකිල්ල, ප්‍රචණ්ඩකාරිත්වය හුවා දක්වන විනෝදය මෙන්ම සදාචාරමය සහ අධ්‍යාත්මික පැත්තෙන් නිසි අධ්‍යාපනයක් නොලැබීම යන හේතුකාරකයන්ය.” මෙසේ ලීවේ ටයිම් සඟරාවේ පාඨකයෙකි.

නහඹරයන්ට බලපාන තවත් ප්‍රබල ගැටලුවකි තනිකම දැනීම. මොවුන් සමහරෙකුගේ දෙමාපියෝ රැකියාවල නිරත වෙති. එමනිසා, දවසින් වැඩි හරියක් ඔවුන් කල් ගෙවන්නේ තනිවය. තවත් අයට සිටින්නේ එක් දෙමාපියෙකු පමණි. එක් තොරතුරු මූලාශ්‍රයකට අනුව, එක්සත් ජනපදයේ නහඹරයන් සාමාන්‍යයෙන් දිනපතාම පැය තුනහමාරක් ගත කරන්නේ තනිවමය. තවද එක්දහස් නවසිය හැටගණන්වලදී දරුවන් සහ දෙමාපියන් එකට ගත කළ කාලය හා සසඳද්දී, වර්තමානයේ දරුවන් සහ දෙමාපියන් සතියක් තුළ එකට ගත කරන කාලය පැය 11කින් පමණ අඩුය. ඇත්තෙන්ම ඇතැම් යෞවන යෞවනියන් තම දෙමාපියන්ව නොදකින තරම්ය. ඔවුන්ට චිත්තවේගීය ලෙස අත හිත දීමට දෙමාපියන් ළඟපාතකවත් නැත.

දෙමාපියන්ට මේ සඳහා කළ හැකි දේ

අදදින සමාජයේ යෞවන යෞවනියන් අතර ‘අධ්‍යාත්මික ලෙස හිස්කමක්’ දක්නට ලැබෙන බැවින්, මේ සම්බන්ධයෙන් දෙමාපියන් සතු කාර්යභාරය කොතරම් වැදගත් වේද? දරුවන් අහිතකර නොවූ විනෝදයක් ලබාගැනීම අවශ්‍යය. නුවණින් ක්‍රියා කරන දෙමාපියෝ තම දරුවන් හිතකර විනෝදාංශවල යෙදීමේ අවශ්‍යතාව තේරුම්ගනිති. කෙසේවෙතත් ඔවුන් තේරුම්ගන්නා තවත් දෙයක් නම්, දරුවන්ට නිරතුරුවම තමන්ගේ උපකාරය අවශ්‍ය වන බවය. දෙමාපියන් එවන් අවධානයක් තම දරුවන්ට දෙන්නේ ප්‍රේමය නමැති චේතනාව පෙරදැරි කරගෙනයි. එමනිසා, සංගීතය, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ පටි, නවකතා, වීඩියෝ ක්‍රීඩා සහ චිත්‍රපට සම්බන්ධයෙන් ඔවුන්ගේ මනාපයන් මොනවාදැයි සාකච්ඡා කිරීමට ඔවුහු නිතැතින්ම පෙලඹෙති. බොහෝ යෞවනයන් එළිපිට ප්‍රකාශ නොකළද, ඔවුන් බෙහෙවින් ආශා කරන දෙයකි, තම දෙමාපියන්ගේ ආදරය සහ ප්‍රේමනීය මඟ පෙන්වීම. අවිනිශ්චිතබවෙන් පිරි ලොවකින් වට වී ඇති නිසා, තිබෙන්නාවූ ප්‍රශ්නවලට ඔවුන්ට පැහැදිලි උත්තර ලබාගැනීමට අවශ්‍යය. වැඩිහිටියන් තම තරුණ කාලයේදී මුහුණ දුන්නාට වඩා, දැන් සිටින යෞවන යෞවනියන්ට ඉතා සංකීර්ණ ලොවකට මුහුණ දෙන්න සිදු වී ඇති බව වැඩිහිටියන් තේරුම්ගත යුතුය.

තම දරුවන්ව ආරක්ෂා කිරීමේ ආශාවෙන් පෙලඹෙන දෙමාපියෝ, ඔවුන් සමඟ නිතිපතා අදහස් හුවමාරු කරගනිති. අදහස් හුවමාරුව යන්නෙන් අඟවන්නේ ඔවුන්ට හොඳින් සවන් දීමත්, නවීන සමාජයේ තිබෙන අන්තරාවන් ගැන ඔවුන්ට අනතුරු ඇඟවීමත්ය. දෙමාපියන් තම දරුවන් සඳහා ඉතා පැහැදිලි සීමාවන් පැනවිය යුතුය. ඔවුන් පනවන නීති විටින් විට වෙනස් නොකළ යුතුය. එමෙන්ම සාධාරණකම සහ සෙනෙහස විදහාපෙන්වීමද වැදගත්ය. එසේ කළොත් ඔවුන් හොඳ ප්‍රතිඵල නෙළාගන්නවා නොඅනුමානය.—මතෙව් 5:37.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සිටින දෙමාපියෝ, බයිබලය සහ බයිබලය මත පදනම් ප්‍රකාශන සහ වීඩියෝ පටි යොදාගනිමින්, තම දරුවන් සමඟ නිතිපතා සාකච්ඡා කිරීමට වෑයම් කරති. a එවැනි අවස්ථාවන් ඔවුන් යොදාගන්නේ දරුවන්ට තරවටු කිරීමට නොව, නමුත් ආත්මික ලෙස වර්ධනය ගෙන දෙන විෂයන් ගැන සාකච්ඡා කිරීමටය. පවුලක් වශයෙන් එකතු වන මෙවැනි අවස්ථාවලදී, ඔවුන්ගේ එක් එක් දරුවන්ට පෞද්ගලිකව බලපාන ගැටලු හෝ අභියෝගයන් පිළිබඳව සවන් දීමට අවස්ථාව සැලසෙන නිසා, දරුවන්ට පෞද්ගලිකව අවධානය යොමු කිරීමටද මෙමගින් ප්‍රස්තාව උදා වේ.

තම දෙමාපියන්ගෙන් කිසිදු ආත්මික මඟ පෙන්වීමක් නොලබන යෞවන යෞවනියන්ට පවා ගීතාවලිය 27:10න් දිරියක් ලැබිය හැක. එහි මෙසේ පැවසේ. ‘මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නමුත් යෙහෝවා මා පිළිගන්නේය.’ දයාබර කරුණාවල පිය වූ යෙහෝවා යෞවන යෞවනියන්ට උපකාර කරන්නේ කෙසේද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් බොහෝදෙනෙකුට සුරක්ෂිත ස්ථානයක් වී ඇත. එහිදී ඔවුන් සෙනෙහස ලබා ඇති අතර, ඔවුන්ගේ බිය සැක දුරු කරගැනීමටද හැකි වී තිබේ. හෝසියාස් එවැනි අද්දැකීමක් ලැබූ කෙනෙකි. ඔහු මෙසේ තම අදහස් පළ කරයි. “යෙහෝවාගේ සංවිධානයෙන් ලොකු අඩුවක් පිරෙනවා. මං කලින් හිතුවේ ජීවත් වෙලා කිසිම වැඩක් නැහැයි කියලයි. මට බලාපොරොත්තුවක්වත්, අරමුණක්වත් තිබුණේ නැහැ. හැබැයි, මම තනි වෙලා නැහැයි කියල දැනගත්තහම, මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සභාවේ සහෝදරයන් දිහා මම බැලුවේ අලුතින්ම ලැබිච්ච පවුලක් හැටියටයි. සභාවේ ඉන්න වැඩිමහල්ලන් වගේම පවුල්, ආත්මික අර්ථයකින් හරියට නැංගුරුමක් වගෙයි.”

ඇත්තෙන්ම යෞවන යෞවනියන් බොහෝදෙනෙකු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා රැස්වීම්වලට නිතිපතා පැමිණීමෙන් තම මානසික සහ ආත්මික සෞඛ්‍යය ඉහළ නංවාගෙන ඇත. මානව විද්‍යාඥ පාට්‍රිසියා ෆෝචුනි ලොස් ටෙස්ටිගොස් ඩෙ හේඕවා: ඌනා ආල්ටෙර්නාටිවා රෙලිහ්යෝසා පාරා එන්ෆ්‍රෙන්ටාර් එල් ෆින් ඩෙල් මිලෙන්යෝ (යෙහෝවාගේ සාක්ෂිකරුවෝ: සහස්‍රයක නිමාවට මුහුණ දීම සඳහා යෝග්‍ය ආගමික විකල්පයක්) නමැති තම රචනාවේදී මෙම ඒකාන්ත බලපෑම ගැන අදහස් පළ කළේ මෙසේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දෛනික ජීවිතය මෙහෙයවීමට පැහැදිලි මෙන්ම නිශ්චිත ක්‍රියා පිළිවෙතක්ද, චින්තනයට සහ ක්‍රියාවට මඟ පෙන්වීමක් වශයෙන් ක්‍රියාත්මක වන ඉතා පැහැදිලි නීති සංග්‍රහයක්ද ඉදිරිපත් කරති.” මෙහි සඳහන් කර ඇති “නිශ්චිත ක්‍රියා පිළිවෙත” හා “නීති සංග්‍රහය” පදනම් වී ඇත්තේ බයිබලය මතය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම අසල්වාසීන් හා සමාන ගැටලුවලට හා පීඩිත තත්වයන්ට මුහුණ දුන්නද, එම ඉපැරණි ග්‍රන්ථයෙහි නිදන් කොට ඇති අද්විතීය ප්‍රඥාවෙන් ඔවුහු ශක්තිය ලබති. ඔව්, බයිබලයෙහි අඩංගු පැහැදිලි ඉගැන්වීම් හා ප්‍රතිපත්ති සාක්ෂිකරුවන්ට ආරක්ෂාවක් වී තිබේ.

‘මරණය තවත් නොවන’ කල්හි

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල උගන්වන දෙයින් නැවත නැවතත් අවධාරණය කරන දේ වන්නේ, දෙවි පොරොන්දු වී ඇති ‘ධර්මිෂ්ඨකම පවතින’ හා “කිසිවෙකුගෙන් භයක් [නොලැබ]” සිටිය හැකි නව ලොව ළඟදීම ඇරඹෙන බවය. (2 පේතෘස් 3:13; මීකා 4:4) මීට අමතරව, දෙවි ‘මරණය සදාකාලයටම ගිලදමන බවත්, ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිසදමන’ බවත් අනාගතවක්තෘ යෙසායා වාර්තා කරයි. මුල් මිනිසා වූ ආදම්ගේ අයුතුකම හේතුකොටගෙන මරණය මිනිස් සංහතියට පහර දුන්නද, දෙවිගේ පොරොන්දුවට අනුව, ළඟදීම “මරණය තවත් නොවන්නේය.”—යෙසායා 25:8; එළිදරව් 21:3, 4; රෝම 5:12.

ඔබ උපකාරය අවශ්‍ය කලකිරුණු යෞවනයෙකු නම්, බයිබලයේ පිටු තුළින් බලාපොරොත්තුවක් සහ ජීවත් වීමට නිශ්චිත හේතුවක් සෙවීමට ඔබට ඇරයුම් කරන්න කැමැත්තෙමු. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උපකාරයෙන්, දෙවි පොරොන්දු වී ඇති නව ලොවක් තුළ ඉතා හොඳ කාලයක් භුක්ති විඳිය හැකි බව ඔබට දැනගත හැකි වේ.

[පාදසටහන]

a යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? යන වීඩියෝ පටියෙන් යෞවන යෞවනියන්ට ප්‍රායෝගික උපකාර රැසක් සපයා ඇත. එය Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, දැනට ඇත්තේ ඉංග්‍රීසි බසින් පමණි.

[9වන පිටුවේ පින්තූරය]

තම දරුවන්ට හොඳින් සවන් දීමටත්, ඔවුන්ගේ ගැටලු තේරුම්ගැනීමටත් දෙමාපියන් කාලය ගත කළ යුතුය

[10වන පිටුවේ පින්තූර]

‘යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දෛනික ජීවිතය මෙහෙයවීමට පැහැදිලි මෙන්ම නිශ්චිත ක්‍රියා පිළිවෙතක් ඉදිරිපත් කරති’