Skip to content

පටුනට යන්න

සිතට සුවයක් ගෙන දෙන සිනහව

සිතට සුවයක් ගෙන දෙන සිනහව

සිතට සුවයක් ගෙන දෙන සිනහව

ජපානයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

එයට බිය සැක දුරු කිරීමේ හැකියාව තිබෙනවා. වසර ගණනාවක් පුරා කෙනෙකු තුළ වර්ධනය වී ඇති අගතිසහගත හැඟීම් බිඳ දැමීමටද පුළුවන්. අවිශ්වාසයෙන් පිරුණු දැඩි සිත් මෘදු කිරීමට මෙන්ම දහස්ගණනකගේ සිතට සතුටක් ගෙන දීමටද එය සමත් වී තිබෙනවා. “කලබල වෙන්න එපා. මං ඔයාව අත්හරින්නේ නෑ” කියන්නාක් මෙන් එය සිත සනසයි. තවත් අවස්ථාවක “මං ඔයාව අඳුරගන්න ආසයි” කියා එය නිහඬව ආරාධනා කරයි. අප මොනවා ගැනද මේ කතා කරමින් සිටින්නේ? අප සියලුදෙනාටම නොමිලේ දිය හැකි සිනහව ගැනයි. ඔව්, එය ඔබේ සිනහව විය හැකියි.

සිනහවක් කියන්නේ කුමක්ද? එක් ශබ්දකෝෂයක් එය ‘සතුට, ප්‍රසන්නබව, අනුග්‍රහය ආදි හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා මුහුණේ ඉරියව්වල විකසිතභාවයක් පෙන්වීම’ වශයෙන් විස්තර කර තිබෙනවා. ඔව්, අපේ හැඟීම් හා සිතිවිලි නිහඬව ප්‍රකාශ කිරීමට සිනහවකට බලය තිබෙනවා. එයයි සිත කුල්මත් කරවන සිනහවක රහස. සිනහවකින් අවමානය හා සමච්චලය වැනි හැඟීම්ද ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් අප දැන් සාකච්ඡා කරමින් සිටින්නේ එවැනි සිනහවක් ගැන නම් නොවෙයි.

සිනහවකින් ඒ තරම්ම ලොකු වෙනසක් ඇති කළ හැකිද කියා ඔබ සමහරවිට කල්පනා කරනවා ඇති. හොඳයි, ඔබ කලබලයට පත් වී සිටි මොහොතකදී මිතුරෙක් ඔබ දෙස බලා කරුණාව මුසු සිනහවක් පාමින් ඔබේ සිත සන්සුන් කළ අවස්ථාවක් ඔබට මතකද? එය ඔබේ සිතට සහනයක් ගෙන දුන්නේ නැද්ද? එහෙමත් නැත්නම්, මිතුරෙක් ඔබ සමඟ සිනා නොවූ අවස්ථාවකදී ඔබේ සිතට දැනුණ වේදනාව හෝ බිය ඔබට මතකද? ඔව්, සිනහවකින් ලොකු වෙනසක් සිදු කළ හැකියි. එය සිනහව දකින කෙනාට විතරක් නොවෙයි සිනහව පාන කෙනාටද බලපායි. බයිබලයේ සඳහන් පුද්ගලයෙක් වන යෝබ් තම සතුරන් ගැන පැවසුවේ මෙලෙසයි. “මා සිනාසී ඔවුන් දෙස බැලූ කල ඔවුන්ට අදහාගත නොහැකි විය. මාගේ මුහුණේ එළියද ඔවුහු නොසලකා නොහැරියෝය.” (යෝබ් 29:24, NW) යෝබ්ගේ “මුහුණේ එළිය” යන වචනවලින් අඟවන්නේ කුමක්ද? එය යෝබ්ගේ සිනාමුසු මුහුණෙන් ප්‍රකාශ වූ ප්‍රීතිය හෝ උද්‍යෝගය විය හැකියි.

අදදිනත් සිනහවකින් යහපත් බලපෑමක් ඇති කළ හැකියි. ගැටුමක් හටගත හැකි තත්වයකදී පවා හද උණුසුම් කරවන සිනහවකින් එය මඟ හරවාගත හැකියි. දැඩි මානසික පීඩනයකට ලක් වූ කෙනෙකුගේ සිතට මහත් සහනයක් ගෙන දීමටද එයට හැකියි. අධෛර්යයට හා කලකිරීමට පත් වූ මොහොතකදී කෙනෙකුගේ සිනහවකින් අපට සුවයක් ලැබෙනවා විතරක් නොවෙයි, නමුත් අපේ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තියද ලැබෙනවා. ටොමෝකෝගේ අද්දැකීම සලකා බලන්න. ඇය වෙනත් අය දෙස බැලූ විට ඔවුන් ඉක්මනටම අහක බලාගත්ත නිසා ඔවුන් නිතරම තමන් දෙස බැලුවේ වපර ඇසෙන් කියා ඇයට හැඟුණා. ඒ නිසා ටොමෝකෝට නිතරම පාළුවක් හා තනිකමක් දැනුණා. මෙයට පිළියමක් වශයෙන්, අනිත් අය දෙස බලන විට ඔවුන් සමඟ සිනාසෙන්න පුරුදු වෙන්න කියා ඇගේ මිතුරියක් ඇයට උනන්දු කළා. ටොමෝකෝ සති දෙකක් පුරා ඇගේ මිතුරියගේ උපදෙස් දිගටම පිළිපැද්දා. එහි ප්‍රතිඵලය? සියලුදෙනාම ඈ සමඟ සිනාසුණා! ඔව්, සියලුදෙනාගෙම බිය සැක දුරු වී තිබුණා. “මං දැන් ඉන්නේ හරිම සතුටින්” කියා ඇය පවසනවා. ඔව්, අපි සිනහ වුණාම අනිත් අය සමඟ කටයුතු කිරීමේදී දැනෙන අපහසුතාව නැති වී යනවා වගේම, ඔවුන් සමඟ වඩා සුහදව කටයුතු කිරීමටද අපට හැකි වෙයි.

සිනහවක බලය

සිනහව අපේ චිත්තවේගයන් මතද විශාල බලපෑමක් ඇති කරයි. අපට ශුභවාදී ආකාරයට දේවල් දෙස බැලීමට එය උපකාරවත් වන අතර යහපත් සෞඛ්‍යයකටද මඟ පාදනවා. “සිනාසී තරවන්න” යන ජනප්‍රිය කියමන ඔබ සමහරවිට අසා ඇති. මෙහි යම් සත්‍යතාවක් ඇති බව වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ඇතමෙක් හෙළි කර තිබෙනවා. ඔවුන්ගේ මතයට අනුව, කෙනෙකුගේ මානසික තත්වය හා චිත්තවේගයන් ඔහුගේ ශාරීරික සෞඛ්‍යය මත විශාල බලපෑමක් ඇති කරයි. දීර්ඝ කාලයක් පුරා අද්දකින මානසික පීඩනය, නිෂේධාත්මක හැඟීම් ආදිය අපේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කළ හැකි බව බොහෝ අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. නමුත් මද සිනහවක් පවා අපව සතුටට පත් කරමින් අපේ ප්‍රතිශක්තිකරණ හැකියාව වඩවාලයි.

අපේ සිනහවෙන් අන්‍යයන් මතද යහපත් බලපෑමක් ඇති කළ හැකියි. ඔබට යමෙක් උපදෙස් දෙනවායයි සිතින් මවාගන්න. ඔහුගේ සිතේ කේන්තියක්, නුරුස්සන ගතියක් හෝ වෛරයක් පවා ඇති බව ඔහුගේ මුහුණේ ඉරියව්වෙන් ප්‍රකාශ වෙනවා නම් ඔබට හැඟෙන්නේ කොහොමද? ඔබට අපහසුතාවක් දැනෙනවාට කිසිම සැකයක් නැහැ. නමුත් කරුණාව මුසු සිනහවකින් ඔහු ඔබට උපදෙස් දෙනවා නම්, ඔහු දෙන උපදෙස් වඩාත් පහසුවෙන් පිළිගත හැකියි. තවද ඔහුට සවන් දෙන විට ඔබට බියක් හෝ අපහසුතාවක් දැනෙන්නේද නැහැ. ඇත්තෙන්ම, සිනහවකින් ගැටුමකට මඟ පාදන තත්වයකදී පවා වරදවා වටහාගැනීම් අවම කරගත හැකියි.

සිතිවිලි හා සිනහව

අප සෑම කෙනෙකුටම නළු නිළියන් මෙන් ක්ෂණිකව සිනහවක් මවාගන්න බැරි බව ඇත්තයි. එහෙම කිරීමට අපට අවශ්‍යතාවයකුත් නැහැ. අපට අවශ්‍ය වන්නේ අව්‍යාජ මෙන්ම ස්වාභාවික ලෙස සිනාසීමටයි. අදහස් හුවමාරු කිරීම පිළිබඳ උපදේශිකාවක් මෙසේ පැවසුවා. ‘කලබල නොවී හැඟීම්බරව සිනාසෙන එක වැදගත්. එහෙම කළේ නැත්නම් අපි බොරු හිනාවක් දානවා කියලා අනිත් අයට හැඟෙන්න පුළුවන්.’ අපි කොහොමද අව්‍යාජව හා හැඟීම්බරව සිනාසෙන්නේ? මෙය වටහාගැනීමට, මතෙව් 12:34, 35හි කතා බහ සම්බන්ධයෙන් පවසන දේ අපට උපකාරවත් වෙයි. එහි මෙසේ පවසා තිබෙනවා. “සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි. යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය.”

අප කතා කරන්නේ “සිතේ පූර්ණකමෙන්” බවත්, සිතේ “යහපත් සම්පතින්” ‘යහපත් දේවල්’ නික්මෙන බවත් මෙහි පැහැදිලි කර තිබෙනවා. ඒ කියන්නේ අපට යහපත් සිතිවිලි තිබෙනවා නම් අප යහපත් දේවල් ගැන කතා කරන්න නිතැතින්ම පෙලඹෙනවා කියන එකයි. අපේ සිනහව ගැන අපට මෙයින් ඉගෙනගත හැක්කේ කුමක්ද? සිනහවකින් අපේ හැඟීම් නිහඬව ප්‍රකාශ කළ හැකි බව අප කලින් සඳහන් කළා ඔබට මතකද? ඔව්, අපේ සිතේ තිබෙන දේවල් හා අපේ චිත්තවේගයන් අපේ කතාවෙන් හෝ ක්‍රියාවෙන් විතරක් නොවෙයි නමුත් අපේ මුහුණේ ඉරියව්වෙන් පවා ප්‍රකාශ වෙයි. ඒ නිසා අපි නිතරම යහපත් දේවල් ගැන මෙනෙහි කිරීමට වෑයම් කළ යුතුයි. අප අන්‍යයන් ගැන සිතන දේ අපේ මුහුණේ ඉරියව්වෙන් පිළිබිඹු වන නිසා, පවුලේ සාමාජිකයන්, අසල්වැසියන් හා මිත්‍රයන්ගේ යහපත් ගුණාංග දෙස බැලීමට අප උපරිම වෑයමක් දැරිය යුතුයි. මෙසේ කළොත් ඔවුන් සමඟ සිනාසීම අපහසු වෙන එකක් නැහැ. දයාව, කරුණාව හා යහපත්කම වැනි ගුණාංග අප වර්ධනය කරගන්නා විට, අපට හද පත්ලෙන්ම සිනාසිය හැකියි. ඇස් දෙකෙන් පළ වන එවැනි සිනහවක ඇති අව්‍යාජ බව සියලුදෙනාටම හොඳින් දැනෙයි. එයයි අව්‍යාජ සිනහවක රහස.

කොහොම වුණත්, සමහර අය හැදී වැඩී තිබෙන වාතාවරණය හෝ පසුබිම නිසා ඔවුන්ට සිනාසීම ඒ තරම්ම පහසු දෙයක් නොවිය හැකියි. තම අසල්වාසීන් ගැන හොඳ හැඟීම් තිබුණත් ඔවුන් සමඟ සිනාසීමට එවැනි පුද්ගලයන් පුරුදු වී නැහැ. නිදසුනක් වශයෙන් ජපන් සංස්කෘතියට අනුව පුරුෂයෙක් නිතරම නිශ්ශබ්දතාව රැකගත යුතු අතර, තම හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන්ද වැළකී සිටිය යුතුයි. එමනිසා ඔවුන් අමුත්තන් සමඟ සිනා නොවෙයි. මෙය වෙනත් සංස්කෘතීන් සම්බන්ධයෙන්ද සැබෑවක් විය හැකියි. තවත් තත්වයක් සලකා බලන්න. ඇතමෙක් ස්වභාවයෙන්ම ලැජ්ජාශීලි වන නිසා ඔවුන්ට අන්‍යයන් සමඟ සිනාසීම එතරම් පහසු දෙයක් නොවිය හැකියි. මෙයින් අප ඉගෙනගන්නේ කුමක්ද? අපි සෑමදෙනාටම එකිනෙකට වෙනස් පෞද්ගලිකත්වයන් තිබෙනවා. ඒ වගේම, එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරන ආකාරයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එමනිසා කෙනෙකු සිනා වන ආකාරය හෝ ඔහු අප සමඟ සිනාසෙනවාද නැද්ද යන කාරණය මත ඔහුව විනිශ්චය කිරීමෙන් අප වැළකිය යුතුයි.

කොහොම වුණත්, ඔබට අන්‍යයන් සමඟ සිනාසීම සම්බන්ධයෙන් යම් අපහසුතාවක් දැනෙනවා නම්, එයින් ජයගැනීමට වෑයම් කරන්න. බයිබලය අපට මෙසේ දිරිගන්වයි. “යහපත්කම් කිරීම අත් නොහරිමු; . . . සියල්ලන්ටම, යහපත්කම් කරමු.” (ගලාති 6:9, 10, NW) අන්‍යයන්ට යහපත්කම් කිරීමට හැකි එක ක්‍රමයක් වන්නේ ඔවුන් සමඟ සිනාසීමයි. මෙය අපි කොයි කාටත් කළ හැකි දෙයක්. ඒ නිසා අන්‍යයන්ව සුහදව පිළිගැනීමටත්, ඔබේ වචනයෙන් හා සිනහවෙන් ඔවුන්ව දිරිගැන්වීමටත් මුල් පියවර ගන්න. ඔබේ වෑයම අන්‍යයන් අගය කරන බවට කිසිම සැකයක් නැහැ. අන්‍යයන් සමඟ සිනාසීමට ඔබ දිගටම වෙර දරද්දී සිනාසීම වඩාත් පහසු වන බව ඔබට දැනෙයි.

[12වන පිටුවේ කොටුව]

පොඩි අවවාදයක්

අප සමඟ සිනාසෙන සෑම කෙනෙක්ම අවංක නැති බව අප හොඳින් මතක තබාගත යුතුයි. අද මිනිසුන්ව රවටාගැනීමට පුහු සිනහවක් පාන අයද සිටීම කනගාටුදායක දෙයක්. වංචනික මිනිසුන් හා ප්‍රතිපත්තියක් නොමැති වෙළෙන්දන්ද මෙම ගණයට වැටෙයි. සිනහවකින් කෙනෙකුව රවටාගත හැකි බව ඔවුන් හොඳින් දන්නවා. දුරාචාරමය ජීවිත ගත කරන අයද, වංක චේතනාවෙන් සිත් ඇදගන්නාසුලු සිනහවක් පානවා විය හැකියි. නමුත් ඔවුන්ගේ සිනහව පුහු මෙන්ම කපටියි. (දේශනාකාරයා 7:6) උවමනාවට වඩා අන්‍යයන්ව සැක නොකළ යුතු බව ඇත්තයි. නමුත් අප ජීවත් වන්නේ කටයුතු කිරීමට අසීරු ‘අන්තිම දවස්වල’ බව අප මතක තබාගත යුතුයි. එමනිසා, යේසුස් අවවාද කළාක් මෙන් අපි “සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව [සිටිමු].”—2 තිමෝති 3:1; මතෙව් 10:16.

[13වන පිටුවේ පින්තූරය]

අන්‍යයන්ව සුහදව පිළිගැනීමටත්, ඔවුන් සමඟ සිනහ වෙන්නත් මුල් පියවර ගන්න