Skip to content

පටුනට යන්න

එන්ඩොමෙට්‍රියෝසිස් එක්ක මගේ සටන

එන්ඩොමෙට්‍රියෝසිස් එක්ක මගේ සටන

එන්ඩොමෙට්‍රියෝසිස් එක්ක මගේ සටන

ඩෙබෝරා ඇන්ඩ්‍රෙයෝප්‍යූලොස් පැවසූ පරිදි

මම මගේ සෞඛ්‍යය ගැන උවමනාවට වඩා හිතන කෙනෙක් නෙවෙයි. මට පොඩි ලෙඩක් හැදුණාම, කැක්කුමක් ආවාම මම ඒක ඒ තරම්ම හිතට ගන්නේ නැහැ. මම ජීවිතයේ එන ඕනෑම දෙයකට මුහුණ දෙන්න ලෑස්තියි. ජීවිතයේ හොඳ දවසුත් තියෙන්න පුළුවන් නරක දවසුත් තියෙන්න පුළුවන්. හැබැයි මම ඒ ගැන ඕනාවට වඩා කලබල වෙන්නේ නැහැ.

නමුත් නහඹර කාලයේදී මට අධික වේදනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මට එහෙම වුණේ මගේ ඔසප් වීම සිදු වන කාලයේදීයි. ඒ වගේ දවස්වලදී යටි බඩේ දෙපැත්තෙන්ම ඇති වන දරාගන්න බැරි වේදනාව, හිසරදය, බඩ යෑම, කැරකිල්ල, ඔක්කාර ගතිය හා යටි කොන්දේ වේදනාව වගේ රෝග ලක්ෂණ මට ඇති වුණා. සමහර දවස්වලදී මට මේ රෝග ලක්ෂණ කිහිපයක්ම එකට ඇති වුණා. ව්‍යායාම් කරද්දී නැත්නම් පොඩි විවේකයක් ගනිද්දී තත්වය ටිකක් හොඳ අතට හැරෙනවා කියලා මට තේරුණා. නමුත් ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්න එක මට අමාරු වුණා.

අපි අද්දකින වේදනාව වෙන කෙනෙකුට විස්තර කරන එක පහසු දෙයක් නෙවෙයි. සමහරවිට අපි විස්තර කරන්න හදන දේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැති නිසා ඒගොල්ලන් අපි දිහා අවිශ්වාසයෙන් වුණත් බලන්න පුළුවන්. සමහර දවස්වලදී මම කොච්චර අසනීපයෙන් හිටියාද කිව්වොත් මුළු දවසම මං ඇඳට වෙලා හිටියා. බොහොම අමාරුවෙන් උදේට නැඟිටලා දවසේ සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන ගිය දවසුත් තිබිලා තියෙනවා. වේදනා නාශකවල පිහිටෙන් තමයි මට එහෙමවත් කරගන්න පුළුවන් වුණේ. මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි වුණ නිසා මම හුඟක් කලකිරිලයි හිටියේ. මට මොකක් හරි ලෙඩක් ඇති කියලා මම කල්පනා කරන්න පටන්ගත්තා. නමුත් වෛද්‍යවරුන් ගාවට ගියාම ඒගොල්ලන් මට කිව්වේ මට කිසිම ලෙඩක් නැහැ, බය වෙන්න එපා කියලයි. ඉතිං මම මගේ ලෙඩ ගතිය වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියා.

මට අවුරුදු තිහ පැන්නාට පස්සේ තත්වය ඊට වඩා උග්‍ර වුණා. මට හිටපු හැටියේම බඩේ දැවිල්ල ගතියක් හා වේදනාවක් ඇති වෙන්න පටන්ගත්තා. සමහර දවස්වලදී වේදනාව කොච්චර උග්‍ර වුණාද කිව්වොත් රෑට නින්ද ගියෙත් නැහැ. එක කාලයක් මම මුළු සතියටම නිදාගත්තේ පැය තුනහතරක් විතරයි. මට දවස් ගාණක්ම එක දිගටම ලාවට උණකුත් හැදිලා තිබුණා. අන්තිමේදී මගේ බඩේ, කොන්දේ හා බඩවැල්වල ඇති වුණ දැඩි වේදනාව නිසා මට විවිධ වේදනා නාශක හා ආලේප වර්ග පාවිච්චි කරන්න සිදු වුණා.

මොකක්ද මේ ලෙඩේ?

ඉරුවරුදාව (මයිග්‍රේන්), ශ්‍රෝණියේ පටක අසාමාන්‍ය ලෙස එකට ඇලීම, දුරාර්තවය (වේදනාකාරීව ඔසප් වීම), ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් (බඩවැල්වල නිතර නිතර ඇති වන අපහසුතාවක්), මහාන්ත්‍ර ප්‍රදාහය (කොලයිටිස්) හා ගැස්ට්‍රයිටිස් වගේ හොඳින් දන්නා ලෙඩවල රෝග ලක්ෂණ මට තිබුණා. මම හිතං හිටියේ මට දුරාර්තවය තිබුණා කියලා. නමුත් ඒකෙන් ඇති වන වේදනාවත් මම අද්දැක්ක වේදනාවත් අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ.

ඔසප් වීමේදී වේදනාව ඇතිවීම සාමාන්‍ය දෙයක් කියලා මට හුඟදෙනෙක් කිව්වා. ඒක පරාම්පරාවෙන් පරම්පරාවට එන දෙයක් කියලත් සමහර අය කිව්වා. ව්‍යායාම නොකිරීම, පැය ගණනක් ඉඳගෙන වැඩ කිරීම, හෝමෝනවල වෙනස්කම් ඇතිවීම, අධික ලෙස වෙහෙසීම, මානසික පීඩනය වගේම අවුරුදු 30ක් පහු වෙනකනුත් දරුවෙක් නැතිකම වගේ දේවල්ද මේකට හේතු වෙන්න පුළුවන් කියලා තවත් සමහරුන් කිව්වා. එක වෛද්‍යවරයෙක් මට කිව්වේ මේ රෝග ලක්ෂණ හොඳ සෞඛ්‍යයක් තිබෙන බවට සාක්ෂියක් කියලයි!

මගේ අනිත් රෝග ලක්ෂණවලට හේතුව ඇහුවාම මට හේතු කිහිපයක්ම දුන්නා. මට අධික වෙහෙස දැනෙන්නේ මම මහන්සි වෙලා වැඩ කරන නිසා හා මානසික පීඩනය යටතේ සිටින නිසයි. මට උණ හැදෙන්නේ මම නිතරම මහන්සියෙන් ඉන්න නිසයි. මහ බඩවැලේ හා බඩේ දැනුණ වේදනාව වගේම වෙනත් ගැටලු ඇති වුණේ මානසික පීඩනය හා හරියට කන්නේ නැති නිසයි. මට කොන්දේ කැක්කුම ඇති වුණේ මම ඉඳගෙන හා හිටගෙන ඉන්න විදිහ හරි නැති නිසයි. ඉතිං බැලූ බැල්මට හැම දෙයකටම මොකක් හරි සාධාරණ හේතුවක් තිබුණා. නමුත් ඒක දැනගත්තයි කියලා මට කිසිම සහනයක් නම් ලැබුණේ නැහැ.

ලෙඩේ හඳුනාගැනීම

වර්ෂ 1998 අප්‍රියෙල් මාසයේදී කළ අල්ට්‍රාසවුන්ඩ් (ශබ්ද තරංග ස්කෑන්) පරීක්ෂණයකින් පස්සේ මගේ ඩිම්බ කෝෂවල කිසිම ලෙඩක් නැහැයි කියලා මට කියා සිටියා. නමුත්, ඊට පස්සේ ගත වූ මාස හතරේදී මගේ සෞඛ්‍ය තත්වය තවත් නරක අතට හැරුණා. මම තීරණය කළා වෙන වෛද්‍යවරයෙක් ගාවට යන්න. එයා මට තවත් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් කරන්න කියලා කිව්වා. මේ සැරේ නම් මගේ ගර්භාෂයට පිටින් විශාල යමක් තියෙනවා කියලා සොයාගත්තා. මගේ වෛද්‍යවරයා මාව නාරිවේදි වෛද්‍යවරයෙක් ගාවට යැව්වා. එයා මට කිව්වේ මගේ ගර්භාෂයට පිටින් විශාල ගෙඩියක් නැත්නම් කුඩා ගෙඩි කිහිපයක් තිබෙන බවයි. ඒකේ දිග සෙන්ටිමීටර් 10ක් හා පළල සෙන්ටිමීටර් 12ක් කියා එයා පැවසුවා. මම හිටියේ හරියටම මාස හතරක බඩක් තියෙන අම්මා කෙනෙක් වගේ! එතකොටයි එයා සැක කළේ මට එන්ඩොමෙට්‍රියෝසිස් තියෙනවා ඇති කියලා.

මුලදී මගේ ඔලුව හොඳටම අවුල් වුණා. මම එන්ඩොමෙට්‍රියෝසිස් ගැන වැඩිය අහලා තිබ්බේත් නැහැ. මට හුඟක් දේවල් දැනගන්න ඕන වුණා. මේ ලෙඩේට හේතුව මොකක්ද, ඒක මගේ ජීවිතයට මොන වගේ බලපෑමක් ඇති කරයිද වගේ ප්‍රශ්න මගේ ඔලුවට ආවා. හැබැයි ඊට පස්සේ නම් මට ලොකු සහනයක් දැනුණා. අවුරුදු ගාණක් තිස්සෙ මම දරාගන්න බැරි වේදනාවක් අද්දැකලා තිබුණා. මම වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට මුහුණ දීලත් තිබුණා. හැබැයි මට කොයිම විදිහකින්වත් සහනයක් ලැබිලා තිබුණේ නැහැ. මගේ අසරණ තත්වය හින්දා මම ලොකු කලකිරීමකින් හිටියේ. මම හිතං හිටියේ සාමාන්‍යයෙන් දැනෙන වේදනාව මම උවමනාවට වඩා ගණන් ගන්නවා කියලයි. මම හිතුවේ මේක මගේ හිතේ ලෙඩක් කියලා. හැබැයි මේ හැම දෙයකටම සාධාරණ හේතුවක් තියෙනවා කියලා දැනගත්තාම මට ලොකු සහනයක් දැණුනා.

හේතුකාරක හඳුනාගැනීම හා ප්‍රතිකාර ක්‍රමයක් තෝරාගැනීම

වෛද්‍යවරයා කියා සිටියේ ඉක්මනටම සැත්කමක් කරන එක හොඳයි කියලා. වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ගෙඩි ටික එක පාරටම පිපිරෙන්න පුළුවන් කියලා එයා මට පැහැදිලි කරලා දුන්නා. කිසිම දෙයක් කරන්න ඉස්සෙල්ලා මායි මගේ පුරුෂයයි, වෛද්‍යවරයා කියපු දේ ගැන හා එන්ඩොමෙට්‍රියෝසිස් කියන ලෙඩේ ගැන තව ටිකක් තොරතුරු සොයා බලන්න තීරණය කළා.

වැඩි වියට පත් වූ කාන්තාවන්ගෙන් සියයට 30දෙනෙකුටම එන්ඩොමෙට්‍රියෝසිස් හැදෙනවා කියා සමහර ගණනය කිරීම්වලින් හෙළි වෙලා තියෙනවා. නමුත් එන්ඩොමෙට්‍රියෝසිස් ඇතිවීමට හේතුව තවමත් හරියටම සොයාගෙන නැහැ. ඔසප් වීමේදී ගර්භාෂයෙන් පිට වන සෛල හා පටකවලින් කොටසක් පැලෝපීය නාල දිගේ ආපස්සට ගලාගෙන ගොස් ආමාශයේ තැන්පත් වී වැඩෙනවා කියලා මතයක් තිබෙනවා. එම පටක ගර්භාෂයේ සිට ශරීරයේ අනිත් කොටස්වලට වසා පද්ධතිය නැත්නම් රුධිර පද්ධතිය ඔස්සේ ප්‍රවාහණය වෙනවා කියා තවත් මතයක් තියෙනවා. එය පරම්පරාවෙන් පරම්පරාවට ඇති වන ලෙඩක් කියාත්, එයට තුඩු දිය හැකි ඇතැම් රෝග ලක්ෂණ සමහර කාන්තාවන්ට තියෙනවා කියාත් සමහර අය කියා සිටිනවා. අපේ පරිසරයේ තිබෙන විෂ වායූන් ආදියත් එයට හේතු වෙනවා කියා පවසන අයත් සිටිනවා.

එන්ඩොමෙට්‍රියෝසිස්, පුද්ගලයාගෙන් පුද්ගලයාට බලපාන විදිහ වෙනස් කියලා අපිට දැනගන්න ලැබුණා. පටක තැන්පත් වෙලා තියෙන්නේ ශරීරයේ කොතැනද, ශරීරය තුළ කොතරම් දුරට තැන්පත් වී ඇද්ද හා ඒවා කොතරම් දුරට වැඩී ඇද්ද යන කාරණා මෙයට හේතුවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ගෙඩිය ඉතා කුඩා එකක් වුණත් එය ස්නායුවක ස්පර්ශ වේ නම් දරාගත නොහැකි වේදනාවක් ඇති වෙන්න පුළුවන්.

සමහර වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ ගර්භාෂය හා ඩිම්බ කෝෂ මුළුමනින්ම අයින් කිරීම තමයි නියම ප්‍රතිකාරය කියලා. නමුත් එය කළ යුත්තේ අන්තිම පියවරක් වශයෙන්. ඊට කලින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. එක දෙයක් වන්නේ හෝමෝන භාවිතා කරලා ඩිම්බ මෝචන හැකි තාක් දුරට නතර කිරීමයි. සමහර අවස්ථාවලදී ප්‍රතිකාරය කරගෙන යන කාලය තුළදී පවා ලෙඩේ සුව අතට හැරෙන්න පුළුවන්. ඒ වගේම, මාස ගාණකට නැත්නම් අවුරුදු ගාණකට වුණත් එය නැවත මතු නොවෙන්නත් ඉඩ තියෙනවා. ශරීරයේ පටකවලට අඩුම හානියක් සිදු කරන සැත්කමකින් සහනයක් ලබා දෙන්න පුළුවන් කියා මතයක් තියෙනවා. මෙය බරපතළ සැත්කමක් හෝ ලැප්‍රස්කෝපයෙන් (උදර කුහරය පරීක්ෂා කරන දෘශ්‍ය උපකරණයෙන්) කරන පරීක්ෂණයකින් පසුව ලේසර් කිරණ මාර්ගයෙන් නැති කර දමන හෝ ගෙඩිය ඉවත් කර දමන සැත්කමක් වෙන්න පුළුවන්.

සැත්කමක් හා ඉන්පසු

අන්තිමට සඳහන් කළ ප්‍රතිකාර ක්‍රමය තමයි මම තෝරාගත්තේ. ගෙඩි ඉවත් කර දැම්මාටත් පස්සෙ, මගේ ගැටලු ඔක්කොම විසඳෙන්නේ නැහැයි කියලා මගේ වෛද්‍යවරයා කිව්වා. මගේ අසනීපය එක්ක සාර්ථකව කටයුතු කරන්න නම් මම ඒකාන්ත ආකල්පයක් තබාගෙන පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බලන්න ඕනේ කියලා එයා මට කිව්වා. මගේ තත්වය නැවතත් උග්‍ර අතට හැරෙන්න පුළුවන් කියලා එයා මට කිව්වා. නමුත් ඕනෑම වෙලාවක මට උපකාර කරන්න සූදානම් කියලා එයා මගේ බිය සැක දුරු කළා.

මාස තුනෙන් තුනට අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයකින් මගේ ඩිම්බ කෝෂවල තත්වය පරීක්ෂා කරන්නත්, අවශ්‍ය වුණාම කලින් කලට බෙහෙත් ගන්නත් මම සූදානම් වෙන්න ඕනේ කියලා මගේ වෛද්‍යවරයා මට තවදුරටත් කිව්වා. එයා මට ගොනැඩොට්‍රොපින් රිලීසිං හෝමෝන් (GnRH) කියන බෙහෙත ගන්න කියලා අවවාද කළා. එමගින් ඩිම්බ කෝෂය පාලනය කරන හෝමෝනයේ ක්‍රියාකාරිත්වය නතර කරන අතර ආර්තවාභාවය කලින්ම ඇතිවීමට සලස්වනවා. ඒ බෙහෙත ගන්නා විට අස්ථි දියවීම හා බිඳෙනසුලුභාවය (ඔස්ටියොපරෝසිස්) හා ආර්තවාභාවය සමඟ ඇති වෙන තවත් රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන් නිසා, එය එක දිගටම ගන්න පුළුවන් වන්නේ මාස හයකට පමණයි.

හෝමෝන ප්‍රතිකාරය ඉවර වෙලා මාස එකහමාරක් විතර ගත වුණාට පස්සේ මට ආපහු වේදනාවක් ඇති වුණා. ඒක හරියට මට යමකින් අනිනවා හා සමාන වේදනාවක්. මම කියවලා තිබුණා එන්ඩොමෙට්‍රියෝසිස් නැවත මතු විය හැකියි කියලා. ඇත්තෙන්ම මම ඒ සඳහා මගේ මනස සකස් කරගන්න වෑයම් කළා. හැබැයි මම හිතුවේ නැහැ මගේ ලෙඩේ මෙච්චර ඉක්මනට නැවත මතු වෙයි කියලා. අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයෙන් හෙළි වුණේ මගේ වම් ඩිම්බ කෝෂයේ ලොකු ගෙඩියක් තිබුණ බවයි. මම ඉක්මනටම නිර්දේශ කළ බෙහෙත් ගන්න පටන්ගත්තා. සතියකින් පස්සේ වේදනාව අඩු වුණ අතර, මාස කිහිපයකින් පස්සේ ගෙඩිය නැති වෙලා ගියා. නමුත් අවුරුද්දකින් පස්සේ තවත් ගෙඩියක් මතු වුණා. මම මගේ සෞඛ්‍යය ගැන දැන් නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මම දන්නවා. මගේ ජීවිත කාලය පුරාම මට වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉන්න වෙයි.

එන්ඩොමෙට්‍රියෝසිස්, හෝමෝන හා ප්‍රතිශක්ති පද්ධතිය හා සම්බන්ධ ලෙඩක් නිසා ප්‍රතිකාර ගන්නවාට අමතරව කළ හැකි තවත් දේවල් තියෙනවා. මම ගන්න ආහාර ගැන සැලකිලිමත් වෙනවා. ඒ සඳහා අලුත් එළවලු, වැඩිපුර පළතුරු හා විටමින් වර්ග ගන්න මම නිතරම වෑයම් කරනවා. ඒ වගේම කැෆේන් සහිත ආහාරවලින් පුළුවන් තරම් වැළකෙන්න බලනවා. ව්‍යායාමයත් විවේක ගැනීමත් මට උපකාරයක් වෙලා තියෙනවා. මේ හැම දෙයකින්ම මගේ බෙහෙත්වලින් ඇති වෙන අතුරු විපාක හුඟක් අඩු කරගන්නත්, මගේ ශරීර සෞඛ්‍යය වඩාත් හොඳ අතට හරවගන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.

සෑම මොහොතකදීම මට උපකාර කරන, ඒ වගේම අනුකම්පාව හා ආදරය පෙන්වන මගේ පුරුෂයාව මම හුඟක් අගය කරනවා. එයා හිටියේ නැත්නම් මට මේ කිසිම දෙයක් දරාගන්න බැරි වෙනවා කියලා මම දන්නවා. ඒ වගේම ග්‍රීසියේ වොච් ටවර් සමිතියේ මාත් එක්ක වැඩ කරන හැම ස්වේච්ඡා සේවකයෙක්ම මට උපකාර කරලා තියෙනවා. ඇත්තෙන්ම එවැනි මිතුරන් සිටීම මගේ සිතට ලොකු සහනයක්! නමුත් සියල්ලටම වඩා මට ශක්තිය ලැබෙන්නේ යෙහෝවා දෙවි සමඟ මට තියෙන සමීප සබඳතාවය තුළිනුයි. මම “ගිලන්ව ඔත් යහනේ” ඉන්නකොට ඔහු මාව ‘උසුලා’ තියෙනවා.—ගීතාවලිය 41:3.

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අදහස් හුවමාරුවේ ඇති වටිනාකම!

රෝගීව සිටින විට හා දැඩි වේදනාවක් අද්දකින විට අන්‍යයන් සමඟ ඇති අපේ සබඳතාවලට හානියක් එල්ල විය හැකියි. එහෙත් එමගින් අපට වඩාත් සංවේදී වීමට හා අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමට ප්‍රස්තාවක් විවෘත කර දෙනවා. කොහොම වුණත්, දීර්ඝ කාලයක් පුරා රෝගීව සිටින විට කෙනෙකුගේ ක්‍රියාකලාපයේ පැහැදිලි වෙනසක් ඇති විය හැකියි. මෙය පවුලේ සියලුදෙනාවම හා විශේෂයෙන්ම විවාහ කලත්‍රයන්ව විශාල පීඩනයකට ලක් කරයි. මෙවැනි තත්වයකදී විවාහ කලත්‍රයන් කටයුතු කළ යුත්තේ කෙසේද? ඒ සම්බන්ධයෙන් ඔවුන් තම වෑයම අත්හරිනවා වෙනුවට අදහස් හුවමාරු කිරීමේ ක්‍රම වැඩි දියුණු කිරීමට උත්සාහ කළ යුතුයි. අනෙක් තැනැත්තාට දොස් පවරනවා වෙනුවට ඔවුන් සමාව දීමට ඉක්මන් විය යුතුයි.

එන්ඩොමෙට්‍රියෝසිස්වලින් පෙළෙන ස්ත්‍රියක් මතක තබාගත යුතු විශේෂ දෙයක් වන්නේ ඔසප් වීමේ චක්‍රය පුරුෂයෙකුට කිසි සේත් තේරුම්ගත නොහැකි යමක් බවයි. ඒ නිසා ඇගේ රෝග ලක්ෂණ තේරුම්ගැනීම ඔහුට අපහසුයි. නමුත් පුරුෂයා ඇගේ තත්වය වටහාගැනීමට උපරිම වෑයමක් දරනවා නම් ඇයත් සමඟ වඩාත් අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමට ඔහුට හැකි වේවි. මෙහිදී රෝගියාට උපකාරවත් වන යෝජනා කිහිපයක් දැන් අපි සලකා බලමු.

▪ ඔබට හැඟෙන දේ පිළිබඳව හා ඔබට දැනෙන වේදනාව පිළිබඳව ඔබේ පුරුෂයාට පැහැදිලි කරන්න. මන්ද ඔහුට ඉබේම ඔබේ සිතේ තිබෙන දේ කියවන්න බැහැ.

▪ ඔබටත් ඔබේ පුරුෂයාටත් එන්ඩොමෙට්‍රියෝසිස් පිළිබඳව පැහැදිලි කර දීමට කාලය ගන්නා වෛද්‍යවරයෙකුව තෝරාගන්න.

▪ ඔබේ තත්වයේ යම් වෙනසක් ඇති වූ විට ඔබේ පුරුෂයාට ඒ ගැන පවසන්න. විශේෂයෙන්ම තත්වය නරක අතට හැරෙන විට පමණක් නොව නමුත් යහපත් අතට හැරෙන විටත් මෙසේ කිරීමට පසුබට නොවන්න.

▪ ඔබේ රෝගය පිළිබඳ විස්තර කරන පොත් පත් කියවන්න ඔහුට උනන්දු කරන්න.

[13වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

එන්ඩොමෙට්‍රියෝසිස් යනු කුමක්ද?

එන්ඩොමෙට්‍රියෝසිස් යන නම සෑදී තිබෙන්නේ එන්ඩොමෙට්‍රියම් යන ඉංග්‍රීසි වචනයෙන්. එන්ඩොමෙට්‍රියම් කියන්නේ ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති ග්‍රන්ථිමය ශ්ලේෂ්මල පටලයයි. එන්ඩොමෙට්‍රියෝසිස් නමැති රෝගය හටගන්නේ ගර්භාෂයට පිටින් විවිධ ස්ථානවල එන්ඩොමෙට්‍රියම් හා සමාන පටක වැඩුණ විටයි. මෙම රෝගය ඩිම්බ කෝෂවල, මුත්‍රාශයේ හා බඩවැල්වල ඇති විය හැකියි. සමහර අවස්ථාවලදී එය ශ්‍රෝණි ප්‍රදේශය පුරාම වුවද හටගත හැකියි.

එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ පටකවල අසාමාන්‍ය වර්ධනය වීමක් වුවත් එය පිළිකාව බවට පත් වන්නේ කලාතුරකින්. ඇත්තෙන්ම, පටකවල වැඩීම අසාමාන්‍ය දෙයක් නම් නොවෙයි. නමුත් එන්ඩොමෙට්‍රියෝසිස් සෑදුණු විට අසාමාන්‍ය දෙයක් සිදු වෙනවා. එනම්, එම පටක ගර්භාෂය තුළ වැඩෙනවා වෙනුවට ගර්භාෂයට පිටින් වැඩීමයි. සාමාන්‍යයෙන් නම් ඒවා ගැබිණි මවකගේ ගර්භාෂය තුළ වැඩෙන කලලය පෝෂණය කිරීමේදී යම් කාර්යයක් ඉටු කරනවා. එනමුත් ගැබ් නොගත් ස්ත්‍රියකගේ නම්, ඔසප් කාලයේදී එම පටක සිරුරෙන් පිට වී යනවා.

නමුත් මෙම පටක ගර්භාෂයෙන් පිටතදී වැඩුණාම සිරුරෙන් පිටවීමට ක්‍රමයක් නැහැ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අභ්‍යන්තරයේ සිදු වන රුධිර වහනය, ගර්භාෂයට පිටින් සවි වී ඇති එම පටකවලින් රුධිරය ගැලීම හෝ ඒවා දිය වී යෑම, ඒ අවට ප්‍රදේශය ඉදිමීම හා කලල පටක හටගැනීම සිදු වෙයි. උද්ගත විය හැකි තවත් රෝග ලක්ෂණ වන්නේ, පටක එකට ඇලීම, බඩවැල්වලින් රුධිරය ගැලීම හෝ ඒවායේ යම් අවහිරයක් ඇතිවීම, මුත්‍රාශයේ රෝග මතුවීම හා එම පටක පිපිරී යෑමයි. පටක පිපිරී යන විට රෝගය තව තවත් පැතිරී යෑමට ඉඩ තිබේ. මෙම රෝග ලක්ෂණ ඇති වෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් පටක හටගෙන තිබෙන ස්ථානය අනුවයි. ඇතැම්විට කාලයාගේ ඇවෑමෙන් රෝග ලක්ෂණ වැඩි විය හැකියි. සමහර රෝගීන්ගේ තත්වය වඩා හොඳ අතට හැරිය හැකි වුවත්, කලින් කලට රෝග ලක්ෂණ නැවතත් ඉස්මතු විය හැකියි.

[රූප සටහන්]

(මුද්‍රිත පිටපත බලන්න)

පැලෝපීය නාල

ගර්භාෂය

ඩිම්බ කෝෂ

එන්ඩොමෙට්‍රියම් (ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති සෛල)

මාසයකට වතාවක්, සවි වූ පටක තුවාල වීමෙන් රුධිරය ගැලීමකට ලක් වුවත්, ඒවා ශරීරයෙන් බැහැර කළ නොහැකියි

ඩිම්බ කෝෂ මත සවි වූ එකට ඇලුණු පටක

ගර්භාෂයට පිටතින් වැඩෙන පටක

ගර්භාෂයට පිටතින් වැඩෙන පටක

[14, 15වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“ස්ත්‍රීන්ට හැදෙන අමුතුම ජාතියේ ලෙඩක්ද?”

එන්ඩොමෙට්‍රියෝසිස් කෙනෙකුට මානසිකව හා චිත්තවේගීයව බලපාන අන්දම ගැන දැනගැනීමට, පිබිදෙව්! වාර්තාකරු මිල්වෝකී විස්කොන්සින්හි එන්ඩොමෙට්‍රියෝසිස් ආයතනයේ මේරි ලූ බොල්වෙග් සමඟ කතා කළා. එහිදී සාකච්ඡා කෙරුණු සමහර කරුණු පහත සඳහන් කර තිබෙනවා.

ප්‍ර: එන්ඩොමෙට්‍රියෝසිස් ස්ත්‍රියකගේ චිත්තවේගයන් මත ඇති කරන්නේ මොන වගේ බලපෑමක්ද?

පි: එය තීරණය වන්නේ රෝගය රෝගියාට ඇති කරන බලපෑම මතයි. නහඹර වියේදී මෙම රෝගය වැළඳුණ විට තමාට කුමක් සිදු වී ඇද්ද කියා නොතේරෙන නිසා ගැහැනු ළමයෙක් මානසිකව බිඳ වැටෙන්න පුළුවන්. මෙයට විශේෂ හේතුවක් වන්නේ රෝගය ඒ වන විට හඳුනාගෙන නොතිබීමයි. ඔවුන් මේ කාරණා ගැන තම දෙමව්පියන් සමඟ හෝ වෙන කිසිම කෙනෙකු සමඟ කතා කරන්න පවා අකමැතියි. අනිත් අයට වඩා ඔවුන් දුර්වලයි කියලා ඔවුන්ට හැඟෙන නිසා ඔවුන් හරිම සංවේදියි. මේ සෑම දෙයක්ම ඔවුන්ගේ පාසැල් වැඩ කටයුතුවලට හා හිත මිතුරන් සමඟ ඇති ඔවුන්ගේ ආශ්‍රයට විශාල බලපෑමක් කරනවා. සමහර ගැහැනු ළමයින්ට මෙය කොතරම් බලපා ඇද්ද කිව්වොත් ඔවුන්ට තම පාසැල්වලින් අස්වීමට පවා සිදු වී තිබෙනවා. එන්ඩොමෙට්‍රියෝසිස් නිසා තම අධ්‍යාපන වැඩ කටයුතුවලට අහිතකර බලපෑම් සිදු වූ බව අඩුම තරමින් එක ගැහැනු ළමයෙකුගෙන්වත් අපිට සෑම සතියකදීම අහන්න ලැබෙනවා.

ප්‍ර: විවාහක හා වයසින් වැඩි ස්ත්‍රීන්ට මෙය බලපාන්නේ කොහොමද?

පි: වේදනාව කියන දේ ස්ත්‍රියකගේ විවාහ ජීවිතය මත විශාල පීඩනයක් එල්ල කළ හැකියි. රෝගය හඳුනාගෙන නැත්නම් මෙය විශේෂයෙන්ම බලපායි. නමුත් රෝගය හඳුනාගැනීමෙන් පසුව, පුරුෂයාට හා ස්ත්‍රියට අවබෝධයෙන් යුතුව එකට වැඩ කරන්න පුළුවන්. සමහරවිට රෝගයෙන් ඇති වන බලපෑම් අවම කරගැනීමට ඔවුන්ට විවිධ ක්‍රම සොයාගත හැකියි. නමුත් වෛද්‍යවරයා රෝගය හරියටම හඳුනගන්නේ නැතුව ඒ පිළිබඳව වැරදි අදහස් ඉදිරිපත් කළොත් රෝගියා ඇත්තෙන්ම කලකිරෙන්න පුළුවන්. අපේ සමාගමේ සේවය කරන එක ස්ත්‍රියකගේ වෛද්‍යවරයා ඇගේ පුරුෂයාට කියා සිටියේ, ඇයට කිසිම ලෙඩක් නැහැ කියායි. ඒක ඇය හිතෙන් හදාගත්ත ලෙඩක් බව ඔහු කියා සිටියා. මේ ස්ත්‍රියගේ පුරුෂයා වෛද්‍යවරයාගේ වචන පිළිගත් නිසා ඔවුන් දෙදෙනා දැන් දික්කසාද වෙලා! මෙලෙස රෝගියාව තේරුම් නොගැනීම විශාල ප්‍රශ්නයක්. මල්ටිපල් ස්ක්ලරෝසිස් (පිටකොන්ද හා මොළය සම්බන්ධ රෝගයක්) වැනි නිදන්ගත රෝගයක් තිබෙනවා කියා ඔබේ පවුලේ අයට ගිහින් පැවසුවොත්, ඔවුන් ඔබට අනුකම්පා කරාවී. නමුත් ගෙදර ගිහින් මට එන්ඩොමෙට්‍රියෝසිස් තිබෙනවා කියා පැවසුවොත් සමහරවිට ඒ මොකක්ද කියා ඔවුන් අහන්න ඉඩ තිබෙනවා. එය නිකම්ම ගැහැනුන්ට හැදෙන අමුතුම ජාතියේ ලෙඩක් කියා ඔවුන් සිතයි. ඒ ගැන කතා කරන්නවත් කැමති නැති නිසා ඇතැම්විට ඔවුන් ඔබට කිසිම ආකාරයකින් උපකාර නොකරනවා විය හැකියි.

ප්‍ර: එන්ඩොමෙට්‍රියෝසිස්වලින් පෙළෙන ස්ත්‍රියකට ඇගේ පුරුෂයාගෙන්, දරුවන්ගෙන් හා දෙමව්පියන්ගෙන් ලබාගත හැක්කේ කුමන ආකාරයේ උපකාරයක්ද?

පි: පළමුවෙන්ම, ඔවුන් ඇයව විශ්වාස කළ යුතුයි. ඉන් අදහස් කරන්නේ ඇගේ තත්වය ගැන ඇය පවසන දේවල් පසෙක නොදැමිය යුතුයි. වෙනත් ඕනෑම ලෙඩක් හැදුණාම දෙන උපකාරයම මේ ලෙඩේ සම්බන්ධයෙනුත් දීමට සූදානම් විය යුතුයි. ලෙඩේ ගැන හැකි හැම තොරතුරක්ම සොයා දැනගැනීම වැදගත්. ඒ ගැන වැඩියෙන් ඉගෙනගන්නා තරමට එයින් ඇති වන බලපෑම් ගැන මෙන්ම ඒ සඳහා ගන්නා බෙහෙත්වලින් ඇති විය හැකි අතුරු විපාක ගැනද වඩාත් හොඳින් වටහාගත හැකියි. අපි ජීවත් වන්නේ ස්ත්‍රීන්ට ඇති වෙන රෝග පිළිබඳව කතා කිරීමට ලැජ්ජාවක් දක්වන සමාජයක් තුළයි. බොහෝවිට ඒක තහනම් විෂයක්. ඇත්තෙන්ම එය කනගාටුදායක තත්වයක්. එමනිසා ලොකුම අභියෝගය වන්නේ ස්ත්‍රියකටම ආවේණික වූ තත්වය කෙසේ හෝ සාමාන්‍ය ජනතාවට පහදා දීමයි.

[පින්තූරය]

මේරි ලූ බොල්වෙග්