Skip to content

පටුනට යන්න

ඔබ භූතවාදයෙන් වැළකිය යුත්තේ මන්ද?

ඔබ භූතවාදයෙන් වැළකිය යුත්තේ මන්ද?

ඔබ භූතවාදයෙන් වැළකිය යුත්තේ මන්ද?

භූතවාදයේ සමහර පැති තුළින් යහපත් ආත්ම සමඟ සම්බන්ධකම් පැවැත්වීමට මාර්ග උදා වන බව ඔබට උගන්වා ඇත්නම්, බයිබලයේ භූතවාදය සම්බන්ධයෙන් පවසන දේ ඔබ දැනගත් විට ඒ ගැන පුදුම වන බවට කිසිම සැකයක් නැත. එහි පවසන්නේ, “ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙන්න; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයන්න” කියාය.—ලෙවී කථාව 19:31; 20:6, 27.

භූතවාදයේ නියැලෙන අය ‘යෙහෝවාට පිළිකුලක්’ කියා බයිබලයේ තවදුරටත් පවසයි. (ද්විතීය කථාව 18:11, 12) එසේ පවසන්නේ ඇයි කියා දැනගැනීමට, භූතවාදයේ ප්‍රධාන අංගයක් වන මළ අයගෙන් විචාරීම සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වන දේ සොයා බැලීම අපට උපකාරවත් වේ.

මළ අය දැනටත් ජීවත් වෙනවාද?

බොහෝ අය දරන අදහස් උදහස්වලට වෙනස්ව දෙවිගේ වචනය වන බයිබලයේ උගන්වන්නේ, මනුෂ්‍යයන්ට තමන්ගේ මැරුණු ප්‍රේමනීයයන් සමඟ කිසිම සම්බන්ධයක් පැවැත්වීමට නොහැකි බවයි. එසේ වන්නේ මන්ද කියා ඔබ සිතනවාට කිසිම සැකයක් නැත. මොහොතකට මේ ගැන සිතන්න. යම් කෙනෙකුට මැරුණු පුද්ගලයෙකු සමඟ කතා කිරීමට නම් එම මැරුණු පුද්ගලයා යම් ආකාරයකින් ජීවත්ව සිටිය යුතුයි. එනම් මරණයේදී එම පුද්ගලයාගේ යම් කොටසක් මිය නොගොස් බේරී පැවතිය යුතුයි. සමහරෙකු පවසන්නේ ශරීරය මිය යන විට අමරණීය යමක් දිගටම ජීවත් වන බවයි. ඇත්තෙන්ම මෙය සැබෑවක්ද?

මිනිසාව මැවීම සම්බන්ධයෙන් බයිබලයෙහි පවසන්නේ “[දෙවි] භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම [හෙළුවේය]. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය” කියාය. (උත්පත්ති 2:7) මෙහිදී මනුෂ්‍යයා ප්‍රාණයක් වන බව පැවසුවත් ඔහු තුළ අමරණීය යමක් තිබෙන බවට එහි කිසිම සඳහනක් නැති බව ඔබට පෙනී ගියාද? ශුද්ධ ලියවිලි පවසන්නේ “පව්කරන ප්‍රාණයම නසින්නේය” කියාය. (එසකියෙල් 18:4) “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති . . . නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” ඔව්, ශරීරය මිය යන විට එතුළ දිගටම ජීවත් වන අමරණීය යමක් තිබෙන බවට කිසිම සඳහනක් ශුද්ධ ලියවිල්ල තුළ දක්නට නැත.—දේශනාකාරයා 9:5, 10.

එසේ නම් බයිබලයට අනුව ශරීරය මිය යන විට, එහි නොමැරී පවතින යමක් නැති බවත්, ජීවත් වන මනුෂ්‍යයන්ට මළවුන් සමඟ කතා කිරීමට නොහැකි බවත් හොඳින් පැහැදිලිය. මෙම අදහසට එකඟ වන බයිබල් විශාරදයන් දෙදෙනෙකු පැවසූ දේ සලකා බලන්න. එක් කැනේඩියානු දේවධර්මවාදියෙක් වූ ක්ලාක් එච්. පිනාක් මෙසේ අදහස් දැක්වීය. “මනුෂ්‍යයන් තුළ අමරණීය යමක් ඇතැයි යන සංකල්පය බොහෝ කාලයකට පෙර සිටම ක්‍රිස්තියානි ලෝකයේ ඉගැන්වීම්වලට තදින් බලපෑම් කළත් එය බයිබලයට කිසි සේත්ම එකඟ නැත. මනුෂ්‍යයා තුළ සහජයෙන්ම උරුම වූ අමරණීය යමක් ඇති බවට බයිබලය උගන්වන්නේ නැත.” බ්‍රිතාන්‍යයේ විද්වතෙක් වූ ජෝන් ආර්. ඩබ්ලිව්. ස්ටාට් මීට සමාන අදහසක් දැක්වූයේය. “අප තුළ කිසිදා විනාශ කළ නොහැකි අමරණීය යමක් තිබෙනවා යන ඉගැන්වීම ග්‍රීක් සංකල්පයක් මිස බයිබල් සංකල්පයක් නොවෙයි.”

මළ අය සම්බන්ධයෙන් යථාර්ථය එය වුවත්, මැරුණු අයගෙන් පැමිණෙනවායයි කියා සිතන පණිවිඩ මනුෂ්‍යයන්ට ලැබී ඇති අතර කටහඬවල් පවා ඇසී ඇත. ඇත්තෙන්ම එලෙස කතා කරන්නේ කවුද?

කතා කරන්නේ කවුරුන් සමඟද?

තුන්දිවාදියෙකු රූකඩයක් යොදාගන්නා ආකාරයට එක් අදෘශ්‍යමාන ආත්ම පුද්ගලයෙක් සර්පයෙකුව යොදාගෙන පළමු ස්ත්‍රිය වූ ඒවව දෙවිට විරුද්ධව කැරලිගැසීමට පොලඹවාගත් ආකාරය ගැන බයිබලයේ විස්තර කර තිබේ. (උත්පත්ති 3:1-5) බයිබලයේ මෙම ආත්ම පුද්ගලයාව නැතහොත් දේවදූතයාව ‘මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයා, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පූරාණ සර්පයා’ ලෙස හඳුන්වයි. (එළිදරව් 12:9) කල් යෑමේදී සාතන් වෙනත් දේවදූතයන්වද කැරලිගැසීමට පොලඹවාගත්තේය. (යූද් 6) තවදුරටත් මෙම දුෂ්ට දේවදූතයන්ව භූතයන් ලෙසද හඳුන්වන අතර ඔවුහු දෙවිගේ සතුරෝ වෙති.

මනුෂ්‍යයන්ට යම් බලපෑම් කිරීමට භූතයන්ට බලයක් තිබෙන බව බයිබලයේ පවසයි. (ලූක් 8:26-34) මේ නිසා “ශාස්ත්‍ර කියන්නෙක්වත් . . . ආත්ම බන්ධනකාරයෙක්වත් . . . මළවුන්ගෙන් විචාරන්නෙක්වත් නුඹ අතරෙහි නොසිටීවා. මක්නිසාද මේ දේ කරන කවරෙක් නමුත් [යෙහෝවාට] පිළිකුලක්ය” කියා දෙවිගේ ව්‍යවස්ථාවේ අනතුරු අඟවා තිබීම පුදුම වීමට හේතුවක් නොවෙයි. (ද්විතීය කථාව 18:10-12) මෙම නීතියට අවනත නොවීමෙන් අපට සිදු විය හැකි අනතුරු මොනවාද?

පුරාණ ඉශ්‍රායෙලයේ රජ කෙනෙකුව සිටි සාවුල්ගේ සැබෑ ජීවිත අද්දැකීමෙන් එම ප්‍රශ්නයට පිළිතුරු අපට ලබාගත හැක. සාවුල් රජ ඔහුගේ සතුරන්ට තිබූ බිය නිසා ආත්ම බන්ධනකාරියකගෙන් උපකාරය පැතුවේය. මිය ගිය අනාගතවක්තෘවරයෙකු වූ සාමුවෙල්ව ගෙන්වන ලෙස ඔහු ඇයගෙන් ඉල්ලා සිටියේය. ආත්ම බන්ධනකාරිය විසින් සපයනු ලැබූ මහලු මිනිසෙකුගේ විස්තරයට අනුව එය සාමුවෙල්ගේ අවතාරය විය යුතුයි කියා සාවුල් සිතුවේය. සාවුල්ට ලැබුණු පණිවිඩය කුමක්ද? එනම්, ඉශ්‍රායෙලය සතුරන්ගේ අතට නතු වන බවත්, සාවුල් සහ ඔහුගේ පුත්‍රයන් “සාමුවෙල්” සමඟ සිටින්න යන බවත් පැවසීය. එයින් අදහස් කළේ ඔවුන් මැරෙන බවය. (1 සාමුවෙල් 28:4-19) සාවුල් ආත්ම බන්ධනකාරියකගෙන් උපදෙස් ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් දෙවි ප්‍රතික්‍රියා කළ ආකාරය ශුද්ධ ලියවිල්ල අපට මෙසේ පවසයි. ‘යෙහෝවාගේ වචනය රක්ෂා නොකිරීම නිසාත් ආත්ම බන්ධනකාරියෙකුගෙන් කරුණු ඇසූ නිසාත් සාවුල් නැසුණේය.’ (1 ලේකම් 10:13) කළ වරද සඳහා ගෙවීමට සිදු වූ වන්දිය කොතරම් විශාලද!

ඒ ආකාරයටම අදදිනත් භූතවාදයේ නියැලෙන අය තමන් විසින්ම තම ජීවිතය අනතුරෙහි හෙළාගනිති. බයිබලයෙහි අනතුරු අඟවන්නේ, “භූතවාදයේ නියැලෙන අය” “දෙවන [නැතහොත් සදාකාලික] මරණය” අද්දකින බවයි. (එළිදරව් 21:8, NW; එළිදරව් 22:15) එසේ නම් භූතවාදයේ සියලුම අංගයන් මඟහැරීම නැණවත්ම ක්‍රියාමාර්ගයයි. මෙසේ කිරීමෙන් අපේ ජීවිතය ආරක්ෂා කරගත හැකියි.

දුෂ්ට ආත්මවලට විරුද්ධව සිටිය හැක්කේ කෙසේද?

ඔබ දැනටමත් භූතවාදයේ නියැලී සිටී නම් තත්වය කුමක්ද? එසේ නම් ඔබත් ඔබේ පවුලත් දුෂ්ට ආත්මයන්ගේ හානිකර බලපෑම්වලින් ආරක්ෂාව ලබාගැනීමට ඉක්මනින්ම පියවර ගත යුතුයි. ගත යුතු පියවර කුමක්ද? නිදසුනක් සලකා බලන්න. යම් පුද්ගලයෙක් ඔහුගේ නිවස සහ පවුල කෘමීන්ගෙන් හෝ වෙනත් හානිකර සතුන්ගෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද? ඔහු තම නිවසෙන් කෘමීන්ව ආකර්ෂණය කරගන්නා සියලුම ද්‍රව්‍ය ඉවත් කර උන්ට නැවතත් බෝ විය නොහැකි වන ලෙස තම නිවස අරක්ෂා කිරීමට පියවර ගනී. එසේ කළ පසුත් ගැටලුව ඉස්මතු වුණොත් ප්‍රදේශයේ සිටින අධිකාරීන්ගෙන් උපකාරය පැතිය හැක.

එලෙසම දුෂ්ට ආත්මවලට විරුද්ධව සිටීමටත් එයින් නිදහස ලබාගැනීමටත්, ඉහත ක්‍රියාමාර්ගය ඔබටත් උපකාරවත් වේවි. ක්‍රිස්තියානීන් වීමට පෙර භූතවාදයේ නියැලුනු පළමු සියවසේ එපීසයේ සිටි ක්‍රිස්තියානීන්ගේ උදාහරණය සලකා බලන්න. ඔවුන් භූතවාදයෙන් නිදහස් වීමට තීරණය කළ පසු දුෂ්ට ආත්මවලින් එල්ල වන අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර තුනක් ගන්නා ලදි. ඔවුන් ගත් එම පියවර කවරේද?

පළමු පියවර

“යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය” කියා බයිබලයෙහි පවසයි. (ක්‍රියා 19:19) පේන කීම හා සම්බන්ධ පොත් පත් විනාශ කිරීම තුළින්, එදා සිටි නවක ක්‍රිස්තියානීන් අදදින සිටින දුෂ්ට ආත්මවලට විරුද්ධ වීමට කැමැත්තක් දක්වන අයට කදිම ආදර්ශයක් සපයන ලදි. මේ අනුව අප විසින් භූතවාදයට සම්බන්ධ සෑම දෙයක්ම විනාශ කළ යුතුයි. මෙයට පොත් පත්, සඟරා, විකට පොත් පත්, වීඩියෝ පටි, පෝස්ටර්, විද්‍යුත් මාධ්‍යය ඔස්සේ පැමිණෙන භූතවාදය හා සම්බන්ධ දේවල්, සංගීත තැටි මෙන්ම යන්තර හෝ “ආරක්ෂාවට” පළඳින වෙනත් දේවල්ද ඇතුළත්ය.—ද්විතීය කථාව 7:25, 26; 1 කොරින්ති 10:21.

දශක ගණනාවක් පුරාම භූතවාදයේ නිරත වී සිටි දකුණු අමෙරිකාවේ පදිංචි මිනිසෙක් මෙම ශුද්ධ ලියවිලි උපදෙස තම හෘදයට ගත්තේය. ඔහු මෙසේ සිහිපත් කරයි. “එක දවසක් මම භූතවාදයට අයිති මගේ හැම දෙයක්ම නිවස ඉදිරිපිට ගොඩ ගහලා පොරොවෙන් කුඩු කරලා දැම්මා.” අනතුරුව ඔහු කිසිම දෙයක් ඉතුරු නොවෙන ලෙස සියල්ලම පුලුස්සා දැමුවේය. පසුව ඔහු කදිම ආත්මික දියුණුවක් ලැබූ අතර ඉක්මනින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බවට පත් විය.

එහෙත් පළමු පියවර ගැනීම පමණක්ම ප්‍රමාණවත් නොවේ. එයට හේතුව තේරුම්ගැනීම සඳහා, භූතවාදයට සම්බන්ධ සියලු පොත් පත් විනාශ කළ එපීසයේ සිටි ක්‍රිස්තියානීන්ට වසර කීපයකට පසු ප්‍රේරිත පාවුල් විසින් ලියූ දෙය අපට උපකාරවත් වේ. එනම් “අපේ පොරබැදීම. . .දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.” (එපීස 6:12) භූතයන් ඒ වන විටත් ඔවුන්ගේ සටන අත්හැර දමා තිබුණේ නැත. ඔවුන් තම ග්‍රහණයට එපීස ක්‍රිස්තියානීන්ව හසු කරගැනීමට මාන බලමින් සිටියා. අතීතයේ සිටි එම ක්‍රිස්තියානීන්ට කුමන අමතර පියවරක් ගැනීම අවශ්‍ය වීද?

දෙවන පියවර

පළමු ශතවර්ෂයේ සිටි එපීසවරුන්ගෙන් පාවුල් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය. “යක්ෂයාගේ [කූට] උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස [දෙවිගේ] සියලු යුද්ධායුධ පැළඳගන්න.” (එපීස 6:11, NW පාදසටහන) එම අවවාදය අද සිටින අපටත් එක සේ අදාළ වේ. කෘමීන්ගෙන් තම නිවස ආරක්ෂා කරගැනීමට ක්‍රියා කරන පුද්ගලයෙකු හා සමානව, ක්‍රිස්තියානීන් දුෂ්ට ආත්ම මගින් එල්ල වෙන ප්‍රහාරවලින් ගැළවීමට දැඩි ආරක්ෂක පියවර වහාම ගත යුතුයි. එසේනම් මෙම දෙවන පියවරට ඇතුළත් වන්නේ කුමක්ද?

“ඒ සියල්ල ඇර, ඇදහිල්ල නමැති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය” කියා පාවුල් පවසයි. (එපීස 6:16) මෙහි සඳහන් වන පරිදි ඇදහිල්ල ඉතාමත් අවශ්‍ය දෙයකි. ඔබේ ඇදහිල්ල තවත් ශක්තිමත් වන තරමටම දුෂ්ට ආත්මවලට විරුද්ධව සිටීමට ඔබට වඩ වඩා ශක්තිය ලැබේ.—මතෙව් 17:20.

ඇදහිල්ල නමැති මෙම ආරක්ෂාකාරි දෙය ඔබව ශක්තිමත් කරන්නේ කෙසේද? එනම් දිගටම බයිබලය පාඩම් කිරීම තුළින්ය. බයිබල් පාඩම ඇදහිල්ලට සම්බන්ධ වන්නේ කෙසේද කියා දැන් අපි සලකා බලමු. නිදසුනක් ලෙස, තාප්පයක ශක්තිමත්කම රඳාපවතින්නේ එහි අත්තිවාරමේ ශක්තිය මත වන අතර ඇදහිල්ලේ ශක්තිමත්කම රඳාපවතින්නේ එය පදනම්ව ඇති දෙය මතයි. ඇත්තෙන්ම නියම ඇදහිල්ලේ පදනම කුමක්ද?

එනම් දෙවිගේ වචනය පිළිබඳ නිවැරදි දැනුමයි. එය ප්‍රේරිත පාවුල් මෙසේ විස්තර කළේය. “ඇසීමෙන් ඇදහිල්ලද [ක්‍රිස්තුස්ගේ] වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.” (රෝම 10:17) ඔබට පහසු වේලාවකදී සහ ස්ථානයකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ නොමිලේ බයිබල් පාඩමක් ආරම්භ කිරීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. පෞද්ගලික බයිබල් පාඩමක් කිරීම තුළින් ඔබේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගත හැකි බව නම් සහතිකයි. (රෝම 1:11, 12; කොලොස්සි 2:6, 7) වැඩි කල් යන්ට මත්තෙන් ඔබේ ඇදහිල්ල දුෂ්ට ආත්මවලට විරුද්ධව ආරක්ෂක පලිහක් මෙන් ක්‍රියා කරයි.—ගීතාවලිය 91:4; 1 යොහන් 5:5.

එපීසයේ සිටි ක්‍රිස්තියානීන් ගත යුතුව තිබූ තුන්වන පියවර කුමක්ද?

තුන්වන පියවර

එපීසයේ සිටි නව ඇදහිලිවන්තයන් දුෂ්ට ආත්මවලට විරුද්ධව තම පියවර ගෙන තිබුණත්, තවදුරටත් ඔවුන් ජීවත් වෙමින් සිටියේ භූතවාදයෙන් අන්තයටම දූෂිත වූ නගරයකයි. එනිසා ඔවුන්ට අමතර ආරක්ෂාවක් අවශ්‍ය විය. ඔවුන් විසින් නිශ්චිතවම කළ යුත්තේ කුමක්ද කියා ප්‍රේරිත පාවුල් සෙසු අනුගාමිකයන්ට ලියන විට පැහැදිලි කළේය. එනම් “සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද . . . [ආත්මය] කරණකොටගෙන යාච්ඤාකරන්න. . . . සියලු ශුද්ධවන්තයන් ගැනද . . . නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.”—එපීස 6:18, 20ආ.

දුෂ්ට ආත්මවලට විරුද්ධ වීම සඳහා යෙහෝවාගේ ආරක්ෂාව පතා බලවත් උනන්දුවකින් නොකඩවාම යාච්ඤා කිරීම ඉතාමත් වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය පියවරක් බව පැහැදිලිය. යෙහෝවා ඔබේ හෘදයාංගම යාච්ඤාවලට පිළිතුරු වශයෙන්, ඔහුගේ ආරක්ෂාව සපයන අතර ඒ සඳහා දේවදූතයන් යොදාගන්න බව දැනගන්න ලැබීම ඇත්තෙන්ම සහනයක් නොවෙයිද? (ගීතාවලිය 34:7; 91:2, 3, 11, 14; 145:19) දෙවිට නොකඩවාම මෙසේ යාච්ඤා කිරීම ඉතා වැදගත් දෙයක් බව පැහැදිලිය. එනම් “නපුරාගෙන් අප ගැළවුව මැනව” කියාය.—මතෙව් 6:13; 1 යොහන් 5:18, 19.

කලින් ආත්ම බන්ධනකාරයෙක්ව සිටි අන්ටොනියෝ යාච්ඤාවේ ඇති වැදගත්කම පිළිබඳව බොහෝ සෙයින් අගය කරන්න පටන්ගත්තේය. මේ අනුව ඔහු බයිබලය පාඩම් කිරීමටද සතුටු විය. එතුළින් දෙවිගේ නම යෙහෝවා බව ඉගෙනගත් පසු, භූතවාදයෙන් නිදහස් වීම සඳහා ඔහු යෙහෝවා දෙවිට මහත් ඕනෑකමකින් යුතුව යාච්ඤා කළේය. “යෙහෝවාට යාච්ඤා කිරීම තුළින් මටත් ඒ වගේම කලින් දුෂ්ට ආත්මවල වහලුන් වී සිටිය වෙනත් බොහොදෙනෙකුටත් මහත් ආරක්ෂාවක් සැලසෙන බව දැනටමත් ඔප්පු වෙලා තියෙනවා” කියා ඔහු තම අතීතය සිහිපත් කරමින් පැවසුවේය.—හිතෝපදේශ 18:10.

ඔබට ජය ගත හැකියි

ඔබ යෙහෝවා දෙවිව දැනගත් පසු ඔහු කෙරෙහි ඔබේ සම්පූර්ණ විශ්වාසය තැබීමට, ඔහුගේ අධිකාරයට යටත් වීමට සහ ඔහුගේ නීති රීතිවලට කීකරුකම දැක්වීමට විශේෂ ප්‍රයත්නයක් දැරිය යුතුයි. ඔබ මේ දේවල් දිගටම කරනවා නම්, ඔබ ඔහුගේ නම භාවිත කරමින් ඔහුගෙන් උපකාරය පතන විට ඔහු ඔබට ආරක්ෂාව සපයන බව නිසැකයි. මෙසේ අන්ටොනියෝට එම ආරක්ෂාව ලැබුණු අතර ඔහු දැන් සාවෝ පාවුලෝ නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන්නේය. ඇත්තෙන්ම ඔහු සත්‍යය තුළින් ලැබී තිබෙන නිදහස මහත් සේ අගය කරයි.—යොහන් 8:32.

අන්ටොනියෝ සහ ඊට කලින් භූතවාදයේ නියැලුනු බොහෝදෙනෙක් දැන් යෙහෝවා දෙවිට සේවය කරමින් සිටිති. ඔබටත් භූතවාදයෙන් සම්පූර්ණයෙන්ම ජයගත හැකියි. ඒ සඳහා දැන්ම භූතවාදයට සම්බන්ධ සෑම දෙයක්ම විනාශ කරන්න. ඔබේ බයිබල් පාඩම තුළින් ඇදහිල්ල ශක්තිමත් කරගන්න. එමෙන්ම ආරක්ෂාව පතා යෙහෝවාට නිරතුරුවම යාච්ඤා කරන්න. මෙම පියවර සියල්ල නොකඩවාම අනුගමනය කිරීමට වෑයම් කරන්න. මන්ද ඔබේ ජීවිතය රැඳී ඇත්තේ ඒ මත නිසයි!

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ජීවත් වන අයට මළවුන් සමඟ කතා කිරීමට නොහැකි බව බයිබලයේ පවසයි

[28වන පිටුවේ පින්තූරය]

1. භූතවාදයට සම්බන්ධ සෑම දෙයක්ම විනාශ කරන්න

[29වන පිටුවේ පින්තූරය]

2. දිගටම බයිබලය පාඩම් කරන්න

[30වන පිටුවේ පින්තූරය]

3. බලවත් උනන්දුවකින් නිතරම යෙහෝවාට යාච්ඤා කරන්න