Skip to content

පටුනට යන්න

ගත සරසන විලාසිතා ගැන කල්පනාකාරි වන්න

ගත සරසන විලාසිතා ගැන කල්පනාකාරි වන්න

බයිබලයේ දෘෂ්ටිකෝණය

ගත සරසන විලාසිතා ගැන කල්පනාකාරි වන්න

“අනවශ්‍ය ලෙස බාහිර පෙනුම ඔප් නැංවීමට වෙරදැරීම සිහිබුද්ධිය නැති කර දමයි” කියා ප්‍රංශ ජාතික ගත් කතුවරියක් ප්‍රකාශ කළාය. සියවස් ගණනාවක් පුරා මිනිසා තමාගේ බාහිර පෙනුම ඔප් නැංවීම සඳහා බුද්ධිමත්ව කටයුතු කළායයි පවසනවා නම් එය හාස්‍ය උපදවන්නකි. 19වන සියවසේ ස්ත්‍රීන් තමන්ගේ ඉඟ සිහින් කරගැනීම සඳහා හුස්ම ගැනීමට පවා නොහැකි වන සේ බඳ පටියක් පැළඳීම උදාහරණයක් ලෙස මෙහිදී දැක්විය හැක. සමහරෙකුට අඟල් 13ක් තරම් සිහින් ඉඟක් අත් කරගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා සමහර ස්ත්‍රීන් තම බඳ පටිය ඉතා තදට පැළඳීම නිසා ඔවුන්ගේ ඉල ඇට අක්මාව තුළට තල්ලු වී මරණයට පවා පත් විය.

අද එම විලාසිතාව අභාවයට ගොස් ඇතත් අනවශ්‍ය ලෙස බාහිර පෙනුම ඔප් නැංවීමට දරන වෑයම එදා මෙන් අදත් පවතී. ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද තම ස්වභාවික පෙනුම වෙනස් කරගැනීම සඳහා නොයෙකුත් දුෂ්කර සහ භයානක ක්‍රියාමාර්ගයන් ගැනීමට පවා පෙලඹේ. උදාහරණයකට පච්ච කෙටීමේ සහ ශරීරය විදගැනීමේ මධ්‍යස්ථාන සඳහා එදා සමාජයේ එතරම් පිළිගැනීමක් නොතිබුණත් අද සමාජයේ එවැනි මධ්‍යස්ථාන අස්සක් මුල්ලක් නෑර දැකිය හැක. මෑත වසරකදී, අමෙරිකා එක්සත් ජනපදයේ වේගයෙන් වර්ධනය වන සුළු කර්මාන්ත ව්‍යාපාර අතුරින් හයවන ස්ථානය හිමි වූයේ පච්ච කෙටීමේ ව්‍යාපාරයටය.

විශේෂයෙන් යෞවනයන් අතර ගත සරසන අසාමාන්‍ය විලාසිතාවන් බහුලව දක්නට ඇත. සීමාවක් නොමැතිව ශරීරයේ විවිධ කොටස් එනම් තන පුඩුව, නාසය, දිව සහ රහස් ඉන්ද්‍රියයන් ආදිය විදගැනීම ඉතා ජනප්‍රිය වෙමින් පවතී. තවත් සුළු පිරිසක් ඉවක් බවක් නැතිව කරන මෙවැනි විදගැනීම් වලින් සෑහීමට පත් නොවෙති. ඔවුන් වඩාත් කැමැත්තක් දක්වන්නේ සමේ මොස්තර ඇඳගැනීම, ශරීරය කපාගැනීම, a සහ සමට යටින් යම් යම් දේවල් යවා ශරීරයේ සාමාන්‍ය හැඩය වෙනස් කරගැනීම වැනි තැතිගන්වනසුලු විලාසිතාවලටයි.

පුරාණයේ සිට පැවතෙන්නක්

ගත සැරසීම හෝ එහි වෙනස්කම් සිදු කිරීම අලුත් දෙයක් නම් නොවෙයි. සියවස් ගණනාවක් පුරා අප්‍රිකාවේ සමහර පැතිවල තම පෙළපත හෝ ගෝත්‍රය හඳුනාගැනීමේ ලකුණක් ලෙස සිරුරේ චාරිත්‍රානුකූලව කැපීම්, සීරීම් සහ පච්ච කෙටීම් ආදිය සිදු කෙරිණ. එහෙත් අදදින මෙම රටවල එවැනි චාරිත්‍රවලට එතරම් පිළිගැනීමක් නැති අතර ඒවා අභාවයට යමින් තිබේ.

බයිබල් කාලවලදී පවා පච්ච කෙටීම්, ශරීරය විදගැනීම් සහ ශරීරයේ යම් ස්ථාන කපාගැනීම් වැනි ක්‍රියාවන් පැවත ඇත. නමුත් එවැනි දේ සිදු කර ඇත්තේ මිථ්‍යාදෘෂ්ටිකයන් විසින් වන අතර, එය ඔවුන්ගේ නමස්කාරය හා බැඳුණු චාරිත්‍රයන් විය. මේ නිසා යෙහෝවා ඔහුගේ සෙනඟ වන යූදා ජාතියට එම මිථ්‍යාදෘෂ්ටිකයින්ව අනුකරණය කිරීම තහනම් කළේය. (ලෙවී කථාව 19:28) එසේ කිරීමෙන් දෙවිගේ “ශුද්ධ සෙනඟක්” වූ යූදා ජාතියව නොමඟ යවන බොරු ආගමික ක්‍රියාවන්ගෙන් රැකගන්නා ලදි.—ද්විතීය කථාව 14:2.

ක්‍රිස්තියානි නිදහස

අදදින සිටින ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට යටත් නොවුණත්, එහි සඳහන් සමහර ප්‍රතිපත්ති ක්‍රිස්තියානි සභාවට අදාළ වේ. (කොලොස්සි 2:14) තමන්ට කැමති පරිදි විලාසිතා තෝරාගැනීමට ක්‍රිස්තියානීන්ට නිදහසක් තිබේ. (ගලාති 5:1; 1 තිමෝති 2:9, 10) නමුත් එම නිදහස සීමා සහිත එකක් වන බව මතක තබාගත යුතුයි.—1 පේතෘස් 2:16.

“සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් සියල්ල ප්‍රයෝජන නැත” කියා පාවුල් 1 කොරින්ති 6:12හි මෙසේ පැවසීය. ක්‍රිස්තියානියෙකු හැටියට තමා ලද නිදහස අන්‍යයන් ගැන නොතකා තමාට රිසි දේ කිරීමට අයිතිය දෙනවා කියා අඟවන්නේ නැති බව පාවුල් තේරුම්ගත්තේය. අන්‍යයන් සඳහා ඔහු තුළ තිබූ ප්‍රේමය ඔහුගේ හැසිරීමට බලපෑවේය. (ගලාති 5:13) “නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න” කියා ඔහු අපව උනන්දු කරයි. (පිලිප්පි 2:4) ඔහුගේ පරාර්ථකාමී ආකල්පය, ගත සරසන ඇතැම් විලාසිතා අත්හදා බැලීමට සිතන ඕනෑම ක්‍රිස්තියානියෙකුට කදිම ආදර්ශයක් සපයයි.

සලකා බැලීමට බයිබල් ප්‍රතිපත්ති

ශුභාරංචිය දේශනා කිරීම සහ ඉගැන්වීම ක්‍රිස්තියානීන්ට පවරා ඇති එක් වගකීමකි. (මතෙව් 28:19, 20; පිලිප්පි 2:15) එසේ නම් එම පණිවිඩය ඉදිරිපත් කිරීමේදී තම පෙනුමෙන් හෝ වෙන කිසි අන්දමකින් අසන්නන්ව බාධාවට පත් කිරීමට ක්‍රිස්තියානියෙකුට වුවමනා නොවේ.—2 කොරින්ති 4:2.

ශරීරයේ විවිධ කොටස් විදගැනීම හෝ පච්ච කෙටීම සමහර ජන පිරිස් අතර ජනප්‍රිය වීමට පුළුවන. එහෙත් ක්‍රිස්තියානියෙකු තමන්ගෙන්ම මෙසේ අසාගැනීම සුදුසුයි. ‘මම සිටින ප්‍රදේශයේ එම විලාසිතාවට මොන වගේ ප්‍රතිචාරයක් ලැබේවිද? සමාජයේ පහත් ලෙස සලකන දෙයක් මම කරමින් සිටිනවාද? මගේ හෘදය සාක්ෂිය එයට ඉඩ දුන්නත්, පච්ච කෙටීම හෝ ශරීරයේ විවිධ කොටස් විදගැනීම සභාවේ සෙසු අයට කෙසේ බලපාවිද? “ලෝකයේ ආත්මය” මා පිළිබිඹු කරනවා කියා ඔවුන් සිතාවිද? මගේ ‘සිහිබුද්ධිය’ ගැන ඔවුන් සැක කරයිද?—1 කොරින්ති 2:12; 10:29-32; තීතස් 2:13, NW.

ගත සරසන විලාසිතාවලින් සමහරක් භයානක අතුරු ආබාධවලටද මඟ පාදයි. නිසියාකාරව විෂබීජ නසා නොමැති ඉඳිකටු පච්ච කෙටීමට භාවිත කිරීම නිසා සෙංගමාලය සහ HIV වයිරසය ආසාදනය වීමට වුවද ඉඩ ඇත. එලෙසම ඒ සඳහා භාවිත කරන ඇතැම් සායම් වර්ග නිසා සමහරවිට චර්ම රෝග ඇති විය හැක. ශරීරයේ සිදු කරන විද ගැනීම් සුවවීමට මාස ගණනක් ගත වන අතර එම කාලය තුළදී ඇති වන වේදනාව විඳගැනීමට සිදු වේ. තවද ලේ විසවීම, නහරවලින් බොහෝ ලේ ගැලීම, ලේ කැටි ගැසීම, ස්නායුවලට අනතුරු සිදුවීම වැනි දරුණු ආසාදන මෙතුළින් ඇති වේ. මීට අමතරව සමහර දේවල් පහසුවෙන්ම යථා තත්වයට පත් කිරීමට නුපුළුවන. උදාහරණයකට පච්චයේ ප්‍රමාණය සහ වර්ණය අනුව සමහර පච්ච ඉවත් කිරීමට කිහිප වතාවක්ම මිල අධික මෙන්ම වේදනාකාරි ලේසර් කිරණ යොදාගැනීමට සිදු වේ. එමෙන්ම ශරීරය විදගැනීම් නිසා ජීවිතාන්තය දක්වා පවතින කැළැල්ද ඇති විය හැක.

යම් කෙනෙකු මෙම අවදානම් තත්වයන්ට මුහුණ දෙනවාද නැද්ද කියා තීරණය කිරීම පෞද්ගලික කාරණයකි. නමුත්, ඔහු දෙවිව සතුට කිරීමට සොයනවා නම් ක්‍රිස්තියානියෙකු වීම යනු තමාව දෙවිට කැප කිරීම බව ඔහු තේරුම්ගන්නේය. අපේ ශරීර ජීවමාන යාගයක් ලෙස දෙවිට කැප කර ඇත. (රෝම 12:1) එමනිසා මේරූ ක්‍රිස්තියානීන් තමන්ගේ ශරීර හානි කරගැනීමට හෝ විරූපී කරගැනීමට තමන්ට අයිතියක් තිබෙනවා කියා කිසිවිටෙක නොසිතයි. විශේෂයෙන්ම සභාවේ පෙරමුණ ගැනීමට සුදුසුකම් ලැබූ අය ඔවුන්ගේ පුරුදු ගැන සමබර විය යුතු අතර සිහිබුද්ධිය හා සාධාරණකම වර්ධනය කළ යුතුයි.—1 තිමෝති 3:2, 3, NW.

බයිබලය මත පුහුණු කරන ලද සිහිබුද්ධිය වර්ධනය කරගැනීමෙන් සහ ඒ අනුව කටයුතු කිරීමෙන් ක්‍රිස්තියානියෙකුට ‘දෙවි කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටින’ මේ ලෝකයේ අන්තයටම ගිය විලාසිතාවලින් හා තමන්ටම හානි පමුණුවාගන්නා අස්වාභාවික ක්‍රියාවලින් ඈත් වී සිටිය හැකියි. (එපීස 4:18) එවිට ඔවුන්ට මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔවුන් සතු සාධාරණකම විදහා පෙන්විය හැක.—පිලිප්පි 4:5, NW.

[පාදසටහන]

a වෛද්‍ය හේතූන් හෝ ලස්සන වීමේ අරමුණෙන් කරන කැපීම් සහ යෞවනයන් අතර විශේෂයෙන්ම නහඹර වියේ යෞවනියන් අතර විකෘති කරවන ආකාරයට සිදු කරන ශරීරයේ යම් කොටස් කැපීම අතර විශාල වෙනසක් තිබේ. දැඩි මානසික පීඩනයට හෝ අසහනයට එය මඟ පෑදිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් වෛද්‍ය උපකාර පැතීමට සිදු විය හැක.