Skip to content

පටුනට යන්න

බහුවිධ රසායනික සංවේදිතාව—හඳුනා නොගත් රෝගයක්

බහුවිධ රසායනික සංවේදිතාව—හඳුනා නොගත් රෝගයක්

බහුවිධ රසායනික සංවේදිතාව—හඳුනා නොගත් රෝගයක්

පෑම්ගේ නිවස පිහිටා තිබුණේ කපු වගා කරන විශාල වතු යායක් අසල තිබූ නිවාස සංකීර්ණයකය. මේ වතු යායට වල්පැළෑටි නාශක හා කෘමිනාශක ඉසිනු ලබන අවස්ථාවලදී, ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය වාෂ්ප වී, ඒවා සුළඟ මගින් අවට නිවෙස්වලටද පැතිරෙයි. මෙසේ පෑම්ගේ නිවසටද එම රසායනික ද්‍රව්‍ය ඇතුල් වේ.

පෑම්ට තද හිසේ කැක්කුමක් හා ඔක්කාර ගතියක් දැනෙන්න පටන්ගත් අතර, ඇගේ සෞඛ්‍ය තත්වය ටිකෙන් ටික දුර්වල විය. කලක් ගතවීමෙන් පසු, කෘමිනාශකවලට කිසි සේත් සම්බන්ධකමක් නොදක්වන සුවඳ විලවුන්, සිරුරේ දුගඳ නසන ද්‍රව්‍යයන්, සිරුරේ ගල්වන ආලේප වර්ග, පිරිසිදු කාරක ද්‍රව්‍යයන්, තීන්ත වර්ග, අලුත් බුමුතුරුණු, දුම්කොළවලින් නිකුත් වන දුම, කාමරවල දුගඳ වැළැක්වීමට යොදාගන්නා ද්‍රව්‍යයන් හා වෙනත් ද්‍රව්‍යයන් යනාදියේ බලපෑම නිසා ඇගේ රෝගී තත්වය දරුණු විය. පෑම්ගේ රෝග ලක්ෂණ, සෞඛ්‍යය දුර්වල කරන රෝගයක් ලෙස හඳුන්වන බහුවිධ රසායනික සංවේදිතාව (MCS) නිසා ඇති වන රෝග ලක්ෂණවලට සමාන විය. a

“දිනපතා රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන අවස්ථාවලදී මට දැඩි වෙහෙසක් මෙන්ම මනස අවුල් වූ ගතියක් දැනෙනවා. ඒ වගේම කරකැවිල්ලකුත් ඔක්කාර ගතියකුත් ඇති වෙනවා” කියා පෑම් පිබිදෙව්! වාර්තාකරුට පැහැදිලි කළාය. “මගේ ඇඟ ඉදිමෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී මම එක දිගටම හුස්ම අදිනවා. සමහර වෙලාවට බය වෙලා අඬනවා. ඒ විතරක් නෙමෙයි මගේ හෘද ස්පන්දයත් වේගයෙන් සිදු වෙනවා. මගේ නාඩි වැටීමත් වේගවත් වෙනවා. මගේ පෙණහැලිවල වතුර එකතු වෙනවා. මේ හින්දා මට නියුමෝනියාව පවා හැදිලා තියෙනවා.”

පුද්ගලයාගෙන් පුද්ගලයාට MCS නිසා ඇති වන රෝග ලක්ෂණ වෙනස් විය හැකි වුවත්, හිසේ කැක්කුම, දැඩි වෙහෙසකාරි ගතිය, මාංශපේශිවල වේදනාව, සන්ධි කැක්කුම, එක්සිමා (දද වැනි සමේ රෝග), සෙම්ප්‍රතිශ්‍යාවේදී ඇති වන රෝග ලක්ෂණ, ඇදුම, පීනස හා සම්බන්ධ අපහසුතා, කාංසාව, විෂාදය, අමතක වීම, එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කර තබාගැනීමේ අපහසුතාව, නින්ද නොයෑම, හෘදය අක්‍රමිකව ස්පන්දනය වීම, බඩ ඉදිමීම, ඔක්කාර ගතිය, වමනය, අන්ත්‍රවල හටගන්නා ආසාදන හා හදිසියේ ඇති වන වලිප්පුව වැනි රෝග ලක්ෂණ මෙහිදී පොදුවේ දැකගත හැක. නමුත් වෙනත් අසනීප නිසාද මෙම රෝග ලක්ෂණවලින් බොහොමයක් ඇති විය හැක.

MCS—දරුණු වන ගැටලුවක්

එක්සත් ජනපදයේ ජනගහනයෙන් සියයට 15ත් සියයට 37ත් අතර ප්‍රමාණයක් රථ වාහනවලින් පිට වන දුම්, සිගරට් දුම්, අලුතින් ආලේප කළ තීන්ත වර්ග, අලුතින් අතුරන ලද බුමුතුරුණු හා සුවඳ විලවුන් වර්ග යනාදි බහුලව භාවිත කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු දේවලට නිරාවරණය වීම නිසා නොයෙකුත් අසාත්මිකතා අද්දැක තිබෙන බව විවිධ ජන කොටස් ඇසුරෙන් කරන ලද සමීක්ෂණවලින් හෙළි වී තිබේ. කෙසේවෙතත්, එක් සමීක්ෂණයකට යොදාගන්නා ලද අයගේ එක් එක් වයස් කාණ්ඩවලට අනුව, MCS රෝග ලක්ෂණ තිබෙන බවට සොයාගෙන තිබෙන්නේ සියයට පහකට හෝ ඊට අඩු සංඛ්‍යාවකට පමණි. රෝග ලක්ෂණ තිබූ අයගෙන් සියයට 75ක්ම කාන්තාවන්ය.

තමන් මෙම තත්වයට පත්වීමට හේතු වූයේ කෘමිනාශක හා රසායනික ද්‍රව්‍ය අඩංගු නොයෙක් දියර වර්ග භාවිත කිරීම බව MCSවලට ගොදුරු වී සිටින අයගෙන් බොහෝදෙනෙක් පවසති. විශේෂයෙන්ම රසායනික දියර වර්ග ඇතුළු මෙම දෙවර්ගයම, බහුලව භාවිත කරනු ලැබේ. මෙම දියර වර්ගවල අඩංගු වන වාෂ්පශීලී ද්‍රව්‍ය වායු ගෝලය පුරා පැතිරී යයි. තීන්ත වර්ග, වානිෂ්, ගම් වර්ග, කෘමිනාශක ද්‍රව්‍ය හා පිරිසිදු කිරීම සඳහා යොදාගන්නා වෙනත් ද්‍රව්‍යවල එම වාෂ්පශීලී ද්‍රව්‍ය අඩංගු වේ.

ඊළඟ ලිපිවලදී MCS ගැන අප තවදුරටත් සවිස්තරව සලකා බලන අතර, මෙම තත්වයට ගොදුරු වී සිටින අයට උපකාරවත් වන තොරතුරුද සාකච්ඡා කරනු ඇත. එමෙන්ම දැනටමත් MCSවලට ගොදුරු වී සිටින අයට තමන්ගේම ජීවිත වඩාත් ප්‍රසන්න කරගත හැකි ආකාරය ගැනත්, මෙයට ගොදුරු නොවූ අයට මෙම රෝගී තත්වයෙන් පෙළෙන අයට උපකාර කළ හැකි ආකාරය ගැනත් සලකා බලනු ඇත.

[පාදසටහන]

a මෙම ලිපියේදී අප භාවිත කර තිබෙන්නේ “බහුවිධ රසායනික සංවේදිතාව” යන යෙදුමයි. කෙසේවෙතත්, මෙම තත්වය විස්තර කිරීමේදී “පාරිසරික අසාත්මිකතාව” හෝ “රසායනික අධිසංවේදිතා සහලක්ෂණය” යන වෙනත් යෙදුම්ද භාවිත කළ හැක. “සංවේදිතාව” යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ බහුතරයක් යම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයකට නිරාවරණය වුවත්, ඉන් ටිකදෙනෙකුට පමණක් එහි හානිකර බලපෑම් ඇතිවීමයි.