Skip to content

පටුනට යන්න

භූතවාදය මෙතරම් කුතුහලය දනවන්නක් වී ඇත්තේ මන්ද?

භූතවාදය මෙතරම් කුතුහලය දනවන්නක් වී ඇත්තේ මන්ද?

භූතවාදය මෙතරම් කුතුහලය දනවන්නක් වී ඇත්තේ මන්ද?

භූතවාදය යන්න අර්ථකථනය කර ඇත්තේ “මිනිසෙක් මිය යන විට ඔහුගේ ශරීරයෙන් යමක් අමරණීයව පවතින බවටත් ජීවත්ව සිටින අයට ආත්ම බන්ධනකාරයෙක් මාර්ගයෙන් එය සමඟ සම්බන්ධකම් පැවැත්වීමට හැකි බවටත් ඇති විශ්වාසය” ලෙසයි.

මිය ගිය අය සමඟ සම්බන්ධකම් පවත්වන ආකාරය පැහැදිලි කරන ග්‍රන්ථයක් 1998දී එළි දැක්වීය. එය අමෙරිකාවේ ඉතාමත් ජනප්‍රිය වූ අතර, වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස නියූ යෝක් ටයිම්ස්හි වාර්තා ලැයිස්තුවේ ඉහළින්ම තිබුණි.

වසර කිහිපයකට පමණ පෙර මොස්කව් නුවර පැවැත්වූ යක්ෂ සහ භූතවාදය සම්බන්ධ රැස්වීම් කෙරෙහි දේශපාලනඥයෝ සහ ව්‍යාපාරිකයෝ උමතු උනන්දුවක් දැක්වූහ. එමෙන්ම, ඒවායේ තොරතුරු ලබාගැනීමට ඔවුහු විශාල මුදල් කන්දරාවක්ද වැය කළහ.

බ්‍රසීලයේ භූතවාදය හුවා දැක්වූ රූපවාහිනී වෘත්තාන්තමය නාට්‍යය, ප්‍රේක්ෂකයන් විශාල පිරිසකගේ අවධානය ඇදගැනීමට සමත් විය.

අප්‍රිකාවේ සහ ආසියාවේ භූතවාදය කොතරම් සුලභව දක්නට ලැබේද කියතොත් එය වෙළඳ පොළේ සිදු වන ගනුදෙනු තරම්ම ප්‍රකටය.

බොහෝදෙනෙකු භූතවාදයට යොමු වන්නේ මන්ද?

බොහෝදෙනෙක් තමන් ප්‍රේම කළ අය මිය ගිය විට ඇති වන දුක නිවාගැනීම සඳහා භූතවාදයට යොමු වෙති. මීට හේතුව, ආත්ම බන්ධනකාරයෙකු මාර්ගයෙන් මිය ගිය පුද්ගලයාගෙන් විශේෂ තොරතුරු ලබාගත හැකි බව ඔවුන්ට හැඟීමයි. මෙසේ වියෝ දුකින් සිටන අය, මිය ගිය තම හිතවතුන් තවමත් ජීවත් වන බවත්, ඔවුන්ගේ වියෝවෙන් ඇති වූ දුක තුනී කරගැනීමට ඔවුන් සමඟ අදහස් හුවමාරු කළ හැකි බවත් විශ්වාස කරති.

ඊට අමතරව රෝග සුව කරගැනීම, දුප්පත්කම මඟහරවා ගැනීම, පෙම්වතෙක් සොයාගැනීම, විවාහ ජීවිතයේ ගැටලු විසඳාගැනීම හෝ රැකියාවක් සොයාගැනීම වැනි දේවල් සඳහා භූතයන්ගේ උපකාරය ලබාගත හැකි බව යම් අය විසින් පවසා ඇති නිසා තවත් සමහරු භූතවාදයට කැමැත්තක් දක්වති. තවත් බොහෝදෙනෙක් භූතවාදයට යොමු වන්නේ හුදෙක් කුතුහලය නිසාමය.

භූතවාදය පිළිබඳ ප්‍රවීනයෙකු පවසන පරිදි, මිලියන ගණන් මිනිසුන් භූතවාදයට යොමුවීමට තවත් හේතුවක් වන්නේ “භූතවාදය හා ක්‍රිස්තියානි ආගම සමගාමි” ලෙස පැවත ඇති බව ඔවුන්ට උගන්වා තිබීමයි. බ්‍රසීලයේ පවතින ආගමික වාතාවරණය මීට හොඳ උදාහරණයකි.

ලෝකයේ වැඩිම රෝමානු කතෝලික ජනකායක් වෙසෙන්නේ බ්‍රසීලයේය. එසේ වුවද, “මිලියන ගණන් ක්‍රිස්තියානි භක්තිකයන් කිසිම පසුබට වීමකින් තොරව පල්ලිවල මෙන්ම භූතවාදී ආගමික ස්ථානවලත් ඉටිපන්දම් දල්වන” බව සැල් බිඩර්මන් නමැති ලේඛකයා ප්‍රකාශ කළේය. බ්‍රසීලයේ වේජා නමැති සතිපතා පුවත්පතක් වාර්තා කරන ආකාරයට බ්‍රසීලයේ භූතවාදී ආගමික ස්ථානවලට නිතර යන එන අයගෙන් සියයට 80ක්ම නිතිපතා පූජාවට සහභාගි වන බව්තිස්ම ලත් කතෝලිකයන්ය. මීට අමතරව, සමහර පූජකයෝද භූතවාදී රැස්වීම්වලට සහභාගි වෙති. මේ නිසා සහනය ලබාගැනීමට භූතාත්ම සමඟ සම්බන්ධකම් පැවැත්වීම දෙවි විසින් අනුමත කරන ලද දෙයක් කියා බොහෝ භක්තිවන්තයන් සිතීමට හේතුව තේරුම්ගැනීම එතරම් අපහසු නොවේ. නමුත් ඇත්තටම දෙවි එවැනි ක්‍රියාමාර්ගයක් අනුමත කරනවාද?

[25වන පිටුවේ කොටුව⁄පින්තූර]

භූතවාදයේ විවිධ පැති

ආත්ම බන්ධනකාරයන්ගෙන් තොරතුරු විමසීම, මළ අයගෙන් විචාරීම, නිමිති බැලීම ආදි සියලු දේ භූතවාදයේ විවිධ පැතිවලට අයත් වේ. මෙයින් ඉතාමත්ම ජනප්‍රිය අංගය වන්නේ පේන කීමයි. එනම් මළ ආත්මයන්ගේ උපකාරය ඇතුව අනාගතය ගැන නැතහොත් නොදන්නා දේවල් පිළිබඳව දැනගැනීමට උත්සාහ දැරීමයි. ජ්‍යොතිෂය, පළිඟු පේනය, සිහිනවල අර්ථය පැහැදිලි කිරීම, අත බලා ශාස්ත්‍ර කීම, ටැරට් කාඩ් කුට්ටම භාවිතය මගින් ශාස්ත්‍ර කීම යන සියල්ල පේන කීමේ විවිධ ස්වරූපයන් වෙයි.