Skip to content

පටුනට යන්න

රසායනික ද්‍රව්‍ය හානි කරවන කල

රසායනික ද්‍රව්‍ය හානි කරවන කල

රසායනික ද්‍රව්‍ය හානි කරවන කල

බහුවිධ රසායනික සංවේදිතාව (MCS) විවිධ ස්වරූපවලින් දැකිය හැකි වන අතර, මෙහි නියම ස්වභාවය තේරුම්ගැනීම ඉතා දුෂ්කරය. එමනිසා මේ පිළිබඳව වෛද්‍යවරුන් අතර පවා මතභේද තිබීම පුදුමයක් නොවෙයි. සමහර වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ MCS නමැති රෝගී තත්වය භෞතික හේතු නිසා ඇති වන එකක් බවයි. මෙයට වැඩි වශයෙන් බලපාන්නේ මානසික හේතූන් බව තවත් වෛද්‍යවරුන් පිරිසක් විශ්වාස කරති. එමෙන්ම භෞතික මෙන්ම මානසික යන හේතු දෙකම මෙයට බලපාන බව පෙන්වා දෙන පිරිසක්ද සිටිති. මීට අමතරව, MCS මගින් විවිධ රෝග සමූහයක් නියෝජනය කළ හැකි බව සමහර වෛද්‍යවරු ප්‍රකාශ කරති. a

තමන් මෙම රෝගී තත්වයට පත් වූයේ, මුල් වතාවට කෘමිනාශක වැනි විෂ ද්‍රව්‍යවලට විශාල වශයෙන් නිරාවරණය වීම හේතුවෙන්යයි MCS රෝගීන් බොහෝදෙනෙක් පවසති. තවත් අය වරින් වර හෝ එක දිගටම රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වෙති. මෙලෙස MCSවලින් පීඩා විඳින්නෝ මීට කලින් සුවඳ විලවුන් හා පවිත්‍රකාරක වැනි ද්‍රව්‍යවලින් කිසිදු අහිතකර බලපෑමක් අද්නොදුටුවත්, මෙම තත්වයට ගොදුරු වූ පසු, ඉහත සඳහන් කළ ද්‍රව්‍යවලට නිරාවරණය වීමේදී විවිධ පීඩාකාරි රෝග ලක්ෂණ පෙන්නුම් කරති. “බහුවිධ රසායනික සංවේදිතාව” යන යෙදුම ව්‍යවහාරයට පැමිණ තිබෙන්නේ මේ ආකාරයටය. ජොයිස් මුහුණ දුන් තත්වය මදකට සලකා බලන්න.

ජොයිස් පාසැල් අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී ඇගේ හිසේ උකුණන් බෝ වී තිබිණ. මේ නිසා ඇය උකුණන් විනාශ කර දමන ද්‍රව්‍යයක් හිසේ ආලේප කළාය. කල් යාමේදී ජොයිස්ගේ සෞඛ්‍ය තත්වය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙන්න පටන්ගත් අතර, කලින් ඇයට කිසිම ආකාරයක අහිතකර බලපෑමක් ඇති නොකළ රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වූ අවස්ථාවලදී පවා ඇයට දැඩි අපහසුතාවක් දැනෙන්න විය. නිවසේදී, බඩු භාණ්ඩ පිරිසිදු කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය, නැවුම් සුවඳක් ඇති කිරීමට ඉසින ද්‍රව්‍ය, ෂැම්පූ වර්ග හා යම් ඉන්ධන වර්ග යනාදිය ඇයට අහිතකර ලෙස බලපෑ දේවල් අතර විය. ඇය මෙසේ පැවසුවාය. “මගේ ඇස් දෙක ඉදිමුණා. පීනස් අමාරුවත් හැදුණා. ඒ විතරක් නෙමෙයි මට තද හිසේ කැක්කුමයි ඔක්කාරයයි ඇති වුණ නිසා මම දවස්ගානක්ම අසනීපෙන් හිටියා. . . . මට කීප වතාවක්ම නියුමෝනියාව හැදුණා. මගේ පෙණහැල්ල හරියට අවුරුදු 40ක් තිස්සේ දුම් බොන කෙනෙකුගේ පෙණහැල්ල වගෙයිලු. ඒ වුණාට මම කවදාවත් දුම්පානය කරල නැහැ.”

සුළු ප්‍රමාණයකින් හෝ විෂ සහිත ද්‍රව්‍යවලට අඛණ්ඩව නිරාවරණය වීම ගොඩනැඟිල්ලක ඇතුළතදී හෝ පිටතදී සිදු විය හැකි අතර, මෙම තත්වයද MCS ඇතිවීමට බලපාන සාධකයක් ලෙස පිළිගැනේ. ගොඩනැඟිලි ඇතුළත සිදු වන වායු දූෂණය නිසාද පසුගිය දශකවලදී අලුත් රෝගයක් හටගෙන තිබේ. “ගිලන් ගොඩනැඟිල්ලේ රෝග සහලක්ෂණය” ලෙස මෙම රෝග තත්වය හඳුන්වනු ලැබේ.

ගිලන් ගොඩනැඟිල්ලේ රෝග සහලක්ෂණය

ගිලන් ගොඩනැඟිල්ලේ රෝග සහලක්ෂණය මුලින්ම හඳුනාගත්තේ 1970 ගණන්වලදීය. මේ කාලයේදී ස්වාභාවික ලෙස වාතාශ්‍රය ලැබූ නිවෙස්, පාසැල් හා කාර්යාල බොහොමයක් වායු සමීකරණය කිරීමට පටන්ගන්නා ලදි. මෙසේ වායූ සමීකරණය කරන ලද ගොඩනැඟිලිවල බලශක්තිය පිරිමැසීමේ අරමුණින් ඇතුළත වායුව පිටතට කාන්දු නොවන ලෙස එම ගොඩනැඟිලි හොඳින් ආවරණය කරන ලදි. කෘත්‍රිම ද්‍රව්‍ය අඩංගු පරිවාරක, රසායනික ද්‍රව්‍ය ගැල්වූ දැව වර්ග, වාෂ්පශීලී ගම් වර්ග, කෘත්‍රිම රෙදි වර්ග හා බුමුතුරුණු මේ ගොඩනැඟිලි තුළ හා ඒවායේ තිබෙන විවිධ භාණ්ඩවල දැකගත හැක.

ඉහත සඳහන් කළ ද්‍රව්‍ය විශේෂයෙන්ම අලුත් තත්වයේ පවතින විට, ඒවායින් සුළු වශයෙන් හෝ සෞඛ්‍යයට හානියක් සිදු කළ හැකි රසායනික ද්‍රව්‍ය නිකුත් වේ. මෙම රසායනික ද්‍රව්‍ය ගොඩනැඟිල්ල තුළ වායු සමීකරණවලින් නිකුත් වන වායුව සමඟ මිශ්‍ර වේ. බුමුතුරුණු මගින් විවිධ වර්ගයේ පවිත්‍රකාරක ද්‍රව්‍ය හා ද්‍රාවණ වර්ග උරාගෙන, දිගු කාලයක් පුරා ඒවා ටිකෙන් ටික මුදාහරින නිසා සිදු වන හානිය තවත් වැඩි වේ. “ගොඩනැඟිලි තුළ වායු දූෂණයට බොහෝවිට හේතු වී තිබෙන්නේ එහි බහුලව භාවිත කෙරෙන විවිධ වර්ගයේ ද්‍රාවණ වර්ගයි” කියා රසායනික ද්‍රව්‍ය සුළු ප්‍රමාණයන්ට නිරාවරණය වීම හා ඉන් ඇති වන බරපතළ හානි (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ සඳහන් වේ. “රසායනික ද්‍රව්‍යවලට සංවේදිතාවක් දක්වන රෝගීන්ට වැඩියෙන්ම බලපාන්නේ ද්‍රාවණ වර්ගයි” කියා එම පොතේ තවදුරටත් විස්තර කරයි.

මෙවන් තත්වයන් පවතින ගොඩනැඟිලි තුළ කිසිම අපහසුතාවකින් තොරව සිටින්න බොහෝදෙනෙකුට හැකි වුවත්, සමහරු ඇදුම හා ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෙනත් ගැටලු, හිසේ කැක්කුම හා උදාසීනබව යනාදි රෝග තත්වයන් අද්දකිති. මෙම පුද්ගලයන් තමන්ට අහිතකර බලපෑම් ඇති කරන එම ගොඩනැඟිලිවලින් ඉවත් වූ පසු, ඔවුන්ගේ රෝග තත්වයන් පහ වේ. එහෙත් සමහර අවස්ථාවලදී, එම තත්වය නිසා “රෝගී වූ අය බහුවිධ රසායනික සංවේදිතාවට ගොදුරු විය හැකි” බව බ්‍රිතාන්‍යයේ පළ වන වෛද්‍ය සඟරාවක් වන ද ලාන්සට්හි සඳහන් වේ. සමහරුන් රසායනික ද්‍රව්‍යවල බලපෑම නිසා රෝගී වුවත්, තවත් සමහරුන් එසේ රෝගී නොවන්නේ ඇයි? මේවායේ බලපෑම නිසා රෝගී වන පුද්ගලයන්ව තේරුම්ගැනීමට රසායනික ද්‍රව්‍යවල අහිතකර බලපෑමට හසු නොවන පුද්ගලයන්ට දුෂ්කර බව පෙනීයන බැවින් එය වැදගත් ප්‍රශ්නයකි.

අපි සෑම කෙනෙක්ම වෙනස්

අපි සෑම කෙනෙක්ම රසායනික ද්‍රව්‍යවලට මෙන්ම විෂබීජ හා වෛරස් වැනි විවිධ රෝග කාරකවල බලපෑමට එරෙහිව ප්‍රතික්‍රියා කරන ආකාරය වෙනස් බව මතක තබාගැනීම වැදගත්. අපේ ජානමය සැකැස්ම, වයස, ස්ත්‍රී පුරුෂභාවය, සෞඛ්‍ය තත්වය, අපි පාවිච්චි කරන බෙහෙත් වර්ග, අපට කලින් වැළඳී තිබූ විවිධ රෝග, මත්පැන්, දුම්කොළ හෝ මත්ද්‍රව්‍ය භාවිතය ආදිය අප ප්‍රතික්‍රියා කරන ආකාරය කෙරෙහි බලපායි.

උදාහරණයක් හැටියට, බෙහෙත් වර්ග ගැන සලකා බැලීමේදී, “යම් බෙහෙතකින් හොඳ ප්‍රතිඵල අත් වේද නැත්නම් අතුරු ආබාධ ඇති වේද” කියා බොහෝදුරට තීරණය වන්නේ ඔබේ ශරීර සැකැස්මේ අද්විතීයභාවය මතයි කියා නියූ සයන්ටිස් සඟරාවේ සඳහන් වේ. එසේ හටගන්න ඇතැම් අතුරු ආබාධ බරපතළ විය හැකි අතර සමහරවිට මරණය පවා සිදු විය හැක. බෙහෙත් වර්ගවල අඩංගු රසායනික ද්‍රව්‍ය හා දෛනික ක්‍රියාකාරකම්වලදී උරාගන්න අපවිත්‍ර ද්‍රව්‍ය සිරුරට ඇතුල් වන විට, ශරීරය තුළ ඇති එන්සයිම යනුවෙන් හඳුන්වන ප්‍රෝටීන් මගින් එම අහිතකර ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කෙරේ. එහෙත් ඇතැම්විට උරුම වී තිබෙන ගති ලක්ෂණ, කලින් විෂ ද්‍රව්‍යවලින් හානි වී තිබීම, පෝෂ්‍යදායී ආහාර නොගැනීම යන හේතු නිසා එම “පිරිසිදුකාරක” එන්සයිම නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. මෙහි ප්‍රතිඵලයක් හැටියට සිරුරට ඇතුල් වන රසායනික ද්‍රව්‍ය ශරීරයට අනතුරුදායක වන මට්ටමකින් තැන්පත් වේ. b

පොපයිරියස් කියා හඳුන්වන රුධිරයේ අක්‍රමිකතා හා සම්බන්ධකමක් දක්වන එන්සයිම කාණ්ඩයක් සමඟ MCS සසඳා බලා ඇත. බොහෝ අවස්ථාවලදී පොපයිරියස්වලින් පෙළෙන අය වාහනවලින් පිට වන දුම්වලට හා සුවඳ විලවුන් වැනි නොයෙකුත් රසායනික ද්‍රව්‍යවලට දක්වන ප්‍රතිචාරය, MCSවලින් පෙළෙන අය ඒ දේවලට දක්වන ප්‍රතිචාරයට සමානය.

මනසටද බලපායි

බහුලව භාවිත කරන ඇතැම් රසායනික ද්‍රව්‍ය නිසා තමාට මත් ගතියක් දැනෙන බව MCSවලින් පෙළෙන ස්ත්‍රියක් පිබිදෙව්! සඟරාවට පැවසුවාය. ඈ තවදුරටත් මෙසේ පැවසුවාය. “මට තේරුණා මගේ පෞද්ගලිකත්වය වෙනස් වෙලා කියලා. මට නිතරම තරහ යනවා. සමහර අවස්ථාවලදී කලබල වෙනවා. ඒ විතරක් නෙමෙයි බියක් වගේම කම්මැලිගතියකුත් දැනෙනවා. . . . මේ රෝග ලක්ෂණ පැය කිහිපයක්, සමහර වෙලාවට දවස් කිහිපයක් පුරාම තියෙනවා.” එමෙන්ම මත්පැන් පානය කිරීමෙන් ඇති වන අහිතකර ලක්ෂණවලට සමාන ලක්ෂණ අද්දකින අතරම තමන් මානසික පීඩනයෙන්ද පෙළෙන බව ඇයට දැනේ.

මෙවැනි ලක්ෂණ MCSවලින් පෙළෙන අය අතර සුලභව දැකිය හැක. මේ සම්බන්ධයෙන් ආචාර්ය ක්ලෝඩියා මිලර් මෙසේ පවසයි. “කෘමිනාශකවලට නිරාවරණය වන අය හෝ වේවා ගිලන් ගොඩනැඟිල්ලේ [සහලක්ෂණය] නමැති රෝගී තත්වය යටතේ සිටින අය හෝ වේවා, යම් ආකාරයකින් රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන බොහෝදෙනෙකු මානසික ගැටලුවලින් පෙළෙන බව රටවල් බොහොමයකින් වාර්තා වී තිබෙනවා. . . . නිතරම රසායනික ද්‍රව්‍ය අඩංගු ද්‍රාවණ වර්ග භාවිතා කරමින් ඒවා සමඟ වැඩ කරන කෙනෙක් හදිසියේම කලබලයට පත්වීමේ හා මානසික පීඩනයකට ලක්වීමේ අවදානම ඉතා වැඩි බව අපි දන්නවා. . . . එනිසා රසායනික ද්‍රව්‍යවලට නිතරම නිරාවරණය වන අයගේ සිරුරු තුළ ඉතාමත් සංවේදි ඉන්ද්‍රීය පද්ධතිය මොළය බව මතක තබාගැනීම වැදගත්. අපි මේ ගැන කල්පනාකාරි විය යුතුයි.”

රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා මානසික ආබාධ ඇති විය හැකි වුවත්, මෙහි අනික් පැත්ත, එනම් මානසික ආබාධ නිසා රසායනික ද්‍රව්‍යවලට සංවේදිතාවක් දැක්වීමද සිදු විය හැකි බව බොහෝ වෛද්‍යවරු විශ්වාස කරති. MCSවලට බලපාන්නේ භෞතික හේතු බව තරයේ විශ්වාස කරන ඉහත සඳහන් කළ ආචාර්ය මිලර් මෙන්ම ආචාර්ය නික්ලස් ඇෂ්ෆඩ් මෙසේ පවසති. “කලත්‍රයෙකුගේ වියෝවීම හෝ දික්කසාදය වැනි මනසට තදින් බලපාන සිද්ධීන් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ක්‍රමක්‍රමයෙන් දුර්වල විය හැකි අතර, මේ නිසා ඇතැම් පුද්ගලයන් රසායනික ද්‍රව්‍ය සුළු ප්‍රමාණයකට පවා දැඩි සංවේදිතාවක් දැක්වීමට පටන්ගත හැකියි. ඇත්තෙන්ම, ශරීරයේ මානසික හා භෞතික පැති දෙක අතර තිබෙන සම්බන්ධතාව සංකීර්ණයි.” MCSවලට බලපාන්නේ භෞතික හේතු කියා විශ්වාස කරන තවත් ආචාර්යවරයෙකු වන ෂෙරි රොජර්ස් සඳහන් කරන්නේ, “මානසික පීඩනය නිසා පුද්ගලයෙකු රසායනික ද්‍රව්‍යවලට වැඩි සංවේදිතාවක් දක්වනවා” කියාය.

MCSවලින් පෙළෙන අයට ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය දියුණු කරගැනීමට හෝ අඩුම තරමින් තම රෝග ලක්ෂණවත් අඩු කරගැනීමට කළ හැකි දේවල් තිබෙනවාද?

MCSවලින් පෙළෙන අයට උපකාර කිරීම

MCSවලින් පෙළෙන අයට සම්පූර්ණ සුවයක් ලබාගත නොහැකි වුවත්, බොහෝදෙනෙකුට තම රෝග ලක්ෂණ අඩු කරගත හැකි වන අතර, තවත් අයට බොහෝදුරට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වී තිබේ. මේ තත්වය සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔවුන්ට උපකාරවත් වී තිබෙන්නේ මොනවාද? තමන්ගේ රෝග ලක්ෂණ වැඩි කරන රසායන ද්‍රව්‍යවලින් හැකි තාක් දුරට වැළකී සිටින්න කියා වෛද්‍යවරුන් දෙන උපදෙස් පිළිපැදීමෙන් තමන් බොහෝ ප්‍රයෝජන ලබාගෙන තිබෙන බව සමහරු පවසති. c ඒ දේවලින් වැළකී සිටීමෙන් තමන්ද යහපත් ප්‍රතිඵල අද්දැක තිබෙන බව MCSවලින් පෙළෙන ජූඩි පවසයි. එපිස්ටන්-බාර් කියා හඳුන්වන වෛරසය නිසා ඇති වූ රෝගී තත්වයෙන් ඇය යම් සුවයක් ලැබුවත්, නිවසේ භාවිත කළ කෘමිනාශකයකට අධික ලෙස නිරාවරණය වීම නිසා ඇයට MCS වැළඳිණ.

MCSවලින් පෙළෙන බොහෝදෙනෙකුට මෙන් ජූඩිටද නිවසේ භාවිත කෙරෙන රසායනික ද්‍රව්‍ය බොහොමයක් අහිතකර ලෙස බලපායි. මේ නිසා ඈ සෑම දෙයක්ම පිරිසිදු කිරීමේදී හා රෙදි සේදීමේදී භාවිත කරන්නේ කෘත්‍රිම ද්‍රව්‍ය අඩංගු නොකළ සබන් හා සෝඩියම් බයිකාබනේට් පමණි. විනාකිරි මගින් රෙදිවල සිනිඳුබවක් ඇති කරන බව ඈ සොයාගෙන තිබේ. ඇගේ අල්මාරියේ හා නිදන කාමරයේ තිබෙන්නේ ස්වාභාවික ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර තිබෙන දේවල් හා ඇඳුම් පැළඳුම් පමණි. ඇගේ ස්වාමිපුරුෂයා වියළිව අපුල්ලන [dry-cleaned] ලද ඔහුගේ ඇඳුම් අල්මාරියේ තැබීමට පෙර සති කිහිපයක්ම හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක තබයි.

තමන්ට අහිතකර ලෙස බලපාන සියලුම රසායනික ද්‍රව්‍යවලින් වැළකී සිටීම අදදින MCSවලින් පෙළෙන අයට ඉතාමත් දුෂ්කර දෙයකි. මේ සම්බන්ධයෙන් අමෙරිකානු පවුලේ වෛද්‍යවරයා නමැති සඟරාවේ මෙසේ සඳහන් වේ. “MCSවලින් පෙළෙන අයට තිබෙන පීඩාකාරිම දෙය වන්නේ සැමවිටම රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් වැළකී සිටීමට දරන අසහනකාරි උත්සාහයයි.” රෝගීන් ප්‍රතිකාර ලබාගන්න අතරතුර, සෙසු අය සමඟ ඇසුරු කරමින් වැඩවල නිරත විය යුතු බවටත්, සාමාන්‍ය පරිදි ජීවිතය ගත කරමින් ක්‍රමානුකූලව තමන්ගේ වැඩ කටයුතුවල නියැලීම වැඩි කළ යුතු බවටත් එම ලිපියේ යෝජනා කෙරේ. මීට අමතරව හදිසියේම ඇති විය හැකි රෝගී තත්වයක් හෝ හෘද ස්පන්දය වේගවත් වීමක් පාලනය කරගැනීම සඳහා විවේක ගැනීමට හා හුස්ම ගැනීම පාලනය කිරීමට තිබෙන විධිමත් ක්‍රමද ඉගෙනගත යුතුයි. මෙහි පරමාර්ථය වන්නේ මෙම තත්වයෙන් පෙළෙන අයව සම්පූර්ණයෙන්ම රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් වැළැක්වීම නොව, නමුත් ක්‍රමානුකූලව රසායනික ද්‍රව්‍යවලට හුරුවීමට ඔවුන්ට තවදුරටත් උපකාර කිරීමයි.

තවත් වැදගත් ප්‍රතිකාරයක් වන්නේ රාත්‍රියේ සුව නින්දක් ලැබීමය. MCSවලින් පෙළෙන්නෙකු වන ඩේවිඩ් දැන් සම්පූර්ණයෙන්ම පාහේ රෝග ලක්ෂණවලින් නිදහස් වූ පුද්ගලයෙකි. නැවුම් වාතාශ්‍රය හොඳින් ලැබෙන කාමරයක නිදාගැනීම ඔහු ලබා තිබෙන සුවයට බොහෝදුරට හේතු වී තිබෙන බව ඔහු පවසයි. MCSවලින් පෙළෙන අර්නස්ට්ගේ සහ ඔහුගේ භාර්යාව වන ලොරේන්ගේ අද්දැකීම වී තිබෙන්නේ, “දිවා කාලයේදී රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් වැළකී සිටිය නොහැකි වුණත්, රාත්‍රියේදී සුව නින්දක් ලබනවා නම්, අහිතකර බලපෑම්වලට සාර්ථකව මුහුණ දිය හැකි වන” බවයි.

යහපත් සෞඛ්‍යයක් පවත්වාගැනීමේදී හා යම් රෝගී තත්වයකින් සුවය ලැබීමේදී පෝෂ්‍යදායී ආහාර නිතර ලබාගැනීම අත්‍යවශ්‍ය වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. “රෝගවලින් ආරක්ෂා වී සිටීම සඳහා උපකාරවත් වන වැදගත්ම සාධකය” එයයි. හැකි තාක් දුරට සිරුරේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගැනීම සඳහා පෝෂ්‍යදායී ආහාර ගැනීම අවශ්‍යයි. මේ සඳහා ප්‍රධාන ආහාර වේලට අමතරව පෝෂණය ගෙන දෙන වෙනත් ආහාර වර්ගද ප්‍රයෝජනවත් විය හැකියි.

නිරෝගී සෞඛ්‍යයකට ව්‍යායාමයද අවශ්‍ය වේ. ඔබේ සිරුරෙන් දහඩිය පිට වන විට ඒ සමඟ විෂ ද්‍රව්‍යද ඔබේ සමෙන් පිට වී යයි. එමෙන්ම හොඳ මානසික තත්වයක් ඇතුව සිටීමද, සිනාසීමද, අන් අයගේ ආදරය ලැබීම මෙන්ම අන් අයට ආදරය කිරීමද මෙහිදී ඉතා වැදගත් වේ. ඇත්තෙන්ම, එක් වෛද්‍යවරියක් ඇය ළඟට පැමිණි MCSවලින් පෙළෙන සියලුම රෝගීන්ට නිර්දේශ කළ ප්‍රතිකාරය වූයේ “ආදරය හා සිනහවයි.” ඔව්, “තුෂ්ටිමත් [සන්තෝෂවත්, NW] සිත හොඳ ඖෂධයකි.”—හිතෝපදේශ 17:22.

කෙසේවෙතත්, ප්‍රේමනීය මෙන්ම සන්තෝෂවත් මිත්‍රත්වයක් භුක්ති විඳීම MCSවලින් පෙළෙන අයට විශාල ගැටලුවක් විය හැක. මන්ද අප බොහෝදෙනෙකු එදිනෙදා කටයුතුවලදී භාවිත කරන සුවඳ විලවුන් වර්ග, පවිත්‍රකාරක ද්‍රව්‍ය, සිරුරේ දුගඳ නසන ද්‍රව්‍ය හා වෙනත් රසායනික ද්‍රව්‍යවලට මොවුන් නිරාවරණය වුවහොත්, එය ඔවුන්ට අහිතකර ලෙස බලපාන බැවිනි. එනිසා මෙවන් තත්වයන් යටතේ MCSවලින් පෙළෙන අයට අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඇති කරගත හැක්කේ කෙසේද? මේ හා සමානව පැනනඟින තවත් වැදගත් ප්‍රශ්නයක් වන්නේ, මොවුන්ට උපකාර කිරීම සඳහා අන් අයට කළ හැක්කේ කුමක්ද යන්නයි. ඊළඟ ලිපියේ මේ කාරණා ගැන සාකච්ඡා කෙරෙයි.

[පාදසටහන්වල]

a පිබිදෙව්! සඟරාව වෛද්‍යමය සඟරාවක් නොවන අතර, MCS පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම ලිපි පෙළ ලියා තිබෙන්නේ මේ තත්වය ගැන වෛද්‍යමය ස්ථාවරයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් නොවෙයි. මෙම ලිපි මාලාවෙන් බලාපොරොත්තු වන්නේ මේ පිළිබඳව තිබෙන අලුත් සොයාගැනීම් හා මේ තත්වය සමඟ කටයුතු කිරීමේදී උපකාරවත් වන ඇතැම් දේවල් සම්බන්ධයෙන් රෝගීන් මෙන්ම වෛද්‍යවරුන් පවසා තිබෙන දේවල් වාර්තා කිරීමයි. MCS ඇතිවීමට බලපාන හේතු, එහි ස්වභාවය මෙන්ම එයට ගොදුරු වී සිටින අය සඳහා තිබෙන ප්‍රතිකාර යනාදිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර පවා පොදු එකඟත්වයක් නොමැති බව පිබිදෙව්! සඟරාව පිළිගනියි.

b එන්සයිම ඌනතාවෙන් පෙළෙන බොහෝදෙනෙකු තුළ තිබෙන්නේ ලැක්ටේස් එන්සයිමයේ හිඟකමකි. මෙම ඌනතාවෙන් පෙළෙන අයට කිරිවල අඩංගු ලැක්ටෝස් ජීර්ණය කරගැනීම අපහසු වන නිසා, ඔවුහු කිරි පානය කළ විට අසනීප වෙති. තවත් සමහරු චීස් හා වෙනත් ආහාර වර්ගවල අඩංගු රසායනික ද්‍රව්‍යයක් වන ටයිරමින් උරාගන්නා එන්සයිමයේ ඌනතාවෙන් පෙළෙති. මේ නිසා එවන් ආහාර වර්ග අනුභව කළ විට ඔවුන්ට තද හිසේ කැක්කුමක් ඇති වේ.

c තමන් MCSවලින් පීඩා විඳින බව සිතන අය මෙම රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපකාරය පැතිය යුතුය. මුලින්ම සම්පූර්ණ පරීක්ෂණයකට ලක් නොවී, හිතුමතේට තමන්ගේ ජීවන රටාවේ යම් වෙනස්කම් කිරීම අනුවණ දෙයක් වන අතර, ඇතැම්විට එයින් බරපතළ හානිද සිදු විය හැක. ඔබ ගන්නා ආහාරවල හෝ ගත කරන ජීවන රටාවේ සුළු වෙනස්කම් කිරීමෙන් පමණක්ම මෙම තත්වය අඩු කරගත හැකි බව හෝ ඔබේ රෝග ලක්ෂණ ඉවත් කරගත හැකි බව ඇතැම්විට පරීක්ෂණ මගින් අනාවරණය කරගත හැකිය.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය අවශ්‍යද?

ශරීරයට විෂ විය හැකි රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් අපි හැකි තරම් වැළකී සිටිය යුතුයි. අපි නිවසේදී භාවිත කරන රසායනික ද්‍රව්‍යද මීට ඇතුළත් වේ. රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම (ඉංග්‍රීසියෙන්) නමැති පොතෙහි ඒ ගැන මෙසේ සඳහන් වේ. “රසායනික ද්‍රව්‍ය නිසා අහිතකර බලපෑමක් ඇතිවීමට බලපාන ප්‍රබලතම හේතුව වන්නේ ගොඩනැඟිලි ඇතුළේ තිබෙන වායුව දූෂණය කරන ද්‍රව්‍යයන් බව පෙනෙන්න තිබේ. වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය සුළු ප්‍රමාණයන් අඩංගු විවිධ මිශ්‍රණ ගොඩනැඟිලි ඇතුළේ භාවිත කෙරේ.” d

ඔබ දැනටමත් රසායනික ද්‍රව්‍ය බොහොමයක් භාවිත කරනවා විය හැක. විශේෂයෙන්ම කෘමිනාශක හා වාෂ්පශීලී ද්‍රාවණ අඩංගු නිෂ්පාදන ඒ අතර තිබිය හැක. එසේනම් මේවා භාවිත කිරීම ඇත්තටම අවශ්‍යද කියා ඔබෙන්ම අසාගන්න. විෂ සහිත ද්‍රව්‍ය අඩංගු නොවන වෙනත් රසායනික ද්‍රව්‍ය ඔබ අත්හදා බලා තිබෙනවාද? අනතුරුදායක විය හැකි රසායනික ද්‍රව්‍ය භාවිත කරන්න ඔබට අවශ්‍යම නම්, ඒවා භාවිත කරන්න කලින් ආරක්ෂාව සඳහා සපයා තිබෙන සියලුම උපදෙස් පිළිපැදීමට වගබලා ගන්න. එමෙන්ම එම රසායනික ද්‍රව්‍ය ළමුන්ට ළඟා විය නොහැකි ස්ථානයකද, වාෂ්පශීලී ද්‍රව්‍ය කිසිම හානියක් සිදු නොවන සේ ආරක්ෂිත ස්ථානයකද තබන්න. එමෙන්ම හොඳින් ආවරණය කර තිබෙන ඇසුරුම්වල ඇති රසායනික ද්‍රව්‍ය වර්ග පවා වාෂ්ප විය හැකි බව මතක තබාගන්න.

අපි සමේ තවරාගන්න දේවල් ගැනද දැන සිටීම රසායනික දේවල් ගැන දැනුවත්ව සිටීමට අයත් වෙයි. සුවඳ විලවුන් ඇතුළු රසායනික ද්‍රව්‍ය බොහොමයක් සම මගින් රුධිරයට උරාගනියි. සම මත තවරන ඇතැම් ඖෂධ වර්ග සම මගින් ශරීරයට උරා ගැනෙයි. මේ නිසා විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් ඔබේ සමේ තැවරුණහොත් “මුලින්ම කළ යුත්තේ හැකි විගස සම මත තැවරුණු රසායනික ද්‍රව්‍ය හොඳින් සෝදාහැරීමයි” කියා වෙහෙසද නැත්නම් විෂද (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ සඳහන් වේ.

බහුවිධ රසායනික සංවේදිතාවෙන් පෙළෙන බොහෝදෙනෙක් සුවඳ විලවුන්වලට දැඩි සංවේදිතාවක් දක්වති. සුවඳ විලවුන් වර්ගවල අඩංගු ද්‍රව්‍යවලින් සියයට 95ක්ම පැට්රෝලියම්වලින් ලබාගත් කෘත්‍රිම ද්‍රව්‍ය වර්ගයි. ඇසටෝන්, කැම්ෆර්, බෙන්සාල්ඩිහයිඩ්, එතෙනෝල්, ජී-ටර්පයින් හා වෙනත් බොහෝ ද්‍රව්‍යද ඒවායේ අඩංගු වේ. එක්සත් ජනපදයේ පරිසරය සුරැකීමේ ආයතනය මගින් මෙම ද්‍රව්‍ය නිසා සෞඛ්‍යයට සිදු වන හානි ප්‍රකාශයට පත් කර ඇත. වායු නැවුම්කාරක ද්‍රව්‍යවලද [air fresheners] එම ද්‍රව්‍යයන් අඩංගු වේ. පාරිසරික විද්‍යාඥයන් වායු නැවුම්කාරක ද්‍රව්‍ය ගැන කරන අධ්‍යයනවලදී “ඒවා සලකන්නේ ගෘහස්ථ වායුවේ නැවුම්බවක් ඇති කරන ද්‍රව්‍ය හැටියට නොව නමුත් පරිසරය දූෂණය කරන ද්‍රව්‍ය හැටියටයි” කියා බෙකලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පළ කළ ලිපියක සඳහන් වේ. වායු නැවුම්කාරක ද්‍රව්‍ය මගින් වාතයේ තිබෙන දුගඳ නැති නොකරයි. ඒ වෙනුවට ඒවායින් කෙරෙන්නේ දුගඳ යටපත් කර දැමීම පමණයි.

“විෂ ද්‍රව්‍ය ගැන අධ්‍යයනය කරන විද්‍යාව තුළ තිබෙන එක් වැදගත් සංකල්පයක් මෙසේ හුවා දැක්විය හැක. එනම් ඕනෑම රසායනික ද්‍රව්‍යයකට සමහර තත්වයන්වලදී නිරාවරණය වුවහොත් ඒවා විෂ සහිත වන බවය.” මෙය සඳහන් වූයේ අවදානම් සලකා බැලීම (ඉංග්‍රීසියෙන්) නමැති පොතෙහිය.

[පාදසටහන]

d ඔබේ නිවස විෂ සහිත ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගත හැකි මාර්ග ගැන 1998 දෙසැම්බර් 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) කලාපයේ සාකච්ඡා කරන ලදි.