Skip to content

පටුනට යන්න

MCSවලින් පෙළෙන අයට උපකාර

MCSවලින් පෙළෙන අයට උපකාර

MCSවලින් පෙළෙන අයට උපකාර

ඕඩිකොලොන් හෝ වේවා පිරිසිදු කිරීම සඳහා යොදාගන්නා වෙනත් ද්‍රව්‍ය හෝ වේවා එදිනෙදා බහුලව භාවිත කරන ද්‍රව්‍යවලට සංවේදිතාවක් දැක්වීම නිසා පීඩා විඳින අයට තිබෙන්නේ සෞඛ්‍ය ගැටලුවක් පමණක්ම නොවෙයි. සමාජීය ගැටලුවකටද ඔවුන්ට මුහුණ දීමට සිදු වේ. මිනිස්සු ස්වභාවයෙන්ම ඇසුරට ප්‍රිය කරති. නමුත් බහුවිධ රසායනික සංවේදිතාවෙන් (MCS) පෙළෙන බොහෝදෙනෙකු කලින් විනෝදයට කැමැත්තක් දැක්වූ අය වුවත්, මෙම රෝගී තත්වය නිසා ඔවුහු හුදෙකලා වීමට වැඩි කැමැත්තක් දක්වති. “මට වෙනත් අසනීපත් තිබුණා. ඒත් මේවායින් දරුණුම එක වුණේ මෙයයි. මේ රෝගයේදී මුහුණ දීමට සිදු වන අමාරුම දේ තමයි අනිත් අයගෙන් වෙන්ව සිටින එක” කියා MCSවලින් පෙළෙන්නෙකු වන ෂෙලි පවසයි.

ඇතැම් අවස්ථාවලදී MCSවලින් පෙළෙන අය දෙස සමහරුන් අමුතු ආකාරයෙන් බැලීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. මෙසේ වීමට එක් හේතුවක් වන්නේ, MCS යනු තවමත් ස්ථිර ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති සංකීර්ණ තත්වයක් වීමයි. එහෙත් MCS ගැන නිසි ලෙස දැනුවත් නොවී සිටීම, එයින් පෙළෙන අය දෙස වපර ඇසින් බැලීමට හේතුවක් කර නොගත යුතුයි. “මේ රෝගීන් අද්දකින රෝග ලක්ෂණ නිසා ඔවුන් පීඩා විඳින” බව අමෙරිකානු පවුලේ වෛද්‍යවරයා (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාවේ සඳහන් වෙයි.

තවද MCSවලින් පෙළෙන අයගේ තත්වය තේරුම්ගැනීම ඉතාමත් දුෂ්කර වීම හා මේ රෝග තත්වය ගැන එතරම් අවබෝධයක් නොමැති වීම නිසාම නැණවත් පුද්ගලයෝ මොවුන් දෙස වපර ඇසින් නොබලති. නැණවත් පුද්ගලයෝ හිතෝපදේශ 18:13හි සඳහන් මෙම ප්‍රතිපත්තියට අනුව කටයුතු කරති. “අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.” තරාතිරම් නොබලා මෙම රෝගයෙන් පෙළෙන සෑම කෙනෙකුටම ක්‍රිස්තුස් පෙන්වූවාක් මෙන් ප්‍රේමය පෙන්වීම ඇත්තෙන්ම මොනතරම් යහපත් දෙයක්ද! අනාගතයේදී වෛද්‍ය විද්‍යාව මගින් මේ රෝගය ගැන කුමන සොයාගැනීමක් කළත්, එවන් ප්‍රේමයක් පෙන්වීම ගැන අප කිසිදාක කනගාටු වන්නේ නැත.

ක්‍රිස්තුස් හා සමාන ප්‍රේමයක් පෙන්වීම

ක්‍රිස්තුස් හා සමාන ප්‍රේමයක් පෙන්වීම ඕනෑම අවස්ථාවකට ගැළපෙන අලංකාර මුහුණත්වලින් යුත් දියමන්තියක් හා සමානයි. අපේ මිතුරෙක් MCSවලින් පෙළෙන විට, අපි ක්‍රිස්තුස් හා සමාන ප්‍රේමයක් ඔහුට පෙන්වනවා නම්, අපිට ඔහුගේ තත්වය හොඳින් තේරුම්ගැනීමට හැකි වේ. එමෙන්ම ප්‍රේමය “තමාගේම කාරණා සොයන්නේ නැත.” එය නිතරම අන් අයගේ ශුභසිද්ධියට මුල් තැන දෙයි. ‘බොහෝ ඉවසිලිවන්ත වීමට, සියල්ල දරාගැනීමට, සියල්ල විශ්වාස කිරීමට හා සියල්ල ඉවසීමට’ එය අපිට උපකාර කරයි. මෙවන් ප්‍රේමයක් “කිසිකලක පහවන්නේ නැත.”—1 කොරින්ති 13:4-8.

මේරි MCSවලින් පෙළෙන කෙනෙකු නොවුණත්, ඇගේ මිතුරරෝ කිහිපදෙනෙක්ම මෙම රෝගයෙන් පෙළෙති. “මම සුවඳ විලවුන්වලට කැමතියි, ඒත් MCSවලින් පෙළෙන මගේ මිතුරන්ව බලන්න යද්දී මම සුවඳ විලවුන් පාවිච්චි කරන්නේ නැහැ” කියා මේරි පවසයි. යේසුස්ව අනුකරණය කිරීමට වෑයම් කරන මේරි පවසන්නේ “අනිත් අයට උපකාර කරන්න මම කැමතියි” කියායි. (මාර්ක් 1:41) කුඩා කාලයේ සිටම ට්‍රේවර්ට MCS වැළඳී තිබිණ. ඔහුගේ මව මෙසේ පවසයි. “මාත් සමඟ වැඩ කරන අය මගේ පුතාගේ තත්වය තේරුම් අරගෙන ඔහුට හොඳින් සලකන්න පුදුම උත්සාහයක් දරලා තියෙනවා.” ඕස්ට්‍රේලියාවේ ජීවත් වන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන ජෝයි MCS නිසා බොහෝ පීඩා විඳින කෙනෙක්. තමාව නිතිපතා බලන්න එන නෑදෑ හිත මිතුරන් තමා මුහුණ දෙන ගැටලුව සුළු කොට නොතකන බව පෙන්වීමෙන් ඔහු දිරිගැන්වීමක් ලබන බව පවසයි.

අනික් අතට MCSවලින් පෙළෙන අයද, සුවඳ විලවුන් වර්ග තවරාගෙන සිටින අය සමඟ සිටින විට, ඉවසිලිවන්තව කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි. කලින් ලිපියේ සඳහන් කළ අර්නස්ට්, පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසීය. “මේ අසනීපය අපිට දරාගන්න සිද්ධ වෙලා තියෙනවා වගේම අනිත් අයටත් ගැටලු තියෙනවා. අපි මුහුණපාන ගැටලුවලට මුහුණ දෙන්න අනිත් අය උපකාර කරනවා නම් අපි ඒක හුඟාක් අගය කරන්න ඕනෙ.” මෙහිදී දැඩි ලෙස නොව, නමුත් කාරුණික ලෙස සහයෝගය දක්වන මෙන් අන් අයගෙන් ඉල්ලා සිටීම හොඳම දෙයයි. “මොකද අසනීපෙන් වගේ ඉන්නේ කියලා සුවඳ විලවුන් හෝ ඕඩිකොලොන් තවරාගෙන සිටින කෙනෙක් මගෙන් ඇසුවොත්, මම එයාට කියන්නේ මට ඒවායේ සුවඳ දරන්න බැහැ, රෑට මට අමාරු වෙන්නත් පුළුවන් කියලයි.” මෙසේ පැවසුවේ ලොරේන්. කාරණා හොඳින් තේරුම්ගැනීමේ හැකියාව තිබෙන අයට ඒ වචන ස්වල්පයම ප්‍රමාණවත්. ඔබ MCSවලින් පෙළෙන කෙනෙකු නම්, ඔබ ගැන සැලකිලිමත් වන්නය කියා ඔබේ මිතුරන්ට කාරුණික සිහිගැන්වීමක් කිරීම සුදුසු නැති බව එයින් අදහස් වන්නේ නැත.

මුල් ලිපියේ සඳහන් කළ පෑම් සිතට සහනයක් ගෙන දෙන බලාපොරොත්තුවක් ගැන සඳහන් කරයි. “අපි අද විඳින හැම වේදනාවක්ම තාවකාලිකයි.” “තාවකාලිකයි” කියා පෑම් පවසන්නේ මන්ද? බයිබලය මත පදනම් ඇගේ බලාපොරොත්තුවට අනුව ළඟදීම දෙවිගේ රාජ්‍යය මගින් අද පොළොවේ තිබෙන සෑම වේදනාවක්ම නැති කර දමන්න යන නිසයි ඇය එසේ පවසන්නේ. නිරෝගී සෞඛ්‍යයක් තිබෙන අය පවා අවසානයේදී අද්දකින මරණයද දෙවිගේ රාජ්‍යය මගින් සදහටම නැති කර දමනු ඇත.—දානියෙල් 2:44, 45; එළිදරව් 21:3, 4.

ඒ කාලය පැමිණෙන තෙක්, වර්තමානයේ සුවයක් ලබාගත නොහැකි රෝගවලින් පෙළෙන සියලුදෙනාටම “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියා බයිබලයේ පවසන කාලය පැමිණෙන තෙක් මහත් ආසාවෙන් බලා සිටිය හැකියි. (යෙසායා 33:24) ඒ කාලය උදා වන්නේ දෙවිගේ රාජ්‍යය මගින් මේ පොළොව පාලනය කරන අවදියේදීයි. දැන් පවතින මේ ක්‍රමය තුළදී අපට මුහුණපාන්න සිදු වන පීඩාවන් කුමක් වුවත්, යේසුස් මෙන් දිගටම විඳදරාගනිමින් අප ඉදිරියෙහි තබා තිබෙන ත්‍යාගය මනසෙහි පෙරදැරි කරගෙන ජීවත් වීමට අපි සියලුදෙනාම වෑයම් කරමු.—හෙබ්‍රෙව් 12:2; යාකොබ් 1:2-4, NW.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න

ඔබේ මිතුරෙකු හෝ ඥාතියෙකු බහුවිධ රසායනික සංවේදිතාවෙන් (MCS) පෙළෙනවා නම් හෝ ඔබ මෙම රෝගයෙන් පෙළෙන කෙනෙකු නම් මතු දැක්වෙන බයිබල් ප්‍රතිපත්ති ඔබට උපකාරවත් විය හැකියි:

මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න.”මතෙව් 7:12.

“නුඹට මෙන් නුඹේ අසල්වාසියාට [ප්‍රේම කරන්න].”මතෙව් 22:39.

“ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.” (හෙබ්‍රෙව් 10:24, 25) ඇත්තෙන්ම අප සියලුදෙනාටම ආත්මික දිරිගැන්වීම අවශ්‍යයි. මෙය විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ අප අසනීපව සිටින අවස්ථාවලදීයි. MCSවලින් පෙළෙන ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් සභා රැස්වීම්වලට පැමිණීමට වෑයම් කරති. එමෙන්ම මේ රෝගයෙන් බොහෝ පීඩා විඳින තවත් අය සමහර අවස්ථාවලදී දුරකථන මාර්ගයෙන්ද රැස්වීම්වලට සවන් දෙති. මෙය ප්‍රශංසනීය දෙයක්. සමහර රාජ්‍ය ශාලාවල MCSවලින් පෙළෙන අය සඳහා කෘත්‍රිම ද්‍රව්‍යවලින් සුවඳ හමන්නේ නැති ස්ථාන වෙන් කර තිබේ. එහෙත් මෙය සෑම තැනකම කළ හැකි ප්‍රායෝගික දෙයක් නොවෙයි.

‘යහපත්කම් කරන්න මතක නැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට [පරිත්‍යාගවලට, NW] දෙවි ප්‍රසන්නය.’ (හෙබ්‍රෙව් 13:16) යහපත්කම් කිරීම සඳහා සැමවිටම පරිත්‍යාගයන් කළ යුතු බව මෙහිදී සැලකිල්ලට ගන්න. MCSවලින් පෙළෙන අයට උපකාර කිරීම සඳහා අවශ්‍ය පරිත්‍යාගයන් කරන්න ඔබ සූදානම්ද? අනික් අතට, MCSවලින් පෙළෙන අයද සෙසු අයගෙන් බලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන් සාධාරණ විය යුතුයි. උදාහරණයක් හැටියට සුවඳ විලවුන් හා කොලොන් වර්ග පාව්චිචි කිරීම ගැන නීති දැමීමවත් ඒවා ගැන නිතර නිවේදනය කිරීමවත් වැඩිමහල්ලන්ට කළ නොහැකියි. මේ හැර සුවඳ විලවුන් තවරාගෙන සභා රැස්වීම්වලට පැමිණෙන උනන්දුව දක්වන අයව හා අමුත්තන්ව අපි සාදරයෙන් පිළිගන්නෙමු. ඔවුන් සුවඳ විලවුන් වර්ග තවරාගෙන පැමිණියාය කියා අප ඔවුන්ව යම් අපහසුතාවකට පත් වන ආකාරයකින් කටයුතු කරන්න යන්නේ නැත.

“සමාදානය සොයා, එය පස්සේ දුවාවා.” (1 පේතෘස් 3:11) ක්‍රිස්තියානීන් අතර පවතින සාමය සොරාගැනීමට සෞඛ්‍ය ගැටලුවලට ඉඩ නොදිය යුතුයි. ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාව සමාදානව, ඉවසිලිවන්තව [සාධාරණව, NW], දයාවෙන් පූර්ණව තිබේ’ කියා යාකොබ් 3:17හි සඳහන් වේ. MCSවලින් පෙළෙන අය වුවත් නැතත් සාමයට ලැදි පුද්ගලයෝ රසායනික ද්‍රව්‍ය අඩංගු දේවල් භාවිත කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් කිසිදාක අන්තයටම නොයති. මේ හා සමානව, තමන් පාවිච්චි කරන සුවඳ විලවුන් වර්ගය අන් අයගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව “දයාවෙන් පූර්ණ” සාධාරණ පුද්ගලයන්ට වැටහුණු විට, තමන්ට රිසි සේ සුවඳ විලවුන් වර්ග පාවිච්චි කිරීමේ අයිතියක් තිබුණත් එවන් පුද්ගලයෝ අන් අයගේ යහපත ගැන සැලකිලිමත් වෙති. මෙයාකාරයෙන් ඔවුහු ‘සමාදානය’ ඇති කිරීමට මං සොයති.—යාකොබ් 3:18.

මීට වෙනස්ව, MCSවලින් පෙළෙන පුද්ගලයා හෝ වේවා වෙනත් පුද්ගලයෙකු හෝ වේවා යටහත්කමක් නොදක්වමින් අසාධාරණ ආකල්පයක් විදහාපෙන්වයි නම්, මිනිස්සු එවන් කෙනෙකු වෙතට ළඟා නොවෙති. එවන් ආකල්පයක් ඇතුව සිටීම මගින් කිසිවෙකුට යහපතක් සිදු නොවේ. ඒ වෙනුවට එයින් සිදු වන්නේ දෙවි සමඟ තිබෙන කෙනෙකුගේ සබඳතාවට හානි පැමිණීමයි.—1 යොහන් 4:20.

ඇත්තෙන්ම ක්‍රිස්තියානීන්ට වටිනා ආධාරකයක් තිබේ. එය නම් යෙහෝවා දෙවිගේ ආත්මයයි. යෙහෝවාගේ ආත්මයේ උපකාරය ඉල්ලමින් ක්‍රිස්තියානීන් නිතිපතා ඔහුට ඕනෑකමින් කන්නලව් කරන විට, ඔවුහු ආත්මයේ වටිනා ඵල, විශේෂයෙන්ම “එක්සත්කමේ පරිපූර්ණ බැම්ම” වන ප්‍රේමය වර්ධනය කරගනිති. (කොලොස්සි 3:14, NW) එසේ කටයුතු කරන අතරතුර, අනෙක් අය තුළත් ක්‍රිස්තුස්ට තිබූ ගුණාංග ඇති කිරීමට ඔවුහු එම ආත්මයේ උපකාරය පතති.—ගලාති 5:22, 23.

[10වන පිටුවේ පින්තූරය]

අන් අයට මෙන් MCSවලින් පෙළෙන අයටද මිතුරන් අවශ්‍යයි