Skip to content

පටුනට යන්න

අන්ධ අයට එළිය දුන් ලුවී බ්‍රේල්

අන්ධ අයට එළිය දුන් ලුවී බ්‍රේල්

අන්ධ අයට එළිය දුන් ලුවී බ්‍රේල්

කියවීමට හා ලිවීමට ඔබ සතු හැකියාව ඔබ කොතෙක් දුරට අගය කරනවාද? ඇතමෙකු එහි වැදගත්කම එතරම් සිතට ගත්තේ නැතත්, කියවීමෙන් හා ලිවීමෙන් තොර අධ්‍යාපනයක් නොමැති තරම්ය. ඇත්තෙන්ම, අපට කියවීමට නොහැකි නම් දැනුම් සම්භාරයක් අපෙන් ගිලිහී යා හැක.

වසර ගණනාවකට අන්ධ අයට පොත් පත් කියවීමට ක්‍රමයක් තිබුණේ නැත. නමුත් දහනවවන සියවසේදී, ඔවුන් ගැන අනුකම්පාවෙන් පෙලඹුණු තරුණයෙක් අදහස් හුවමාරු කිරීමේ නව ක්‍රමයක් ඔවුන්ට හඳුන්වා දුන්නේය. එය ඔහුට මෙන්ම මිලියන ගණනකට ප්‍රස්තා රැසක් විවෘත කර දුන්නේය.

බලාපොරොත්තුවට මඟ පෑදූ විපතක්

ලුවී බ්‍රේල් උපත ලැබුවේ 1809, ප්‍රංශයේදීය. ඔහු පදිංචි වී සිටියේ පැරීසියේ සිට කිලෝමීටර් 40ක් ඈතින් පිහිටි කූව්රේ නම් ගම්බද ප්‍රදේශයේය. ඔහුගේ පියා වන සීමොං රනේ බ්‍රේල්, ජීවිතය ගැටගසා ගත්තේ අශ්වයන්ව වැඩ සඳහා යොදාගන්නා විට භාවිත කරන ආම්පන්න සෑදීමෙනුයි. සමහරවිට ලුවී බ්‍රේල් පුංචි කාලයේදී තම පියාගේ වැඩපොළට ගොස් සෙල්ලම් කරන්න ඇතැයි කියා අපට සිතිය හැක. එලෙස සෙල්ලම් කරමින් සිටි අවස්ථාවකදී ඔහු උල් කටුවක් වැනි උපකරණයකින් තම ඇස තුවාල කරගත්තේය. එය කිසිදා සුව කළ නොහැකි තුවාලයක් විය. එම තුවාලය කොතරම් බරපතළ වූවාද කිවහොත් ටික කාලයකට පසුව ලුවීගේ අනිත් ඇසටත් එය බලපෑ අතර, වයස අවුරුදු තුනක් වන විට ඔහුගේ ඇස් දෙකම අන්ධ විය.

ලුවීගේ දෙමව්පියෝ අධෛර්යයට පත් නොවී, පල්ලියේ පූජකයෙකු වූ ජාක් පාල්වීගේ උපකාරය ඇතුව ඔහුව ළඟපාත පාසැලකට ඇතුල් කළහ. ලුවී හොඳින් සවන් දුන් නිසා ඔහු ඉගෙනගනිමින් සිටි දේවල් ඉක්මනටම ධාරණය කරගත්තේය. ඔහු සමහර වසරවලදී පන්තියේ නායකයා බවට පත් වුණ අවස්ථාද තිබිණ! නමුත් මෙම පාසැලේදී අන්ධ අයගේ විශේෂ අවශ්‍යතා සැලකිල්ලට ගෙන ඉගැන්වූයේ නැති නිසා ඔහුට එයින් ලබාගත හැකි වූයේ සීමිත ප්‍රයෝජනයකි. එමනිසා 1819දී, අන්ධ තරුණ තරුණියන් සඳහා පිහිටෙවූ පාසැලකට අන්තිමේදී ලුවීව ඇතුල් කළේය.

එම පාසැල ආරම්භ කරන ලද්දේ වැලොංටැං අව්යී විසින්ය. අන්ධ අයට කියවීමට උපකාර කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කළ මුල්ම තැනැත්තා ඔහුය. ඔහුගේ පරමාර්ථය වූයේ, අන්ධ කෙනෙකුට සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබිය නොහැකියි යන විශ්වාසය අසත්‍යය බව ඔප්පු කිරීමයි. ඔහු ප්‍රථමයෙන්ම හෝඩියේ අකුරුවල හැඩය අනුව විශාල අච්චු සාදා, ඒවා ගොරෝසු කඩදාසි මත එම්බොස් කරනවා හා සමානව උලුප්පා දැක්වූවේය. එය ඒ තරම් දියුණු ක්‍රමයක් නොවුවත් ඉදිරියෙහි ලබන්න යන දියුණුවට එය කදිම පදනමක් සැපයුවේය.

අව්යීගේ කුඩා පුස්තකාලයේ තිබූ පොත්වල උලුප්පා දැක්වූ එම අකුරු කියවීමට බ්‍රේල් ඉගෙනගත් නමුත්, ඒ සඳහා සෑහෙන කාලයක් වැය වන බවත් එය ඒ තරම් ප්‍රායෝගික ක්‍රමයක් නොවන බවත් ඔහු ඉක්මනින්ම වටහාගත්තේය. අකුරු සකස් කර ඇත්තේ ඇස්වලින් බලා කියවීමට මිස ඇඟිලිවලින් ස්පර්ශ කර කියවීමට නොවන බැවින් එම ක්‍රමයට යම් සීමාවන් තිබීම පුදුමයක් නොවේ. මෙම සීමාවන් හඳුනාගත් තවත් පුද්ගලයෙක්ද සිටියේය. එම පුද්ගලයා වඩාත් දියුණු ක්‍රමයක් සොයාගැනීම සඳහා විශාල වශයෙන් දායක විය.

නොසිතූ තැනකින් උපකාර

වර්ෂ 1821දී ලුවී බ්‍රේල්ට අවුරුදු 12ක් වන විට, විශ්‍රාම ලත් ප්‍රංශ හමුදාපතියෙකු වූ ශාල් බාර්බ්‍යා අන්ධ විද්‍යාලයට පැමිණියේය. එම අවස්ථාවේදී ඔහු පාසැලට නිශා ලේඛනය හඳුන්වා දුන්නේය. එය පණිවිඩ හුවමාරු කිරීම සඳහා යුද පිටියේ භාවිත කළ ක්‍රමයක් වූ අතර පසු කාලයකදී ධ්වනි ලේඛනය වශයෙන් හඳුන්වනු ලැබීය. ධ්වනි ලේඛනය සකස් වූයේ වචනවල ශබ්ද නියෝජනය කරන සංකේතවලින්ය. එම සංකේත සකස් කළේ තිත් රටා යොදාගෙනයි. මෙම රටා සෑදීමට සිරස් අතට තිත් හයක් හා තිරස් අතට තිත් දෙකක් තිබෙන තිත් පේළි දෙකක් භාවිත කළේය. එය ඍජුකෝණාස්‍රාකාර හැඩයක් ගත්තේය. අවශ්‍ය වචන නියෝජනය කිරීම සඳහා එහි තිත් උලුප්පා දක්වා තිබූ අතර, මෙසේ කර තිබුණේ ස්පර්ශ කරමින් කියවීමට හැකි වන පිණිසයි. එම ක්‍රමය අන්ධ විද්‍යාලයේ අයගේ සිත්ගත්තේය. බ්‍රේල් එම අලුත් ක්‍රමය ඉගෙනගනිමින් එය වැඩිදියුණු කිරීමට ඉක්මන් පියවර ගත්තේය. එය බ්‍රේල්ට ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. තමා දැරූ වෑයම පිළිබඳව තම දිනපොතේ ඔහු මෙසේ ලියා තිබිණ. “මගේ ඇස් දෙක පේන්නේ නැති නිසා විවිධ අය ගැන, ලෝකයේ සිදුවීම් ගැන, මිනිසුන් ඉදිරිපත් කරන විවිධ අදහස් හා ඔවුන්ගේ විශ්වාසයන් ගැන මට දැනගන්න විදිහක් නැත්නම්, ඒ සඳහා මම කොහොමහරි වෙනත් ක්‍රමයක් හොයාගන්නවා.”

ඊළඟ අවුරුදු දෙක පුරා ලුවී බ්‍රේල් වෙහෙස නොබලා එම සංකේත ක්‍රමය වැඩිදියුණු කිරීමට වෙර දැරුවේය. ඔහුගේ ඉලක්කය වූයේ වඩාත් සරල මෙන්ම පහසු ක්‍රමයක් සොයාගැනීමයි. ටික කාලයකට පසුව, සිරස් අතට තිත් තුනකින් හා තිරස් අතට තිත් දෙකකින් යුත් කෝෂ පද්ධතියක් කියවීම වඩාත් පහසු බව ඔහු වටහාගත්තේය. අන්තිමට 1824දී එනම් ඔහුට වයස අවුරුදු 15ක් වන විට ඔහු තිත් හයකින් යුත් එම පද්ධතිය සාර්ථක ලෙස නිම කළේය. ඉන් ටික කලකට පසුව, ඔහු අන්ධ විද්‍යාලයේ උගන්වන්න පටන්ගත් අතර, 1829දී ඔහු තම සොයාගැනීම ප්‍රකාශයට පත් කළේය. අදදින පවා බ්‍රේල්ගේ නමින්ම හඳුන්වන තිත් හයේ කෝෂ පද්ධතිය භාවිත කෙරේ. එහි සකස් කිරීම් කර ඇත්තේ සුළු වශයෙන් පමණි.

මුළු ලොවටම බ්‍රේල් හඳුන්වා දීම

එක්දහස් අටසිය විසිගණන්වල අගභාගයේදී, මුල්ම වරට බ්‍රේල්ගේ අලුත් සොයාගැනීම පැහැදිලි කර දෙන පොතක් ප්‍රකාශයට පත් විය. නමුත් එම සොයාගැනීම ඉක්මන් ප්‍රගතියක් ලැබුවේ නැත. අන්ධ විද්‍යාලයේ පවා එය නිල වශයෙන් පිළිගත්තේ 1854දී පමණය. එනම්, බ්‍රේල් මිය ගොස් අවුරුදු දෙකක්ම ගත වූවාට පසුවය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම ඉතා දියුණු අදහස් හුවමාරු කිරීමේ ක්‍රමය පිළිගැනීමක් ලැබුවේය.

සංවිධාන කිහිපයක්ම බ්‍රේල් පොත් පත් පිළියෙළ කරති. වොච්ටවර් සම්තියද ඉන් එක් සංවිධානයකි. වර්ෂ 1912 සිටම එම සමිතිය බ්‍රේල් පොත් පත් ප්‍රකාශයට පත් කර තිබේ. ඇත්තෙන්ම, ඒ වන විටත් ඉංග්‍රීසි භාෂාව සඳහා බ්‍රේල් සංකේත සකස් කිරීම අවසන් වී තිබුණේ නැත. වොච්ටවර් සමිතිය, බ්‍රේල් මුද්‍රණය කිරීමේ ඉතා දියුණු ක්‍රම භාවිත කරමින් අදදින භාෂා අටකින්ම එවැනි පොත් පත් පිළියෙළ කරයි. එම පොත් පත් රටවල් 70කටත් වඩා වැඩි ප්‍රමාණයක බෙදාහරිනු ලබයි. බයිබලය මත පදනම් බ්‍රේල් පොත් පත්වලට දැන් ඉල්ලුම එන්න එන්නම වැඩි වී තිබෙන නිසා, මෑතකදී එම පොත් පත් මුද්‍රණය කරන ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට සමිතියට සිදු වී තිබේ.

අද සරල මෙන්ම දක්ෂ ලෙස සකස් කර තිබෙන බ්‍රේල් සංකේත දෑස් නොපෙනෙන මිලියන ගණනකට කියවීමේ ප්‍රස්තාව උදා කර දෙයි. එසේ කිරීමට හැකි වී තිබෙන්නේ අවුරුදු 200කට පමණ පෙර විසූ තරුණයෙකු වෙහෙස නොබලා දැරූ උත්සාහය නිසාය.

[15වන පිටුවේ කොටුව⁄පින්තූර]

බ්‍රේල් සංකේත භාෂාව තේරුම්ගැනීම

බ්‍රේල් කියවන්නේ වමේ සිට දකුණටයි. එය කියවීම සඳහා එක අතක් හෝ අත් දෙකම භාවිත කළ හැක. සෑම බ්‍රේල් කෝෂයකින්ම තිත් රටා 63ක් සෑදිය හැක. එමනිසා එමගින් සෑම භාෂාවකම පාහේ තිබෙන අකුරු හා විරාම ලක්ෂණ යම් රටාවකින් නියෝජනය කළ හැකිය. ඇතැම් භාෂාවල බ්‍රේල් ලඝු ක්‍රමයක් යොදාගනියි. මෙහිදී ඇතැම් කෝෂ, නිතර භාවිත කරන අකුරු සංයෝජන හෝ සම්පූර්ණ වචන පවා නියෝජනය කරයි. ඇතැම් අය කොතරම් දක්ෂ ලෙස බ්‍රේල් කියවනවාද කියා පැවසුවොත්, විනාඩියකට වචන 200ක්ම කියවීමට ඔවුන්ට හැක!

[පින්තූර]

හෝඩියේ මුල් අකුරු දහය සෑදීමට භාවිත කරන්නේ කෝෂයේ උඩ පේළි දෙකේ තිත් පමණි

ඊළඟ අකුරු දහය සෑදීමට, වම් පැත්තේ පහළින්ම තිබෙන තිත මුල් අකුරු දහයට එකතු කරයි

අන්තිම අකුරු පහ සෑදීමට, කෝෂ පද්ධතියේ පහළින්ම තිබෙන තිත් දෙක මුල් අකුරු පහට එකතු කරයි. අන්තිම අකුර වන “w” ප්‍රංශ හෝඩියට එකතු කළේ පසු කාලයකදීයි. එමනිසා එහි සැකැස්ම ටිකක් වෙනස්ය

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

චිත්‍රය: © Maison Natale de Louis Braille - Coupvray, France/Photo Jean-Claude Yon