Skip to content

පටුනට යන්න

ඈත රටින් ආ රස නහර පිනවන රසය

ඈත රටින් ආ රස නහර පිනවන රසය

ඈත රටින් ආ රස නහර පිනවන රසය

හංගේරියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්

“මේ ස්ටූ එක නම් නියමයි! මෙච්චර රස වෙන්න ඔයා මොනවද ඒකට දැම්මේ?” ඔබත් හංගේරියානු ස්ටූ වෑංජනයක රස බැලුවහොත් මෙලෙස අසන බවට නම් කතා දෙකක් නැත. එම වෑංජනය එතරම් රසවීමට හේතු වූයේ පප්රීකා නමැති කුළුබඩු වර්ගයයි. බොහෝ ඈත රටකින් හංගේරියාවට හඳුන්වා දුන් එය සාදා ඇත්තේ කැප්සිකම් ඇනම් නමැති උද්භිත විද්‍යා නමින් හඳුන්වන මිරිස් වර්ගයකිනි.

මෙම මිරිස් ශාකයේ මුල් වාසභූමිය දකුණු අමෙරිකාව බව ඉතිහාසය පෙන්නුම් කරයි. මෙම මිරිස් ශාකයේ සිත්තමකින් සැරසුණු අවුරුදු දහස් ගණනක් පැරණියයි සිතන කුඹල් භාජනයක් ඉන්කා මිනි වළවල් තුළින් සොයාගෙන ඇත. එමෙන්ම ඉන්කා මමී සමඟ මිහිදන් කර තිබූ ආහාර අතර මෙම මිරිස් වර්ගයද තිබී ඇත.

වර්ෂ 1493දී කොලම්බස් සමඟ අමෙරිකාවට පැමිණි වෛද්‍යවරයෙක් මෙම මිරිස් ඇට වර්ගය ස්පාඤ්ඤයට ගෙන යන්නට ඇති බව සමහර ඉතිහාසඥයන්ගේ විශ්වාසයයි. කෙසේවුවත්, මිරිස් පුළුල් ආකාරයට වගා කළ ප්‍රථම යුරෝපීය රට ස්පාඤ්ඤය වේ. කුළුබඩු වර්ගයකට වඩා ගෘහස්ථ පැළෑටියක් ලෙස බ්‍රිතාන්‍යය සහ දකුණුදිග ප්‍රංශය තුළ ජනප්‍රියව ඇති මෙම ශාකය එම රටවලටද පැමිණ ඇත්තේ ස්පාඤ්ඤයෙන්ය. පසුව ග්‍රීක් වෙළෙන්දන් විසින් එය මධ්‍යධරණි මුහුද සහ කළු මුහුද අවට පිහිටි රටවල්වලටද ගෙන යන ලදි.

මිරිස් ශාකය හංගේරියාවේ ජනප්‍රිය වූයේ 16වන සියවසේ සිටය. “තුර්කි මිරිස්” යනුවෙන්ද හඳුන්වන මෙම මිරිස් වර්ගය හංගේරියාවට පැමිණ ඇත්තේ තුර්කියෙන් කියාද පැවසේ. එදා සිට මේ දක්වා තද රතු පැහැති, සුවඳවත් සහ පැණි රසැති හංගේරියානු පප්රීකා ලොව වටා සිටින කුළුබඩුවලට ප්‍රියකරන්නන්ගේ ප්‍රියතම රස කාරකයක් බවට පත්ව ඇත.

හොඳින් හිරුරැස් පතිත වන වැලි මිශ්‍ර දුඹුරු පසෙහි මෙම මිරිස් ශාකය සරුවට වැවේ. කලින් වසරේ අස්වැන්න නෙළූ විගසම, එනම් ගිම්හානයේ අවසානයට පෙර වගා කිරීමට ගොවීන් නැවත පස සකසයි. සමහර පැළ බීජ මගින් හටගන්වන අතර කුඩා පැළෑටි වශයෙන් පවතින පැළද වගාව සඳහා යොදාගනියි. මෙම කුඩා පැළෑටි ලබාගැනීමට හොඳින් වාතාශ්‍රය ලැබෙන හරිතාගාරයක් වැනි පාලනය කළ හැකි පරිසරයක් අවශ්‍යයි. එහිදී මෙම කුඩා පැළෑටි වතුර හා පොහොර දැමීමෙන් මෙන්ම වල් පැළෑටි අයින් කර දැමීමෙන් ප්‍රවේශමෙන් රැක බලාගනියි. මෙම පැළ වගා බිමට ගෙන යෑමට පෙර එළිමහන් තත්වයට ටිකෙන් ටික නිරාවරණය කරයි.

ඉන්පසු සති හයක හෝ අටක කාලයකට පසු මෙම කුඩා පැළ වගා බිමට ගෙන යයි. හංගේරියාවේ මෙය මුලින්ම සිදු වන්නේ මැයි මාසයේ මුල් දින කිහිපය තුළදීය. මේ අවස්ථාවේදීත් පැළවලට දැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි. සරු මිරිස් අස්වැන්නක් ලබාගැනීමට නම් ගොවීන් විසින් වතුර මෙන්ම පොහොර ඉසීමෙන් හා පැළ වටා තිබෙන පස බුරුල් කිරීමෙන් මෙම අලුත සිටුවන ලද පැළෑටි හොඳින් රැකගත යුතුයි.

අගෝස්තු මස අගභාගයේදී හෝ සැප්තැම්බර් මස ආරම්භයේදී මේවායින් කරල් හටගනියි. මුලදී කොළ පැහැගන්නා මෙම මිරිස් හොඳින් පැසුණු පසු මනරම් රතු පැහැයක් ගනියි. අස්වැන්න එක සේ පැසී නොමැති විට යන්ත්‍ර යොදා නොගෙන අතින් අස්වැන්න නෙළයි. මේ සඳහා කුමන ක්‍රමය යොදාගත්තත් ඔබේ ඉවුම් පිහුම්වලට යොදාගැනීමට පෙර ඒවා බොහෝ භෞතික සහ රසායනික විපර්යාසයන්ට ලක් වෙයි. උදාහරණයකට, අස්වැන්න නෙළීමෙන් පසුව මිරිස්වල තෙතමනය මෙන්ම ඒවායේ අඩංගු සීනි සහ විටමින් සී ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙයි. a

අස්වැන්න නෙළීමෙන් පසු මිරිස් තවදුරටත් වියළීමට සහ පැසීමට තැබිය යුතුයි. මෙය කරනු ලබන පාරම්පරික ක්‍රමය වන්නේ ඒවා වැලවල් මත එල්ලීමයි. නමුත් අද මෙය වැඩි වශයෙන් සිදු කරන්නේ හොඳින් වාතාශ්‍රය ගමන් කරන දුහුලට වියන ලද දිග ගෝනිවල මේවා ඇහිරීමෙනි. පසුව එම ගෝනි රාක්කවල එල්ලා තබයි. හංගේරියානු භාෂාවෙන් හඳුන්වන පප්රීකා නැතහොත් මිරිස් සාදාගැනීමට නම් ඒවා හොඳින් පැසුණු විට අඹරා කුඩු කරගත යුතුයි.

සමහර පප්රීකා වර්ගවල අඩංගු කැප්සෙයිසින් රසායනික සංයෝගය නිසා ඒවා රසයෙන් ඉතා ඉහළයි. ඒවායේ ඇති සාරය ආහාර දිරවීමේ අපහසුතා සහ රුමැටික් වේදනාව වැනි රෝග සඳහා ඖෂධ සෑදීමේදී යොදාගැනේ. පප්රීකාවල රසය එහි ඇති එක් විශේෂ ලක්ෂණයක් පමණයි. වර්ණවත් කිරීමට එයට ඇති හැකියාව නිසා පප්රීකා යෙදූ වෑංජනයක් නිතැතින්ම නෙතට ප්‍රිය උපදවයි. කුකුළන්ගේ ආහාරයට පප්රීකා එකතු කළ විට බිත්තර දමන කිකිළියන් තද කහ පැහැති මද සහිත බිත්තර දමයි!

ඉතිං පප්රීකා දමා රස ගැන්වූ වෑංජනයක රස බලන්න ඔබත් කැමතිද? එසේ නම් පහත දක්වා ඇති ස්ටූ වෑංජනයේ වට්ටෝරුවට අනුව එය අත්හදා නොබලන්නේ ඇයි? හංගේරියානුවන් පවසන පරිදි යෝ ඇට්වාඩියෝට්! එනම් ඔබේ කෑම වේල භුක්ති විඳින්න!

[පාදසටහන]

a දොඩම් හෝ ලෙමන් ගෙඩියක ඇති විටමින් සී ප්‍රමාණය මෙන් හය ගුණයක් එක මිරිස් කරලක තිබිය හැක.

[13වන පිටුවේ කොටුව]

හංගේරියානු ස්ටූ වෑංජනය

කටු රහිත හරක් මස් 250g

එළවළු තෙල් මේස හැඳි 1යි

කපාගත් මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩියක්

සිහින්ව අඹරාගත් සුදුලූනු බික් 2යි

ස්වීට් පප්රීකා මේස හැඳි 2යි

ලුණු තේ හැඳි 2යි

මාදුරු ඇට තේ හැඳි 1/4යි (අවශ්‍ය නම් පමණක්)

මධ්‍යම ප්‍රමාණයේ ආර්තාපල් අල ගෙඩි දෙකක් ගෙන සෝදා පොතු හැර හතරැස් කැබලිවලට කපාගන්න

කුඩා ග්‍රීන් පෙපර් (කැප්සිකම් ෆෘටසෙන්ස් ග්‍රොස්සම් නමැති මිරිස් වර්ගය) එකක් ඇට ඉවත් කර සිහින්ව කපාගන්න

කුඩා තක්කාලි ගෙඩි දෙකක් ගෙන පොතු සහ ඇට ඉවත් කර කැබලිවලට කපාගන්න

බිත්තර යොදා සකසන ලද නූඩ්ල්ස් 100g

ගැඹුරු භාජනයකට තෙල් දමා රත් වෙන්න තබන්න. තෙල් රත් වන විට එයට කපාගත් ලූනු එකතු කර මදක් තෙම්පරාදු කරගන්න. අනතුරුව එයට අඹරාගත් සුදුලූනු සහ පප්රීකා දමා කලවම් කරන්න. මෙහිදී අඩිය ඇල්ලීමෙන් වළක්වාගැනීම සඳහා වතුර ටිකක් එක් කරන්න. ඉන්පසු එයට හරක් මස් සහ ලුණු එකතු කර හොඳින් කලවම් කරගන්න. භාජනය හොඳින් වසා මද ගින්නේ පිසෙන්න අරින්න. අවශ්‍ය නම් පමණක් භාජනය අඩිය ඇල්ලීමෙන් වළක්වාගැනීමට නැවතත් වතුර ටිකක් එක් කර විටින් විට හැඳිගාන්න. අවශ්‍ය නම් මාදුරුද එක් කරන්න. මස් තැම්බුණු පසු එයට කපාගත් ග්‍රීන් පෙපර්, තක්කාලි, සහ වතුර ලීටර දෙකක් දමන්න. එය උතුරන තෙක් එසේ තබා පසුව භාජනය පියනෙන් වසා විනාඩි 15ක් මද ගින්නේ පිසෙන්න අරින්න. ඊට පසු අර්තාපල් එයට එක් කර තවත් විනාඩි 10ක් හෝ 15ක් උදුනෙහි තබන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා වෙනම සාදාගත් බිත්තර නූඩ්ල්ස් සමඟ උණු උණුවෙම මේසයට පිළිගන්වන්න. මෙය පස්හයදෙනෙකුට ප්‍රමාණවත් වේ.