Skip to content

පටුනට යන්න

නොපෙනෙන දේ දැකීමෙන් අනාවරණය වන්නේ කුමක්ද?

නොපෙනෙන දේ දැකීමෙන් අනාවරණය වන්නේ කුමක්ද?

නොපෙනෙන දේ දැකීමෙන් අනාවරණය වන්නේ කුමක්ද?

මින් පෙර කිසිදාක පියවි ඇසට නොපෙනුණු දේවල් දැකීමට මිනිසා තම අභිනව සොයාගැනීම් යොදාගන්නා විට සිදු වන්නේ කුමක්ද? ඔව්, කලින් නොදත් දේ ගැන යම් දුරකට පැහැදිලි පින්තූරයක් මවාගැනීමට ඔවුන්ට හැකි වේ.—පහත දක්වා ඇති කොටුව බලන්න.

කලින්, විශ්වයේ කේන්ද්‍රය පෘථිවිය බවට විශ්වාස කෙරිණ. එනමුත් දූරේක්ෂය සොයාගැනීමත් සමඟම පෘථිවි ග්‍රහයා ඇතුළුව, ග්‍රහයන් කිහිපයක්ම සූර්යයා වටා භ්‍රමණය වන බවට සොයාගන්නා ලදි. වඩාත් මෑතකදී ප්‍රබල අණ්වීක්ෂයන් ආධාරයෙන් මිනිසා පරමාණුව පරීක්ෂා කර බලා ඇති අතර, ඇතැම් පරමාණු වර්ග වෙනත් ඒවා සමඟ සංයෝග වී අණු සාදන බවට එමගින් ප්‍රත්‍යක්ෂ වී ඇත.

ජීවය රැකගැනීමට අත්‍යවශ්‍ය දෙයක් වන ජල අණුවක සංයුතිය සලකා බලමු. හයිඩ්‍රජන් පරමාණු දෙකක් අද්විතීය ආකාරයකින් එක් ඔක්සිජන් පරමාණුවක් හා සංයෝග වී ජල අණුවක් සාදයි. සෑම ජල බිඳකම එවන් අණු බිලියන ගණනක් තිබේ. ජල අණුවක් පරීක්ෂා කිරීමෙන් හා විවිධාකාර තත්වයන් යටතේ එය ප්‍රතික්‍රියා කරන ආකාරය සලකා බැලීමෙන් අපට උගත හැක්කේ කුමක්ද?

ජලය නමැති අරුමය

බැලූ බැල්මට ජල බිඳක් සරල සංයෝගයක් සේ සැලකිය හැකි වුවත්, එය ඉතා සංකීර්ණ ද්‍රව්‍යයකි. එංගලන්තයේ ලන්ඩන්හි ඉම්පීරියල් විද්‍යාලයේ විද්‍යා ලේඛක ආචාර්ය ජොන් එම්ස්ලි ජලය සම්බන්ධව මෙසේ පැවසීය. “වෙනත් බොහෝ දේවලට වඩා ජලය ගැන පර්යේෂණ පවත්වා තිබුණත්, ජලයේ සංයුතිය පිළිබඳ අභිරහස් තවමත් හරි හැටි තේරුම්ගෙන නැත.” නියූ සයන්ටිස්ට් සඟරාවෙහි මෙම අදහස පළ විය. “පෘථිවිය පුරාම ජලය දැකගත හැකි වුවත්, ඒ සම්බන්ධයෙන් අභිරහස් රැසක් පවතී.”

ජලයට ඉතා සරල ව්‍යූහයක් තිබුණද, “එහි ස්වභාවය අතිශයින් සංකීර්ණ” බව ආචාර්ය එම්ස්ලි පැහැදිලි කරයි. එම අදහස පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසීය. “H2Oවල සැකැස්ම ගත් කල, එය වායුවක් විය යුතුය. . . . එනමුත් එය ද්‍රවයක් සේ පවතී. එමෙන්ම, එය මිදී අයිස් බවට පත් වන විට, නොගිලී පාවෙමින් පවතී.” විද්‍යාවේ උන්නතිය තකා පිහිටුවා ඇති අමෙරිකානු සංගමයේ හිටපු සභාපති ආචාර්ය පෝල් ඊ. ක්ලෝප්ස්ටෙග් ජලයෙහි වූ මෙම අසාමාන්‍යබව සම්බන්ධයෙන් පහත දැක්වෙන අදහස් ඉදිරිපත් කළේය.

“මත්ස්‍යයන් වැනි ජලජ සතුන් රැකගැනීමට මෙය අරුම පුදුම ආධාරකයක් බව පැවසුවොත් නිවැරදිය. ජලය සිසිල් වී මිදෙන විට, එය පාවෙන්නේ නැත්නම්, කුමක් සිදු වේදැයි කල්පනා කර බලන්න. එවිට පහතට බසින අයිස් ක්‍රමක්‍රමයෙන් වැඩි වී මුළු විලක්ම මිදෙයි. ප්‍රතිඵලයක් ලෙස ජලජ සතුන් සියල්ලන්ම පාහේ මියයනු ඇත.” ජලය සම්බන්ධයෙන් වූ මෙම අරුමය සැලකිය යුත්තේ “ශ්‍රේෂ්ඨ මෙන්ම අරමුණක් ඇතුව වැඩ කරන බුද්ධියක් විශ්වය තුළ ක්‍රියාත්මක වන බවට සාක්ෂියක් ලෙස” කියා ආචාර්ය ක්ලෝප්ස්ටෙග් පැවසීය.

ජලයේ මෙම අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයට හේතුව පර්යේෂකයන්ට ඇතැම්විට තේරුම්ගොස් ඇති බව නියූ සයන්ටිස්ට් සඟරාව පවසයි. ජලයේ ප්‍රසාරණය නිවැරදිව දක්වන මුල්ම සෛද්ධාන්තික ආකෘතිය ඔවුන් විසින් පිළියෙළ කර ඇත. පර්යේෂකයන්ට අනුව “ජලයේ ක්‍රියාකාරිත්වයට හේතු වන්නේ ජලයේ සහ අයිස්වල අණුක ව්‍යූහයන්වල ඔක්සිජන් පරමාණු පිහිටා ඇති ආකාරයයි; විශේෂයෙන් එම පරමාණු අතර ඇති ඉඩ ප්‍රමාණයේ වෙනසක් දැකගත හැකිවීම ඊට හේතුවයි.”

එය අරුමයක් නොවේද? ඉතා සරලයයි පෙනෙන අණුවකින් මිනිස් අවබෝධයට කොතරම් අභියෝගයක් එල්ල වී තිබේද! අපගේ සිරුරේ වැඩි වශයෙන් තිබෙන්නේ ජලයයි. මෙම ජල අණුව සැකසී ඇත්තේ මූලද්‍රව්‍යයන් දෙකක පරමාණු තුනකිනි. එනමුත් එහි සැකැස්ම ගැන සිතද්දී, “ශ්‍රේෂ්ඨ අරමුණක් ඇතුව වැඩ කරන බුද්ධියක්” එහි පිටුපස ඇති බව ඔබට පෙනී යන්නේ නැද්ද? එනමුත් වෙනත් අණු හා සසඳද්දී ජලය යනු ඉතා කුඩා මෙන්ම සංකීර්ණත්වයෙන් අඩු අණුවකි.

සංකීර්ණත්වයෙන් වැඩි අණු

පෘථිවියේ ස්වාභාවිකව පවතින මූලද්‍රව්‍යයන් 88ක් දක්නට ලැබේ. ඇතැම් අණු සෑදීමට ඒවා අතුරින් පරමාණු දහස් ගණනක් අවශ්‍ය වේ. නිදසුනකට DNA (ඩියොක්සිරයිබෝනියුක්ලේක් අම්ලය) අණුවක් සලකා බලමු. සෑම ජීවමාන දෙයකම ආවේණික ලක්ෂණ එහි ගබඩා වී ඇත. මූලද්‍රව්‍යයන් කිහිපයක පරමාණු මිලියන ගණනකින් එක DNA අණුවක් සංයුක්ත විය හැක.

DNA අණුවකට ඇදහිය නොහැකි තරම් සංකීර්ණත්වයක් තිබුණද, එහි විෂ්කම්භය මිලිමීටර් 0.0000025කි. එනම් ප්‍රබල අණ්වීක්ෂයකින් පමණක් බැලිය හැකි ඉතා කුඩා අණුවකි. ඇත්තෙන්ම DNA මගින් පුද්ගලයෙකුගේ ආවේණික ලක්ෂණ තීරණය වන බව විද්‍යාඥයන් සොයාගත්තේ 1944දීය. ඉන් අනතුරුව අතිශයින් සංකීර්ණ වූ මෙම අණුව පිළිබඳ තොරතුරු සෙවීමට කඩිනම් පර්යේෂණ දියත් කරන ලදි.

DNA සහ ජලය යනු විවිධ දේවල් සෑදීමට අවශ්‍ය වන අණු වර්ග රාශිය අතුරින් දෙකක් පමණි. සප්‍රාණික සහ අප්‍රාණික දේවල් බොහොමයක් එකිනෙකට සමාන අණු වර්ග රැසකින් සෑදී ඇති නිසා, ජීවීන් සහ අජීවී දේවල් අතර ඇත්තේ ඉතාමත් සුළු පරතරයක් කියා අප නිගමනය කළ යුතුද?

සෑහෙන කාලයක් පුරා බොහෝදෙනෙකුට තිබුණේ එවන් මතයකි. ක්ෂුද්‍ර ජීවවිද්‍යාඥ මයිකල් ඩෙන්ටන්ගේ මෙම පැහැදිලි කිරීම සලකා බලන්න. “එක්දහස් නවසිය විසි ගණන්වල සහ තිස් ගණන්වල දැන උගත් බොහෝදෙනෙකුගේ මතය වූයේ ජෛවරසායනය පිළිබඳව දැනුම වැඩි කරගැනීමෙන් අජීවී දේවල් සහ ජීවීන් අතර පරතරයට හේතු වන්නේ කුමක්ද යන්න පහසුවෙන්ම පැහැදිලි කරගත හැකි බවය.” එනමුත් ඇත්තෙන්ම කාලයාගේ ඇවෑමෙන් හෙළි වූයේ කුමක්ද?

සුවිශේෂ වූ, අද්විතීය වූ ජීවය

අජීවී දේවල් සහ ජීවීන් අතර අතරමැදි, අර්ධ ජීවීන් එසේ නැතහොත් ජීවය කරා ක්‍රමානුකූලව සිදු වන පරිණාමයක් සොයාගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තුවෙන් සිටියෝය. එනමුත්, “1950 ගණන්වල මුලදී අණුක ජීවවිද්‍යාව ඇසුරෙන් කළ මූලික සොයාගැනීම්වලින් සනාථ වූයේ” ජීවීන් සහ අජීවී දේවල් අතර එක් කළ නොහැකි පරතරයක් ඇති බව ඩෙන්ටන් පැවසීය. දැන් විද්‍යාඥයන්ට පැහැදිලි වී ඇති කැපීපෙනෙන කරුණක් විස්තර කරමින් ඩෙන්ටන් පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කළේය.

“ජීවී සහ අජීවී ලෝකය අතර පරතරයක් ඇති බව අපට දැන් අවබෝධ වී තිබෙනවා පමණක් නොව, එය ස්වභාවධර්මයේ ප්‍රබලතම මෙන්ම කිසිසේත් එක් කළ නොහැකි පරතරය බවත් දනිමු. ජීවමාන සෛලයක් අතර සහ ස්ඵටිකයක් හෝ හිම මලක් වැනි මනා සැකැස්මකින් යුත් අජීව වස්තුවක් අතර පවා ඇදහිය නොහැකි තරම් පුළුල් පරතරයක් ඇත.”

අණුවක් සෑදීම පහසු කාර්යයක් බව මින් අදහස් නොකෙරේ. අණුවක සිට ජීවමාන සෛලයක් දක්වා වූ ගමන (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි මෙසේ පැහැදිලි කර තිබේ. “අජීවී යමක් සෑදීමට ඉවහල් වන කුඩා අණුවල සංශ්ලේෂණය නොහොත් සංයෝග ගොඩනැඟීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණය.” එනමුත් “මුලින්ම බිහි වන සරලතම ජීවමාන සෛලය බිහි කිරීමට ඉවහල් වූ ක්‍රියාවලිය හා සසඳන කල, එවන් අණු සෑදීමේ ක්‍රියාවලිය කිරි කජු කනවා වගේ වැඩක්” බව එහි සඳහන් වේ.

සෛල විවිධ ස්වරූපයන් ගනී. බැක්ටීරියා මෙන් සමහරක් ස්වාධීන ඒක සෛලීය ජීවීන් ලෙස සැරිසරයි. වෙනත් සෛල ක්‍රියාත්මක වන්නේ ස්වාධීනව නොව නමුත් මිනිස් සිරුරක මෙන් සෛල රැසකින් යුත් සෛල පද්ධතියක් තුළය. මෙම වාක්‍යය අවසානයේ දක්නට ලැබෙන නැවතීමේ ලකුණ තරම් ලොකු වීමට නම් සාමාන්‍ය ප්‍රමාණයේ සෛල 500ක් පමණ අවශ්‍ය වේ. එසේ නම්, සෛලයක ක්‍රියාකාරිත්වය පියවි ඇසට නොපෙනීම ගැන පුදුම විය යුතු නැත. එනමුත්, මිනිස් සිරුරේ තනි සෛලයක් දෙස බැලීමට අණ්වීක්ෂයක් යොදාගැනීමෙන් හෙළි වන්නේ කුමක්ද?

සෛලය—අහම්බෙන්ද නැත්නම් නිර්මාණයක්ද?

සෛලයක ඇති සංකීර්ණත්වය පුදුම දනවන්නකි. එක් විද්‍යා ලේඛකයෙක් මෙසේ පැවසීය. “ඉතාමත් සරල වූ සෛලයක සාමාන්‍ය වර්ධනයට පවා මනා ක්‍රමවත්භාවයකින් යුත් රසායනික ප්‍රතික්‍රියා දසදහස් ගණනක් සිදු විය යුතුයි.” එමනිසා ඔහු මෙම පැනය ඉස්මතු කළේය. “ඉතා කුඩා සෛලයක, මෙවැනි ප්‍රතික්‍රියා 20,000ක් පමණ එක විටම පාලනය වන්නේ කෙසේද?”

ඉතා කුඩා ජීවමාන සෛලය “සංකීර්ණ කර්මාන්ත ශාලාවකට” සමාන කළ මයිකල් ඩෙන්ටන් තවදුරටත් මෙසේ කියා සිටියේය. එනම්, “එම කර්මාන්ත ශාලාවේ පරමාණු මිලියන දශලක්ෂයකින් සෑදී ඇති, විශිෂ්ට ලෙස නිර්මාණය කර ඇති සංකීර්ණ අණුක යන්ත්‍ර දහස් ගණනක් ඇත. මිනිසා නිර්මාණය කර ඇති කිසිදු යන්ත්‍රයක් ඊට ළං කිරීමටවත් නොහැක. තවද කිසිදු අජීවී දෙයක් ඒ හා සැසඳීමටවත් නුපුළුවන” කියාය.

වර්ෂ 2000 පෙබරවාරි 15වන දින පළ වූ නියූ යෝක් ටයිම්ස් පුවත්පතට අනුව සෛලයේ සංකීර්ණත්වය තවමත් විද්‍යාඥයන්ගේ විමතියට හේතුවක් වී තිබේ. එහි මෙසේ සඳහන් විය. “ජීවමාන සෛල පිළිබඳව ජීවවිද්‍යාඥයන්ගේ අවබෝධය වැඩි වෙන්න වෙන්න, ඒවායෙහි ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ සෑම තොරතුරක්ම තේරුම්ගැනීම වඩාත් අසීරු කාර්යයක් මෙන් පෙනේ. සාමාන්‍ය මිනිස් සෛලයක් පියවි ඇසට නොපෙනුණද, සෛලයේ එදිනෙදා අවශ්‍යතා පිරිමැසීම සඳහා හෝ වෙනත් සෛලවල පණිවිඩවලට ප්‍රතිචාරය දැක්වීම සඳහා සෑම මොහොතකම එහි ජාන 1,00,000 අතුරින් 30,000ක්ම ක්‍රියාත්මක වෙමින් පවතී.”

ටයිම්ස් සඟරාවෙහි මෙම පැනය ඉස්මතු කරන ලදි. “මෙතරම් කුඩා, මෙතරම් සංකීර්ණ දෙයක් පරීක්ෂණයට ලක් කරන්නේ කෙසේද? ඉමහත් පරිශ්‍රමයක් දරා, එක් මිනිස් සෛලයක් ගැන පූර්ණ අවබෝධයක් ලබාගත්තත්. ඔබේ පරිශ්‍රමය ඉන් නතර වන්නේ නැත. මිනිස් සිරුරේ අඩුම තරමින් ඊට වෙනස් තවත් සෛල වර්ග 200ක්වත් තිබෙන බව මතක තබාගත යුතුය.”

ස්වභාවධර්මයා (ඉංග්‍රීසියෙන්) යන සඟරාව, “මැවීමේ සැබෑ යන්ත්‍ර” යන මැයින් යුත් ලිපියක ශරීරයේ සෑම සෛලයක් තුළම කුඩා යන්ත්‍ර තිබෙන බවට සොයාගෙන ඇතැයි වාර්තා කළේය. මෙම යන්ත්‍ර භ්‍රමණය වීමේදී සෛලයක ශක්ති ප්‍රභවය වන ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් නිපදවයි. එක් විද්වතෙක් මෙම අදහස පළ කළේය. “සෛලවල දක්නට ලැබෙන අණුක පද්ධතිවලට සමාන අණුක යන්ත්‍ර නිර්මාණය කිරීමට ඉගෙනගත්තොත් අපට කළ හැකි දේ අනන්තයි අප්‍රමාණයි.”

යමක් බිහි කිරීමට සෛලයක් සතු හැකියාව මොනතරම්ද කියා කල්පනා කර බලන්න! අපගේ සිරුරේ තනි සෛලයක අඩංගු DNAවල පමණක් අන්තර්ගත වී ඇති තොරතුරු සම්භාරය සටහන් කිරීමට මෙම සඟරාවේ පිටුවක තරම් පිටු මිලියනයක් පමණ අවශ්‍ය වේ. ඇරත්, සෛලයක් බෙදී අලුත් සෛලයක් බිහි වන සෑම මොහොතකදීම, මෙම තොරතුරු නොවෙනස්ව අලුත් සෛලයටද ලබා දේ. ඔබේ සිරුරේ ඇති සෛල ට්‍රිලියන 100න් සෑම එකකටම තොරතුරු ලැබුණේ කෙසේද? අහම්බෙන්ද? එසේ නැතහොත් එය පිටුපස ශ්‍රේෂ්ඨ නිර්මාතෘවරයෙක් සිටියේද?

ජීව විද්‍යාඥ රසල් චාල්ස් ආර්ටිස්ට් එළඹි නිගමනයට සමාන නිගමනයකට ඔබත් එළඹිය හැකිය. ඔහු පැවසුවේ මෙසේය. “සෛලයක් බිහි කිරීමට තර්කානුකූලව සිතන බුද්ධිමත් මනසක් හේතු වූ බව අප පිළිගන්නේ නැත්නම්, සෛලයක ආරම්භය සහ එහි අඛණ්ඩ පැවැත්ම පැහැදිලි කිරීම අපට ඉතා අසීරු මෙන්ම භාරදූර කාර්යයක් වනවාට සැකයක් නැත.”

මනා පිළිවෙළකින් යුත් නිර්මාණයක්

කලක් හාවඩ් සරසවියේ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ කර්ට්ලි එෆ්. මේතර් වර්ෂ ගණනාවකට පෙර එළඹි මෙම නිගමනය ගැන සලකා බලන්න. “අප ජීවත් වන විශ්වය අහම්බෙන් නැතහොත් හදිස්සියේම ඇති වූවක් නොවේ. එය මෙහෙයවීමට නීති රීති ඇත. කොතරම් හොඳ පරිපාලනයක් තිබේද කිවහොත්, එහි සාධාරණබවක් දැකගත හැක. ඇත්තෙන්ම එය අපගේ ගෞරවය ලැබීමට වටිනා නිර්මාණයකි. උදාහරණයකට මූලද්‍රව්‍යයන්ගේ ගති ලක්ෂණ අනුව ඒවායේ පරමාණුක ක්‍රමාංක නිශ්චිත පිළිවෙළකට වර්ග කර දැක්වීමට හැකි වී තිබෙන්නේ ස්වභාවධර්මයා තුළ දක්නට ලැබෙන මෙම මනා පිළිවෙළ නිසාය.”

“ස්වභාවධර්මයා තුළ දක්නට ලැබෙන මෙම මනා පිළිවෙළ” ගැන මදකට සලකා බලමු. ඉපැරැන්නන් හඳුනාගෙන තිබූ මූලද්‍රව්‍යයන් a ලෙස රන්, රිදී, තඹ, ටින් සහ යකඩ සඳහන් කළ හැක. ආසනික්, බිස්මත් සහ ඇන්ටිමනි මධ්‍යතන යුගවල විසූ රසායනඥයන් විසින් සොයාගන්නා ලද අතර, 1700 ගණන්වල තවත් මූලද්‍රව්‍යයන් රැසක් සොයාගනු ලැබීය. එක් එක් මූලද්‍රව්‍යය පිට කරන වර්ණ පරාසය වෙන් කොට හඳුනාගත හැකි වර්ණාවලීක්ෂය යොදාගෙන 1863දී ඉන්ඩියම් නමැති මූලද්‍රව්‍යය සොයාගන්නා ලදි. මෙය සොයාගන්නා ලද 63වන මූලද්‍රව්‍යය විය.

ඒ කාලයේදී පමණ, රුසියානු රසායන විද්‍යාඥ ඩිමිට්රී ඉවානවිච් මෙන්ඩලේයෆ් පැවැත්වූ පරීක්ෂණවලින් මූලද්‍රව්‍යයන් පිළිවෙළකට මිසක අපිළිවෙළකට සැකසී නැති බව නිගමනය කළේය. වර්ෂ 1869 මාර්තු 18වන දින “මූලද්‍රව්‍යයන්ගේ අනුපිළිවෙළ පිළිබඳ දළ සටහනක්” යන මැයින් යුත් ඔහුගේ වාර්තාව රුසියානු රසායන විද්‍යා සංගමය ඉදිරියෙහි කියවන ලදි. “මූලද්‍රව්‍යයන්ගේ අනුපිළිවෙළ තීරණය කිරීමට යම් පදනමක් නොමැති ක්‍රමයක් වෙනුවට යම් නිශ්චිත මෙන්ම නොවෙනස්වනසුලු මූලධර්ම මත ගොඩනැඟුණු ක්‍රමයක් පිහිටුවීම මගේ අභිප්‍රාය” බව හෙතෙම කියා සිටියේය.

මෙම සුප්‍රසිද්ධ වාර්තාවේදී මෙන්ඩලේයෆ් මෙසේ අනාවැකි පළ කළේය. “තවමත් නොදන්නා මූලද්‍රව්‍යයන් කිහිපයක්ම ඉදිරියේදී සොයාගනීවියයි අප අපේක්ෂා කළ යුතුය. නිදසුනකට 65 සිට 75 දක්වා පරමාණුක භාරයක් ඇති ඇලුමිනියම් සහ සිලිකන් වැනි තවත් මූලද්‍රව්‍යයන් කිහිපයක් ගැන සොයාගනීවි.” මෙන්ඩලේයෆ් අනාගතයේදී සොයාගන්නාවූ අලුත් මූලද්‍රව්‍යයන් 16ක් වෙනුවෙන් අනුපිළිවෙළට තම චක්‍රයෙහි හිස් තැන් වෙන් කළේය. තම අනාවැකි සඳහා සාක්ෂි ඉදිරිපත් කරන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටි විට ඔහුගේ පිළිතුර වූයේ, “සාක්ෂිවලින් වැඩක් වන්නේ නැත. ව්‍යාකරණ නීති මෙන් නොව, ස්වභාවධර්මයා මෙහෙයවන නීති කිසි සේත් වෙනස් වන්නේ නැත” යන්නය. ඔහු ඊට මෙසේද එකතු කළේය. “තවමත් හඳුනාගෙන නැති මෙම මූලද්‍රව්‍යයන් සොයාගත් පසු, අප පැවසූ දේවල් ජනයා සැලකිල්ලට ගනු ඇත.”

මෙන්ඩලේයෆ් පුරෝකථනය කළ ආකාරයේ ලක්ෂණ ඇති මූලද්‍රව්‍යයන් ඔහු කියූ ලෙසම සොයාගන්නා ලදි. අමෙරිකානා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙසේ පැහැදිලි කරයි. “ඊළඟ වසර 15 තුළදී, ගැලියම්, ස්කැන්ඩියම් සහ ජර්මේනියම් යන මූලද්‍රව්‍යයන් සොයාගත් අතර, එම මූලද්‍රව්‍යයන් මෙන්ඩලේයෆ් පුරෝකථනය කළ මූලද්‍රව්‍යයන්ගේ ගතිලක්ෂණවලට කිට්ටුවෙන් ගැළපිණ. ප්‍රතිඵලයක් ලෙස ආවර්තිතා චක්‍රයේ වලංගුභාවය සනාථ වූ අතරම එහි කර්තෘගේ කීර්තිය ලොව පුරා පතළ විය.” විසිවන සියවසේ මුල් භාගය වන විට, පැවති සියලුම මූලද්‍රව්‍යයන් සොයාගෙන තිබිණ.

රසායන විද්‍යා පර්යේෂක එල්මර් ඩබ්. මවුරර්ගේ මෙම නිරීක්ෂණය සැලකිල්ලට ගැනීම වටී. ඔහු පැවසුවේ මෙසේය. “මෙතරම් විශිෂ්ට ලෙස සකස් වී ඇති මෙම චක්‍රය අහම්බෙන් ඇති වූවක් විය නොහැක.” මූලද්‍රව්‍යයන් මෙලෙස ක්‍රමානුකූලව පිළියෙළ වී තිබීම අහම්බෙන් සිදු වූවක්යයි කියා සිටීම සම්බන්ධයෙන් රසායන විද්‍යා මහාචාර්ය ජොන් ක්ලීව්ලන්ඩ් කෝත්රන් මෙසේ අදහස් දැක්වීය. “[මෙන්ඩලේයෆ්] පුරෝකථනය කළ සියලුම මූලද්‍රව්‍යයන් සොයාගෙන ඇති නිසාත්, ඒවා තුළ තිබිය යුතු ගතිලක්ෂණ පුරෝකථනය කළ ආකාරයෙන්ම තිබෙන නිසාත්, ඒ මූලද්‍රව්‍යයන් අහම්බෙන් ඇති වූ බවට ඇති අදහස සහමුලින්ම බිඳ වැටේ. ඔහුගේ සුප්‍රසිද්ධ ලේඛනය ‘ආවර්තිතා මතය’ නොව ‘ආවර්තිතා නියමය’ ලෙස හඳුන්වා ඇත්තේ එමනිසාය.”

කේම්බ්‍රිජ් සරසවියේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ, සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ පී. ඒ. එම්. ඩිරැක්, මූලද්‍රව්‍යයන් සහ ඒවා විශ්වයේ ඇති සියල්ල සෑදීමට සංයෝග වන ආකාරය ගැන කිට්ටු අධ්‍යයනයක් කළ පසු, මෙසේ පැවසීමට පෙලඹිණ. “දෙවියන් ඉතාමත් ඉහළ ගණයේ ගණිතඥයෙකු කියා පැවසුවොත් නිවැරදිය. විශ්වය තැනීමට දෙවියන් ඉතා උසස් මට්ටමේ ගණිත ක්‍රම භාවිත කළ බව කිව හැකිය.”

ඇත්තෙන්ම අපගේ ලොවෙහි පියවි ඇසට නොපෙනෙන දේවල් රැසක් තිබේ. අතිශයින් කුඩා පරමාණු, අණු, ජීවමාන සෛල මෙන්ම පියවි ඇසට නොපෙනෙන තරම් දුරක පිහිටා ඇති තරුවලින් ගහන දැවැන්ත මන්දාකිනි අපගේ මෙම ගවේෂණයට ඇතුළත් විය. මොනතරම් සිත්ගන්නාසුලු ගවේෂණයක්ද! ඇත්තෙන්ම අප සොයා බැලූ දේවල් ගැන වැඩි වැඩියෙන් සිතන තරමට, අප දැනුමෙන් කොතරම් අල්පද කියා තව තවත් අවබෝධ වේ. ඔබ තේරුම්ගත් මෙම තොරතුරු ඔබට පෞද්ගලිකව බලපාන්නේ කෙසේද? මෙවන් දේවල් තුළින් ඔබට තවදුරටත් යමක් දැකිය හැකිද? ඔබේ දෘෂ්ටිය දකින දේට පමණක් සීමා වී ඇද්ද?

[පාදසටහන]

a එකම වර්ගයේ පරමාණුවලින් සෑදී ඇති දේ මූලද්‍රව්‍යයක් ලෙස හැඳින්වේ. පෘථිවියේ ස්වාභාවිකව දක්නට ලැබෙන්නේ එවන් මූලද්‍රව්‍ය 88ක් පමණි.

[5වන පිටුවේ කොටුව⁄පින්තූර]

විදුලි වේගයෙන්

එක පිම්මට දුවන අශ්වයෙකුගේ ගමන ඉතා වේගවත් නිසා, 19වන සියවසේ මනුෂ්‍යයන් අතර ඒ සම්බන්ධයෙන් මතභේදයක් ඇති විය. ඔවුන්ට ප්‍රශ්නයක් වී තිබුණේ අශ්වයෙකු දුවද්දී, උගේ පාද හතරම බිම නොගෑවී පවතින මොහොතක් තිබේද නැද්ද යන්නයි. වර්ෂ 1872දී එඩ්වඩ් මයිබ්‍රිජ් ඡායාරූප ආධාරයෙන් පරීක්ෂණ පැවැත්වූ නිසා, පැහැදිලි පිළිතුරක් ලැබිණ. මේ සඳහා අධිවේගී චලන රූප ගැනීමේ ක්‍රමයක් ඔහු යොදාගත්තේය.

මයිබ්‍රිජ් එකිනෙකට නුදුරින් කැමරාවන් 24ක් පේළියට තැබීය. සෑම කැමරාවකම ෂටරයේ සිට අශ්වයන් දුවන පථය දක්වා ලණුවක් අදින ලදි. අශ්වයා කැමරාවන් පසු කරගෙන දුවද්දී උගේ පාද එම ලණු හා වැදීම නිසා කැමරාවල ෂටරයන් ක්‍රියාත්මක වී ඉබේම ඡායාරූප ගැනිණ. ගත් ඡායාරූපවලින් හෙළි වූයේ ඇතැම් අවස්ථාවන්හිදී අශ්වයාගේ පාද හතරම බිම නොගෑවී පවතින බවය.

[හිමිකම් විස්තර]

George Eastman House අනුග්‍රහයෙනි

[7වන පිටුවේ පින්තූරය]

මිදුණු ජලය නොගිලී පාවෙන්නේ මන්ද?

[7වන පිටුවේ පින්තූරය]

DNA අණුවක විෂ්කම්භය මිලිමීටර් 0.0000025කි. එනමුත් එහි අන්තර්ගත තොරතුරු ලිවීමට පිටු මිලියනයක් පමණ අවශ්‍ය වේ

[හිමිකම් විස්තර]

පරිගණක ආධාරයෙන් තැනූ DNA ආකෘතියක්: Donald Struthers/Tony Stone Images

[8වන පිටුවේ පින්තූරය]

සිරුරේ ඇති සෛල ට්‍රිලියන 100න් හැම එකකම, රසායනික ප්‍රතික්‍රියා දසදහස් ගණනක් ක්‍රමවත් ආකාරයකින් සිදු වේ

[හිමිකම් විස්තර]

ප්‍රකාශන අයිතිය Dennis Kunkel, University of Hawaii

[9වන පිටුවේ පින්තූර]

මූලද්‍රව්‍යයන් අක්‍රමවත්ව බිහි වී නොමැති බව රුසියානු රසායනික විද්‍යාඥ මෙන්ඩලේයෆ් නිගමනය කළේය

[හිමිකම් විස්තර]

National Library of Medicine අනුග්‍රහයෙනි