Skip to content

පටුනට යන්න

භූමිකම්පාවක්!

භූමිකම්පාවක්!

භූමිකම්පාවක්!

තායිවානයේ පිබිදෙව්! වාර්තාකරු විසින්

“දවසක් මම තායිපේ නුවර තට්ටු නිවාසයක නවවන මහලේ මගේ කාමරයේ හාන්සි වී පොතක් කියවමින් ඉන්නකොට විදුලි ආලෝකය ටික ටික අඩු වේගන ගියා. ඒත් එක්කම මගේ කාමරය හයියෙන් සෙලවෙන්න පටන්ගත්තා. හරියට විශාල යෝධයෙක් මුළු ගොඩනැඟිල්ලම සොලවනවා වගෙයි මට දැනුණේ. එකපාරටම උඩ තට්ටුවේ තියෙන දේවල් කඩාගෙන වැටෙනවා වගේ ශබ්දයක් ඇසුණා. සිවිලිම කඩාගෙන වැටෙයිදෝ කියා මට බයක් දැනුණු හින්දා මම මේසය යටට රිංගගත්තා. කොච්චර වේලාවක් ඒ විදිහට හිටියද කියලා මම දන්නේ නෑ.”තායිවානයේ වෙසෙන පත්‍රකලාවේදියෙක්.

භූමිකම්පාව. මේ වචනය ඇසෙන විට පවා බයක් දැනෙනවා. විශාල හානි ඇති කළ භූමිකම්පා ගැන මෑතකදී ඔබ නිතර නිතර අසන්න ඇති. අමෙරිකා එක්සත් ජනපදය මගින් කරන ලද භූ විද්‍යාත්මක සමීක්ෂණයකට අනුව, වසරකට සාමාන්‍යයෙන් වාර්තා වන විශාල භූමිකම්පා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් 1999දී සිදු වූ බවත්, මරණ සංඛ්‍යාවද සාමාන්‍යයට වඩා දෙගුණයකින් වැඩි වී තිබූ බවත් වාර්තා වේ.

වර්ෂ 1999දී සිදු වූ විශාලතම භූමිකම්පාව වාර්තා වන්නේ තායිවානයෙන්. තායිවානය පිහිටා තිබෙන්නේ පෘථිවි කබොලේ ප්‍රධාන මහද්වීපක තල දෙකක් එක් වන තැනයි. තායිවානය පිහිටා තිබෙන පෘථිවි කබොලේ විභේද රේඛා 51ක් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. මේ නිසා සෑම වසරකම භූ චලන 15,000ක් පමණ තායිවානයෙන් වාර්තා වීම ගැන පුදුම විය යුතු නැහැ. මේවායින් වැඩිහරියක් මිනිසුන්ට නොදැනෙන තරම් ඉතා කුඩා ඒවායි.

එහෙත් 1999 සැප්තැම්බර් 21වනදා පෙ.ව. 1:47ට සිදු වුණේ ඒ වගේ දෙයක් නොවෙයි. මෙම භූමිකම්පාව මුළු තායිවානයටම මොනතරම් දැඩි ලෙස බලපෑවාද කියනවා නම්, එරට ජනාධිපති ලී ඩෙන්-හ්වෙයි එය හැඳින්වූයේ “සියවසක් තුළ දිවයිනේ සිදු වූ දරුණුතම විපත” හැටියටයි. එය පැවතියේ තත්පර 30ක් වැනි කෙටි කාලයක් වුවත්, රික්ටර් මාපකයේ අගය 7.6ක් ලෙස වාර්තා වුණා. a මෙම භූමිකම්පාවෙන් ඇති වූ කම්පනය බලපෑවේ පොළෝ මට්ටමෙන් කිලෝමීටරයක් යටට විහිදෙන තෙක් පමණයි. මේ නිසා පොළොව මතු පිට සිදු වූ හානිය විශාලයි. “මම නිදාගෙන හිටිය කාමරය හයියෙන් සෙලවුණ හින්දා මට ඇහැරුණා” කියා භූමිකම්පාවට ලක් වූ ප්‍රදේශයේ මැද කොටසේ ජීවත් වන ල්‍යූ ස්‍යූ ස්‍යා පැවසුවා. “ගෙදර තිබුණු බඩු බිම වැටෙන්න පටන්ගත්තා. සිවිලිමේ සවි කර තිබුණු විදුලි බුබුළුත් කඩාගෙන වැටුණා. බිම වැටී තිබුණු දේවල් හා වීදුරු කෑලි දොර ළඟ ගොඩගැහිල තිබුණු හින්දා මට එළියට එන්න බැරි වුණා” කියා ඇය තවදුරටත් පැවසුවා. නිදාගෙන සිටි හවාන් ෂූහොං භූමිකම්පාව නිසා ඇඳෙන් විසි වුණා. ඇගේ අද්දැකීම වෙනස් එකක්. “එකපාරටම ලයිට් ගිය හින්දා මුළු ගේම අන්ධකාර වුණා” කියා ඇය පවසනවා. “මම කොහොමහරි අමාරුවෙන් එළියට ඇවිත් එළිය වැටෙනකම් අසල්වාසීන් එක්ක පාරට වෙලා හිටියා. පොළොව නැවතෙන්නෙ නැතුවම සෙලවුණා.”

ජීවිත බේරාගැනීම සඳහා දැරූ වෑයම්

එළිය වැටෙද්දී භූමිකම්පාවෙන් සිදු වුණ හානිය හොඳින් දැකබලා ගත හැකි වුණා. විශාල තට්ටු ගොඩනැඟිලි ඇතුළු කුඩා ගෙවල් 12,000ක් බිමටම සමතලා වෙලා තිබුණා. මේ මහත් විපත ගැන ආරංචි වීමත් සමඟම ජීවිත ගළවාගැනීම ගැන විශේෂ පුහුණුවක් ලබා තිබෙන අය රටවල් 23කින් පැමිණ තායිවානයේ ස්වේච්ඡා සේවකයන්ට උපකාර කළා. අනතුරට පත් වූ බොහෝදෙනෙක් සුන්බුන් අතර සිර වී සිටියා.

තායිවානයේ ජීවිත ගළවාගැනීමේ වැඩයේ හවුල් වූ අයව පුදුමයට පත් කළ අද්දැකීම් කිහිපයක් තිබුණා. සාමාන්‍යයෙන් විපතකින් පසුව සුන්බුන් අතර සිර වී සිටින අයව පැය 72ක් ඇතුළත බේරාගත යුතුයි. නමුත් මේ අවස්ථාවේදී පැය 87කට පසුවත් සුන්බුන් අතර සිර වී සිටිය හය-හැවිරිදි පිරිමි ළමයෙක්ව බේරගත්තා. තායිපේ නුවර සහන සේවකයන් විශාල උපකරණයක් යොදාගනිමින් තට්ටු 12කින් යුත් ගොඩනැඟිල්ලක සුන්බුන් ඉවත් කරමින් සිටින විට එකපාරටම සුන්බුන් අතරින් තරුණයෙක් මතු වුණා. ඔහුත් ඔහුගේ අයියාත් දවස් පහක් තිස්සේ සුන්බුන් අතර සිර වී සිටියත් මේ දරුණු විපතේදී ඔවුන් දෙදෙනාගේම දිවි ගැළවුණා.

එහෙත් හැමකෙනාවම බේරගන්න බැරිවීම කනගාටුවට කරුණක්. ජීවිත බේරාගැනීමේ වැඩයේ හවුල් වූ සමහර අය දුක්මුසු තත්වයන්වලට මුහුණ දුන්නා. එක් ජීවිත බේරාගැනීමේ කණ්ඩායමක නායකයෙක් මෙසේ ශෝකයෙන් පැවසුවා. “කුඩා දරුවෙක් පැය අටක් තිස්සේ අඬනවා අපිට ඇහුණා. ඊට පස්සේ ඒ ළමයගේ ඇඬීම නතර වුණා.” තායිවානයේ සිදු වූ මේ භූමිකම්පාවෙන් 2,300දෙනෙක් මියගිය අතර, 8,500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

භූමිකම්පාවෙන් පසු

භූමිකම්පාව නිසා උන්හිටි තැන් අහිමි වූ සියදහස් ගණනකට නවාතැන් සැපයීම සඳහා විශාල වැඩපිළිවෙළක් දියත් කළා. මුලදී, මේ අය ගොඩනැඟිල්ලක් ඇතුළේ ජීවත් වෙන්න කැමැත්තක් දැක්වූයේ නැහැ. භූමිකම්පාවෙන් පසු ගත වූ දවස් දහය ඇතුළත කුඩා භූ කම්පන 10,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණ නිසා ඔවුන් මෙසේ අකමැති වීම ගැන පුදුම විය යුතු නැහැ. එක් භූ කම්පනයක් සිදු වූ අවස්ථාවේදී රික්ටර් මාපකයේ අගය 6.8ක් ලෙස වාර්තා වුණා. ඒ වන විටත් අබලන් වී තිබූ ගොඩනැඟිලි කිහිපයක්ම එයින් විනාශ වී ගොස් තිබුණා.

කොහොමවුණත් සහන සේවා නතර වුණේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ම විපතට පත්වූවන්ට සහන සැපයීම සඳහා ඔවුන්ගේ කාලය හා හැකියාවන් යෙදෙව්වා. සහන සේවා සැපයූ කණ්ඩායම් අතර චී ජී නමැති බෞද්ධ කණ්ඩායම, ගිනි නිවන කණ්ඩායම් හා වෙනත් රටවලින් පැමිණි සහන සේවකයන්ද සිටියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද විපතට පත්වූවන්ට සහන සැපයීමේ වැඩවලට හවුල් වුණා. ගලාති 6:10හි සඳහන් බයිබල් උපදේශයට අනුව ඔවුන්ට මූලික පරමාර්ථ දෙකක් තිබුණා. මුලින්ම ඔවුන්ට වුවමනා කළේ තමන්ගේ ඇදහිල්ලට අයිතිවූවන්ට උපකාර කිරීමයි. දෙවනුව ඔවුන්ගේ ඇදහිල්ලට අයිති නැති අය ඇතුළුව සියලුදෙනාටම යහපත්කම් කිරීමයි.

මුල් දවස අවසාන වන විට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආහාර, ජලය, කූඩාරම් හා එළිමහනේ ආහාර පිසගත හැකි උපකරණ ප්‍රවාහණය කර තිබුණා. දුරකථන සියල්ලක්ම ඇණහිට තිබුණු නිසා විපතට පත් ප්‍රදේශයේ සභා හයක සිටි වැඩිමහල්ලන් එකතු වී සෙසු සාක්ෂිකරුවන්ව හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු බයිබලය පාඩම් කරමින් සිටි හා උනන්දුව දැක්වූ අයව සෙව්වා. නිවාස අහිමි වූ සාක්ෂිකරුවන්ට එක කඳවුරකට එක්රැස් වෙන්න කියා පැවසුවා. මේ නිසා සියලුදෙනාවම හොඳින් බලාගන්නත් පහසුවෙන්ම ඔවුන්ව හමුවීමටත් හැකි වුණා. සංචාරක අවේක්ෂකයන් හා තායිවානයේ ශාඛා කමිටුවේ සාමාජිකයන් විපතට පත් ප්‍රදේශවල සිටි සෑම කණ්ඩායමක්ම හා සභාවක්ම බැහැදැකීමට ගොස් සෑමකෙනෙක්වම දිරිමත් කළා.

ඊළඟට තිබූ වැඩය වුණේ හානියට පත් නිවාස හා රාජ්‍යශාලා අලුත්වැඩියා කිරීමයි. සෑම සභාවක්ම උපකාර අවශ්‍ය කරන අයගේ ලැයිස්තුවක් පිළියෙළ කළා. අනතුරුව, ප්‍රාදේශීය ඉදි කිරීම් කමිටුවේ මඟපෙන්වීම යටතේ අවශ්‍ය අලුත්වැඩියා කිරීම් සඳහා ස්වේච්ඡා සේවක කණ්ඩායම් යැව්වා. භූමිකම්පාව සිදු වී මාසයක් ඇතුළත වැඩ සියල්ලම සම්පූර්ණ කළා.

සාක්ෂිකරුවන් නොවන තම අසල්වැසියන්ටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් උපකාර කළා. උදාහරණයක් හැටියට, සාක්ෂිකරුවන් රෝහල්වල හා කඳවුරුවල සිටි අයව බැහැදැකීම ඔවුන්ට සැනසිල්ල ගෙන දුන්නා. ඒ වගේම ඔවුන් 1996 ඔක්තෝබර් 8 පිබිදෙව්! සඟරාවේ පළ වූ “ස්වාභාවික විපත්ති—සාර්ථකව කටයුතු කිරීමට ඔබේ දරුවාට උපකාර කිරීම” නමැති ලිපියේ පිටපත්ද බෙදාහැරියා. මේ තොරතුරු තමන්ට ලබා දීම ගැන හුඟදෙනෙක් සාක්ෂිකරුවන්ට ස්තුති කළ අතර, විගස එම සඟරා කියවන්න පටන්ගත්තා. පාරවල් අලුත්වැඩියා කිරීමත් සමඟම යෙහෝවාගේ සාක්ෂිකරුවන් භූමිකම්පාවෙන් දැඩි ලෙස හානියට පත් නගරයෙන් ඈත පිහිටි කඳුකර ප්‍රදේශවලට සහනාධාර ලොරි ගණනක් යැව්වා.

අපි ජීවත් වෙන්නේ අද පවතින ක්‍රමයේ අන්තිම දවස්වල බව තහවුරු කරමින් “නොයෙක් තැන්වල . . . පොළෝකම්පා” සිදු වෙනවා. (මතෙව් 24:7) මේ ගැන බොහෝ කලකට පෙර පවසා තිබෙන බව බයිබලය පාඩම් කරන අය තේරුම්ගෙන සිටිනවා. එහෙත් වැඩි කල් නොගොස් දේවරාජ්‍යයේ සාමකාමී පාලනය යටතේදී මිනිසුන් ස්වාභාවික විපත් නිසා බියෙන් වෙළී නොසිටින බවට බයිබලය සහතික ලෙස පොරොන්දු වෙනවා. ඒ කාලයේදී පොළොව සැබෑ පාරාදීසයක් වෙන්න යනවා.—යෙසායා 65:17, 21, 23; ලූක් 23:43.

[පාදසටහන]

a මීට වෙනස්ව, 1999 අගෝස්තු මාසයේදී තුර්කියේ හටගත් දරුණු භූමිකම්පාවේ අගය 7.4ක් ලෙස වාර්තා වුවත්, එහි සිදු වූ මරණ සංඛ්‍යාව තායිවානයේ හටගත් භූමිකම්පාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා හත් ගුණයකින් වැඩියි.

[30වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් කඳවුරුවල නතර වී සිටි කාලයේදී ඔවුන්ගේ රැස්වීම් පැවැත්වුවා

[31වන පිටුවේ පින්තූර]

භූමිකම්පාව නිසා මාර්ග බොහොමයක් විනාශ වුණා

[හිමිකම් විස්තර]

San Hong R-C Picture Company

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

San Hong R-C Picture Company

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

2, 29-31 යන පිටුවල භූචලන රේඛා: රූප සටහන Berkeley Seismological Laboratory අනුග්‍රහයෙනි