Skip to content

පටුනට යන්න

ලිංගික හිරිහැරවලට ලක් වුණොත් මම මොකද කරන්නේ?

ලිංගික හිරිහැරවලට ලක් වුණොත් මම මොකද කරන්නේ?

යෞවන අය අසති . . .

ලිංගික හිරිහැරවලට ලක් වුණොත් මම මොකද කරන්නේ?

“පිරිමි ළමයි කැත විදිහට විසිල් ගහනවා.”—කාර්ලා, අයර්ලන්තයෙන්.

“ගැහැනු ළමයි නිතරම මට කෝල් කරනවා. ඒගොල්ලන්ට ඕනෙ මාව වැරැද්දට පොලඹවගන්න.”—ජේසන්, එක්සත් ජනපදයෙන්.

“එයාගේ වැඩේම මගේ අතින් අල්ලන එකයි.”—යුකිකෝ, ජපානයෙන්.

“ගැහැනු ළමයි මහ ජරා කතා කියනවා.”—ඇලෙක්සැන්ඩර්, අයර්ලන්තයෙන්.

“ස්කූල් බස් එකේ යන පිරිමි ළමයෙක් මට එක එක දේවල් කියලා කෑගැහැව්වා. එයාට ඕන වුණේ මට හිරිහැර කරන්න මිසක් මාත් එක්ක යාළු වෙන්න නෙමෙයි.”—රෝස්ලීන්, එක්සත් ජනපදයෙන්.

කාමුක බැල්ම, නොමනා වර්ණනාව, අසභ්‍ය විහිළු, හැඟීම් අවුස්සන ආකාරයෙන් ශරීරය ස්පර්ශ කිරීම වැනි දේවලට කිසිදු කැමැත්තක් නොමැතිව නිතර නිතර ගොදුරු වීම ලිංගික හිරිහැර ලෙස හැඳින්විය හැකියි. ලොව පුරා සිදු වන ලිංගික හිරිහැර පිළිබඳ සංඛ්‍යාලේඛන සොයාගැනීම දුෂ්කර වුවත්, එක් සමීක්ෂණයක් පෙන්නුම් කරන්නේ අමෙරිකාවේ පාසැල් වියේ සිටින යෞවනයන් වැඩි වශයෙන් මෙයට ගොදුරු වන බවයි.

ආචාර්ය වික්ටෝරියා ෂෝ, ලිංගික හිරිහැර සහ ස්ත්‍රී පුරුෂ අගතිය සමඟ කටයුතු කිරීම (ඉංග්‍රීසියෙන්) නමැති තම ග්‍රන්ථයේ, ලිංගික හිරිහැර යනු කුමක්දැයි නිර්වචනය කළේ මෙසේය. “එය කාමුක ආකාරයෙන් කෙනෙකුට හිරිහැර කිරීමකි . . . එනම් ශාරීරිකව (කාමුක ලෙස කෙනෙකුව ස්පර්ශ කිරීම) වාචිකව (කෙනෙකුගේ පෙනුම පිළිබඳ නින්දිත කියමන්) හෝ යමක් නොපවසා අභිනයෙන් කරන හිරිහැරයකි.” යම් අවස්ථාවල හිරිහැර කිරීම්වලට නොමනා යෝජනා කිරීම් පවා ඇතුළත් විය හැක.

බොහෝදෙනෙක් හිරිහැරවලට ලක් වී ඇත්තේ පාසැලේ සිටින සම වයසේ මිතුරන්ගෙන්ය. එහෙත් සමහර අවස්ථාවලදී ගුරුවරුන් වැනි වැඩිහිටියන්ගෙන්ද එවැනි පීඩන එල්ල වී තිබේ. ලිංගිකව හිරිහැර කරන ගුරුවරුන්ගෙන් දඬුවම් විඳින්නේ ඉතා සුළු පිරිසක් පමණයි කියා රෙඩ්බුක් නමැති සඟරාවේ එක් ලිපියක ප්‍රකාශ කෙරිණ.

බයිබල් කාලය තරම් ඈත අතීතයේදී පවා ස්ත්‍රීන් සහ පුරුෂයන් එවන් හිරිහැරවලට ලක් විය. (උත්පත්ති 39:7; රූත් 2:8, 9, 15) එමෙන්ම “අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි. ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, අහංකාර, ආඩම්බර; අශිෂ්ට, . . . අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති” වනු ඇතැයි කියා බයිබලයේ අනතුරු අඟවා තිබේ. (2 තිමෝති 3:1-3, නව අනුවාදය) එමනිසා ඔබත් යම් ආකාරයක ලිංගික හිරිහැරවලට ගොදුරු වීමට ඉඩ ඇත.

දෙවිගේ දෘෂ්ටිය

ඇත්තෙන්ම, එවැනි ලිංගික හිරිහැරවලට මුහුණ දෙන විට එය එතරම් කලබල වීමට හේතුවක් කියා සෑම යෞවනයෙකුම සිතන්නේ නැත. සමහරක් අය එය හුදු විනෝදය තකා පවසන යමක් හෝ ක්‍රියාවක් ලෙස සිතා නොසලකා හරිති. එක්සත් ජනපදයේ සමීක්ෂණයක් හෙළි කරන ආකාරයට ලිංගික හිරිහැරවලට ගොදුරු වන අයගෙන් සියයට 75දෙනෙකු යම් ආකාරයකින් වෙනත් අයටද එවැනිම හිරිහැර කර ඇති බවට පිළිගෙන ඇත. සමහර වැඩිහිටියන් මෙම ගැටලුව බැරෑරුම් දෙයක් ලෙස නොතකා එය බොළඳකමට කරන යමක් ලෙස සැලකීම හේතුවෙන් තත්වය වඩාත් උග්‍ර වී තිබේ. නමුත් දෙවි මෙම තත්වය දෙස බලන්නේ කෙසේද?

දෙවිගේ වචනය වන බයිබලයෙහි සියලු ආකාර ලිංගික හිරිහැර හෙළා දැක ඇත. ලිංගික කාරණා සම්බන්ධයෙන් ඇති සීමාවන් ඉක්මවා ක්‍රියා කිරීමෙන් අන්‍යයන්ගේ ‘අයිතිය පැහැර නොගන්න’ කියා එහි අපට අවවාද කර ඇත. (1 තෙසලෝනික 4:3-8, NW) විශේෂයෙන්ම තරුණයන්ට අණ කර තිබෙන්නේ, “යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට” මෙන් සලකන ලෙසය. (1 තිමෝති 5:1, 2) ඊට අමතරව බයිබලයෙහි “නීච කවටකම්ද” හෙළා දැක ඇත. (එපීස 5:3, 4) එමනිසා, ඔබ හිරිහැරවලට ලක් වන විට ඉවසුම් නැතුව යෑම, කලකිරීමට පත්වීම, අවමන් කළායයි සිතීම සාධාරණයි!

මම මොනවාද කියන්නේ?

යම් කෙනෙකු ඔබට හිරිහැර කළා නම් ඔබ ප්‍රතික්‍රියා කරන්න යන්නේ කෙසේද? සමහර අවස්ථාවල සෘජුව එවැනි ක්‍රියාවක් ප්‍රතික්ෂේප නොකිරීම නිසා හිරිහැර කරන පුද්ගලයාව තව තවත් එවන් ක්‍රියාවලට පෙලඹවිය හැක. බයිබල් කාලයේ විසූ යෝසෙප්ට ඔහුගේ ස්වාමියාගේ භාර්යාව අයුතු යෝජනාවක් ගෙනා විට ඔහු ඇය නිකම්ම මඟහැර නොසිට තදින්ම ඇගේ දුරාචාර සිතුවිලි ප්‍රතික්ෂේප කළ බව බයිබලයෙහි අපට පවසයි. (උත්පත්ති 39:8, 9, 12) අදදිනත් හිරිහැරවලින් ආරක්ෂා විය හැකි හොඳම ක්‍රමය වන්නේ ස්ථිරව සහ සෘජුව කටයුතු කිරීමයි.

ඇත්තටම ඔබට කරදර කරන පුද්ගලයා ඔබව හිරිහැරයට පත් කිරීමේ අරමුණින් එසේ නොකරනවා වෙන්න පුළුවන. සමහරවිට එය ඔබේ අවධානය ඇදගැනීමට කරන ඉඟි බිඟි පෑමක් විය හැක. ඒ නිසා, ඔබ එවැනි දේ වැළැක්වීමට රළු ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඉතාමත් සන්සුන් ලෙස “මම කැමති නෑ ඒ වගේ කතාවලට” එහෙම නැත්නම් “කරුණාකරලා ඔයාගේ අත අහකට ගන්න,” “අපි මේ කතාව මෙතනින් නතර කරමු” කියා පවසන්න. නමුත් එක දෙයක් හොඳින් මතක තබාගන්න. එනම්, ඔබ කිව යුතු දේ පැහැදිලිව හා ස්ථිරව කිව යුතුයි. ඔබ පවසන දෙයට එකඟව කටයුතු කරන්න. යෞවන ඇන්ඩ්‍රියා මෙසේ පවසයි. “හොඳින් කිව්වාම එයාලට තේරුම්ගන්න බැරි නම් වහෙන්ඔරෝ නැතුව කියන්න ඕන දේ කෙළින්ම කියන්න.” ‘ඔය වැඩේ නවත්වන්න!’ කියා තදින්ම කියා සිටීමෙන් ගැටලුව විසඳාගත හැකියි.

එහෙත් තත්වය හොඳ අතට නොහැරේ නම්, එය තනියෙන් විසඳීමට තැත් නොකරන්න. ඒ ගැන ඔබේ දෙමාපියන් සමඟ හෝ වෙනත් මේරූ වැඩිහිටියෙකු සමඟ කතා කරන්න. උද්ගත වී ඇති තත්වය විසඳීමට ඔවුන්ට යම් ප්‍රායෝගික යෝජනා තිබෙන්න පුළුවන්. පාසැලේ නිලධාරීන්ට මෙය දැන්විය යුතුයි කියා ඔවුන් අවසානයේදී තීරණය කළ හැකියි. මෙවන් තීරණයක් යම් ආකාරයකට ඔබව අපහසුතාවකට පත් කළත් තවදුරටත් ඔබව හිරිහැරවලට ගොදුරු වීමෙන් වැළැක්වීමට එයට හැකියි.

හිරිහැරයන් වළක්වාගැනීම

හොඳම දේ හිරිහැරවලට හසු නොවී සිටීමයි. මෙය කළ හැක්කේ කෙසේද? ඇන්ඩ්‍රියා මෙසේ අවවාද කරයි. “කා ගැනවත් උනන්දුවක් තියෙනවා කියලා නිකමටවත් අඟවන්න එපා. අනිත් අය ඒක දැනගත්තොත් ලේසියෙන් අතහරින එකක් නෑ.” තවත් වැදගත් දෙයක් වන්නේ ඔබ අඳින ආකාරයයි. තරුණ මාරා මෙසේ පවසයි. “මම පරණ තාලෙට ඇඳුම් අඳින්නේ නෑ. හැබැයි මම මගේ ඇඟට අවධානය එන විදිහේ හිර වෙච්ච ඇඳුම් අඳින්නෙත් නෑ.” ඔබට යම් කෙනෙකු නොහොබිනා ආකාරයට යමක් පවසන විට එයට විරෝධය දක්වා, ඔවුන්ගේ ලිංගික හැඟීම් අවුස්සන ආකාරයට ඇඳුම් අඳිනවා නම් ඔබ දෙන්නේ හරි පණිවිඩයක් නොවෙයි. ඇඳුම් ඇඳීමේදී “විනීතව සහ සිහියෙන් යුක්තව” සිටින්න කියා බයිබලයෙහි නිර්දේශ කර ඇත.—1 තිමෝති 2:9, NW.

ඔබට අන් අයගෙන් ලැබෙන සැලකිලි සහ ගැරහුම්වලට ඔබ ආශ්‍රය කරන මිතුරන්ද හේතු විය හැක. (හිතෝපදේශ 13:20) රෝස්ලීන් මෙසේ පවසයි. “පිරිමි ළමයින්ගේ අවධානය ලබාගන්න කැමති සමහර ගැහැනු ළමයි ඉන්න කණ්ඩායමක් එක්ක ඔබ හිටියොත් පිරිමි ළමයි හිතන්නේ ඔබත් කණ්ඩායමේ ඉන්න අනිත් අය වගේ කියල.” කාර්ලාත් මේ සමාන අදහසක් දෙයි. “ඒ වගේ දේවල්වලට කැමති අය එක්ක ආශ්‍රය කරන කොට ඔයාලටත් ඉබේටම හිරිහැරවලට මුහුණ දෙන්න සිද්ද වෙයි.”

දුරාචාර හැසිරීමට ප්‍රසිද්ධව සිටි කානාන්හි තරුණියන් සමඟ ඇසුරු කළ දීනා නමැති යෞවනිය ගැන බයිබලයේ පවසයි. මෙම නරක ආශ්‍රය නිසා ඇය ලිංගික අතවරයකට ගොදුරු විය. (උත්පත්ති 34:1, 2) “ඒ නිසා නුඹලා ඥානය නැත්තන්මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට [බලාගන්න]” කියා බයිබලයේ අවවාද කරන්නේ හොඳ හේතු ඇතුවයි. (එපීස 5:15) ඔව්, ඔබ අඳින ආකාරය, ඔබ කතා කරන ආකාරය සහ ඔබ ආශ්‍රය කරන අය පිළිබඳව ‘ප්‍රවේසම්’ වීම මගින් හිරිහැර බොහෝ දුරට මඟහරවා ගත හැකියි.

ක්‍රිස්තියානි යෞවනයන්ට නම් හිරිහැරවලින් ආරක්ෂාව ලබාගත හැකි ප්‍රබලම ක්‍රමය වන්නේ අනිත් අයට ඔබේ ආගමික ස්ථාවරය දැනගැනීමට සැලැස්වීමයි. යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වන ටීමන් මෙසේ සිහි කරයි. “මම සාක්ෂිකාරයෙක් කියලා කට්ටිය දැනගත්තට පස්සේ බොහෝ දුරට හිරිහැර කරන එක නතර කළා.” ඇන්ඩ්‍රියා මෙසේ පවසයි. “ඔබ සාක්ෂිකරුවෙක් කියා ඔවුන්ට පැවසීම ඒ අය ඔබට සලකන ආකාරයේ වෙනසක් ඇති කරනවා. එයාලට වඩා ඔබ ගොඩක් පැතිවලින් වෙනස් කියලා තේරුම්ගන්නවා වගේම සදාචාර ප්‍රතිපත්ති ගැනත් ඒ අය දැනගන්න යනවා.”—මතෙව් 5:15, 16.

ඔබ හිරිහැරවලට ලක් වූ විට

ඔබ කොතරම් උත්සාහ දැරුවත් අශීලාචාර, නොහික්මුණු මිනිසුන්ගෙන් මුළුමනින්ම ඔබට ගැළවීමට නුපුළුවන. ඔබ හිරිහැරයකට ගොදුරු වූ විට ඒ අවස්ථාවේදී, ඔබ නියම ක්‍රිස්තියානියෙකු ලෙස හැසිරුණා නම් ඒ ගැන වරදසහගතබවේ හැඟීමක් ඇති කරගැනීමට කිසිම හේතුවක් නැත. (1 පේතෘස් 3:16, 17) නමුත් එම සිදුවීම ඔබේ මනසට වද දෙනවා නම් ඒ ගැන ඔබේ දෙමාපියන්ට හෝ ක්‍රිස්තියානි සභාවේ මේරූ කෙනෙකුට පවසන්න. හිරිහැරයකට ගොදුරු වූ පසු තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න අමාරුයි කියා රෝස්ලීන් පිළිගනියි. “හිතේ තියෙන දේ කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් හොඳයි” කියා ඇය පවසයි. නමුත් ‘යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටින’ බවද අමතක නොකළ යුතුයි.—ගීතාවලිය 145:18, 19.

හිරිහැර ඉදිරියේ ස්ථිරව සිටීම පහසු නැති වුණත් එසේ සිටීම ප්‍රතිඵලදායකයි. උදාහරණයකට තරුණ ෂූලම්මීය ස්ත්‍රිය පිළිබඳ බයිබලයෙහි ඇති වාර්තාව සලකා බලන්න. අදදින ලිංගික හිරිහැර ලෙස පෙනෙන්න තිබෙන දේවලට ඇය ගොදුරු නොවුණත් ධනයෙන් සහ බලයෙන් උසස් යූදාහි රජ වූ සාලමොන්ගෙන් පැමිණි තමන් අකමැති යෝජනාවකට මුහුණ දෙන්න ඇයට සිදු විය. ඇය වෙනත් තරුණයෙකු සමඟ ප්‍රේමයෙන් බැඳී සිටි නිසා ඈ එම යෝජනාව ප්‍රතික්ෂේප කළාය. ඇය තමන් ගැනම ආඩම්බරයෙන් මෙසේ පැවසුවාය. “මම පවුරක්ව සිටියෙමි”—සලමොන්ගේ ගීතිකාව 8:4, 10.

ඔබත් සදාචාරය සම්බන්ධයෙන් එම ස්ථාවරය සහ ධෛර්යය පෙන්වන්න. අකමැති යෝජනාවන් පැමිණෙන විට ‘පවුරක්’ මෙන් කටයුතු කරන්න. ඔබ වටා සිටින සියලුදෙනාට ඔබේ ක්‍රිස්තියානි ස්ථාවරය දැනගැනීමට සලස්වන්න. එසේ කිරීමෙන් ඔබට “නිදොස්ව, අහිංසකව” සහ දෙවිව සතුටු කළා යන විශ්වාසය ඇතුව සිටීමට හැකියි.—පිලිප්පි 2:14. a

[පාදසටහන]

a 1996 අගෝස්තු 8; 1995 අගෝස්තු 22 (ඉංග්‍රීසියෙන්); සහ 1991 මැයි 22 (ඉංග්‍රීසියෙන්) පිබිදෙව්! සඟරාවේ ලිපි තුළ ලිංගික හිරිහැර පිළිබඳ වැඩිමනත් උපදෙස් ලබාගත හැක.

[26වන පිටුවේ පින්තූරය]

ඔබේ ක්‍රිස්තියානි විශ්වාසයන් අනිත් අයට දැනගැනීමට සැලැස්වීම ආරක්ෂාවක් විය හැක

[26වන පිටුවේ පින්තූරය]

නුසුදුසු අයව ආශ්‍රය නොකිරීම මගින් හිරිහැර මඟහැරිය හැක