Skip to content

පටුනට යන්න

“වන වදුලේ සුන්දරයා”

“වන වදුලේ සුන්දරයා”

“වන වදුලේ සුන්දරයා”

ස්වීඩනයේ පිබිදෙව්! වාර්තාකරු විසින්

“වන වදුලේ සුන්දරයා” යන විරුදාවලිය ලත් ලැප්ලන්ඩ් යන නමින්ද හඳුන්වන අළු පැහැති දැවැන්ත බස්සාව, ජූනි මස එක්තරා දිනක පළමුවරට මගේ නෙත ගැටුණි.

ඉතාමත් සුන්දර වූ මෙම දැවැන්ත බස්සා තම වාසභූමිය කරගෙන ඇත්තේ ෆින්ලන්තයේ සමහර පෙදෙස් සහ ස්වීඩනයේ උතුරුකරයයි. ඒ වගේම සයිබීරියාවේ නැඟෙනහිරට ඔබ්බෙන් ඇති පෙදෙස්වල මෙන්ම ඇලස්කාව සහ කැනඩාවේද ඌ වාසය කරයි. මෙම සතා එළිමහනේ ගැවසීමට එතරම් කැමැත්තක් නොදක්වන නිසා උගේ කැදැල්ල ඇති ස්ථානය කොහෙද කියා ඔබ දන්නේ නැත්නම් උන්ව සොයාගැනීම මදක් දුෂ්කරයි. එහෙත් ඔබ මෙම බස්සාගේ කැදැල්ල සොයාගත් පසු ඌ කිසිම බියගුලුකමක් නොපෙන්වයි.

දඩයක්කරු දෙස බැලීම

ආහාර සොයා යන පිරිමි ලැප්ලන්ඩ් බස්සෙකුගේ හැසිරීම අධ්‍යයනය කිරීමට මට හැකියාවක් ලැබුණි. ඌ විගස අත්තකින් පියඹා ඇවිත් මීයෙකු ඩැහැගැනීමට උත්සාහ කරයි. උගේ උත්සාහය සාර්ථකයි! ඌට ගොදුරු වූ මීයාව උගේ නියපොතු අතරෙහි රඳවාගෙන අඟල් 50ක් පමණ දිගහැරෙන උගේ විශාල තටු විහිදාගෙන සෙමෙන් සෙමෙන් ඉහළට පියාඹන ආකාරය මට හොඳින් පෙනුණි.

වෙනත් බස්සන් වර්ග මෙන් ලැප්ලන්ඩ් බස්සා සෑම අවුරුද්දකදීම පැටවුන් බිහි නොකරයි. මෙම දැවැන්ත බස්සාගේ එකම ආහාරය ලෑටිගාන සතුන් නිසා සමහර වසරවලදී මෙම සතුන් හිඟ වන විට උන් පැටවුන් ඇති කිරීම මුළුමනින්ම නවතා දමයි. නමුත් ආහාර ඇති තරම් තිබෙන වසරවලදී නම් උන්ගේ එක කැදැල්ලක පුංචි පැටවුන් හතරදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් දක්නට ලැබේ.

සහකරුවෙකු තේරීම

වසන්තය බස්සන් යුග දිවියට එළඹෙන කාලයයි. සාමාන්‍යයෙන් ස්ත්‍රීන් තමන්ට සහකරුවෙකු සෙවීමේදී මූලිකවම කඩවසම් පෙනුමට තැන දුන්නත්, මෙම ගැහැනු ලැප්ලන්ඩ් බස්සන් නම් එසේ නොවෙයි. පක්ෂි නිරීක්ෂකයන්ගේ එක් අධ්‍යයනයකට අනුව මෙම ගැහැනු බස්සන් තම සහකරුගෙන් බලාපොරොත්තු වන එකම දෙය වන්නේ ඌ දක්ෂ දඩයම්කරුවෙකු බව පෙන්වීමයි. උන් පවුලක් වෙන්න සැලසුම් කිරීමට පෙර සිටම ඌ උගේ සහකාරියට සප්පායම් වීමට ඇති තරම් ආහාර ගෙනත් දිය යුතුයි.

මී ගොදුරු බහුලව තිබේ නම් පිරිමි බස්සා “දිවි රැකදෙන්නෙක්” ලෙස තම සහකාරියට ඇති තරම් ආහාර සපයයි. මේ නිසා ගැහැනු සතාගේ බර දිනෙන් දිනම වැඩි වේ. මෙලෙස වැඩි වන බර මගින් ගැහැනු බස්සාට කොතරම් බිත්තර ප්‍රමාණයක් නිපදවීමට හැකිදැයි කියා උගේ ශරීරයට දැනුම් දීමක් කරයි.

වෙහෙසකර කටයුත්තක් වන දඩයම් කිරීම, දැන් පිරිමි බස්සාගේ සම්පූර්ණ වගකීමයි. ගැහැනු බස්සා තම ශක්තිය බිත්තර නිපදවීමට සහ ඒවා රැකීමට යොදාගත් දා සිට ආහාර ඉල්ලා කරන යැදුම නිසා තම සහකාරියට ආහාර සැපයීමට ඌ නිතැතින්ම පෙලඹෙයි.

කැදැල්ල සොයාගැනීම

පිරිමි බස්සෙකු ගොදුර රැගෙන නිතර හිසට ඉහළින් පියාසර කරන ආකාරය මගේ දුරදක්නයෙන් මට හොඳින් දැකගත හැකි විය. අවසානයේදී උගේ කැදැල්ල තිබෙන තැන සොයාගැනීමට මට හැකියාවක් ලැබුණි. ලැප්ලන්ඩ් බස්සා තමුන්ටම කියා කිසිදා කැදැල්ලක් නොසාදයි. ඌ කැලේ ජීවත් වන වෙනත් පක්ෂීන් අතු රිකිලිවලින් තැනූ කැදලිවලින් එකක් උගේ නිවහන කරගනී. එවැනි කැදැල්ලක් සොයාගත නොහැකි වුවහොත් උන් ගස් බෙනයක් යොදාගනී.

කැදැල්ල තුළ සිටින සිනිඳු තටු ඇති පුංචි පැටවුන් දෙදෙනෙකු තම දෙනෙත් අයාගෙන තමන් වටා ඇති දේවල් දෙස බලමින් සිටින ආකාරය මම දුටුවෙමි. උන් තමන්ව රැකවල් කරමින් සිටින මව දෙසද බලමින් කෑමට යමක් ඉල්ලා කෑ ගසයි. මෙවැනි අවස්ථාවකදී පැටවුන් නිරීක්ෂණය කිරීමට උන් වෙත ප්‍රමාණය ඉක්මවා ළංවීම නම් නුවණට හුරු නැත. මන්ද තම පැටවුන්ට අනතුරක් සිදු වෙයි කියා ගැහැනු බස්සාට යන්තමින් හෝ ඉව වැටුණොත් හෙමින් සීරුවේ පියඹා ඇවිත් උගේ තියුණු නියවලින් ආගන්තුකයාට පහර දෙන නිසායි. එමනිසා බස්සන් නිරීක්ෂණය කිරීමේදී ප්‍රමාණවත් දුරකින් සිටීමට වගබලා ගන්න.

පෝෂණය කිරීම සහ පුහුණු කිරීම

ගොදුර රැගෙන කැදැල්ලට පියඹා එන පිරිමි බස්සා, උගේ නියෙහි රඳවාගෙන ඇති ගොදුර හොටින් ගෙන එහි සිටින පැටවෙකුට කවයි. එකෙකුට ගොදුර කවන විට අනෙකුන් තම පංගුව ලැබෙනකම් කෑගසයි.

මෙලෙස පෙළට සිට පෝෂණය වූ පැටවුන්ගේ හැසිරීම හාස්‍යජනකයි. ආහාර ගැනීමට පෙර තිබූ උගේ උද්‍යෝගිමත් පෙනුම විගස වෙනස් වී පැටවා මත් වූවෙකු සේ ක්‍රියා කරයි! උන්ගේ ශක්තිය ආහාර දිරවීමට යෙදවෙන නිසා, ආහාර ගත් පැටවා ගුලි වී එතැනම සිටියි. පසුව, ආහාරය ගත් අනුපිළිවෙලට එක එකා තම තමාගේ මත් ගතියෙන් නැවත ටිකෙන් ටික ක්‍රියාශීලී තත්වයට පත් වෙයි.

ජූනි මස මැදභාගය වන තෙක් දේවල් මෙයාකාරයට සිදු වේ. ඒ වන විට සති හතරක් වයසැති පැටවුන්ට තම මව බලවත් ලෙස හඬගැසීම නිසා කැදැල්ලෙන් තටු ගසමින් එළියට ඒමට උන්ට හැකියාවක් ලැබේ. මෙම පැටවුන් මුලදී ගස්වලට නඟින්නේ ඉමහත් දස්කම් පාමිනුයි. පොළොවේ සිටින සතුරන්ගෙන් එල්ල වන තර්ජනවලට වඩා ගස් උඩදී පැටවුන්ට එල්ල වන තර්ජන අල්පයි.

කාලයත් සමඟම පැටවුන් උන්ගේ තටු උපයෝගී කරගෙන අත්තෙන් අත්තට පනිමින් පියාඹන්න පුහුණු වෙයි. පසුව උන් තනිවම පියාඹන්න සහ දඩයම් කිරීමට පටන්ගනියි. මේ අතර උන්ගේ පෙනුමද ටිකෙන් ටික වෙනස් වෙයි. එවිට ඔවුන්වත් ‘වන වදුලේ සුන්දරයා’ ලෙස පහසුවෙන්ම හැඳින්විය හැක.

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Joe McDonald

© Michael S. Quinton

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Michael S. Quinton

© Michael S. Quinton