Skip to content

පටුනට යන්න

වසර පනහක් පුරා පිඟන් මැටි භාණ්ඩ පින්තාරු කරමින්

වසර පනහක් පුරා පිඟන් මැටි භාණ්ඩ පින්තාරු කරමින්

වසර පනහක් පුරා පිඟන් මැටි භාණ්ඩ පින්තාරු කරමින්

ඇල්ෆ්‍රඩ් ලිප්පට් පැවසූ පරිදි

අම්මාට ඕන වුණේ මම වඩුවෙක් වෙනවා දකින්නයි. නමුත් මගේ ගුරුතුමා අම්මාව උනන්දු කළේ ජර්මනියේ මීසන්වල, අපේ නිවස ළඟ තිබුණ පිඟන් මැටි කර්මාන්ත ශාලාවේ මට රැකියාවක් හොයලා දෙන්න කියලයි. මගේ ගුරුතුමා ඒකට ඒ තරම් උනන්දු වුණේ ඇයි? ඒ මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් කියලා එයා දැනගෙන හිටිය නිසයි. මම අම්මාට හරි ආදරෙයි. හැබැයි අම්මා එයාගේ කැමැත්ත පැත්තකට දාලා මගේ ගුරුතුමාගේ ඉල්ලීමට යටත් වුණ එක ගැන මම හුඟක් සතුටු වෙනවා. මට අවුරුදු 14ක් වුණාම, මම පිඟන් මැටි භාණ්ඩ පින්තාරු කිරීමේ කලාව ඉගෙනගන්න පටන්ගත්තා. ඇත්තෙන්ම, ලෝකේ අතින් හදන ලස්සනම පිඟන් මැටි භාණ්ඩ තියෙන්නේ මීසන්වලයි.

මීසන්වල අවුරුදු 300ක් පුරා පිඟන් මැටි භාණ්ඩ හදනවා. මෙහෙ තමයි යුරෝපයේ නියම පිඟන් මැටි නිපදවන්න පටන්ගත් මුල්ම කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ. ඒක පිහිටෙව්වේ 1710දීයි. ඊට අවුරුදු 30කට විතර පස්සේ, තරුණ තරුණියන්ට පිඟන් මැටි භාණ්ඩ පින්තාරු කිරීමේ කලාව ඉගැන්වීමේ අරමුණින් මෙම කර්මාන්ත ශාලාව මගින් පාසැලක් විවෘත කළා. ඒ පාසැල තවමත් පවත්වන අතර, ඒක දැන් මීසන් පිඟන් මැටි කර්මාන්ත ශාලාව යටතේ ක්‍රියාත්මක වෙනවා. මම මුල්ම වතාවට බයෙන් බයෙන් පිඟන් මැටි පින්තාරු කරන්න පටන්ගත්තේ මේ කර්මාන්ත ශාලාවේදීයි.

මේ පාසැලේදී මම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වීමට ඉගෙනගත්තා. මල්වල, ගස්වල, සතුන්ගේ හා කුරුල්ලන්ගේ රූප ඇඳීම හා ඒවා පින්තාරු කිරීම මගේ පාඨමාලාවට ඇතුළත් වුණා. ඇත්තෙන්ම, එහිදී ඉගෙනගත්ත දේවල් මට පසු කාලයකදී හුඟක් ප්‍රයෝජනවත් වුණා.

ඔපය ඇතුවද, ඔපය නැතුවද?

පිඟන් මැටිවලින් සෑදූ භාණ්ඩ විනිවිද පෙනුමක් ගන්නවා. ඒවා පින්තාරු කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් භාණ්ඩය ඔපනැංවීමට කලින් හා අනෙක භාණ්ඩය ඔපනැංවූ පසුවයි. ඔපනංවා නැති මැටි පහසුවෙන්ම තෙතමනය උරාගන්නා නිසා ඒ මත තීන්ත ගාපු ගමන්ම වේළෙනවා. ඒ නිසා මැටි භාණ්ඩයක් ඔපනැංවීමට කලින් පින්තාරු කරනවා නම්, ඒක සෑහෙන අවධානයක් දීලා කරන්න වෙනවා. මොකද වැරැද්දක් සිද්ධ වුණොත් ඒක හරිගස්සන්න හරිම අමාරුයි. ඔපනැංවීමෙන් පස්සේ පින්තාරු කරන එක නම් ඒ තරම් අමාරු නැහැ. මම විශේෂ කැමැත්තක් දැක්වූයේ ඔපය නැංවූ භාණ්ඩවල මල් පින්තාරු කරන්නයි. මම මල් පින්තාරු කළා විතරක් නෙවෙයි, සෑම භාණ්ඩයකටම ගැළපෙන මෝස්තරත් නිර්මාණය කළා. ඒ නිසා මගේ අවධානය වෙනතකට යොමු වෙන්න ඉඩ නොදී, මගේ නිර්මාණාත්මක හැකියාවන් දියුණු කරගෙන ලස්සන මෝස්තර නිර්මාණය කරන්න මම ඉගෙනගත්තා.

අවුරුදු කිහිපයක්ම මල් පින්තාරු කිරීමෙන් පස්සේ, මම අමාරුම වර්ගයේ රූප පින්තාරු කරන්න පටන්ගත්තා. ඒ තමයි සත්ව රූප. කලින් සතුන්ගේ හා කුරුල්ලන්ගේ රූප අඳින්න පුරුදු වෙලා තිබුණු එක මට ඒකට හුඟක් ප්‍රයෝජනවත් වුණා.

අභියෝගයක් වුවත් සිත්ගන්නාසුලුයි

සතුන්ගේ, කුරුල්ලන්ගේ හා මාළුන්ගේ රූප පින්තාරු කිරීම හරිම අමාරු වැඩක්. උන් හරියට පණ පිටින් ඉන්නවා වගේ අඳින්න ඕනේ හින්දා මල්, ගස් පින්තාරු කරනවාට වඩා ඒක හුඟක් වෙනස්. සතාව අඳින්න කලින් උගේ සැකැස්ම ගැනත්, හැසිරීම ගැනත් යමක් ඉගෙනගන්නත් ඕනේ. මේක අභියෝගයක් වුණත් ඇත්තෙන්ම සිත්ගන්නාසුලුයි. මම දඩයමට ලක් වන සතුන්වත් මෝස්තරයට නඟලා තියෙනවා. ඒ වගේ මෝස්තරවල විශාල අං තියෙන මුවන්ගේ රූපත් පින්තාරු කරලා තියෙනවා.

සතුන් ගැන ඉගෙනගන්න තියෙන හොඳම ක්‍රමය තමයි උන්ව හොඳින් නිරීක්ෂණය කිරීම. මීට ටික කාලයකට ඉස්සෙල්ලා මම මාළුන්ව මෝස්තරයට නඟන්න තීරණය කළා. ඉතිං මේ හින්දා මම ගෙදර මාළු ඇති කරන්න පටන්ගත්තා. මමයි, මගේ භාර්යාවයි මාළු ටැංකිය ළඟට වෙලා පැය ගානක් උන් දිහා බලාගෙන ඉඳලා තියෙනවා. උන්ගේ ගමන හා හැසිරීම ගැන හොඳ අවබෝධයක් ලබාගත්තාට පස්සේ තමයි මම උන්ව චිත්‍රයට නඟන්න පටන්ගත්තේ.

හොඳ චිත්‍ර ශිල්පියෙක් වීමේ රහස

හොඳ චිත්‍ර ශිල්පියෙක් වීමේ රහස මොකක්ද කියලා මගේ යාළුවන් මගෙන් අහනවා. ඒකට කලාත්මක නැඹුරුවාවක් වගේම දක්ෂතාවකුත් තියෙන්න ඕනේ. තියුණු ඇස් දෙකක් තියෙන්නත් ඕනේ. ඒ වගේම භාණ්ඩය තදින් අල්ලගෙන බය නැතුව පින්තාරු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. නමුත් තවත් වැදගත් දෙයක් තියෙනවා. සාර්ථක වෙන්න නම්, චිත්‍ර ශිල්පියා තමා ගැන, තමාගේ වැඩ ගැන, ඒ වගේම අනිත් අය ගැන හරි ආකල්පයක් ඇතුව සිටින්නත් අවශ්‍යයි. හොඳ පින්තාරුකරුවෙක් දන්නවා තමාගේ කුසලතාවලින් නිතරම ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඒවා මොට වෙලා යන්න පුළුවන් කියලා. එයා අනිත් අය කියන දේවල්වලටත් ඇහුම්කන් දෙන්න සූදානමින් ඉන්න නිසා නිතරම අලුත් දේවල් ඉගෙනගන්නවා.

තවත් එක කාරණයක් කියන්න තියෙනවා. අද්දැකීම් ලත් චිත්‍ර ශිල්පියෙක් නිතරම පාරිභෝගිකයාගේ ඉල්ලීම් සැලකිල්ලට ගන්නවා. අතින් හදන පිඟන් මැටි භාණ්ඩ මිල දී ගන්න අය කැමති නැහැ නිකම්ම ටික කාලයක් තියාගෙන ඉඳලා පස්සේ අහක දමන භාණ්ඩයක් ගන්න. ඒගොල්ලන් කැමති සංස්කෘතික අතින් යම් වටිනාකමක් තියෙන කලාත්මක දෙයක් ගන්නයි. ඒක ඒගොල්ලන්ගේ හිතට අල්ලන භාණ්ඩයක් වෙන්නත් ඕනේ. ඒ හින්දා පාරිභෝගිකයාව සතුටට පත් කරන එක චිත්‍ර ශිල්පියාගේ ප්‍රධාන ඉලක්කය විය යුතුයි.

පින්තාරු කිරීම හා දෙවි ගැන විශ්වාසය

පින්තාරුකරුවෙක් හැටියට මට බයිබලය ගැන වඩා උනන්දු වෙන්නත් දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගන්නත් පුළුවන් වුණා. එහෙම කරන්න පුළුවන් වුණේ මම කාලයක් කුරුලු විද්‍යාඥයන් එක්ක වැඩ කරපු නිසයි. මම ඒගොල්ලන් ලියපු පොත්වලට අවශ්‍ය චිත්‍ර ඇඳලා දුන්නා. ඒ කාලයේදී මට විද්‍යාඥයන් කිහිපදෙනෙක් එක්කම කතා කරන්න ලැබුණා. අපි සමහර අවස්ථාවලදී ජීවිතයේ මූලාරම්භය ගැන කතා කළා. මම ඒ වෙනකම්ම විශ්වාස කළේ ජීවිතය ආරම්භ වුණේ පරිණාමයෙන් කියලා. නමුත් ඒගොල්ලන් එක්ක කතා කරන්න කරන්න මගේ අදහස් ටික ටික වෙනස් වෙන්න පටන්ගත්තා.

ඒ හැම විද්‍යාඥයෙක්ම පරිණාමය විශ්වාස කළත්, ඒගොල්ලන්ට කවදාවත් ඒ ගැන එකඟතාවකට එන්න බැරි වුණා. ඒ හැම කෙනෙක්ම එක එක මත ඉදිරිපත් කළත්, ඒ හැම එකක්ම එකිනෙකට පටහැනි ඒවා වුණා. මට ඒකෙන් තේරුණේ පරිණාමය ගැන එක සම්මත මතයක් නැති බවයි. පරිණාමය සිද්ධ වුණේ කොහොමද කියලා විද්‍යාඥයන්ට හරියට පැහැදිලි කරන්න බැරි නම් අපි වගේ අයට ඒක කරන්න පුළුවන්ද කියලා මම කල්පනා කළා. මේ නිසා මගේ අදහස් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න පටන්ගත්තා. පරිණාමය ගැන මගේ හිතේ තිබුණ විශ්වාසය එහෙම්මම නැති වෙලා ගියා. ඉතිං ජීවිතය ආවේ පරිණාමයෙන් නෙවෙයි නම්, ඒක ආවේ මැවීමෙන් වෙන්න ඇති කියලා මම තර්ක කළා. මම මැවුම්කරුවෙක් ගැන විශ්වාස කරන්න පටන්ගත්තේ එතකොටයි.

අනුන්ව තෘප්තියට පත් කරන්න පුළුවන් වෙන එක ගැන මම හුඟක් සතුටු වෙනවා. මම හිතන්නේ නැහැ පිඟන් මැටි පින්තාරු කිරීමෙන් මම ලබන ආස්වාදය කවදාවත් නැති වෙලා යයි කියලා.

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පිටු 16 හා 17 ඇති පින්තූරු: Mit freundlicher Genehmigung der Staatlichen Porzellan-Manufaktur Meissen GmbH