Skip to content

පටුනට යන්න

අරුම පුදුම විශ්වය—අහම්බෙන් බිහි වීද?

අරුම පුදුම විශ්වය—අහම්බෙන් බිහි වීද?

අරුම පුදුම විශ්වය—අහම්බෙන් බිහි වීද?

‘විශ්වය ඇති වෙලා තියෙන්නේ අහම්බෙන්’ කියා බොහෝදෙනෙක් පවසති. වෙනත් අය, විශේෂයෙන්ම ආගමට දහමට ලැදි බොහෝ අය එම අදහසට සිය විරෝධය පළ කරති. තවත් සමහරු ඒ කල්පනා දෙක අතර හිර වී සිටිති. මේ ගැන ඔබේ විශ්වාසය කුමක්ද?

ඔබ කවර මතයක් දැරුවද, විශ්වය අරුමයක් බව පිළිගන්නවාට කිසිම සැකයක් නැත. එහි ඇති මන්දාකිනි සලකා බලන්න. දැනට නිරීක්ෂණය කළ හැකි විශ්වයේ මන්දාකිනි බිලියන සියයක් පමණ ඇතැයි ගණන් බලා ඇත. සෑම මන්දාකිනියක්ම ආසන්න වශයෙන් තරු බිලියනයත්, තරු ට්‍රිලියනයකට අධික සංඛ්‍යාවත් අතර ප්‍රමාණයකින් යුත් තාරකා මණ්ඩල වේ.

මන්දාකිනි පොකුරු වශයෙන්ද පවතී. ඉන් අදහස් කරන්නේ මන්දාකිනි කිහිපයක්ම ඇතැම්විට දහස් ගණනක්ම මිදි පොකුරක් සේ පිහිටීමය. නිදසුනකට, ක්ෂීර පථය අසලින්ම පිහිටි ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිනිය, ක්ෂීර පථයේ නිවුන් සොහොයුරිය ලෙස හඳුන්වා තිබේ. දැවැන්ත වූ මෙම තාරකා මණ්ඩල දෙක එකිනෙකට බැඳ තබන්නේ ගුරුත්වයයි. අසල්වාසි මන්දාකිනි කිහිපයක් සමඟ මේවා එක පොකුරක් සේ පිහිටයි.

විශ්වය මන්දාකිනි පොකුරු අසංඛ්‍යාතයකින් සෑදී ඇත. ඇතැම් පොකුරු ගුරුත්වය නිසා තවත් පොකුරුවලට බැඳී පවතින අතර, ඒ හේතුවෙන් සුපිරි පොකුරු සෑදෙයි. එනමුත් සුපිරි පොකුරු ගුරුත්වයේ බලය අබිබවා යයි. එනම් ඒවා එකිනෙකින් ඈත් වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ. වෙනත් වචනවලින් කියනවා නම්, විශ්වය ප්‍රසාරණය වෙමින් පවතී. මෙම පුදුම දනවන සොයාගැනීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද? විශ්වයට ආරම්භයක් තිබූ බවත්, එහිදී විශ්වය දැන් පවතින තත්වයට වඩා ප්‍රමාණයෙන් කුඩාව මෙන්ම වැඩි ඝනත්වයකින් යුක්තව පැවති බවත්ය. විශ්වයේ උපත සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මහ පිපිරුම් මතය ලෙසිනි.

විශ්වය බිහි වූයේ කෙසේද කියා මිනිසාට කෙදිනක හෝ සොයාගත හැකි වේද යන්න පිළිබඳව ඇතැම් විද්‍යාඥයෝ සැක පහළ කරති. අනික් අතට කිසිම බුද්ධිමත් හේතුවක් නොමැතිව විශ්වය බිහි වූ ආකාරය සම්බන්ධයෙන් තවත් අය විවිධ මත ඉදිරිපත් කරති. “විශ්වය බිහි වූයේ කෙසේද?” යන විෂය සයන්ටිෆික් අමෙරිකන් නමැති ජර්නලයේ 1999 ජනවාරි කලාපයෙහි සාකච්ඡා කෙරිණ. මෙහිදී විද්‍යාඥයන් ඉදිරිපත් කර ඇති ඇතැම් මතවල තිබූ අඩු පාඩු දැන් සොයාගෙන ඇත. “අවාසනාවකට මෙන්, මෙම මතයන් පරීක්ෂණ මගින් ඔප්පු කිරීම තාරකා ශාස්ත්‍රඥයන්ට ඉතා අසීරු කාර්යයක්” වන බව එම සඟරාවෙහිම පැවසේ.

විශ්වය අහම්බෙන් බිහි වූ බවට තිබෙන මතය පිළිගැනීමට නම්, “වාසනාවන්ත අහඹු සිදුවීම්” ලෙස විද්‍යාඥයන් විස්තර කරන සිදුවීම් රැසක්ම සිදු විය යුතුය. මීට නිදසුනක් සලකා බලමු. විශ්වය සෑදී ඇත්තේ සරලතම පරමාණු වන හයිඩ්‍රජන් සහ හීලියම් රාශියකිනි. කෙසේවෙතත්, ජීවය පවත්වාගැනීමට හයිඩ්‍රජන් පමණක් නොව, විශේෂයෙන් කාබන් සහ ඔක්සිජන් ඇතුළු වඩාත් සංකීර්ණ පරමාණු අවශ්‍ය වේ. මෙවන් වටිනා පරමාණු බිහි වූයේ කෙසේද යන්න විද්‍යාඥයන් නිතරම කල්පනා කළ දෙයකි.

ජීවය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන මෙම සංකීර්ණ පරමාණු ඇතැම් විශාල තරු අභ්‍යන්තරයේ නිෂ්පාදනය කරනු ලැබීම නිකම්ම අහඹු සිදුවීමක්ද? තවද යෝධ සුපර්නෝවා තරුවලින් සමහරක් පිපිරී මෙම දුර්ලභ ගණයේ පරමාණු විසුරුවාහරින්නේ අහම්බෙන්මද? මෙම සොයාගැනීම්වලට සම්බන්ධ වූ ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් මෙසේ පැවසීය. “සාක්ෂි පරීක්ෂා කර බලන ඕනෑම විද්‍යාඥයෙකුගේ නිගමනය වන්නේ, න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ නියමයන් නිසි මඟ පෙන්වීමක් ඇතුව පිහිටුවා ඇති බවය.”

එසේ නම්, විශ්වය සෑදී ඇති පදාර්ථ වඩාත් කිට්ටුවෙන් පරීක්ෂා කර බලමු.

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ප්‍රසාරණ මතය

විශ්වය නියත වේගයකින් ප්‍රසාරණය වන නිසා, බුද්ධිමත් ප්‍රභවයක් සම්බන්ධ කර නොගෙන, මුලින් විශ්වයේ පැවති සමහර අංග ලක්ෂණ පැහැදිලි කළ හැකි බව ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වේ. ඔවුන්ගේ මෙම මතය හෝ ඒ හා බැඳි වාදයන් ප්‍රසාරණ මතය ලෙස හැඳින්වේ. කෙසේවෙතත්, ප්‍රසාරණය වූ විශ්වය පිළිබඳ මතය මගින් විශ්වයේ ආරම්භය සිදු වූයේ කෙසේද යන පැනයට පිළිතුරක් සපයන්නේ නැත. එම මතය පිළිගැනීමට නම්, විශ්වය මෙලෙස අහම්බෙන් බිහිවීමට හේතුපාදක වූ වෙනත් යමක් ඊටත් පෙර සිටම පැවතිය යුතුය.

ප්‍රසාරණ මතයට අනුව නම්, විශ්වය පරමාණුවකටත් වඩා කුඩා ප්‍රමාණයක සිට ක්ෂීර පථයට වඩා විශාල ප්‍රමාණයක් දක්වා තත්පරයකට අඩු කාලයකින් වර්ධනය වී තිබේ. එතැන් පටන්, විශ්වය සාමාන්‍ය වේගයකින් ප්‍රසාරණය වී ඇති බවට කියවේ. අදදින, අපට පෙනෙන විශ්වය ඊට වඩා දැවැන්ත විශ්වයක කුඩා කොටසක් බවට සැලකේ. විශ්වයේ කොතැනක බැලුවත් දක්නට ලැබෙන ක්‍රමවත්භාවය අහම්බෙන් ඇති වූවක් බව ප්‍රසාරණ මතවාදීහු කියා සිටිති. ඔවුන්ගේ මතයට අනුව, විශ්වයේ නොපෙනෙන ඉතිරි කොටස මීට වඩා හාත්පසින්ම වෙනස් විය හැකිය. එය ඉතා වියවුල්සහගත තත්වයක පැවතිය හැකි බව ඔවුහු පවසති. “මෙම ප්‍රසාරණ මතයේ ඇත්ත නැත්ත නිරීක්ෂණයෙන් කිසිදාක දැනගත නොහැක” යනුවෙන් පවසා සිටියේ තාරකා භෞතික විද්‍යාඥ ජෙෆ්රි බර්බ්‍රිජ්ය. ඇත්තෙන්ම, යමක් නිරීක්ෂණය කිරීමෙන් සාක්ෂි සනාථ කරගැනීමේ ක්‍රමයට මෙම ප්‍රසාරණ මතය පටහැනිව දිවයයි. මෙම මතය සැබෑවක් වේ නම්, ඒ සඳහා දැනට උපකල්පිත අලුත් බලයක් වන ප්‍රතිගුරුත්වයක් අවශ්‍ය වේ. හාවඩ් සරසවියේ හවඩ් ජෝර්ජි නමැති විද්‍යාඥයා මෙම ප්‍රසාරණ මතය ගැන මෙම අදහස පළ කළේය. “මෙය පුදුමසහගත විද්‍යා ප්‍රබන්ධ කථාවකි. ඇත්තෙන්ම මගේ දෙසවනට යොමු වී තිබෙන විශ්වයේ මැවීම ගැන පළ වී ඇති වෙනත් ප්‍රබන්ධ කථා තරම්ම හාස්‍යජනකය.”

[3වන පිටුවේ පින්තූරය]

හබල් අභ්‍යවකාශ දූරේක්ෂයෙන් ගත් මෙම රූපයේ ඇති සෑම වස්තුවක්ම පාහේ මන්දාකිනියකි

[හිමිකම් විස්තර]

3 සහ 4 පිටු (බොඳ වී): Robert Williams and the Hubble Deep Field Team (STScI) and NASA

[4වන පිටුවේ පින්තූර]

‘න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ නියමයන් නිසි මඟ පෙන්වීමක් ඇතුව පිහිටුවා ඇත.’—ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල්, 1987A නමැති සුපර්නෝවා පසුතලයේ දිස් වේ

[හිමිකම් විස්තර]

Dr. Christopher Burrows, ESA/STScI and NASA

N.C. Wickramasinghe අනුග්‍රහයෙන් ගත් ඡායාරූපයක්