Skip to content

පටුනට යන්න

ජිරාෆ්ගේ පිටේ පොඩි රවුමක් යමුද?

ජිරාෆ්ගේ පිටේ පොඩි රවුමක් යමුද?

ජිරාෆ්ගේ පිටේ පොඩි රවුමක් යමුද?

කෙන්යාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්

අපි හිමිදිරි උදෑසන පින්නට තෙත් වූ ගල්වැටියක් උඩ ගුලි වී බලා සිටිනවා. මද සිසිලකුත් දැනෙනවා. හොඳ වෙලාවට බොන්න තේ ටිකක් ගෙනාවේ! අපි තේ ටික ටින් භාජනවලට වක් කරගෙන නැවතත් පහළින් තිබෙන අප්‍රිකානු පතන බිම දෙස උනන්දුවෙන් බලනවා. * වැඩි වේලාවක් යන්න ඉස්සෙල්ලා අපේ බලාපොරොත්තු ඉටු වෙනවා. එළිය වැටීගෙන එද්දී තැන්න හරහා ජිරාෆ් රංචුවක් ගමන් කරයි. උන්ට හදිසියක් නම් නැති පාටයි. වටපිට බලමින් බෙල්ල එහෙට මෙහෙට සොලවමින් උන් මන්දගාමී ගමනක නිරත වෙයි. උන්ගේ සිහින් දිගටි කකුල් හා දික් වූ බෙල්ල උන්ට සුන්දර පෙනුමක් ගෙන දෙනවා. අපි මේ චමත්කාරජනක දසුන නරඹන්නේ හරියට වශී වෙලා වගේ!

අපි ඉන්නවාද නැද්ද කියලාවත් ජිරාෆයන්ට ගානක්වත් නැහැ. උන් ඉන්නේ වෙනමම ලෝකෙක! මුළු රංචුවම එක පාරටම දළුලන අකේසියා ගස් ගොන්නක් දෙසට හැරෙයි. දැන් කටු සහිත උස් අතු වෙතට බෙල්ල දික් කරන උන් දිව එළියට දමා ඒවායේ දළු කඩා කනවා. ඒක කරන්නේ හරිම පරෙස්සමින්. ඒ අතු අතරම වඩු කුරුලු රෑනක් උන්ගේ කැදලි සාදා තිබෙනවා. ජිරාෆයෝ දැන් කුතුහලයෙන් ඒවා දිහා එබිලා බලනවා. කුරුල්ලන් එකපාරටම මහ හයියෙන් කෑ ගහන්න පටන්ගන්නවා. උන් කෑ ගහන්නේ හරියට ජිරාෆයන්ට බැන වදිනවා වගේ. එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවූ ජිරාෆයෝ එක පාරටම ගැස්සෙනවා. හැබැයි උන් කලබල නොවී සද්ද නොකරම වෙනත් ගසක් ගාවට යනවා.

මනබන්දනීය ගමන

සමහරවිට සත්වෝද්‍යානයක කූඩු කර සිටින ජිරාෆයෙක්ව ඔබ දැකලා ඇති. එයින් ඔබ යම් ආස්වාදයක් ලබන්නත් ඇති. නමුත් උන්ගේ ස්වභාවික පරිසරය වන අප්‍රිකාවේ පතන බිම්වල නිදැල්ලේ හැසිරෙන ජිරාෆයන්ගේ පෙනුම නම් ඊට වඩා හාත්පසින්ම වෙනස්. එතැනදී තමයි උන්ගේ සැබෑ අලංකාරය දැකගන්න පුළුවන්. සියුමැළි පෙනුමක් ඇති උන් තැන්න හරහා වේගයෙන් දිව යද්දී එක පාරටම වැටෙයිදෝ කියා අපිට හිතෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇත්තෙන්ම, කිලෝග්‍රෑම් 1,300ක් පමණ බරැති විශාල පිරිමි ජිරාෆයෙකුට බාධාවකින් තොරව පැයට කිලෝමීටර් 60ක වේගයකින් පවා දුවන්න පුළුවන්. උගේ ගමන ඇත්තෙන්ම මනබන්දනීය එකක්!

මෙම සිත් ඇදගන්නාසුලු සතාව ස්වාභාවික පරිසරයක දැකගත හැක්කේ අප්‍රිකාවේ පමණයි. ඌට තිබෙන්නේ අහිංසක, මෘදු, සාමකාමී ස්වභාවයක්. ඉතිං ඌ අපේ සිත්ගන්න එක පුදුමයක්ද! ජිරාෆ්ගේ මුහුණට අද්විතීය පෙනුමක් තිබෙනවා කියා පැවසිය හැකියි. උගේ හිස මුදුනේ දිග සිහින් කන් දෙකක් හා කළු පාට මවිල්වලින් වැසුණු කුඩා සිනිඳු අං දෙකක්ද තිබෙනවා. උගේ විශාල කළු පාට ඇස් දෙක වටේටම දිග දැකුම්කලු ඇහි පිහාටු තිබෙනවා. උසට උසේ ඉන්න ඌට විශාල ප්‍රදේශයක් නිරීක්ෂණය කළ හැකි අතර, ඌ මහත් කුතුහලයකින් එහෙ මෙහ බලන්නේ දරුවෙකු හා සමානවයි.

ජිරාෆ්ගේ සුන්දර පෙනුම මෙන්ම ලැජ්ජාශීලී, නිශ්චල හා සාමකාමී ස්වභාවය නිසා ආදි මිනිසා ඌව හුඟක් අගය කළා. පාලකයෙක් හෝ රජෙක් වෙනත් රටක පාලකයෙක් සමඟ තම සබඳතා දියුණු කරගැනීමේ අදහසින් ජිරාෆ් පැටියෙක් තෑගි කළ අවස්ථාද තිබෙනවා. අදදින පවා අප්‍රිකාවේ පුරාණ බිතු සිතුවම්වල ජිරාෆයන්ගේ රූප දැකගන්න පුළුවන්.

උසට උසේ

ජිරාෆ් සත්ව ලෝකයේ උසම සතා ලෙස නම් දරා තිබෙනවා. හොඳට වැඩුණු සමහර පිරිමි සතුන් කොතරම් උසද කියනවා නම්, උන්ගේ කුර සිට අං දක්වා උස අඩි 18කටත් වඩා වැඩියි! ඉපැරණි මිසර රූපාක්ෂරවල “පුරෝකථනය කිරීම” හෝ “අනාවැකි කීම” යන ක්‍රියා පදය නියෝජනය කිරීමට පවා ජිරාෆ්ගේ රූපය භාවිත වුණා. උගේ අසමසම උස හා දුර පෙනීමේ සුවිශේෂී හැකියාව එයට හේතුව වූවා විය යුතුයි.

ජිරාෆ්, සීබ්‍රා, පැස්බරා, ඉම්පාලා මුවා හා අප්‍රිකාවේ පතන බිම්වල වෙසෙන වෙනත් සතුන් ඔක්කොම එකට ඉන්න අවස්ථාද තිබෙනවා. එවැනි අවස්ථාවලදී ජිරාෆ් මුරකරුවෙක් වාගේ කටයුතු කරනවා. ඌ සෑහෙන දුරක සිට එන සතුරන් ගැන පවා අනතුරු අඟවන නිසා ඌත් එක්ක ඉන්න අනිත් සතුන්ට සුරක්ෂිතභාවයක් දැනෙනවා.

මවිතකර නිර්මාණයක්

අලියාට හැර වෙනත් කිසිම සතෙකුට ළං විය නොහැකි ඉතා උස් අතුවලින් ජිරාෆ් කොළ කඩා කනවා. ඌ එසේ කරන්නේ උගේ උඩු තොල හා දිව භාවිත කරමින්. උගේ උඩු තොලට දේවල් හොඳින් ග්‍රහණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම උගේ දිව හරිම දිගයි. ඒක ඕනෑම ආකාරයකට සකස් කරගන්න පුළුවන්. ඒ හින්දා අතුවල කොතරම් උල් සහිත කටු තිබුණත් ඌට පුළුවන් දිව තුවාල කරගන්නේ නැතුව ඒවා පරෙස්සමින් කඩාගන්න.

ජිරාෆයන් දිනකට ආහාර කිලෝග්‍රෑම් 34ක්ම අනුභව කරන අවස්ථා තිබෙනවා. උන්ට විවිධ කොළ වර්ග කඩා කන්න පුළුවන්. හැබැයි උන් හුඟාක්ම ප්‍රිය කරන්නේ අප්‍රිකාවේ පතන බිම්වල තැනින් තැන වැඩෙන කටු සහිත අකේසියා ගස්වල කොළවලටයි. කෑම සොයමින් සිටින පිරිමි ජිරාෆයෙකුට උගේ දිව සෙන්ටිමීටර් 42ක් දක්වාම විහිදුවන්න පුළුවන්. ජිරාෆ්ගේ බෙල්ල හරිම නම්‍යසුලුයි. ඒ නිසා උස් අතු අතර කෑම සොයද්දී උගේ දිග බෙල්ල ඕනෑම දිහාවකට හරවගන්න පුළුවන්.

උස අත්තක තිබෙන කොළ කඩා කන එක ජිරාෆ්ට කජු කනවා වගේ වැඩක් වුණත්, වතුර බොන එක නම් ඌට ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. වතුර වළක් ගාවට ගියාම දණිස් මදක් නැමෙන සේ ඉදිරිපස කකුල් දෙක ක්‍රමක්‍රමයෙන් ඈත් කරගන්න ඌට සිදු වෙනවා. මෙම අසාමාන්‍ය ඉරියව්වෙන් ඉන්න ගමන්ම ඌ බෙල්ල හැකි තාක් පහළට අරං වතුර බොනවා. හොඳ වෙලාවට ජිරාෆ්ට වැඩිය වතුර බොන්න අවශ්‍යතාවක් නැත්තේ! ඌ කෑමට ගන්න කොළවලින් ඌට අවශ්‍ය වතුර ප්‍රමාණය ලැබෙනවා.

ජිරාෆ්ගේ සිරුර ලස්සන රන්වන්, තද දුඹුරු එහෙමත් නැත්නම් කළු පැහැයක් ගනියි. උගේ ඇඟ පුරාම සුදු පාට ඉරි දක්නට තිබෙනවා. ඒක හරියට පින්තාරු කර තිබෙන කොටු හැඩැති මෝස්තරයක් වගේ. ජිරාෆ් වයසට යන්න යන්න උගේ ශරීරය වඩාත් තද පැහැයක් ගන්නවා.

පවුල් ජීවිතය

ජිරාෆයන් සාමාන්‍යයෙන් තනියෙන් ඉන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ජිරාෆයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එකට ඉන්නවා. එහෙමත් නැත්නම් පනස්දෙනෙක් විතර රංචු ගැහිලා ඉන්නවා. ජිරාෆ් අම්මා දින 420ත් 468ත් අතර කාලයක් ගත වෙන තෙක් පැටව් බිහි කරන්නේ නැහැ. පැටියා ඉපදෙද්දී ජිරාෆ් අම්මා සිටගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේදී පැටියා අඩි 6කට වඩා වැඩි උසක සිට එක පාරටම බිමට වැටෙනවා. ඒ වෙලාවේ උගේ හිස හයියෙන් බිම වැදුණත් ඌට කිසිම හානියක් සිදු වන්නේ නැහැ. විනාඩි 15කට පස්සේ අඩි 6ක් උස පැටියා වැටි වැටි නැගිටින අතර අම්මාගෙන් කිරි බොන්න පටන්ගන්නවා. සති දෙකක් තුනක් ගත වුණාට පස්සේ පැටියා ඉබේම අකේසියා දළු විකා කන්න පටන්ගන්නවා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ඌ අම්මා ඇවිදින වේගයෙන්ම ඇවිදින්න පටන්ගන්නවා.

ජිරාෆ් පැටියා උගේ අම්මාගෙයි තාත්තාගෙයි කපාපු පළුව. හැබැයි උන් තරම් නම් උස නැහැ. වැඩිහිටි ජිරාෆයන් එක්ක සසඳද්දී මිටියි වාගේ පෙනුණත් බොහෝ මනුෂ්‍යයන්ට වඩා නම් ඌ උසයි. ජිරාෆ් පැටියා උසට උසේ ඉන්න උගේ අම්මාගේ රැකවරණය ලබමින් මහත් කුතුහලයෙන් එහෙ මෙහෙ බලනවා. ඇත්තෙන්ම මෙය ප්‍රියජනක දර්ශනයක්!

සාමාන්‍යයෙන් ජිරාෆ් අම්මලා උන්ගේ පැටවුන් බිහි කළ පසු උන්ව එක තැනකට රැස් කරගන්නවා. එතැනදී පැටවුන් විවේකයෙන් හා කෙළිදෙළෙන් දවස ගෙවනවා. ඒත් එක්කම උන් තමන්ගේ වටපිටාව ගැනත් හොඳ විමසිල්ලකින් ඉන්නවා. පැටියෙකුගේ වර්ධන වේගය ඉතා පුදුමාකාරයි. සාමාන්‍යයෙන් පැටියෙක් එක සතියකදී අඟල් 9ක්ම උස යා හැකියි! මාස හයකින් උගේ උස අඩි තුනකින් වැඩි විය හැකි අතර අවුරුද්දකින් එය දෙගුණ විය හැකියි. ජිරාෆ් අම්මා ඇගේ පැටියාව ඉතා ආදරයෙන් රැක බලාගන්නවා. පැටියාට එහෙ මෙහෙ යන්න ඉඩ දුන්නත් ඇය නිතරම ඌ ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ. ඇයට තියුණු ඇස් දෙකක් තිබෙන නිසා පැටියා ටිකක් ඈතට ගියත් ඌව පහසුවෙන්ම දැකගන්න පුළුවන්.

උගේ කැපීපෙනෙන සිරුර, වේගවත් ගමන හා තියුණු දෘෂ්ටිය නිසා ජිරාෆ්ට සිංහයා හැර කැලෑවේ වෙන කිසිම සතුරෙක් නැහැ. නමුත් සිංහයාට වඩා දරුණු තවත් සතුරෙක් ඌට ඉන්නවා. ඒ තමයි මිනිසා. කිසිවෙකුට හානියක් නොකරන මෙම අහිංසක සතා මිනිසාගේ ගොදුරක් බවට පත් වී තිබෙනවා. උගේ රසවත් මස, ලස්සන සම හා අද්භූත බලයක් ඇති බව පැවසෙන උගේ දිග කළු කෙස් ඇති වල්ගය නිසා කිසිම අනුකම්පාවකින් තොරව ජිරාෆ්ව දඩයම් කර තිබෙනවා. කලින් අප්‍රිකාවේ සෑම තැනකම වාගේ දකින්න ලැබුණ මෙම අහිංසක සතා දැන් එන්න එන්නම වඳ වේගන යනවා. ඇත්තෙන්ම, අභය භූමිවල ආරක්ෂාව නොලැබුණා නම් උන් නැත්තටම නැති වෙලා යාවි.

අප්‍රිකාවේ වන සංචාරයක යෙදුණොත් ඔබටත් නිදැල්ලේ තැන්න හරහා දුවන ජිරාෆ් රංචුවක් දැකගන්න පුළුවන්. උන් උස, කටු සහිත අකේසියා අතු අතර කෑම සොයන ආකාරයත්, ඈත පෙනෙන යමක් දෙස තියුණු බැල්මක් හෙළන ආකාරයත් ඔබට දැකගන්න පුළුවන්. වෙනත් කිසිම සතෙකුට වඩා වෙනස් පෙනුමක් ඇති මෙම මවිතකර සතා නිර්මාණය කර ඇති ආකාරය ගැන සලකා බලද්දී, සර්වබලධාරි යෙහෝවා දෙවිගේ අතිදක්ෂ නිර්මාණාත්මක හැකියාවන් හා අද්විතීය පෞද්ගලිකත්වය ගැන අපට කදිම සාක්ෂියක් ලැබෙයි.—ගීතාවලිය 104:24.

[පාදසටහන]

^ 3 ඡේ. අප්‍රිකානු පතන බිම්වල පැතිර පවතින කුඩා ගල්වැටි හඳුන්වන්නේ කොපී යනුවෙන්.

[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මවිතකර නිර්මාණයක්

ජිරාෆ්ගේ විශාල ශරීරය හා එහි අද්විතීය හැඩය නිසා ඌට යම් අපහසුතාවක් දැනෙනවා ඇති කියා අපිට සිතෙන්න පුළුවන්. ඒ වගේම උගේ අසාමාන්‍ය උස හා දිග බෙල්ල නිසා උගේ ශරීරයේ සෑම තැනටම ලේ ප්‍රවාහණය කිරීම විය නොහැකි දෙයක් වගේ පෙනෙන්නත් පුළුවන්. උදාහරණයකට ඌ හිස පහත් කරන විට, ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට මොළයට වේගයෙන් ලේ ගලා ගොස් එයට හානියක් සිදු කරන්න පුළුවන් කියා අපිට සිතිය හැකියි. ඒ වගේම, ඌ නැවතත් හිස උඩට ගන්නා විට, රුධිරය වේගයෙන් හෘදය වෙතට ගලා ගොස් ඌට සිහි නැති වෙන්න පුළුවන් කියාත් අපිට සිතෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් සිදු වන්නේ නැහැ. ඒ ඇයි කියා අපි දැන් සලකා බලමු.

ජිරාෆ්ගේ රුධිර සංසරණ පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ඉතා මවිතකර ආකාරයකටයි. එය ජිරාෆ්ගේම ශරීරයට හොඳින් ගැළපෙනවා. උගේ හෘදය සෑහෙන විශාල වන අතර අඩි 10ක් හෝ 12ක් පමණ ඈතින් පිහිටි උගේ මොළය වෙතට රුධිරය ප්‍රවාහණය කිරීම සඳහා එය ඉතා වේගයෙන් රුධිරය පොම්ප කරනවා. ඇත්තෙන්ම එය විනාඩියකට 170 වාරයක් ස්පන්දනය වෙයි! එය මිනිසාගේ හෘදයට වඩා බොහෝ සෙයින් ශක්තිමත් වන අතර සෙන්ටිමීටර් හතක් ඝන වූ එහි බිත්ති මගින් විශාල ආකුංච පීඩනයක් ඇති කරයි. එය මිනිසාගේ ආකුංච පීඩනය මෙන් තුන්ගුණයක් වෙයි! එතරම් විශාල පීඩනයක් දරාගැනීමට නම්, හෘදයේ සිට මොළය දක්වා රුධිරය ප්‍රවාහණය කරන මන්‍යා ධමනිය හා නැවත මොළයේ සිට හෘදය කරා රුධිරය ප්‍රවාහණය කරන මන්‍යා ශිරාව සෑහෙන විශාල විය යුතුයි. ඇත්තෙන්ම මෙම රුධිර වාහිනිවල විෂ්කම්භය සෙන්ටිමීටර් 2.5කටත් වඩා වැඩියි. ඒවා ඝන පටකවලින් සවිමත් ලෙස සෑදී තිබෙන නිසාත්, ඒවායේ ඇති නම්‍යසුලු ස්වභාවය නිසාත් ඒවාට අධික පීඩනයක් දරාගත හැකියි.

ජිරාෆ් තම හිස පහත් කරන විට මන්‍යා ශිරාවේ ඇති කපාට මගින් රුධිරය නැවත මොළයට වේගයෙන් ගලා යෑම වළක්වයි. විශාල මන්‍යා ධමනිය රීටි මිරාබයිල් වශයෙන් හඳුන්වන රුධිර වාහිනි පද්ධතිය හා සම්බන්ධ වෙන්නේ මොළයේ පහළ ප්‍රදේශයේදීයි. එතැනදී මන්‍යා ධමනිය ඔස්සේ වේගයෙන් ගලා එන රුධිරය එම කුඩා වාහිනි පද්ධතියට එක් වෙනවා. මෙය සිදු වුණේ නැත්නම් ජිරාෆ්ගේ හිස පහත් කරද්දී රුධිරය අධික වේගයකින් මොළය කරා ගලා යන්න පුළුවන්. නමුත් මෙහිදී රුධිරය ගලා යන වේගය අඩු වන අතර රුධිර පීඩනයද පාලනය වෙනවා. මේ නිසා ජිරාෆ්ගේ මොළයට රුධිරය ගලා යන්නේ එයට කිසිම හානියක් සිදු නොවන ආකාරයකටයි. ඌ හිස පහත් කරද්දී පද්ධතියේ වාහිනි ප්‍රසාරණය වන අතර හිස ඔසවද්දී ඒවා සංකෝචනය වෙනවා. එම පුදුමාකාර ක්‍රියාවලිය සිදු වුණේ නැත්නම්, ගුරුත්වාකර්ෂණය හේතුවෙන් භයානක ප්‍රතිඵල ඇති කරවන තරමටම රුධිර පීඩනය පහත බැසිය හැකි අතර ජිරාෆ්ට සිහි නැති වෙන්නත් පුළුවන්.

ජිරාෆ්ගේ බෙල්ලත් පුදුමාකාර ලෙස නිර්මාණය කර තිබෙනවා. එය කොතරම් දිග වුණත්, මීයන්ගේ හෝ වෙනත් බොහෝ ක්ෂීරපායි සතුන්ගේ කොඳු ඇට පෙළේ තිබෙන පුරුක් (කශේරුකා) ගණනමයි ඌටත් තිබෙන්නේ! නමුත් වෙනසක් තිබෙනවා. අනිත් ක්ෂීරපායින්ට වඩා උගේ කශේරුකා බොහෝ දිගයි. ඒ විතරක් නොවෙයි, ඒ සෑම කශේරුකාවක්ම සම්බන්ධ වී ඇත්තේ සෑම අතකටම කරකැවෙන ආකාරයටයි. ඒ ආකාරයට සම්බන්ධ වී ඇති සන්ධි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බෝල කුහර සන්ධි වශයෙන්. ජිරාෆ්ගේ බෙල්ල මෙලෙස සකස් වී තිබෙන නිසා එය ඌට වුවමනා අතට හරවාගන්න පුළුවන්. ඒ නිසා ශරීරයේ ඕනෑම කොටසක් වෙතට, එහෙමත් නැත්නම් ගසක ඉහළින්ම පිහිටි අත්තක් වෙතට වුණත් උගේ හිස ගෙනියන්න පුළුවන්.