Skip to content

පටුනට යන්න

පෘථිවිය ‘පිහිටුවන’ ලද්දේ අහම්බෙන්ද?

පෘථිවිය ‘පිහිටුවන’ ලද්දේ අහම්බෙන්ද?

පෘථිවිය ‘පිහිටුවන’ ලද්දේ අහම්බෙන්ද?

අධික උෂ්ණත්වයකින් පීඩා නොවිඳීමට නම්, පෘථිවිය සූර්යයා වටා යෝග්‍ය දුරකින් ගමන් කළ යුතුය. පෘථිවිය වැනි ග්‍රහයන් වෙනත් සූර්යග්‍රහ මණ්ඩලවලද ඇති බව සොයාගෙන ඇති අතර, මෙවන් ග්‍රහයන්ද සූර්යයාට සමාන තරු වටා ගමන් කරයි. ඒවායේද ‘වාසයට සුදුසු’ තත්වයක් එනම්, ජලයට ද්‍රවයක් සේ පැවතිය හැකි පරිසරයක් ඇති බවට කියවේ. කෙසේ නමුත්, වාසයට සුදුසුයයි කියවෙන මෙම ග්‍රහයන් තුළ පවා මිනිස් ජීවිතය සඳහා සුදුසු තත්වයක් නොතිබිය හැක. මන්ද ඒ සඳහා ඒවායේ භ්‍රමණ වේගය සහ විශාලත්වය යෝග්‍ය තත්වයක පැවතිය යුතු නිසාය.

නිදසුනකට පෘථිවිය ගැන සලකා බලමු. එය විශාලත්වයෙන් හා බරින් මදක් අඩු වූවා නම්, එය සතු ගුරුත්ව බලය දුර්වල වන නිසා, පෘථිවිය මත පවතින ජීවය පෝෂණය කිරීමට අත්‍යවශ්‍ය වන වායුගෝලය අභ්‍යවකාශය තුළට විසුරුවාහැරේ. මින් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට බුද සහ සිකුරු යන ග්‍රහයන් දෙක සහ චන්ද්‍රයා දෙස බැලිය හැක. පෘථිවියට වඩා කුඩා මෙන්ම බරින් අඩු නිසා, එම ග්‍රහයන් මතුපිට වායුගෝලයක් නොමැති තරම්ය. අනික් අතට, පෘථිවියේ විශාලත්වය සහ බර මදක් වැඩි වුවහොත් කුමක් සිදු වේද කියා දැන් බලමු.

එසේ වුවහොත් පෘථිවියේ ගුරුත්වාකර්ෂණය වැඩි වන නිසා, හයිඩ්‍රජන් සහ හීලියම් වැනි සැහැල්ලු වායූන් පවා වායුගෝලයෙන් බැහැර වීමට වැඩි කාලයක් ගත වනු ඇත. තවද විද්‍යා අත්පොතක් පෙන්වා දෙන ආකාරයට (Environment of Life), “වායුගෝලයේ ඇති වායූන් අතර දක්නට ලැබෙන සියුම් සමබරතාවද නැති වී යයි.”

දහනයට අත්‍යවශ්‍ය දෙයක් වන ඔක්සිජන් පිළිබඳවද සලකා බලන්න. ඔක්සිජන් මට්ටම සියයට එකකින් වැඩි වුවහොත්, ලැව් ගිනි ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වනු ඇත. අනික් අතට, කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය දිගින් දිගටම වැඩි වුවහොත්, පෘථිවියේ උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ නැඟීම නිසා, අපට එය දරාගත නොහැකි වනු ඇත.

පෘථිවි කක්ෂය

පෘථිවිය ගමන් ගන්නා කක්ෂයේ හැඩයද ඉතා වැදගත් වේ. එම කක්ෂයේ ඉලිප්සාකාරබව වැඩි වුවහොත්, අපට දැරිය නොහැකි පරිද්දෙන් උෂ්ණත්වයේ වෙනස්කම් සිදු වේ. ඒ වෙනුවට, පෘථිවිය ගමන් ගන්නා කක්ෂයේ හැඩය වෘත්තයක හැඩයට බොහෝ දුරට සමානය. එනමුත්, බ්‍රහස්පති හා සමාන යෝධ ග්‍රහයෙක් පෘථිවිය ළඟින් ගමන් කළොත්, තත්වය ඊට වඩා වෙනස් වනු ඇත. මෑත වර්ෂවලදී, ඇතැම් තරු වටා බ්‍රහස්පති ග්‍රහයාට සමාන යෝධ ග්‍රහයන් ඉතා සමීපව ගමන් කරන බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ. මෙවන් ග්‍රහයන්ගේ කක්ෂයේ හැඩය බෙහෙවින් ඉලිප්සාකාරය. එවන් ග්‍රහ මණ්ඩලයක පෘථිවියට සමාන ග්‍රහයෙක් තිබුණොත්, විශාල ග්‍රහයාගේ බලපෑම එයට බෙහෙවින් අහිතකර ලෙස බලපානු ඇත.

තාරකා ශාස්ත්‍රඥ ජෙෆ්රි මාර්සි, මෙම බාහිර ග්‍රහ මණ්ඩල අපගේ සූර්යග්‍රහ මණ්ඩලයේ සූර්යයාට සමීපයෙන්ම පිහිටි ග්‍රහයන් සතර වන බුද, සිකුරු, පෘථිවිය සහ අඟහරු හා සැසඳීය. මාර්සි සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු මෙසේ කියා සිටියේය. “සූර්යග්‍රහ මණ්ඩලය සැකසී ඇති ආකාරය ගත් කල, එහි කිසිදු වරදක් සොයාගත නොහැක. එය මැණිකක් බඳුය. හැම කක්ෂයක්ම වෘත්තාකාරය. එමෙන්ම ග්‍රහයන් සතරම පිහිටා තිබෙන්නේ එකම තලයකය. සතරම භ්‍රමණය වන්නේ එකම දිශාවටය. . . . මෙය ඇදහිය නොහැකි තරම් පුදුමාකාරය.” මෙවන් දෙයක් අහම්බෙන් සිදු වූ බව විශ්වාස කළ හැකිද?

සූර්යග්‍රහ මණ්ඩලයට තවත් පුදුම දනවන අංග ලක්ෂණයක් ඇත. එනම් බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන යෝධ ග්‍රහයන් පෘථිවි ග්‍රහයාට හානියක් සිදු නොකරන තරම් ඈතකින් සූර්යයා වටා ගමන් කිරීමයි. ඒවායින් පෘථිවියට තර්ජනයක් එල්ල වෙනවා වෙනුවට, අතිවැදගත් කාර්යයක් ඉටු වේ. එම ග්‍රහයන්ගේ ගුරුත්වය මගින් පෘථිවියේ ජීවීන්ට හානියක් එල්ල කළ හැකි විශාල උල්කාවන් ඇදගන්නා හෙයින්, තාරකා විද්‍යාඥයන් ඒවා ‘අහසේ සැරිසරන රික්ත ශෝධකයන්’ (vacuum cleaners) ලෙස හඳුන්වා තිබේ. පෘථිවිය මනා ලෙස ‘පිහිටුවා’ ඇති බව මින් ඉතා පැහැදිලිය. (යෝබ් 38:4) සූර්යග්‍රහ මණ්ඩලය තුළ පෘථිවියේ පිහිටීම සහ එහි විශාලත්වය එකිනෙකට ගැළපේ. පෘථිවියේ විශිෂ්ටත්වය එයින් නිම නොවේ. මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය වෙනත් අද්විතීය අංග ලක්ෂණද පෘථිවිය තුළ දැකගත හැක.

ඔක්සිජන් සහ ප්‍රභාසංශ්ලේෂණය

පෘථිවිය මත සිටින ජීවීන්ගේ බරින් සියයට 63කම අඩංගු වී ඇත්තේ ඔක්සිජන් පරමාණුය. වායුගෝලයේ ඉහළ ස්තරවල ඇති ඔක්සිජන් මගින් සූර්යයාගේ විකිරණශීලී කිරණවල බලපෑමෙන් වෘක්ෂලතා සහ සත්වයන්ව ආරක්ෂා කරයි. එනමුත්, ඔක්සිජන් වෙනත් මූලද්‍රව්‍යයන් සමඟ ප්‍රතික්‍රියා කිරීමට ඇති නැඹුරුවාව වැඩිය. නිදසුනකට, එය යකඩ සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් මලකඩ සෑදේ. එසේ නම්, වායුගෝලය තුළ සැරිසරමින් තිබෙන, වහා ප්‍රතික්‍රියා කරනසුලු මෙම මූලද්‍රව්‍යය සියයට 21ක මට්ටමේම පවතින්නේ කෙසේද?

මීට පිළිතුර වන්නේ ප්‍රභාසංශ්ලේෂණයයි. ප්‍රභාසංශ්ලේෂණය යනු පෘථිවියේ වෘක්ෂලතාදිය හිරු එළිය යොදාගෙන ආහාර නිපදවන අරුම පුදුම ක්‍රියාවලියකි. ප්‍රභාසංශ්ලේෂණයේ අතුරු ඵලයකි ඔක්සිජන්. දවසක් දවසක් පාසා වායුගෝලය තුළට ඔක්සිජන් ටොන් බිලියනයකට අධික ප්‍රමාණයක් මුදාහැරේ. “ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය නොතිබුණා නම්, ආහාර නිපදවීමේ අතිවැදගත් ක්‍රියාවලිය ඇණහිටිනවා පමණක් නොව, පෘථිවියේ ඔක්සිජන් ප්‍රමාණයද අඩු වී යනු ඇත” කියා පැහැදිලි කළේ නව බ්‍රිටැනිකා විශ්වකෝෂයයි.—ඉංග්‍රීසියෙන්.

ප්‍රභාසංශ්ලේෂණය යනුවෙන් හැඳින්වෙන පියවරෙන් පියවරට සිදු වන ක්‍රියාවලිය පහදා දීම සඳහා විද්‍යා අත්පොත් ගණනාවක්ම ලියවී තිබේ. කෙසේවෙතත්, එහි සමහර පියවරවල් තවමත් සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන නැත. එක් එක් පියවර වඩාත් සරල ක්‍රියාවලියකින් පරිණාමය වූ ආකාරය පැහැදිලි කිරීමට පරිණාමවාදීන්ට නොහැකිය. ඇත්තෙන්ම සෑම පියවරකම පුදුම දනවන සංකීර්ණත්වයක් ඇති බව පෙනේ. “ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේ මූලාරම්භය ගැන පොදුවේ පිළිගත් මතයක් තවමත් ස්ථාපිත වී නැති” බව නව බ්‍රිටැනිකා විශ්වකෝෂය පිළිගනියි. “පුරෝගාමීව කටයුතු කළ සෛල කිහිපයක” මැදිහත් වීමෙන් ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය “ඇති වූ” බව පැවසීමෙන් එක් පරිණාමවාදියෙක් මූලාරම්භය හා සම්බන්ධ ප්‍රශ්නය මඟහැරියේය.

මෙවන් දෙයක් පැවසීම විද්‍යාවට එකඟ නොවුවද, තවත් අරුම පුදුම දෙයක් ඉන් හෙළි වේ. එනම් ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය යෝග්‍ය ලෙස සිදුවීමට සෛල බිත්තිවල ආරක්ෂාව අවශ්‍ය වන අතර, එම ක්‍රියාවලිය දිගටම සිදුවීමට නම්, සෛලවල ප්‍රජනනයක් සිදු විය යුතු බවය. මේ අනුව පැනනඟින ප්‍රශ්නය නම් මේ සියල්ල ‘පුරෝගාමි සෛල කිහිපයක’ මැදිහත් වීමෙන් සිදු වීද යන්නයි.

ස්වයං ප්‍රජනන සෛලයක සිට මිනිසෙකු දක්වා වූ ගමන

සරලතම ස්වයං ප්‍රජනන සෛලය බිහි කිරීම සඳහා පරමාණු අහම්බෙන් සංයෝග වීමට ඇති ඉඩ කඩ කුමක්ද? නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ ක්‍රිස්ත්යාන් ඩ ඩූව තමා විසින් ලියන ලද එක් පොතක (A Guided Tour of the Living Cell) මෙසේ පිළිගනියි. “බැක්ටීරියා සෛලයක් බිහිවීමට, එහි අඩංගු පරමාණු ඉබේම එකතු වූවා නම්, එවන් සෛලයක් නිපදවීමට කල්ප ගණනාවක් වුවත් මදි වේවි.”

අප දැන් සලකා බලා ඇත්තේ සාපේක්ෂ වශයෙන් සරල බැක්ටීරියා සෛලය හා සම්බන්ධ කරුණුය. දැන් මිනිස් මොළයෙහි ඇති ඊටත් වඩා අතිශයින් සංකීර්ණ බිලියන සංඛ්‍යාත ස්නායු සෛල පිළිබඳව සලකා බලමු. විද්‍යාඥයන් මිනිස් මොළය හඳුන්වා ඇත්තේ විශ්වය තුළ පවතින සංකීර්ණතම භෞතික වස්තුව ලෙසයි. එය සැබවින්ම අද්විතීය දෙයක් බවට සැකයක් නැත. නිදසුනකට, මිනිස් මොළයේ විශාල කොටස් සංගාමී පෙදෙස් ලෙස හඳුන්වා ඇත. මොළයේ සංවේදක කොටසින් ගලා එන තොරතුරු විග්‍රහ කර තෝරා දෙන්නේ මෙම සංගාමී පෙදෙස්ය. ඔබේ නළල පිටුපස ඇති එක් සංගාමී පෙදෙසක් විශ්වයේ අරුමයන් ගැන සිතා බැලීමට ඔබට අවකාශ සලසයි. එවන් සංකීර්ණ සංගාමී පෙදෙස් ඇතිවීමට අහම්බෙන් සිදු වන ක්‍රියාවලීන් හේතු වන බව ඇත්තටම පැවසිය හැකිද? “මිනිස් මොළයේ මෙම පෙදෙස්වල තිබෙන අතිවැදගත් අංගයන්ට සම කළ හැකි අංගයන් වෙනත් කිසිදු ජීවියෙකු තුළ මෙතෙක් සොයාගෙන නැතැයි” පරිණාමවාදී අදහස් දරන වෛද්‍ය ෂර්වින් නූලන්ඩ් පිළිගනී.—The Wisdom of the Body.

නවීන දින ප්‍රබලතම පරිගණකයටත් වඩා වැඩි වේගයකින් මිනිස් මොළය තොරතුරුවලට ප්‍රතිචාරයක් දක්වන බව විද්‍යාඥයන් ඔප්පු කර ඇත. නූතන පරිගණක තාක්ෂණය, දශක ගණනාවක් පුරා දැරූ වෑයම්වල ප්‍රතිඵලයක් බව මතක තබාගත යුතුය. එනමුත් උසස් මිනිස් මොළය ගැන කුමක් කිව හැකිද? විද්‍යාඥයන් දෙදෙනෙකු වන ජොන් බැරෝ සහ ෆ්‍රැන්ක් ටිප්ලර් සිය පොතෙහි (The Anthropic Cosmological principle) මෙසේ පිළිගනිති. “හෝමො සේපියන් මානවයා සතු තොරතුරු ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිතව වෙනත් බුද්ධිමත් ජීවියෙකු පරිණාමය වූ බව කොහෙත්ම විශ්වාස කළ නොහැකි බව පරිණාමවාදීන් අතර පවා පොදු පිළිගැනීමක් තිබේ. එය කොතරම් ස්ථිරද කිවහොත්, දෘශ්‍යමාන වූ මේ මුළු මහත් විශ්වයේ වෙනත් කිසිදු ග්‍රහයක් මත එවන් දෙයක් සිදු වූ බව විශ්වාස කළ නොහැකි බව ඔවුහු කියා සිටිති.” මෙම විද්‍යාඥයන්ගේ නිගමනයට අනුව, අපගේ පැවැත්ම “ඉතා වාසනාවන්ත අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් වේ.”

සියල්ල සිදු වූයේ අහම්බෙන්ද?

ඔබේ නිගමනය කුමක්ද? විස්මිත දේවලින් පිරුණු විශ්වය අහම්බෙන් බිහි වූ බව ඇත්තටම විශ්වාස කළ හැකිද? විශිෂ්ට ගණයෙහිලා සැලකෙන සෑම සංගීත ඛණ්ඩයකටම උසස් රචකයෙකු සිටිය යුතු බවත්, මිහිරි වාදනයක් ජනිත කිරීම සඳහා සෑම සංගීත භාණ්ඩයක්ම තිතටම සකස් කරගත යුතු බවත් ඔබ පිළිගන්නේ නැද්ද? එසේ නම් අරුම පුදුම විශ්වය ගැන කුමක් කිව හැකිද? ගණිතඥයෙකු මෙන්ම තාරකා ශාස්ත්‍රඥයෙකු වන ඩේවිඩ් බ්ලොක්ගේ නිරීක්ෂණයට අනුව “අප ජීවත් වන්නේ තිතටම සකස් වී ඇති විශ්වයකයි.” එසේ නම් ඔහුගේ නිගමනය වූයේ කුමක්ද? “ඇත්තෙන්ම අපගේ විශ්වය නිවහනකි. මගේ විශ්වාසය නම්, එය දෙවිගේ හස්තයෙන් නිර්මාණය කරන ලද්දක් බවය.”

ඔබත් එවැනිම නිගමනයකට එළඹ ඇත්නම්, මැවුම්කාර යෙහෝවා දෙවි පිළිබඳව බයිබලයෙහි සඳහන්ව ඇති මෙම විස්තරයට ඔබ එකඟ වනවාට සැකයක් නොමැත. ‘ඔහු තමන්ගේ බලයෙන් පොළොව සාදා, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ බුද්ධියෙන් අහස දිගහැරියේය.’—යෙරෙමියා 51:15.

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර]

සුවිශේෂ ග්‍රහයෙක්

“පෘථිවි පෘෂ්ඨයේ ජලය තිබෙන්නේ, පෘථිවි ගෝලයේ විශාලත්වය, මූලද්‍රව්‍යයන්වල සංයුතිය හා පෘථිවිය සූර්යයාගේ සිට පිහිටා ඇති දුර ප්‍රමාණය යෝග්‍ය නිසාත්, පෘථිවි කක්ෂය දළ වශයෙන් වක්‍රාකාරව පිහිටීම නිසාත්ය. ජලය නොමැතිව මිහිපිට කිසිම ජීවයක් බිහි නොවේ.”—සත්ව විද්‍යාවේ අනුකලන මූලධර්ම, (ඉංග්‍රීසියෙන්) 6වන සංස්කරණය

[හිමිකම් විස්තර]

NASA photo

[10වන පිටුවේ කොටුව⁄පින්තූර]

ජීවය අහම්බෙන් බිහි වීද?

වර්ෂ 1988දී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත විද්‍යා උන්නති සංගමය මගින් පළ කරන ලද ජර්නලයක් වන සර්ච්, ජීවය අහම්බෙන් ඇති වූ ආකාරය පැහැදිලි කිරීමට වෙහෙස දැරූ පොතක් පිළිබඳව විචාරයක් කළේය. මෙම පොතේ එක් පිටුවක් තුළින් විද්‍යා ලේඛක එල්. ඒ. බෙනට් “අනුමාන ප්‍රකාශයන් 16ක්ම සොයාගත්තේය. ඒ සෑම ප්‍රකාශයකම නිරවද්‍යතාව රඳා පැවතුණේ අනිකුත් අනුමාන ප්‍රකාශයන් මතයි.” මුළු පොතම කියවීමෙන් පසු බෙනට් මහතාගේ නිගමනය කුමක් වීද? “කර්තෘ පවසන ආකාරයට ‘අහඹු සිදුවීම්’ දහස් ගණනක් තුළින් ජීවය බිහි වූ බව පිළිගන්නවාට වඩා, ඉමහත් ප්‍රේමයකින් යුත් මැවුම්කරුවෙකු විසින් ජීවය ක්ෂණිකව මවා, එයට යම් නිශ්චිත අරමුණක් ලබා දුන් බව පිළිගැනීම පහසුය” කියා ඔහු පැවසීය.

[පින්තූර]

ආහාර නිපදවීමටත්, ඔක්සිජන් චක්‍රයටත් ප්‍රභාසංශ්ලේෂණය අත්‍යවශ්‍යය

ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්මට දායක වන පෘථිවියේ කදිම ලක්ෂණවලට හේතු වන්නේ කුමක්ද?

විශ්වයේ තිබෙන සංකීර්ණතම භෞතික වස්තුව හැටියට විද්‍යාඥයෝ මිනිස් මොළය විස්තර කරති. එය අහම්බෙන් බිහි වූයේයයි පැවසිය හැක්කේ කෙසේද?

[හිමිකම් විස්තර]

ඡායාරූපය: Zoo de la Casa de Campo, Madrid

Monte Costa, Sea Life Park Hawaii

[8, 9වන පිටුවේ පින්තූර]

සූර්ය ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයෝ

සූර්යයා

බුද

සිකුරු

පෘථිවිය

අඟහරු

බ්‍රහස්පති

සෙනසුරු

යුරේනස්

නෙප්චූන්

ප්ලූටෝ

[හිමිකම් විස්තර]

සූර්යයා: National Optical Astronomy Observatories; බුද, බ්‍රහස්පති සහ සෙනසුරු: NASA/JPL/Caltech/USGS අනුග්‍රහයෙනි; සිකුරු සහ යුරේනස්: NASA/JPL/Caltech අනුග්‍රහයෙනි; පෘථිවිය: NASA photo; අඟහරු: NASA/JPL; නෙප්චූන්: JPL; ප්ලූටෝ: A. Stern (SwRI), M. Buie (Lowell Obs.), NASA, ESA