Skip to content

පටුනට යන්න

මගේ එකම පැතුම පක්ෂපාතීව සිටීමයි

මගේ එකම පැතුම පක්ෂපාතීව සිටීමයි

මගේ එකම පැතුම පක්ෂපාතීව සිටීමයි

ඕලෙක්සි ඩේවිඩ්යූක්ගේ කතාව

වර්ෂය 1947; ස්ථානය යුක්ක්‍රේන්වල අපේ ගම් පළාත වන ලාස්කිෆ් සිට සැතපුම් කීපයක් එහායින් පෝලන්ත මායිම. පෝලන්තයේ සිට යුක්ක්‍රේනයට බයිබල් පොත් පත් හොර රහසේ ගෙනාවේ මගේ යහළුවා ස්ටෙෆාන්. එක දවසක් රෑ මායිම් රැකවල් කළ මුරකරුවෙක් ඔහුව දැකලා ඔහුට වෙඩි තිබ්බා. ඊට අවුරුදු දොළහකට පස්සේ ස්ටෙෆාන්ගේ මරණය මගේ ජීවිතයට ඇති කළ බලපෑම මම පසුව විස්තර කරන්නම්.

මම ඉපදුණේ 1932දී ලාස්කිෆ්වලයි. ඒ දවස්වල බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකාර පවුල් 10ක් අපේ ගමේ හිටියා. මේ පවුල් දහයට අපේ පවුලත් අයිති වුණා. මගේ දෙමාපියන් 1970 ගණන්වල මැද භාගයේදී මියයන තුරුම යෙහෝවාට පක්ෂපාතිව සිටීම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබුවා. මගෙත් එකම පැතුම වුණේ, මුළු ජීවිත කාලයේම යෙහෝවාට පක්ෂපාතිව සිටීමයි.—ගීතාවලිය 18:25.

වර්ෂ 1939දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. නැඟෙනහිර පෝලන්තයේ අපි හිටිය ප්‍රදේශය, සෝවියට් සමූහ ආණ්ඩුව යටතට ගත්තා. වර්ෂ 1941 ජූනි මස ජර්මානුවන් විසින් අපේ ප්‍රදේශය යටත් කරගන්න තුරු අපි සෝවියට් පාලනය යටතෙයි සිටියේ.

දෙවන ලෝක යුද සමයේදී මට පාසැලේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. එහිදී ළමයින්ට දේශාභිමානි ගීත ගයන්න ඉගැන්නුවා වගේම යුද පුහුණුවත් ලබා දුන්නා. අපිට ලබා දුන් පුහුණුවට අත් බෝම්බ විසි කරන විදිහත් ඇතුළත් වුණා. මම දේශාභිමානි ගී ගයන එකත් හමුදා පුහුණුවත් ප්‍රතික්ෂේප කළා. කුඩා කාලයේදීම බයිබලය මත පදනම් විශ්වාසයන්ට ස්ථිරව සිටින්න මම ගත් තීරණය පසු කාලයේදී දෙවිට දිගටම පක්ෂපාතිව සිටින්න මට පිටුවහලක් වුණා.

අපේ සභාවට අයත් බලප්‍රදේශයේ බොහෝදෙනෙක් බයිබල් සත්‍යයට උනන්දුවක් දැක්වුවා. එනිසා පුරෝගාමීන් ලෙස හඳුන්වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයන් දෙදෙනෙකුව ඔවුන්ට ඉගැන්වීම සඳහා අපේ ප්‍රදේශයට එව්වා. එක පුරෝගාමියෙක් වූ එල්යා ෆෙඩරෝවිච් මාත් සමඟ බයිබලය පාඩම් කළා. ඒ වගේම ක්ෂේත්‍ර සේවයේදිත් මට පුහුණුවක් ලබා දුන්නා. කෙසේවෙතත් ජර්මානු පාලනය තුළදී එල්යාව රටින් පිටුවහල් කරලා නාට්සි ගාල් කඳවුරකට යැව්වා. එහිදී ඔහු මිය ගියා.

මධ්‍යස්ථව සිටීමට තාත්තාගේ සටන

වර්ෂ 1941දී සෝවියට් නිලධාරීන්, යුද්ධයට මූල්‍යමය උපකාරය සපයනවා කියා පොරොන්දුවක් ලබාගැනීමට ලියවිල්ලකට අත්සන් කරන ලෙස තාත්තාට බල කළා. සැබෑ දෙවිගේ සේවකයෙක් හැටියට යුද්ධයකදී කොයිම පැත්තකටවත් සහයෝගය දෙන්න බැරි බව තාත්තා එම නිලධාරීන්ට කිව්වා. තාත්තාව සතුරෙක් කියලා හංවඩු ගහලා අවුරුදු හතරකට හිරේට දැම්මා. ඒත් තාත්තා හිරේ හිටියේ දවස් හතරයි. ඒකට හේතුව තාත්තා හිරේට ගියාට පස්සේ ඉරිදා ජර්මානු හමුදාව අපි ජීවත් වුණ ප්‍රදේශය අත් පත් කරගැනීමයි.

ජර්මානුවන් ළඟ ළඟම එන බව දැනගත් විට බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් සිරකුටිවල දොරවල් ඇර දමා පලා ගියා. සිරගෙදරින් පිටතදී සෝවියට් සෙබළුන් සිරකරුවන් බොහෝදෙනෙකුට වෙඩි තැබුවා. ඒ නිසා තාත්තා එකපාරටම එළියට යන්නේ නැතුව ටික වෙලාවක් ඉඳලා පස්සේ යහළුවෙක්ගේ ගෙදරකට පැනගත්තා. එහෙ ඉඳන් ඔහු අම්මාට පණිවිඩයක් එව්වා, ඔහුව සිරගත කළේ යුද්ධයේදී සෝවියට් හමුදාවට සහයෝගය නොදැක්වූ නිසා කියා ඔප්පු කිරීමට අදාළ ලියකියවිලි රැගෙන එන්න කියලා. තාත්තා මෙම ලියකියවිලි ජර්මන් නිලධාරීන්ට පෙන්නූ විට ඔවුන් තාත්තාගේ ජීවිතයට හානි කළේ නැහැ.

ජර්මානුවන්ට ඕනෑ වුණා සෝවියට් හමුදාවට සහය දුන් අයගේ නම් දැනගන්න. ඒගොල්ලන්ගේ නම් කියන්න කියලා ඔවුන් තාත්තාට බල කළා. ඒත් තාත්තා කට හෙල්ලුවේ නෑ. මේ අවස්ථාවේදීත් ඔහු ඔහුගේ මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් පැහැදිලි කළා. ඇත්තටම තාත්තා නම් ටික කිව්වා නම් ඔවුන් ඒ අයව මරනවා. තාත්තාගේ මධ්‍යස්ථභාවය අනිත් අයගේ ජීවිතත් බේරුවා. ඒ ගැන ඔවුන් ස්තුතිවන්ත වුණා.

රහසිගත ලෙස කටයුතු කිරීම

1944 අගෝස්තු මස සෝවියට් ජාතිකයන් යුක්ක්‍රේනයට නැවත පැමිණි අතර 1945 මැයි මාසයේදී දෙවන ලෝක යුද්ධය අවසන් වුණා. ඊට පස්සේ ලෝකයේ අනෙක් රටවල් සමඟ කිසිම සම්බන්ධකමක් ඇති කරගන්න බැරි විදිහට අපි සෝවියට් සමූහ ආණ්ඩුවටම කොටු වුණා. අඩුම තරමින් පෝලන්තයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟවත් සම්බන්ධකම් පවත්වන්න ඉඩක් ලැබුණේ නෑ. නිර්භීත සාක්ෂිකරුවන් මායිමෙන් පැනලා ගිහිල්ලා පොලන්තයෙන් වොච්ටවර් සඟරා කිහිපයක් අරගෙන එනවා. ලාස්කිෆ්වල අපේ නිවසේ ඉඳන් සැතපුම් පහක් පමණ එහායින් පෝලන්ත මායිම තිබුණ නිසා සඟරා හොරෙන් ගෙන එන විට සිදු වන අනතුරු මට දැනගන්න ලැබුණා.

සාක්ෂිකාරයෙක් වූ සිල්වෙස්ටර්ට සිදු වෙච්ච ඇබැද්දිය ගැන මම කියන්නම්. ඔහු දෙවතාවක්ම මායිම පැනලා ගිහිල්ලා සඟරා ගෙනාවා. තුන්වන වතාවේදී මායිමේ මුරකරුවන්ට සහ මුර බල්ලන්ට ඔහුව හසු වුණා. මුරකරුවෝ ඔහුට නතර වෙන්න කියා කෑගහද්දි සිල්වෙස්ටර් පණ බේරගන්න දිව්වා. ඔහුගේ පස්සෙන් එළවගෙන එන බල්ලන්ගෙන් ගැළවීමට ළඟ තිබුණු විලට පනිනවා හැර ඔහුට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඔහු විලේ තිබුණු පන් ගස්වලට මුවා වී මුළු රැයක්ම වතුරේ හිටියා. මුරකරුවන් සෙවීම අත්හැරලා ගියාට පස්සේ සිල්වෙස්ටර් හරි අමාරුවෙන් වැටි වැටි ගෙදර ගියා.

කලින් සඳහන් කළ ස්ටෙෆාන් සිල්වෙස්ටර්ගේ ඥාති පුතෙක්. ඔහු මිය ගියෙත් මායිම පනින්න ගිය අවස්ථාවෙදියි. ඇත්තෙන්ම යෙහෝවාගේ සෙනඟ සමඟ දිගටම සම්බන්ධකම් පැවැත්වීම අත්‍යවශ්‍යයි. නිර්භීත සාක්ෂිකරුවන් ජීවිතය පරදුවට තියලා ගෙනා සඟරාවලින් අපිට ආත්මික ආහාර සහ මඟ පෙන්වීම ලබාගන්න හැකි වුණා.

වර්ෂ 1948දී එක් රැයක අපේ නිවස ළඟ තිබුණු කුඩා විලක මාව බව්තීස්ම කළා. බව්තීස්ම වෙන්න හිටිය අය මුණගැසුණේ අපේ නිවසේයි. හැම දෙයක්ම කළුවරේ රහසිගතව කෙරුණ නිසා බව්තීස්ම වුණේ කවුද කියලවත් මම දැනගෙන හිටියෙ නැහැ. අපි එකිනෙකා කතා නොකර හිටියා. බව්තීස්ම කතාව දුන්නේ කවුද කියලවත් අපි විල ළඟ හිටගෙන ඉන්නකොට මගෙන් බව්තීස්ම ප්‍රශ්න ඇහුවේ කවුද කියලවත් අඩුම තරමේ මාව බව්තීස්ම කෙරුවේ කවුද කියලවත් මම දන්නේ නැහැ. අවුරුදු ගානකට පස්සේ හමු වූ මිතුරෙකු සමඟ විස්තර කතා කරනකොට තමයි දැනගත්තේ ඔහුත් බව්තීස්ම වෙලා තියෙන්නේ එම රාත්‍රියේදී කියලා!

සෝවියට් සමූහ ආණ්ඩුව තුළ දේශනා සේවය නීත්‍යානුකූල කිරීමට මොස්කව්වලට ගොස් ආයාචනයක් කරන ලෙස යුක්ක්‍රේන්වල සිටිය සාක්ෂිකරුවන්ට, 1949දී බෘක්ලින්වලින් උපදෙස් ලැබුණා. එම උපදෙස් අනුගමනය කරමින් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමති මාර්ගයෙන් සෝවියට් මහා අධිකරණ පරිපාලන සභාවට ලිඛිත ආයාචනයක් යැව්වා. ඊට පස්සේ අපේ ආයාචනයට ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද කියා දැනගැනීමට මීකොලා පියාටොකා සහ එල්යා බාබිචුක්ට මොස්කව්වලට යන ලෙස සමිතිය ඉල්ලා සිටියා. ඔවුන් එම වගකීම පිළිගෙන ගිම්හානයේදී මොස්කව් නුවර බලා ගියා.

මොස්කව් නුවරට ගිය සහෝදරයන් අපි දේශනා කිරීමට හේතුව බයිබලයෙන් පැහැදිලි කළ විට ආණ්ඩු නිලධාරීන් එයට ඇහුම්කන් දුන්නා. අපගේ වැඩය “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය” යන යේසුස්ගේ අනාවැකියේ ඉටුවීමක් කියා සහෝදරයන් පැහැදිලි කළා. (මතෙව් 24:14) නමුත්, ආණ්ඩුව කවමදාකවත් අපව නීත්‍යානුකූල කරන්නේ නැති බව නිලධාරීන් පැවසුවා.

එම සහෝදරයන් ආපසු පැමිණ, අපේ දේශනා සේවයට යුක්ක්‍රේනයේදී නීත්‍යානුකූල පිළිගැනීමක් ලබාගැනීමට යුක්ක්‍රේනයේ අගනුවර වූ කිව් නුවරට ගියා. එහිදීත් අධිකාරීන් ආයාචනය ප්‍රතික්ෂේප කෙරුවා. අධිකාරීන් පවසා සිටියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තමන්ගේ පාඩුවේ සිටින්න නම් ඔවුන් රජයට සහයෝගය දිය යුතුයි කියායි. ඒ කියන්නේ සාක්ෂිකරුවන් හමුදා සේවයට බැඳෙන්න සහ ඡන්ද කටයුතුවලට සහභාගි වෙන්න අවශ්‍යයි කියා ඔවුන් පැවසුවා. ඒ අවස්ථාවේදී නැවතත් අපේ මධ්‍යස්ථභාවය ගැනත් අපේ නායකයා වන යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නන් හැටියට ලෝකයෙන් කොටසක් නොවී සිටීම ගැනත් අපි ඔවුන්ට පැහැදිලි කළා.—යොහන් 17:14-16.

ඉන් ටික කාලයකට පස්සේ සහෝදර පියාටොකා සහ බාබිචුක්ව අත්අඩංගුවට අරගෙන ඔවුන්ට අවුරුදු 25ක සිරදඬුවමක් නියම කළා. වර්ෂ 1950දී මගේ තාත්තාවත් සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුවත් අධිකාරීන් අත්අඩංගුවට ගත්තා. මගේ තාත්තාට අවුරුදු 25ක සිරදඬුවමක් නියම කරලා නැඟෙනහිර සෝවියට් දේශයේ සැතපුම් 5,000ක් පමණ ඈතින් පිහිටි පළාතක් වන කබරෆ්ක්ස්වලට යැව්වා.

සයිබීරියාවට පිටුවහල් කිරීම

බටහිර සමූහාණ්ඩුවට අයත් වර්තමානයේ ලැට්වියා, එස්ටෝනියා, ලිතුවේනියා මොල්ඩෝවා, බෙලරෝස් සහ යුක්ක්‍රේනය ලෙස හඳුන්වන රටවල සිටි සාක්ෂිකරුවන්ට විරුද්ධව 1951 අප්‍රියෙල් මාසයේ සෝවියට් රජය සමස්ත ප්‍රහාරයක් එල්ල කළා. එම මාසයේදී මමත් මගේ අම්මත් ඇතුළුව සාක්ෂිකරුවන් 7,000ක් සයිබීරියාවට පිටුවහල් කළා. මහා රෑ එකපාරටම සෙබළු අපේ ගෙදරට ඇවිල්ලා අපිව දුම්රිය පොළට ඇදගෙන ගියා. ඊට පස්සේ 50දෙනා බැගින් දුම්රියේ ගවයෝ ගෙන යන පෙට්ටිවලට අපිව දැම්මා. සති දෙකකට පස්සේ අපිව අර්කුට්ස්ක් දිස්ත්‍රික්කයේ බයිකල් විල අසල සාලාරී කියන තැන බැස්සුවා.

එක පැත්තකින් හිම මිදෙන සීතල. අනෙක් පැත්තෙන් අවි අමෝරාගත් සෙබළුන්. අපිට මොනවා වෙයිද? මෙහිදී මම යෙහෝවාට පක්ෂපාතිව සිටින්නේ කොහොමද කියලා මම කල්පනා කෙරුවා. දරාගන්න බැරි සීතල අමතක වෙන්නත් එක්ක අපි රාජ්‍ය ගීතිකා ගායනා කරන්න පටන්ගත්තා. ඊට පස්සේ එම ප්‍රදේශයේ සමාගම්වල කළමනාකරුවන් ආවා. සමහර අයට බර වැඩ සඳහා පුරුෂයන් අවශ්‍ය වුණා. වෙනත් අයට සතුන් බලාගැනීම වැනි වැඩ සඳහා ස්ත්‍රීන්වත් වුවමනා වුණා. අම්මාවයි මාවයි ටැග්නින්ස්කායා විදුලි බලාගාරය ගොඩනඟන ස්ථානයට අරගෙන ගියා.

අපි එතැනට ගියාම දැක්කා පිටුවහලුන්ට නවාතැන් ගැනීමට ලීවලින් තනා තිබූ බැරැක්ක. මට පැවරී තිබුණේ ට්‍රැක්ටර් පදවන්නෙක් ලෙස සහ විදුලි කාර්මිකයෙක් ලෙස සේවය කිරීමයි. අම්මාව ගොවිපොළක වැඩ කිරීමට දැම්මා. අපිව වර්ග කර තිබුණේ පිටුවහල් කළ අය හැටියට මිසක් සිරකරුවන් හැටියට නොවෙයි. එනිසා අපිට බලාගාරයේ සීමා සහිත ඉඩ ප්‍රමාණයක එහෙ මෙහෙ යෑමට හැකි වුණා. ඒත් සැතපුම් 30ක් පමණ එහායින් තිබුණ අනෙක් වැඩ ව්‍යාපෘතියට යන්න නම් අවසර තිබුණේ නෑ. නිලධාරීන්ට ඕන වුණේ අපිව දිගටම තියාගන්නයි. එයාලා අපට බල කරලා දිගටම ඉන්න කැමතියි කියලා ලියවිල්ලකට අත්සන් කරගන්න හැදුවා. මට එතකොට වයස අවුරුදු දහනවයයි. ඒ වයසේ ඉඳලා දිගටම එහෙ ඉන්න වෙනවා කියන එක ගැන හිතන්නවත් පුළුවන්ද? ඒ නිසා මම අත්සන් කරන්න බැහැ කිව්වා. කොහොමවුණත් අපිට එම ප්‍රදේශයේ අවුරුදු 15ක් ඉන්න සිද්ධ වුණා.

සයිබීරියාවේ ඉන්නකොට නම් පෝලන්ත මායිම සැතපුම් 5ක් නොවෙයි සැතපුම් 4000කටත් වඩා වැඩි ඈතකිනුයි තිබුණේ. සාක්ෂිකරුවන් සභාවක් ලෙස නැවතත් සංවිධානය වූ අතර, මූලිකත්වය ගැනීමට පුරුෂයන් පත් කළා. ආරම්භයේදී, සහෝදරයන් යුක්ක්‍රේනයේ සිට එන විට ගෙනා සඟරා කිහිපයක් ඇරෙන්න අපිට බයිබල් පොත් පත් තිබුණේ නැහැ. එමනිසා ඒ සඟරා අතෙන් පිටපත් කර අප අතර බෙදාගත්තා.

ඉක්මනින්ම රැස්වීම් තියන්න පටන්ගත්තා. සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් බැරැක්කවල ජීවත් වූ නිසා සන්ධ්‍යාවන් බොහෝමයකදී එකට එකතු වෙන්න අපිට හැකි වුණා. අපේ සභාවේ 50දෙනෙක් විතර සිටියා. දිව්‍යාණ්ඩු පාසැල පැවැත්වූයේ මා විසින්. සභාවේ පුරුෂයන් ස්වල්පදෙනෙක් සිටිය නිසා ස්ත්‍රීන්ටත් ශිෂ්‍ය කතා දෙන්න සිදු වුණා. ස්ත්‍රීන් ශිෂ්‍ය කතා දීම සභාවට හඳුන්වා දුන්නේ 1958දීයි. දිව්‍යාණ්ඩු සේවා පාසැල යෙහෝවාට ප්‍රශංසාවක් මෙන්ම සභාවේ අන් අයට දිරිගැන්වීමක් ලෙස සිතා හැමෝම තමන්ගේ පැවරුම බැරෑරුම්ව සැලකුවා.

අපගේ සේවයට ආශීර්වාද

අපගේ ඇදහිල්ල ගැන අනිත් අයට පැවසීම තහනම් වුණත් සාක්ෂිකරුවන් නොවන අයත් බැරැක්කවල සිටි නිසා ඒ අයට සාක්ෂි නොදරපු දවසක් නෑ. 1953දී සෝවියට් දේශයේ අගමැති ජෝස්ෆ් ස්ටාලින් මැරුණා. ඊට පස්සේ තත්වය යහපත් අතට හැරුණු අතර බයිබලයේ සඳහන් විශ්වාසයන් නිදහසේ අනිත් අය සමඟ බෙදාගන්න අපට ඉඩ දුන්නා. යුක්ක්‍රේනයේ සිටි මිතුරන් සමඟ පණිවිඩ හුවමාරු කිරීමෙන් පසුව අපට හැකි වුණා අප සිටිය ප්‍රදේශයේ වෙනත් සාක්ෂිකාරයන් සිටින තැන් සොයාගන්න. මේ නිසා සභාවන් චාරිකා මට්ටමෙන් සංවිධානය කිරීමට අපිට පුළුවන් වුණා.

වර්ෂ 1954දී මම ඔල්ගා සමඟ විවාහ වුණා. ඇයත් යුක්ක්‍රේනයෙන් පිටුවහල් කළ තැනැත්තියක්. මට යෙහෝවාගේ සේවය කරගෙන යෑමට අවශ්‍ය හැම සහයෝගයක්ම ඇය අවුරුදු ගණනාවක් පුරා ලබා දුන්නා. වර්ෂ 1947දී යුක්ක්‍රේනය සහ පෝලන්ත මායිම අසල වෙඩි වැදී මැරුණ ස්ටෙෆාන් ඔල්ගාගේ සහෝදරයායි. කාලයක් යනකොට අපේ දුව වැලන්ටිනා ඉපදුණා.

සයිබීරියාවේ ක්‍රිස්තියානි දේවසේවය තුළින් ඔල්ගයි මායි බොහෝ ආශීර්වාද භුක්ති වින්දා. එක අද්දැකීමක් තමයි බැප්ටිස් සාමාජිකයන්ගේ නායකයෙක් ලෙස කටයුතු කළ ජෝර්ජ්ව මුණගැසීම. අපි නොකඩවාම ඔහුව හමුවීමට ගියා. අප ළඟ තිබුණු මුරටැඹ සඟරා යොදාගෙන ඔහුත් සමඟ පාඩම් කළා. යෙහෝවාගේ සේවකයන් බයිබලය උපයෝගි කරගෙන දේශනා කළ දේ සත්‍යයි කියා ඔහු ඉක්මනින්ම තේරුම්ගත්තා. පසුව ඔහුගේ වෙනත් බැප්ටිස් යහළුවන් කිහිපදෙනෙකුත් අප සමඟ පාඩම් කරන්න පටන්ගත්තා. ජෝර්ජ් සහ ඔහුගේ යහළුවන් කිහිපදෙනෙක්ම බව්තීස්ම වෙලා අපේ ආත්මික සහෝදරයන් වෙද්දී අපිට ඇති වුණ සතුට කියා නිම කරන්න බෑ!

වර්ෂ 1956දී මාව සංචාරක අවේක්ෂකයෙක් හැටියට පත් කළා. මට හැම සතියකම අපේ පළාතේ සභාවන් බැහැදකින්න සිදු වුණ නිසා දහවල් කාලයේ වැඩ කරලා හවසට මෝටර් සයිකලයෙන් සභාවන් බැහැදකින්න යනවා. ආයෙත් ඊළඟ දවසේ උදෑසන වැඩට යෑමට පිටත් වෙනවා. මේ අතර මගේ සංචාරක වැඩවලට උපකාර කිරීම සඳහා පත් කළ සහෝදර මිකාහිලෝ සර්ඩින්ස්කි 1958දී මාර්ග අනතුරකින් මිය ගියා. ඔහු මිය ගියේ බදාදා දිනයක, නමුත් සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට අවමඟුලට සහභාගි වීමට හැකිවීම සඳහා අවසන් කටයුතු ඉරිදා දක්වා කල් දැම්මා.

බොහෝදෙනෙක් මිනි පිට්ටනියට ඇවිදගෙන යනකොට ආණ්ඩුවේ ආරක්ෂක නිලධාරීනුත් අපේ පිටුපසින් ආවා. ඒ අවස්ථාවේදී බයිබලයේ සඳහන් අපේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන කතාවක් දුන්නා නම් අපිව අත්අඩංගුවට ගන්න ඉඩ තිබුණු නිසා මම මිකාහිලෝ ගැනත් එයාගේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කළා. මම බයිබලය භාවිත කළත් ආණ්ඩුවේ ආරක්ෂක නිලධාරීන් මාව අත්අඩංගුවට ගත්තේ නැහැ. සමහරවිට මගෙන් එයාලට කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා හිතෙන්න ඇති. කොහොමවුණත් ප්‍රශ්න කිරීමට නිතර නිතර ඔවුන්ගේ මූලස්ථානයට මාව ගෙන්වාගෙන තියෙන නිසා ඔවුන්ට මගේ මුහුණ හොඳට මතක තිබුණා.

පාවා දීමක්

වර්ෂ 1959දී ආණ්ඩුවේ ආරක්ෂක නිලධාරීන් දේශනා සේවයේ පෙරමුණ ගෙන සිටි සාක්ෂිකරුවන් 12දෙනෙකුව අත්අඩංගුවට ගත් අතර මාත් ඇතුළුව තවත් කිහිපදෙනෙක්ව ප්‍රශ්න කිරීමට කැඳෙව්වා. ප්‍රශ්න කිරීම සඳහා මගේ වාරය ආවා. අපේ වැඩකටයුතු ගැන හැම රහස් තොරතුරක්ම නිලධාරීන් දැනගෙන හිටිය නිසා මාව ගැස්සුණා. එයාලා මේ දේවල් දැනගත්තේ කොහෙන්ද? අනිවාර්යයෙන්ම කවුරුහරි අපි ගැන හොඳට දන්න කෙනෙක් ආණ්ඩුවට ඔත්තු දීලා තියෙනවා කියලා මට හිතුණා.

අත්අඩංගුවට ගත් 12දෙනාම සිටියේ එකිනෙකට යාබදව ඇති සිරකුටිවලයි. නිලධාරීන්ට කිසිම දෙයක් නොකියන බවට ඔවුන් පොරොන්දු වුණා. මේ නිසා ඔත්තු සැපයූ පුද්ගලයාටම සිදු වුණා නඩු විභාගයේදී සාක්ෂි දීමට ඉදිරිපත් වෙන්න. මට චෝදනාවක් තිබුණේ නැති වුණත් උසාවියේ සිදු වෙන්නේ මොනවද කියලා බලන්න ගියා. නඩු විභාගයේදී විනිශ්චයකරු ප්‍රශ්න නැඟූ විට 12දෙනාම උත්තර නොදී සිටියා. ඊට පස්සේ මම අවුරුදු ගණනක් දන්න කොන්ස්ටන්ටින් පොලිෂ්චක් කියන සහෝදරයා ඇවිත් 12දෙනාට විරුද්ධව සාක්ෂි දුන්නා. සමහර සාක්ෂිකරුවන්ට සිරදඬුවම් නියම කරමින් නඩු විභාගය අවසන් කෙරුණා. ඊට පස්සේ මම උසාවියෙන් පිට වී එන විට පාරේදී මට පොලිෂ්චක්ව මුණගැසුණා.

“ඇයි අපිව පාවා දුන්නේ?” කියලා මම ඔහුගෙන් ඇසුවා.

“මට කිසි විශ්වාසයක් නෑ,” කියා ඔහු පැවසුවා.

“ඔබට විශ්වාසයක් නැත්තේ මොනවා ගැනද?” කියා මම ඇසුවා.

“මට බයිබලය විශ්වාස කරන්න බෑ” කියා ඔහු පැවසුවා.

පොලිෂ්චක්ට තිබුණා මාවත් පාවලා දෙන්න. ඒත් ඔහු සාක්ෂි දෙනකොට මගේ නම කිව්වේ නෑ. එසේ කළේ ඇයි කියා මම ඔහුගෙන් ඇසුවා.

“ඔයා හිරේට යනවා දකින්න මම කැමති නෑ” කියා ඔහු පැවසුවා. “ඔයාගේ භාර්යාවගේ සහෝදරයා ස්ටෙෆාන්ව මම තමයි මායිමෙන් පනින්න කියලා යැව්වේ. ඒ ගැන ඇත්තෙන්ම මම දුක් වෙනවා.”

ඔහුගේ වචන ඇසුවාම මම පුදුම වුණා. ඔහුගේ හෘදය සාක්ෂිය වෙනස් වී ඇති ආකාරය බලන්න! ඔහු ස්ටෙෆාන්ගේ මරණය ගැන දුක් වෙනවා. ඒ වුණාට යෙහෝවාගේ සේවකයන්ව පාවා දුන්න එක ගැන නම් කිසිම දුකක් නැහැ. මෙම සිද්ධියෙන් පස්සේ මම පොලිෂ්චක්ව දැක්කෙ නැහැ. ඊට මාස කිහිපයකට පස්සේ ඔහු මිය ගියා. අවුරුදු ගණනාවක් පුරා මම විශ්වාස කළ කෙනෙක් අපේ සහෝදරයන්ව පාවා දෙනවා දකිනකොට මට පුදුම දුකක් ඇති වුණා. ඒ වුණාට ඒ අද්දැකීම මට වටිනා පාඩමක් ඉගැන්වුවා. පොලිෂ්චක් ද්‍රෝහි වීමට හේතු වුණේ ඔහු බයිබලය කියවීම සහ බයිබලය විශ්වාස කිරීම අත්හැරීමයි.

අපත් මෙම පාඩම හොඳින් මනසේ තබාගත යුතුයි. යෙහෝවාට පක්ෂපාතිව සිටින්න නම් අප නිතිපතා ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කළ යුතුයි. බයිබලයේ මෙසේ පවසනවා. “සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.” මීට අමතරව ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. “ජීවමාන [දෙවි] කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.”—හිතෝපදේශ 4:23; හෙබ්‍රෙව් 3:12.

නැවතත් යුක්ක්‍රේනයට

සයිබීරියාවේ පිටුවහලුන්ව සිටි අපට 1966දී නිදහස ලැබුණ විට ඔල්ගා සහ මම යුක්ක්‍රේනයට පැමිණ, ලවොෆ් ප්‍රදේශයෙන් සැතපුම් 50ක් පමණ එහායින් ඇති සොකාල් නගරයට ගියා. සොකාල්වල සහ ඒ ළඟපාත නගර වූ චේවොනෝගාඩ්වලත් සොස්නිෆ්කාවලත් සාක්ෂිකාරයන් සිටියේ 34දෙනෙක් නිසා අපිට කරන්න බොහෝ වැඩ තිබුණා. දැන් එම ප්‍රදේශවල අපිට සභා 11ක් තිබෙනවා!

අන්තිමය දක්වා විශ්වාසවන්තව සිටිමින් වර්ෂ 1993දී ඔල්ගා මිය ගියා. අවුරුදු තුනකට පස්සේ මම ආයෙත් විවාහ වුණා. එදා සිට මගේ ආදරණීය භාර්යාව වූ ලිඩියා මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මගේ දුව සහ එයාගේ පවුල යෙහෝවාගේ ජ්වලිත සේවකයන් වී සිටීමත් මට ලොකු දිරිගැන්වීමක්. මට මේ හැම දෙයකටම වඩා ඇති වන ලොකුම සතුට තමයි පක්ෂපාතිව කටයුතු කරන දෙවි කෙනෙක් වන යෙහෝවාට පක්ෂපාතිව සිටින්න ලැබීම.—2 සාමුවෙල් 22:26.

මෙම ලිපිය පළ කිරීමට සූදානම් කෙරෙමින් තිබියදී 2000 පෙබරවාරි 18වනදා ඕලෙක්සි ඩේවිඩ්යූක් යෙහෝවා දෙවිට පක්ෂපාතිව සේවය කර මිය ගියා.

[20වන පිටුවේ පින්තූරය]

1952දී නැඟෙනහිර සයිබීරියාවේ බැරැක්ක තුළ රැස් වූ අපේ සභාව

[23වන පිටුවේ පින්තූරය]

1953දී අපේ දිව්‍යාණ්ඩු සේවා පාසැල

[23වන පිටුවේ පින්තූරය]

1958දී මිකාහිලෝ සර්ඩින්ස්කිගේ අවමඟුල් උත්සවය

[24වන පිටුවේ පින්තූරය]

මගේ භාර්යාව ලිඩියා සමඟ