Skip to content

පටුනට යන්න

රැකියාව අහිමි වුණොත්?

රැකියාව අහිමි වුණොත්?

රැකියාව අහිමි වුණොත්?

ග්‍රැහැම් * අවුරුදු 37ක කාලයක් පුරා ඕස්ට්‍රේලියාවේ විශාල සමාගමක වැඩ කළා. ඔහු පනස්වන වියේ අවසාන භාගයේ පසු වෙද්දී, ඔහුගේ සේවය තවදුරටත් සමාගමට අවශ්‍ය නැහැ කියා සඳහන්ව තිබූ ලිපියක් ඔහුට ලැබුණා. ඔහුට රැකියාවෙන් ඉවත් වීමට කල් දී තිබුණේ සති කිහිපයක් පමණයි. මේ ලිපිය දැකීමෙන් ඔහු මොනතරම් කම්පිත වෙන්න ඇද්දැයි අපිට සිතාගන්න පුළුවන්. එමෙන්ම තමාගේ ඉදිරි ජීවිතයට කුමක් වෙයිද කියා සෑහෙන දුරට සිතූ ඔහුව දැඩි ව්‍යාකූලත්වයකට පත් වූ බවට සැකයක් නැහැ. ‘මගේ රැකියාව අහිමි වෙන්න තියෙන ඉඩ කඩ ගැන මම විශ්‍රාම යන වයසට එන තෙක් සිතුවේ නැහැ’ කියා පුදුමයෙන් යුතුව ග්‍රැහැම් පැවසුවා.

රැකියාවක් අහිමි වීම අසාමාන්‍ය සිදුවීමක්වත් අලුත් දෙයක්වත් නොවෙයි. කෙසේවෙතත්, ලොව පුරා විශාල ප්‍රමාණයෙන් රැකියා අහිමි වීම වත්මන් පරම්පරාවට නම් අලුත් දෙයක්. රැකියා අහිමි වීමට බලපාන හේතු බොහොමයක් තිබෙනවා. මේවා අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ ආයතනයක් මගින් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමයි. ඇතැම් ආයතනවල සේවක සංඛ්‍යාව අඩු කරන්නේ ඇයි?

රැකියා ස්ථානයේ සිදු වන වෙනස්කම්

අද බොහෝ රටවල දකින්න ලැබෙන්නේ ලෝක වෙළඳපොළට නැඹුරු වූ ආර්ථිකයක්. මෙවැනි තත්වයක් පවතින බව විශේෂයෙන්ම තේරුම්ගත්තේ 1970 ගණන්වලදීයි. වෙනත් රටවල නිපදවන මෝටර් රථ, විද්‍යුත් උපකරණ හා විවිධ වර්ගයේ භාණ්ඩ මිල දී ගන්නා පාරිභෝගිකයන් ගණන දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව එක්සත් ජනපදයේ සමාගම්වල අවධානයට ලක් වූයේ ඒ කාලයේදීයි.

තරඟකාරිත්වයට මුහුණ දීමේ හා නිෂ්පාදන වියදම් අඩු කිරීමේ අරමුණින්, අමෙරිකානු සමාගම් ඒවායේ සේවක පිරිස අඩු කරමින්, දියුණු නිෂ්පාදන ශිල්ප ක්‍රම හා නවීන තාක්ෂණික උපකරණ භාවිත කරන්න පටන්ගත්තා. සමාගම් ඒවායේ වැඩ කරන සේවකයන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා සේවය අත්හිටුවීම, නියමිත කාලයට පෙර විශ්‍රාම යෑම සඳහා දිරි දීමනා දීම, සේවා ස්ථාන මාරු කිරීම හා ඉල්ලා අස්වන හා විශ්‍රාම යන සේවකයන් වෙනුවට අලුතින් සේවකයන් බඳවා නොගැනීම වැනි ක්‍රම යොදාගත්තා.

සේවක සංඛ්‍යාව අඩු කිරීමේ වැඩපිළිවෙළ මගින් මුල් කාලයේදී වැඩියෙන්ම පීඩා වින්දේ කම්කරු පන්තියයි. එහෙත්, 1980 ගණන්වල අගභාගයේදී හා 1990 ගණන්වල මුල්භාගයේදී කම්කරු පන්තියට අයත් නොවන අයගේ, විශේෂයෙන්ම අතරමැදි කළමනාකරණයට සම්බන්ධ අයගේ පවා රැකියා අහිමි වුණා. වැඩි කල් යන්න මත්තෙන් මේ තත්වය සියලුම කාර්මික රටවල දැකගත හැකි වුණා. මූල්‍ය අර්බුදයන් වැඩි වන විට ආණ්ඩු හා ආයතන තම සේවක පිරිස් තව තවත් අඩු කිරීමෙන් වියදම් කපාහැරීමට මං සොයා තිබෙනවා.

එදා වගේ නොවෙයි, අද බොහෝ සේවකයන්ට තමන්ගේ රැකියාව ස්ථිරයි කියා හැඟෙන්නේ නැහැ. වෘත්තීය සමිතියක නිලධාරියෙක් මෙසේ සඳහන් කළා. “අවුරුදු 10ක්, 15ක් හෝ 20ක් වැනි කාලයක් පුරා තමන් සේවය කරන ආයතනයට ලැදිව සේවය කළ අය තුළ පවා තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් තිබූ විශ්වාසය අද බිඳී ගොස් තිබෙනවා. ඔවුන්ව හිටිහැටියේම සේවයෙන් පහ කර තිබෙනවා.” සාමාන්‍ය සේවකයෙකුව විස්තර කිරීම සඳහා “ආයතනයට ලැදි මිනිසා” යන නම 1956දී යොදාගත් බව සේවක සංඛ්‍යාව අඩු කළ ආයතන නඟා සිටුවීම (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ ඩෙලොරෙස් ඇම්බ්‍රොස් පැහැදිලි කරනවා. ඈ තවදුරටත් මෙසේ පවසනවා. “සේවකයා කම්කරුවෙකු වුවත් කළමනාකරුවෙකු වුවත් ඔහු තමාගේ කුසලතා සම්පූර්ණයෙන්ම යොදවා තිබෙන්නේ තමන් වැඩ කරන ආයතනය වෙනුවෙනුයි. එමෙන්ම ඔහු ආයතනයට ලැදිව සේවය කර තිබෙනවා. ඔහු මේ සියල්ල කර තිබෙන්නේ තමා විශ්‍රාම යන තෙක් තමාගේ රැකියාව අහිමි නොවෙයි යන හැඟීම ඇතුවයි. සේවකයා හා ආයතනය අතර තිබූ මේ බැඳීම අද බිඳී ගොස් තිබෙනවා.”

බොහෝ සමාගම් ඒවායේ සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීම නිසා ලොව පුරා දශලක්ෂ ගණනකගේ රැකියා අහිමි වී තිබෙනවා. එක්සත් ජනපදයේ පමණක්, ස්ථිර රැකියා කළ ඉහළ පෙළේ තනතුරු දැරූ දශලක්ෂ ගණනකගේ රැකියා අහිමි වී තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල් බොහොමයකද සේවක සංඛ්‍යාව අඩු කර තිබෙනවා. එහෙත් රැකියා අහිමි වූ අය මුහුණ දෙන පීඩනය ගැන මෙම සංඛ්‍යා ලේඛනවලින් කියවෙන්නේ නැහැ.

කනගාටුදායක ප්‍රතිඵල

මේ ලිපියේ මුලින්ම සඳහන් කළ ග්‍රැහැම් මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම, රැකියාව අහිමි වුණාම සෑහෙන මානසික පීඩනයකට ලක් වෙනවා.” ඔහුගේ රැකියාව අහිමි වීම ඔහු සැලකුවේ හරියට ඔහුගේ “අතපය කඩා දැමුවා” හා සමාන දෙයක් ලෙසයි.

තමන් සේවය කරන සමාගමට ලැදිව ඇප කැප වී වැඩ කළත් තමන්ට නිසි ලෙස සලකන්නේ නැත්නම් තමන් කළ කැප කිරීම් සියල්ල නිෂ්ඵලයි කියා සේවකයන්ට හැඟෙනවා. සමාගමක සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා සැලසුම් කිරීම නිසා එහි ප්‍රධාන විධායක නිලධාරින්ට බොහෝ අවස්ථාවලදී වාසි ප්‍රයෝජන ලැබෙනවා. මෙවැනි අවස්ථාවලදී තමන් විධායක නිලධාරින් කෙරෙහි තබා තිබූ විශ්වාසය ඔවුන් පාවා දී තිබෙන බව සේවකයන්ට හැඟෙනවා. මීට අමතරව, හිටිහැටියේම තමන්ගේ රැකියාව අහිමි වීම නිසා ණය ගෙවාගැනීමට, පවුලේ අයගේ බේත් හේත් සඳහා වියදම් කිරීමට හා දරුවන්ගේ පාසැල් ගාස්තු ගෙවීමට ඔවුන්ට නොහැකි වෙනවා. එමෙන්ම මෙතෙක් කල් තමන් භුක්ති විඳි දේවල් තවදුරටත් භුක්ති විඳින්න නොහැකි වී යනවා. සමහරවිට ඔවුන්ට තමන් සතු දේවල් විකිණීමට පවා සිදු විය හැකියි. මෙවැනි තත්වයන්ට මුහුණ දෙන අය තුළ බලාපොරොත්තු කඩවීමේ හා නොවටිනාබවේ හැඟීම් ඇතිවීම සාමාන්‍ය දෙයක්.

ස්ථිර හා අර්ථවත් රැකියාවක් මගින් ආත්ම විශ්වාසයේ හැඟීමක් ඇති කළ හැකියි. එහෙත් හිටි හැටියේම රැකියාව අහිමි වීම, නිරෝගි සෞඛ්‍යයකින් පසු නොවන හෝ කුසලතා නොමැති හෝ මහලු වියේ පසු වන අය කෙරෙහි ඇති කරන බලපෑම ගැන සිතා බලන්න. සමාගමක් එහි සේවක සංඛ්‍යාව අඩු කිරීමේදී, ඒ සඳහා වැඩියෙන්ම තෝරාගන්නේ අවුරුදු 45 සිට 59 දක්වා වයස් මට්ටමේ පසු වන අයව බව ඕස්ට්‍රේලියාවේ කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. රැකියාව අහිමි වීම නිසා උද්ගත වන තත්වයන්ට මුහුණ දීම වැඩියෙන් දුෂ්කර වන්නේ එම වයස් කාණ්ඩයේ පසු වන අයටයි.

රැකියාව අහිමි වූ අයට වෙනත් රැකියා සොයාගත හැකිද? රැකියාවක් නැතුව සිටිනවාට වඩා කෙනෙක් අඩුම තරමින් තම තත්වය අනුව අර්ධ කාලීන රැකියාවක් හෝ අඩු වැටුපක් ලබන රැකියාවක්වත් සොයාගැනීම සුදුසුයි. නමුත් එවැනි තත්වයකදී ජීවන තත්වය අනිවාර්යයෙන්ම පහත බසින බව නම් ස්ථිරයි. තමන් කලින් කරනු ලැබූ රැකියාවේදී මෙන් වැටුප් ලබන රැකියාවක් සොයාගැනීමට හැකි වී තිබෙන්නේ සේවය අත්හිටවූ අයගෙන් තුනෙන් එකකට පමණක් බව සොයාගෙන තිබෙනවා. අඩු වැටුප් ලැබීමේ ප්‍රතිඵලය වන්නේ පවුලේ ආර්ථික ගැටලු වැඩිවීමයි.

දැනට කරන රැකියාව පවා අනාගතයේදී අහිමි වීමට ඉඩ තිබෙන නිසා, සාමකාමී මනසක් ඇතුව රැකියාව කරගෙන යෑමට නොහැකි විය හැකියි. රැකියාව අහිමි වීම (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙසේ සඳහන් වෙනවා. “රැකියාව අහිමි වීම ගැන කලින් සිතීම, ඔබ රිය අනතුරකට ලක් වන ආකාරය ගැන කලින් සිතා බැලීම හා සමානයි. තමන් හදිසි අනතුරකට මුහුණ දෙන ආකාරය හෝ එයින් බේරෙන ආකාරය ගැන කලින් සිතා බලන්න ඔබට හැකියාවක් නැහැ.”

විරැකියාව යෞවනයන්ට බලපාන්නේ කෙසේද? අධ්‍යාපනික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ ආයතනයක් මගින් සමීක්ෂණයක් කිරීමෙන් පසු මෙම අදහස පළ කරනු ලැබුවා. “වැඩිහිටියෙක් බව කියාපාන බාහිර ලක්ෂණ අතුරින් එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ස්ථිර රැකියාවක් තිබීමයි. මෙවැනි රැකියාවක් සොයාගත් විට, යෞවනයෙකු කාටවත් අත නොපා ජීවත් විය හැකි හොඳ ස්ථාවරයක සිටින වැඩිහිටියෙක් බවට පත් වී තිබෙන බව ඇඟවෙනවා.” රැකියාවක් කිරීම මගින්, යෞවනයෙක් හොඳ ස්ථාවරයක සිටින වැඩිහිටියෙක් බවට පත් වෙන බව සිතනවා නම්, රැකියාවක් නොමැති වීම යෞවනයන්ව කලකිරීමට පත් කළ හැකියි.

රැකියාව අහිමි වීමට මුහුණ දීම

රැකියාව අහිමි වීම සමඟ සාර්ථකව කටයුතු කිරීම බිම් බෝම්බ වළලා තිබෙන ප්‍රදේශයක් හරහා ගමන් කිරීමකට සමාන කර තිබෙනවා. රැකියාව අහිමි වූ අයට කේන්ති යෑම, ලැජ්ජාව, බිය, දුක හා ආත්ම අනුකම්පාව වැනි හැඟීම් ඇති වන බව රැකියාව අහිමි වීම නමැති පොතේ සඳහන් වෙනවා. එවැනි චිත්තවේගයන් සමඟ කටයුතු කිරීම දුෂ්කරයි. ඉහත සඳහන් කළ පොතේ කතුවරයා මෙසේ පවසනවා. “ඔබට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ ඉතාමත් දුෂ්කර දෙයකටයි. එනම් ඔබේ අනාගතය තීරණය කරන දෙයකටයි. මේ තත්වයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද කියා ඔබ නොදන්නවා විය හැකියි. ඔබට කාගෙන්වත් උපකාරයක් නැති බව හැඟී යා හැකියි.” හිටිහැටියේම රැකියාව අහිමි වූ කෙනෙකු මුහුණ දෙන ගැටලුවලින් ඉතාමත් දුෂ්කර එකක් වන්නේ තමාගේ පවුලේ අයට ඒ ගැන පැවසීමයි.

කෙසේවෙතත්, හදිසියේම රැකියාව අහිමි වීම නිසා පැනනඟින තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා උපකාරවත් වන ප්‍රායෝගික ක්‍රම කිහිපයක් තිබෙනවා. කළ යුතු මුල්ම දෙය වන්නේ ඔබ මෙතෙක් පුරුදු වී සිටි ජීවිත රටාව වෙනස් කිරීමට හැකි ඉක්මනින් පියවර ගැනීමයි. මේ නිසා ඔබට බොහෝ දේවල් අඩුවෙන් භුක්ති විඳීමට සිදු විය හැකියි.

මෙම තත්වය සමඟ හොඳින් කටයුතු කිරීම සඳහා ඔබට උපකාරවත් විය හැකි යෝජනා කිහිපයක් පහත දැක්වෙනවා. ඇතැම්විට මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ගැටලු සම්පූර්ණයෙන්ම විසඳුණේ නැති වුණත්, එයින් හොඳ ප්‍රතිඵල අත් විය හැකියි. මුලින්ම, අනපේක්ෂිත ලෙස රැකියාවක් අහිමි වීම මේ කාලයේදී සිදු විය හැකි දෙයක් බව වටහාගන්න. මේ නිසා ඔබ කුමන වයස් මට්ටමක සිටියත්, හොඳ පළපුරුද්දක් ලබා තිබුණත්, යම් දවසක රැකියාව අහිමි වුවහොත් ඔබ ජීවත් වීමට යන්නේ කෙසේද කියා කලින්ම සැලසුම් කරන්න.

දෙවනුව, කෑම බීම හා ඇඳුම් පැළඳුම් වැනි අත්‍යවශ්‍ය දේවල් හැර වෙනත් දේවල් මිල දී ගැනීම සඳහා විශාල වශයෙන් මුදල් ණයට ගැනීමේදී කල්පනාකාරි වන්න. ඔබේ ආදායමට සරිලන සේ ඔබේ ජීවන රටාව සකස් කරගන්න. අනාගත දවසකදී රැකියාවේ උසස් වීමක් ලැබීමෙන් ආදායම වැඩි විය හැකි නිසා හෝ ඉදිරියේදී වැටුප් වැඩි වෙන්න ඉඩ කඩ තිබිය හැකි නිසා ණය ගෙවන්න අමාරු වෙන එකක් නැහැ කියා නොසිතන්න. මන්ද අද තිබෙන ආර්ථික රටාව ගැන දිගු කාලීන බලාපොරොත්තු තබාගත නොහැකියි.

තුන්වෙනුව, ඔබේ වර්තමාන ජීවන රටාව සරල කරගත හැකි ආකාර හා වියදම් අඩු කරගත හැකි ආකාර ගැන සිතා බලන්න. සරල හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍ය නොවන දේවල් සඳහා ණය නොවී සිටීම ඇතුළත් වෙනවා.

සිව්වනුව, ඔබේ ජීවිතයේ දිගුකාලීන ආත්මික හා ලෞකික ඉලක්ක නැවත සලකා බලා, ඒවා ගැන අලුතින් සිතන්න. මෙසේ කිරීමෙන් ඔබේ ඉලක්ක සම්බන්ධයෙන් ඔබ ගන්න තීරණ හා ඒවා ඔබේ ජීවිතයට බලපාන ආකාරය ගැන හොඳින් සිතා බැලීමට ඔබට හැකියි.

අවසාන වශයෙන්, ඔබ ප්‍රදේශයේ සිටින සකසුරුවම්කමින් තොරව ජීවත් වන අයගේ ජීවන රටාව අනුව හැඩගැසෙන්න උත්සාහ නොකරන්න. මෙසේ කිරීමට යෑමෙන් ඔබ මලපතකට හසු විය හැකියි.

වර්තමාන ජීවන රටාවන්වලට අනුව හැඩගැසෙන්න යෑමෙන් ඇති වන කාංසාවන් බොහොමයකින් හා අස්ථිර ලෝකයක් තුළ ධනය ඉපයීමේ අවිනිශ්චිත කාර්යය මත රඳා සිටීමේ මලපතින් වළකින්න ඔබටත් ඔබේ පවුලේ අයටත් ඉහත සඳහන් කළ යෝජනා කිහිපය උපකාරවත් විය හැකියි.

කලින් බැංකු හා සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටි තැනැත්තෙකු වූ ෆීලික්ස් රොහැටන් මෙසේ පවසා තිබෙනවා. “යමෙකුගේ රැකියාව අහිමි වීම වෙනත් කෙනෙකුගේ ධනය වැඩිවීමට හේතු වන බව සිතීම අප සමාජය තුළ පවතින බරපතළ වරදක්.” එම සමාජ ක්‍රමය පහ වී ගොස්, සුරක්ෂිත හැඟීමකින් යුතුව සැමදා නිරත විය හැකි රැකියා පවතින ක්‍රමයක් වැඩි කල් නොගොස් ඇති වෙන්න යනවා.—යෙසායා 65:17-24; 2 පේතෘස් 3:13.

[පාදසටහන]

^ 2 ඡේ. සැබෑ නම නොවෙයි.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘යමෙකුගේ රැකියාව අහිමි වීම වෙනත් කෙනෙකුගේ ධනය වැඩිවීමට හේතු වන බව සිතීම බරපතළ වරදක්’

[15වන පිටුවේ පින්තූරය]

ඔබේ ජීවිත රටාව සරල කරගත හැකි ආකාර ගැන සිතා බලන්න