Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතය පාලනය කිරීමට රාශි චක්‍රයට ඉඩ දිය යුතුද?

ඔබේ ජීවිතය පාලනය කිරීමට රාශි චක්‍රයට ඉඩ දිය යුතුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ඔබේ ජීවිතය පාලනය කිරීමට රාශි චක්‍රයට ඉඩ දිය යුතුද?

“තමන්ගේ අනාගතය ග්‍රහ තාරකාවල බලපෑම මත තීරණය වන බව තරුණ අය ඇතුළුව වැඩිහිටි බොහෝදෙනෙක් විශ්වාස කරනවා.”—IIවන ජුවාම් පාවුලු පාප්.

අමෙරිකාවේ පුද්ගලයන් හතරදෙනෙකුගෙන් එක් කෙනෙකු තීරණ ගැනීමේදී ජ්‍යෝතිඃ ශාස්ත්‍රය යොදාගන්නා බව එක් සමීක්ෂණයකින් හෙළි විය. යම් දේවල් තීරණය කිරීමේදී ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ පිහිට පැතීම අමෙරිකාවේ පමණක් සිදු වන දෙයක් නොවේ. ව්‍යාපාරික කටයුතුවලදී, ගමන් බිමන් සැලසුම් කිරීමේදී, වෘත්තියේ යම් වෙනස්කම් කිරීමේදී, විවාහ දිනයන් නියම කිරීමේදී හා යුධ උපක්‍රම යෙදීමේදී රාශි චක්‍රයේ ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගැනීම ලොව පුරාම පාහේ සිදු වේ. තමන්ගේ අනාගත කලත්‍රයාව හඳුනාගැනීමට හා ඔහු හෝ ඇය තමන්ට ගැළපෙනවාද නැද්ද කියා තීරණය කරගැනීමට එම තැනැත්තාගේ හඳහන යොදාගත හැකි බව සමහරු විශ්වාස කරති. මේ නිසා ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ලොව පුරා වෙසෙන දශලක්ෂ ගණනකගේ අවධානයට ලක් වී ඇත. ඇත්තෙන්ම රාශි චක්‍රවල මූලාරම්භය කුමක්ද?

ඓතිහාසික පසුබිම

විවිධ ස්වරූපයන් ගත් රාශි චක්‍රවල ආරම්භය පැරණිතම ශිෂ්ටාචාර දක්වා විහිදී යයි. බයිබලයෙහි පවා “ග්‍රහතාරකා [රාශි චක්‍ර, NW]” ගැන සඳහන් වේ. (2 රාජාවලිය 23:5) පුරාණ කාලයේ විසූ හින්දු භක්තිකයන්, චීන ජාතිකයන්, මිසරවරුන්, ග්‍රීක්වරුන් හා වෙනත් අය විසින් රාශි චක්‍ර තමන්ගේ ජීවිතවලට බලපාන ආකාරය සැලකිල්ලට ගන්නා ලදි. කෙසේවෙතත්, රාශි චක්‍ර පෙන්නුම් කරන ලකුණු සඳහන් පැරණිතම මූලාශ්‍ර සොයාගෙන තිබෙන්නේ පුරාණ බබිලෝනියෙනි.

බබිලෝනිවරුන් අනාගතය පිළිබඳ තොරතුරු ලබාගැනීමට දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රය බිහි විය. ආකාශ වස්තු ගමන් කරන ආකාරය සැලකිල්ලට ගනිමින් සංකීර්ණ සිතියම් හා වගු සකස් කරන ලදි. මෙම වගු හා සිතියම්වල සඳහන් තොරතුරු සැලකිල්ලට ගනිමින් මිනිසුන්ගේ ජීවිත ගැන හා පොළොව මත සිදු වන දේවල් ගැන පුරෝකථනය කරන ලදි. බොහෝ අවස්ථාවලදී ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගේ උපදෙස් නොතකා කිසිදු දේශපාලනික හෝ යුද්ධමය තීරණයක් නොගන්නා ලදි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, විශේෂ ප්‍රඥාවක් හා මනුෂ්‍යත්වය ඉක්මවූ විශේෂිත බලයක් තිබෙන බව කියාගන්නා පූජක පන්තියක් බිහි වූ අතර, මිනිසුන් කෙරෙහි ප්‍රබල බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි විය. ඊට අමතරව බබිලෝනියේ පිහිටි ප්‍රසිද්ධ දේවස්ථානවල, ග්‍රහ වස්තු නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ස්ථානද පිළියෙළ කර තිබිණ.

එදා මෙන් අදත් ලග්න මගින් මිනිසුන්ගේ ජීවිත කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි. හඳහන්වල තිබෙන දේවල් විශ්වාස කරන්නේ නැහැ කියා පවසන අය පවා ඇතැම් අවස්ථාවලදී හුදෙක් විනෝදය ලැබීම සඳහා හෝ කුතුහලය නිසා, එමගින් ඇති කළ හැකි බලපෑම ගැන සොයා බැලීමට උත්සාහ කරති. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් පවසා තිබෙන ඇතැම් අනාවැකි ඉටු වී තිබේ. එහෙත් ග්‍රහ තාරකාවල පිහිට පැතීම ප්‍රයෝජනවත් කියා ඉන් අදහස් වෙනවාද? පුරාණයේ විසූ දෙවිගේ සේවකයන් ජ්‍යෝතිෂය සැලකුවේ කෙසේද?

සැඟවී තිබෙන අනතුරු

බබිලෝනිවරුන් මෙන් නොව, ඇදහිලිවන්ත යුදෙව්වරු ජ්‍යෝතිඃ ශාස්ත්‍රය හා සම්බන්ධ දේවලට හවුල් නොවූහ. ඒ සඳහා ඔවුන්ට හොඳ හේතු තිබිණ. මේ පිළිබඳව දෙවි ඔවුන්ට මෙසේ පැහැදිලිව අනතුරු ඇඟෙව්වේය. “පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්, මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාර- යෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචා- රන්නෙක්වත් නුඹ අතරෙහි නොසිටීවා. මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් [යෙහෝවාට] පිළිකුලක්ය.” aද්විතීය කථාව 18:10-12, අකුරු ඇල කළේ අපය.

දෙවිගේ සේවකයන් විසින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම හෙළා දකිනු ලැබීය. උදාහරණයක් හැටියට ඇදහිලිවන්ත රජෙකු වූ යොෂියා “බාල්ට සහ ඉර සඳටත් ග්‍රහතාරකාවලට සහ මුළු අහස් සේනාවටත් සුවඳ දුම් ඔප්පු කළ කපුවන් . . . පහකෙළේය.” යොෂියා කළ එම ක්‍රියාව ‘යෙහෝවාගේ ඇස් හමුවෙහි හරිව තිබූ’ බව සඳහන් වන අතර, දෙවි ඔහු කළ දෙය නිසා ඔහුට ආශීර්වාද කළේය. (2 රාජාවලිය 22:2; 23:5) කෙසේවෙතත්, ‘ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් මෙතෙක් පවසා ඇති අනාවැකිවලින් අඩුම තරමින් කිහිපයක්වත් ඉටු වී නැද්ද’ කියා කෙනෙක් ඇසිය හැකියි.

මෙහිදී උනන්දුව පුබුදුවාලන දෙයක් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල වාර්තා වී තිබේ. “පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවුවාවූ” තරුණියක් ගැන එහි අපට කියවීමට තිබේ. මෙම තරුණිය සතුව තිබූ හැකියාව යොදවමින් ඇගේ ස්වාමිවරුන් ලාභ ඉපදෙවූ නිසා, ඇය අනාගතය ගැන පැවසූ සමහර දේවල් ඉටු වූවා කියා සිතිය හැක. අනාගත සිදුවීම් ගැන කලින් පැවසීමට එම තරුණියට හැකියාව ලැබුණේ කොහෙන්ද? “ශාස්ත්‍ර කියන ආත්මයක්” නැතහොත් භූතයෙකුගේ බලපෑම යටතේ ඇය එසේ කළ බව බයිබලයේ සඳහන් වේ.—ක්‍රියා 16:16.

‘මුළු ලෝකය නපුරා (සාතන් නමැති යක්ෂයා) යටතේ තිබෙන’ බව බයිබලය පැහැදිලි කරයි. (1 යොහන් 5:19) ඇතැම් අනාවැකි ඉටුවීම සඳහා යම් දේවල් සූක්ෂ්ම ලෙස හැසිරවීමෙන් සාතන් සහ භූතයන් දශලක්ෂ ගණන් ජනයාව තමන්ගේ ග්‍රහණයට හසු කරගෙන සිටී.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය පිළිබඳ සත්‍යය ඉතා සරලය. එය වනාහි ‘යක්ෂයාගේ උපායන්වලින්’ එකකි. යක්ෂයා ඔහුගේ අරමුණ ඉටු කරගැනීම සඳහා මිනිසුන්ව තමන්ගේ බලපෑමට හසු කරගැනීමට යොදාගන්නා ක්‍රමයකි. මේ නිසා, ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ඇතුළුව සාතන් ඉතා දක්ෂ ලෙස යොදන උපායන්වලට “විරුද්ධව සිටින්ට” කියා බයිබලය ක්‍රිස්තියානීන්ට අවවාද කිරීම ගැන පුදුම විය යුතු නැත. (එපීස 6:11) එහෙත්, ඉන් අදහස් කරන්නේ අනාගත සිදුවීම් ගැන අපට කොහෙත්ම කලින් දැනගත නොහැකි බවද?

බයිබලයේ මඟ පෙන්වීම විශ්වාසවන්තය

දශලක්ෂ ගණනක් බයිබලය සලකන්නේ තීරණ ගැනීමේදී විශ්වාසයෙන් යුතුව රඳා සිටිය හැකි දෙයක් ලෙසය. ගීතිකාකරුවෙක් වූ දාවිත් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය. “[යෙහෝවාගේ] සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය.” (ගීතාවලිය 19:7; 119:105) ජීවිතයේ පැනනඟින සෑම තත්වයකදීම පුද්ගලයෙක් කළ යුත්තේ කුමක්ද යන්න ගැන බයිබලය නිශ්චිතව යමක් පවසන බව එයින් අදහස් නොකරයි. එහෙත්, දේවල් අවබෝධ කරගැනීමට ඇති අපේ හැකියාව තවත් දියුණු කරගැනීම සඳහා උපකාරවත් වන ප්‍රතිපත්ති දේවවචනයේ සඳහන් වේ. එම ප්‍රතිපත්ති සැලකිල්ලට ගැනීමෙන් හරි වැරැද්ද අතර වෙනස තේරුම්ගෙන නැණවත් තීරණ ගැනීමට අපට හැක.—හෙබ්‍රෙව් 5:14.

මෙසේ, සැබෑ ක්‍රිස්තියානීන් හුදෙක් විනෝදය නිසාවත් කුතුහලය නිසාවත් හඳහන් බැලීම හා සම්බන්ධ කිසිවකට සුළු වශයෙන්වත් හවුල් නොවන්නේ හොඳ හේතු ඇතුවය. ඇතැම් භූතාත්මවල බලපෑම් පැහැදිලිව හඳුනාගැනීම දුෂ්කරය. එහෙත් ක්‍රිස්තියානීහු එම බලපෑම් ඇතුළු සියලු ආකාරයේ භූතාත්මවල බලපෑම්වලට එරෙහිව දේවවචනයෙහි සඳහන් අනතුරු ඇඟවීම්වලට නැණවත් ලෙස අවනත වෙති. ඔබේ ජීවිතයට බලපෑම් කිරීමට රාශි චක්‍රවලට නොව බයිබලයට ඉඩහැරීමෙන්, දෙවිගේ සදාකාලික ආශීර්වාද ඔබට භුක්ති විඳිය හැක.—ගීතාවලිය 37:29, 38.

[පාදසටහන]

a ගුප්ත බලයන් යොදාගෙන අනාගත සිදුවීම් ගැන දැනුම ලබාගැනීමද ඇතුළු පුළුල් ක්ෂේත්‍රයක් පේනකීමට අයත් වේ.

[26වන පිටුවේ පින්තූරය]

නැඟෙනහිර රාශි චක්‍රය

[26වන පිටුවේ පින්තූරය]

බටහිර රාශි චක්‍රය