Skip to content

පටුනට යන්න

ඔබේ තේරීම

ඔබේ තේරීම

ඔබේ තේරීම

විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ගැන වෛද්‍ය ඉසඩෝර් රෝසන්ෆෙල්ඩ් ලියූ පොතක මෙම කාරණය ගෙනහැර දැක්වීය. “අහම්බෙන් තෝරාගත් පුද්ගලයන් කණ්ඩායමකට තමන් සාර්ථක වේයයි තරයේ විශ්වාස කරන ඕනෑම ප්‍රතිකාරයක් ලබා දුන්නොත්, එම කණ්ඩායමෙන් සියයට පනහක් පමණ යම් සුවයක් අද්දැකිය හැක.”

මින් අදහස් කරන්නේ සුව වේයයි පුද්ගලයෙකු තුළ විශ්වාසයක් ඇත්නම්, සීනිවලින් සාදන ලද පෙත්තකින් පවා යම් අසනීපයකට සුවයක් ලැබිය හැකි බවය. මෙවැනි විශ්වාසයකින්, වේදනාව, ඔක්කාරය, විඩාව, කරකැවිල්ල, කාන්සාව සහ අසහනය වැනි දේවලට සහනයක් ලැබිය හැක. මෙයින් හෙළි වන දේ කුමක්ද?

එක් දෙයක් නම්, සුවයක් ලැබීමට බෙහෙවින් බලපාන සාධකයකි යමෙකු ලබාගන්නා ඕනෑම ප්‍රතිකාරයක් කෙරෙහි ස්ථිර විශ්වාසයක් තිබීම. අනික් අතට, යම් ප්‍රතිකාර ක්‍රමයක් රෝග ලක්ෂණවලට පමණක් නොව, නමුත් රෝගය මර්දනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාරය ලැබෙනවාද යන්න පරීක්ෂා කර බැලීම නුවණට හුරු දෙයක් විය හැක. රසායනාගාර පරීක්ෂණ සහ X-කිරණ පරීක්ෂණ වැනි නොවරදිනසුලු ක්‍රම යොදාගෙන, ප්‍රතිකාරවලින් අත් වන ප්‍රයෝජන මැන බැලිය හැක.

කෙසේවෙතත්, යම් වෛද්‍ය ප්‍රතිකාරයක් තෝරාගනිද්දී, පුද්ගලයෙකුට කළ හැකි වැඩිමනත් දෙයක් ඇත.

ගත යුතු වැදගත් පියවර

තීරණයක් ගැනීමට කලින් තොරතුරු සොයා බැලීම නුවණට හුරුය. මෙම ප්‍රශ්න සලකා බැලිය හැක. බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵල මොනවාද? වාසි අවාසි මොනවාද? ප්‍රතිකාරය සඳහා කොපමණ මුදලක් වැය වනවාද? ප්‍රතිකාර කළ යුත්තේ කොතරම් කාලයකටද? එමෙන්ම ඔබේ සැලකිල්ලට බඳුන් වන ප්‍රතිකාරය ලබා ඇති අය සමඟ කතා කරන්න. ඔවුන්ට ඉන් සුවයක් ලැබුණාද කියා විමසන්න. කෙසේවෙතත්, අප සවනට වැකෙන සෑම “සාක්ෂියක්ම” පිළිගන්න ගියොත් අප මුළා විය හැකි බව මතක තබාගන්න.

සම්මත ප්‍රතිකාර ක්‍රමයකින් සාර්ථක ප්‍රතිඵල ඇති බවට යම් සාක්ෂි තිබියදීත්, එවන් ප්‍රතිකාරයක් ලබාගැනීම පසෙක දමා විකල්ප ප්‍රතිකාරයක පිහිට පැතීම නුවණට හුරු දෙයක් නොවිය හැක. එවැනි දෙයක් කිරීමෙන් ඇති විය හැකි හානි පිළිබඳ සාක්ෂි ද නියූ ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් නමැති සඟරාවෙහි පළ විය. පිළිකාවකින් පෙළුණු තරුණ රෝගීන් දෙදෙනෙකු සම්මත ප්‍රතිකාරවලට පිටු පා, විකල්ප ප්‍රතිකාර ලබද්දී, ඔවුන්ට වැළඳී තිබූ පිළිකාවට සිදු වූ දේ එම සඟරාවෙහි විස්තර කෙරිණ. මින් එක් රෝගියෙක් මිය ගියේය.

නිදන්ගත රෝග හෝ ජීවිතයට තර්ජනයක් විය හැකි රෝගවලින් පෙළෙන අය ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. මන්දයත් ඔවුන් ව්‍යාජ ප්‍රතිකාර ක්‍රම ප්‍රචාරය කරන හොර වෛද්‍යවරුන්ගේ ගොදුරු බවට පත් විය හැකි බැවිනි. රෝග රැසකට සුවයක් ලබා දෙනවා කියා පවසන ඕනෑම ඖෂධයක් සම්බන්ධයෙන් පරෙස්සම් වන්න. නිදසුනකට මෑතකදී සිදු වූ දෙයක් සලකා බලන්න. අලුත් විටමිනයකට “ශ්වසනාබාධ, පණ නැති ගතිය සහ ජීවිතයට තර්ජනයක් ගෙන දෙන රෝග පවා තුරන් කළ හැකි” බවට රාවයක් පැතිරිණ. නමුත් මෙම “විටමිනය” පරීක්ෂා කරද්දී, එහි අඩංගු වී තිබුණේ ලුණු වතුර පමණි!

සමහරක් විකල්ප ප්‍රතිකාර ක්‍රම යහපත් සෞඛ්‍ය තත්වයකට දායක විය හැකි බව පිළිගත යුතුය. කෙසේවෙතත්, ඔබේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් යථාර්ථවාදි වන්න. පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම, ප්‍රමාණවත් නින්දක් ලැබීම, ප්‍රමාණවත් ලෙස ව්‍යායාම කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර තෝරාගනිද්දී සුපරීක්ෂාකාරි වීම නුවණට හුරු දෙයකි.

පිළියමක් ඇත

සියලුම රෝගවලට සහ අප අද්දකින මරණයට අවසානයක් ගෙන ඒමට මිනිසා උපදවාගත් කිසිදු ප්‍රතිකාරයකට නොහැකිය. මීට හේතුව වන්නේ, පළමු මිනිසා සහ අපගේ මුල් පියා වන ආදම්ගෙන් අපට ඒවා උරුම වී තිබීමය. (යෝබ් 14:4; ගීතාවලිය 51:5; රෝම 5:12) විකල්ප හෝ සම්මත හෝ වෙන යම් වෛද්‍ය ප්‍රතිකාරයකින් ඇති ප්‍රයෝජනය වන්නේ ජීවිත කාලය තව අවුරුදු කිහිපයකින් දිගු කොට, තාවකාලික සහනයක් ගෙන දීම පමණි. කෙසේවෙතත්, ලෙඩ රෝග නමැති ප්‍රශ්නයට සැබෑ විසඳුමක් තිබෙන අතර, මිලියන ගණනක් සෙනඟ එය සොයාගෙන ඇත.

එම විසඳුම සපයන්නේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා වන අපගේ මැවුම්කාර යෙහෝවා දෙවි විසිනි. රෝගවලින් තොර ලොවක පරිපූර්ණ සෞඛ්‍ය තත්වයක් සහ සදාතනික ජීවිතයක් භුක්ති විඳීමට නම් දෙවි කෙරෙහි ඇදහිල්ල තැබිය යුතු අතර, ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේ පව් මකා දමන මිදීමේ පූජාවේ වටිනාකමෙන් ප්‍රයෝජන ලබාගත යුතුය. (මතෙව් 20:28) එම නව ලොවේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් [නොකියන]” බව බයිබලය පොරොන්දු වෙයි.—යෙසායා 33:24.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳීමට එකම බලාපොරොත්තුව කුමක්ද කියා මිලියන ගණනක් සොයාගෙන ඇත