Skip to content

පටුනට යන්න

ඕස්ට්‍රේලියාවේ නොවිදින මී මැස්සන් හඳුනාගනිමු

ඕස්ට්‍රේලියාවේ නොවිදින මී මැස්සන් හඳුනාගනිමු

ඕස්ට්‍රේලියාවේ නොවිදින මී මැස්සන් හඳුනාගනිමු

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

වසන්ත සමයේ දිදුලන හිරු රැසින් නැහැවුණු දිනෙක රොන් සොයා මලින් මලට යන කඩිසර මී මැස්සන්ගේ ගුමු ගුමු නදින් ඔබට යම් සුවයක් දැනී ඇද්ද? මී මැස්සන් කොතරම් දැකුම්කලුද! ප්‍රශ්නයකට තිබෙන්නේ උන් විදින එකයි!

කෙසේවෙතත්, නොවිදින මී මැසි වර්ගයක් ඇති බව දැනගැනීම ඔබේ පුදුමයට හේතුවක් විය හැක. උන්ව හඳුන්වන්නේ ඕස්ට්‍රේලියාවේ නොවිදින මී මැස්සන් ලෙසය. නැඟෙනහිර ඕස්ට්‍රේලියාව පුරාම උන්ව සොයාගත හැක. උන් දිගින් මිලිමීටර් සතරක් පමණ වේ. කළුවන් පැහැයක් ගන්නා උන්ගේ මුහුණුවල සහ සිරුර දෙපැත්තේ සුදුවන් කෙඳි දක්නට ලැබේ. මෙම සතුන්ගෙන් වැඩිදෙනෙකුගේ දේහවල මැද කහ තිත් දැකගත හැක. උතුරු ක්වීන්ස්ලන්තයේ සිට දකුණුදිග නියූ සවුත් වේල්ස් දක්වා දිවෙන වෙරළබඩ තීරයේ නොවිදින මී මැසි වර්ග අඩුම තරමින් දහයක්වත් දැකගත හැක. මෙම මහද්වීපයේ උතුරු ප්‍රදේශයේද සමහර විශේෂයන් සොයාගෙන ඇත.

මී වදයකින් මී පැණි ගන්නා අයට අත් වන ප්‍රයෝජන සලකා බලන්න. එක් මී මැසි පාලකයෙක් මෙසේ පැහැදිලි කරයි. “[සාමාන්‍ය මී මැස්සන්ගෙන්] පැණි ගන්නා විට, ආරක්ෂාව සඳහා විශේෂිත ඇඳුම් ඇඳීමට සිදු වේ. එනමුත් [නොවිදින මී මැස්සන්ගෙන්] ආරක්ෂා වීමට කිසිවක් අවශ්‍ය නැත. මී වදය තිබෙන පෙට්ටිය විවෘත කර විනාඩි පහක් පමණ ගතවීමෙන් පසුව පවා, එම මී මැස්සන් උන්ගේ කාර්යයන්වල කලබල නොවී නිරත වේ.”

වෙනත් මී මැස්සන්ගේ වදයන් හා සසඳද්දී, නොවිදින මී මැස්සන්ගේ වදයන් සහමුලින්ම වෙනස්ය. ෂඩස්‍රාකාර කෝෂවල පැණි සහ පරාග ගබඩා කරනවා වෙනුවට, මෙම නොවිදින මී මැස්සන් බිත්තරයක හැඩය ගන්නා කෝෂ තනා ඒවාවල පැණි සහ පරාග ආදිය පුරවයි. මෙසේ පිරවීමෙන් පසු ඒවා වසා, ඒවා වටා තවත් කෝෂ තනනු ලැබේ.

මී වදයක් තුළ සංචාරයක්

නොවිදින මී මැස්සන් 15,000කට පමණ නිවහන වන මී වදයක් තුළ කෙටි සංචාරයක යෙදෙමු. පරෙස්සම් වන්න. මෙම මී මැස්සන් විදින්නේ නැති වුවත්, උන්ගේ අධෝහනු නොහොත් හකු ආධාරයෙන් හපා කෑමට පුළුවන!

මෙම වදයට පිවිසුණු සැණින් ඉතා ක්‍රියාශීලීව වැඩ කරන මී මැස්සන් අපගේ නෙත ගැටේ. මී මැස්සෝ සියල්ලෝම පාහේ කඩිමුඩියේ එහෙ මෙහෙ දුවමින් සිටිති. උන් සැම මනා සහයෝගයකින් වැඩ කරති. කළ යුත්තේ කුමක්ද, එය කළ යුත්තේ කොතැනකදීද යනාදිය සම්බන්ධයෙන් වැඩකාර මී මැස්සියන්ට ඇත්තේ මනා දැනුමකි. කුඩා මී මැස්සෙක් යම් අත්පොතක උපදෙස් අනුගමනය කරන්නාක් මෙන් අලුතෙන් සාදන ලද පැණි කෝෂයකට ඔප දමමින් සිටි. ඒ අසලම තවත් සිව්දෙනෙක් මොහොතකට කලින් පැණිවලින් පිරවූ කෝෂයක් මුද්‍රා තැබීමේ කටයුත්තෙහි නියැලෙති. මෙම පැණි කෝෂ තනනු ලබන්නේ නිවෙස්වල දක්නට ලැබෙන ගරාදිවල පෙනුමට සමාන ව්‍යූහයක් තුළය. මනා ලෙස නිර්මාණය කර ඇති මෙම ගරාදිය පැණිවල බර දරාගැනීමට තරම් ශක්තිමත්ය.

අපි දැන් මී වදයේ ඊළඟ කුටිය තුළට පිවිසෙන්නෙමු. එතැන අනික් සියලු මී මැස්සන්ට වඩා විශාල මී මැස්සෙකු දැකගත හැක. ඔව්, අප දකින්නේ මී මැසි රැජිනවය. ඇගේ ගත කොතරම් අලංකාරද! කළු සහ රන්වන් වයිරම්වලින් සැරසී ඇති ඇය වටා වැඩකාර මී මැසි සමූහයක් කඩිමුඩියේ වැඩ කරමින් සිටිති. මේ අතර මී මැසි රැජින බිත්තර දැමීමට පටන්ගනී. ඒ සඳහා ඇය වෙනුවෙන්ම පිළියෙළ කර ඇති කෝෂ 60ක් ඇය මෙහිදී යොදාගනියි. මවක් තම බිළිඳා තොටිල්ලක හොවන ආකාරය සිහිගන්වමින්, ඇය සිය කාර්යයෙහි නිරත වන්නේ ඉතා පරෙස්සමිනි. ඇගේ කාර්යය නිම වූ වහාම වැඩකාර මී මැස්සියෝ එම කෝෂ මුද්‍රා කරති. විනාඩි කිහිපයක් තරම් කෙටි කාලයක් තුළ ඇගේ කාර්යය නිම වේ.

පැටව් බිත්තරවලින් පිටතට එන කල

පැටව් බිත්තරවලින් පිටතට එන්නේ කීටයෙකු හෝ පිලවෙකු ලෙසිනි. උන් පිටතට පැමිණි වහාම, තමන් සඳහා සකසා ඇති කෝෂයේ ආහාර අනුභව කිරීමට පටන්ගනී. ඉටිවලින් සාදන ලද කෝෂයට වඩා උගේ ශරීරය ප්‍රමාණයෙන් විශාල වෙද්දී, පිලවා සේදවන් පිලාකෝෂයක් සාදයි. පිලාකෝෂය තුළ සිටින මෙම පිලවා (පිලවා අවස්ථාව පසු කරමින්) මී මැස්සෙකු බවට පත් වේ. පිලාකෝෂයෙන් ඉවතට පැමිණි වහාම සාත්තුකාර මී මැස්සන් උන්ව මද වේලාවකට සුරතල් කරයි. පසුව නවක මී මැස්සියන්ගේ වැඩකාර ජීවිතය ඇරඹේ. අනතුරුව ඉටිවලින් සෑදූ කෝෂවලට සිදු වන්නේ කුමක්ද? මෙම ද්‍රව්‍යයන් වහාම එක්කාසු කොට නැවත පාවිච්චිය සඳහා යොදාගැනේ. මී මැස්සන් පිලාකෝෂවලින් පිටතට පැමිණියායින් පසු, පිලාකෝෂවලින් තවත් වැඩක් නැත. ඒවා ගොඩගැසුණොත් මී වදය කසළ ගොඩක් බවට පත් වන නිසා, පවිත්‍ර කිරීමේ යෙදී සිටින සේවක මී මැස්සන් රැසක් ඒවා කා දමයි.

නොවිදින මී මැසි විශේෂයන් බොහොමයක් ඉටි හා සමාන ද්‍රව්‍යයක් නිපදවයි. මෙය නිපදවීමට මී මැස්සන්ගේ දේහයෙන් ශ්‍රාවය වන ඉටි මෙන්ම පැළෑටි සහ ගස්වලින් එකතු කරගත් ඉටි සහ මැලියම් යොදාගැනේ. මෙම ඉටි භාවිතයට ගන්නේ මී වදයේ ව්‍යූහය තැනීමටය. මෙයින් කලින් සඳහන් කළ ගරාදියක හැඩැති ව්‍යූහය තනා එතුළට පැණි සහ පරාග දැමීමට කෝෂ සාදා සවි කරනු ලැබේ. අනතුරුව, වැඩකාර මී මැස්සියන් ඉටිවලින් සාදා ඇති කෝෂ තුළට බැස ඒවා හැඩ කිරීමටත්, පදම් කිරීමටත් වෙහෙසෙයි. පසුව මෙම කෝෂ පුරවා මුද්‍රා කර ගබඩා කරනු ලැබේ. ඇතැම් ශාකයන්ගෙන් උපරිම පෝෂණයක් ලබාගත හැකි වාරය කුමක්ද කියාත්, කාලගුණයේ වෙනස්කම්වලින් එල්ල වන උවදුරු මොනවාද කියාත් මෙම මී මැස්සන් ඉවෙන් දැනගන්නා බව පෙනේ. අඛණ්ඩ පැවැත්ම සඳහා ආහාර එකතු කර ගබඩා කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව උන් හොඳ හැටි වටහාගෙන සිටින බව පැහැදිලිය.

මෙම මී මැස්සෝ තම වදයෙන් ඉවත් වී වදය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය, මල් පැණි සහ පරාග සොයා ගමන් කරති. මී වදයෙන් ඉවත් වූ මී මැස්සෙක් ඉතා සමර්ථ නියමුවෙකු සහ යාත්‍රිකයෙකු ලෙස කටයුතු කරයි. තමා එකතු කළ යුත්තේ කුමක්ද, එය සෙවිය යුත්තේ කොතැනකද යන්න මී මැස්සන් හොඳ හැටි දනී.

අලුත් නිවහනක්

මී මැසි ජනපදයේ වෙසෙන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙත්ම, මී වදය පිරෙයි. දැන් කුමක් සිදු වේද? එවිට මුළු මී මැසි පවුලටම ලැබෙන පණිවිඩය නම් “දැන් අලුත් නිවහනක් ඉදි කිරීමට කාලය ඇවිත්!” යන්නය. ඇතැම් අවස්ථාවලදී, මී වදය සඳහා යෝග්‍ය විය හැකි බෙනයක් වැනි ස්ථානයක් පරීක්ෂා කර බැලීමට “මිනින්දෝරුවෙකුව” යවනු ලැබේ. ඊළඟට “ඉන්ජිනේරුවන්” කණ්ඩායමක් එහි යවනු ලැබේ. සාමාන්‍යයෙන් සාමාජිකයන් 30 සිට 50 දක්වා සංඛ්‍යාවකින් සමන්විත මෙම කණ්ඩායම, බෙනයෙහි ඇතුල් පෘෂ්ඨය පැය කිහිපයක් පුරා පරීක්ෂා කර බලයි. මී වදයක් තැනීමට යෝග්‍ය බව හැඟේ නම්, උන් නැවත පැමිණියායින් පසුව ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඊට ප්‍රතිචාරයක් වශයෙන් පැය 48ක් ඇතුළත, “ඉදිකරන්නෝ” පැමිණෙති. එම කණ්ඩායමෙහි මී මැස්සන් දහසකට වැඩි පිරිසක් සිටිය හැක. එනමුත් රැජිනක් උන් අතර නොසිටී. ඉතා කඩිනමින් වැඩ ආරම්භ කරන මෙම මී මැස්සෝ, ඉදි කිරීමේ ද්‍රව්‍ය සහ ආහාර මව් මී වදයෙන් මෙහි ගෙනෙති.

මෙම අලුත් මී වදයේ රැජිනගේ පැමිණීමට සූදානමක් වශයෙන්, පැටව් දමන කැදැල්ල සෑදිය යුත්තේ සෙල්සියස් අංශක 28ක පමණ නිසි උෂ්ණත්වයක් පවත්වාගත හැකි අන්දමිනි. මේ සඳහා වැඩකාර මී මැස්සියෝ කැදැල්ල ඉටි තට්ටුවකින් ආවරණය කරති. මෙය කැදැල්ලට පොරවනයක් සේ ක්‍රියා කරයි. නුවණින් ක්‍රියා කරන මෙම මී මැස්සෝ බිත්තර උණුසුම්ව තබාගත යුතු බව දනිති. දැන් ඒ සඳහා සෑම දෙයක්ම සූදානම්ය. නවවන දිනය වන විට, මව් මී වදය තුළ බිහි කළ අලුත් රැජිනව නව මී වදය වෙත ගෙනෙනු ලැබේ. වහාම ඇගේ අලුත් මාළිගය සඳහා අවශ්‍ය වන මී මැස්සන් බිහි කිරීමේ අරමුණින් ඇය බිත්තර දැමීමට පටන්ගනී.

මව් මී වදයෙන් පැමිණි මී මැස්සන් කලක් ගත වන විට මිය යන අතර, අලුතින් බිහි වූ තුරුණු වියේ මී මැස්සන් උන්ගේ තැන ගනී. කලක් යන විට, මෙම අලුත් වදයේ මී මැස්සන්ටත් තවත් නිවහනක් සොයාගැනීමට සිදු වේ. ඔව්, එසේ වන්නේ, අසමසම මැවුම්කරුවෙකු විසින් දියත් කර ඇති පුදුම දනවන චක්‍රයක් වන මෙය කිසිදු බාධාවක් නොමැතිව දිගටම ක්‍රියාත්මක වන නිසාය.

[29වන පිටුවේ පින්තූරය]

පැණි ගබඩා කිරීම සඳහා ෂඩස්‍රාකාර කෝෂ තනනවා වෙනුවට, නොවිදින මී මැස්සෝ, බිත්තරයක හැඩැති කෝෂ සමූහයක් තනති

[30වන පිටුවේ පින්තූරය]

ඕස්ට්‍රේලියාවේ නොවිදින මී මැස්සන් වර්ග අඩුම තරමින් දහයක්වත් සිටී