Skip to content

පටුනට යන්න

චීන ඔසු සලකට සවාරියක්

චීන ඔසු සලකට සවාරියක්

චීන ඔසු සලකට සවාරියක්

ක්වොක් කිට් ටික දවසක ඉඳන් අසනීපයෙන් ඉන්නවා. ඒ නිසා ඔහු දොස්තර කෙනෙක් ගාවට යන්න තීරණය කරනවා. ක්වොක් කිට් චීන ජාතිකයෙක් වන නිසා ඔහු තීරණය කරන්නේ සම්ප්‍රදායික චීන වෙදෙක් ගාවට යන්නයි. ක්වොක් කිට්ගේ නිවස කිට්ටුව, පැළෑටිවලින් සාදපු බෙහෙත් වර්ග විකුණන ඔසු සලක් අයිති හොඳ චීන වෙදෙක් ඉන්නවා කියා යාළුවෙක්ගෙන් ඔහු දැනගන්නවා. ඒ වෙදා ලෙඩේ සනීප වෙන්න හොඳ බෙහෙතක් දෙයි කියලත් යාළුවා ක්වොක් කිට්ට කියනවා.

චීනයේ හා අග්නිදිග ආසියාවේ බොහෝ රටවල දොස්තර කෙනෙක් ගාවට යන එක හා බටහිර රටවල දොස්තර කෙනෙක් ගාවට යන එක අතර ලොකු වෙනසක් තිබෙනවා. සාමාන්‍යයෙන්, බටහිර රටවල දොස්තර කෙනෙක්ව හමුවීමට දවසක් හා වේලාවක් කලින් නියම කරගන්නවා. ලෙඩාව පරීක්ෂා කළාට පස්සේ දොස්තර ඔහුට බෙහෙත් තුණ්ඩුවක් දෙනවා. ඊට පස්සේ ලෙඩා ඔසු සලකට ගිහින් තුණ්ඩුව පෙන්වා අවශ්‍ය බෙහෙත් ටික ලබාගන්නවා. නමුත් සම්ප්‍රදායික චීන වෙදෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න නම් ඒ තරම් කාලය ගත වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලෙඩා යන්නේ ස්වාභාවික බෙහෙත් අලෙවි සලකටයි. එතැනම බෙහෙත් පැළෑටි සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන සම්ප්‍රදායික චීන වෙදෙක් ඉන්නවා. ඔහු ඒ වෙලාවේදීම ලෙඩාව පරීක්ෂා කරනවා. ඊට පස්සේ, ඔහු ලෙඩාට අවශ්‍ය බෙහෙත් ටික දීලා ඒවා ගන්න විදිහත් කියා දෙනවා! a

බෙහෙත් පැළෑටි?

බටහිර රටවල ජීවත් වෙන බොහෝදෙනෙක් බෙහෙත් පෙති හා කරල් ගැනීම, බෙහෙත් විදීම වැනි ප්‍රතිකාර ක්‍රමවලට පුරුදු වී සිටියත්, ඒවා සාපේක්ෂ වශයෙන් මෑතකදී පටන්ගත් ප්‍රතිකාර ක්‍රමයි. ඉතිහාසය පුරාම, සුවය ලබාගැනීම සඳහා මිනිසා ස්වාභාවික ඖෂධ භාවිත කර තිබෙනවා. උදාහරණයක් හැටියට බයිබල් කාලවල ජීවත් වූ හෙබ්‍රෙව් වෛද්‍යවරුන් ගුගුල් හා වෙනත් තෙල් වර්ග මෙන්ම මුද්‍රිකපානය වැනි දේවල් භාවිත කළා. (යෙසායා 1:6; යෙරෙමියා 46:11; ලූක් 10:34) සමහර අවස්ථාවලදී, ශරීරයේ හටගන්නා ගඩු සුව කිරීම සඳහා ඒවා මත වියළුණු අත්තික්කාවලින් සෑදූ මිශ්‍රණයක් තබා බැන්දා.—2 රාජාවලිය 20:7.

ඇත්තෙන්ම, සෑම ජාතියක්ම නැත්නම් ජන කොට්ඨාසයක්ම ලෙඩ සුව කිරීමට යම් කාලෙක ඖෂධ පැළෑටි වර්ග භාවිත කර තිබෙනවා. අද භාවිත කරන කුළු බඩු වර්ග බොහොමයක්ම වගේ කලින් භාවිත කළේ ඖෂධ වශයෙනුයි. නමුත් එසේ භාවිත කළ පමණින්ම ඒවා සාර්ථක ප්‍රතිකාර ක්‍රම වුණා කියලා අදහස් වන්නේ නැහැ. ඇත්තටම මිථ්‍යා විශ්වාස හා නොදැනුවත්කම මත පදනම් වුණ ප්‍රතිකාර ක්‍රම ගණනාවක්ම තිබෙනවා. කොහොම වුණත්, එවැනි ප්‍රතිකාර ක්‍රම ශත වර්ෂ ගණනාවක් පුරාම යොදාගෙන තිබෙනවා. අද පවා සුලභව භාවිත කරන බෙහෙත් වර්ග කිහිපයක්ම සාදා තිබෙන්නේ නොයෙක් පැළෑටි වර්ගවලිනුයි.

චීන වෙදකම

චීන ජනයා ඉතිහාසය පුරාම එක් එක් ලෙඩවලට ස්වාභාවික ඖෂධවලින් සෑදූ පේයාවන් නැත්නම් ඖෂධීය පානයන් ගැනීමට පුරුදු වී සිටියා. චීන ප්‍රබන්ධ කථාවල හුවැං ඩී නමැති කහ අධිරාජ්‍යයා නේ ජිං කියන වෛද්‍ය අත්පොතක් සකස් කළ බවත් පැවසෙනවා. අද පවා චීන වෙදුන් එම අත්පොතේ පිහිට පතනවා. b එය සකස් කළේ කවදාද යන්න පිළිබඳව තවමත් මත භේද පැවතුණත්, බටහිර රටවල වෛද්‍ය අත්පොතක සඳහන් තොරතුරුවලට සමාන ඒවා එහි සොයාගැනීමට තිබෙනවා. රෝග හඳුනාගන්නා ආකාරය විතරක් නෙවෙයි, රෝග ලක්ෂණ, හේතුකාරක, ප්‍රතිකාර ක්‍රම හා රෝග මර්දනය ගැනත් එහි අදහස් දක්වා තිබෙනවා. එපමණක් නෙවෙයි, ශරීර සැකැස්ම හා ශරීරයේ විවිධ ක්‍රියාවලියන් ගැනද එහි සඳහන් වී තිබෙනවා.

අග්නිදිග ආසියාවේ බොහෝ ශිල්ප ක්‍රමවලදී යින්-යැං මූලධර්මය ප්‍රධාන තැනක් ගන්නවා. එය සම්ප්‍රදායික චීන වෙදකම මතද විශාල බලපෑමක් ඇති කරනවා. යින් සීතල නියෝජනය කරන අතර යැං උණුසුම නියෝජනය කරනවා. ඒවා නියෝජනය කරන එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙනත් දේවල්ද තිබෙනවා. c ඊට අමතරව, ලෙඩ හඳුනාගැනීමට හා ප්‍රතිකාර කිරීමට චීන කටු චිකිත්සකයන් ශරීරය පණගන්වනවායයි විශ්වාස කරන ශරීරයේ විශේෂිත කොටස්ද යොදාගන්නවා. ලෙඩාගේ ශරීරයේ යින්-යැං අසමබරතාවක් තිබෙනවා නම් ඒක නැති කිරීමට වෙදා සීත නැත්නම් උෂ්ණ වශයෙන් සලකන ආහාර වර්ග හෝ බෙහෙත් පැළෑටි නිර්දේශ කරනවා.

උදාහරණයක් වශයෙන්, උණ ගැනී ඇති ලෙඩෙකුට ශරීරය සිසිල් කරවන බෙහෙත් වර්ග දෙනවා. අද යින්-යැං ගැන කෙළින්ම සඳහන් නොකළත්, ලෙඩෙකුට දෙන ප්‍රතිකාරය තීරණය කිරීම සඳහා එම ප්‍රතිපත්තිය යොදාගන්නවා. නමුත් සම්ප්‍රදායික චීන වෙදෙක් කොහොමද ලෙඩ හඳුනාගන්නේ? ඒ වගේම ස්වාභාවික ඖෂධ අලෙවි සලක් කොයි වගේද? මේ තොරතුරු දැනගන්න අපි ක්වොක් කිට් එක්කම වෙද මහත්තයා ගාවට යමු.

අරුම පුදුම ඔසු සලක්

පුදුමයකට වගේ ක්වොක් කිට්ට ටික වේලාවක් බලං ඉන්න වෙනවා. මේ දවස්වල හැම තැනකම වාගේ උණක් තිබෙන නිසා ඔහුට කලින් වෙද මහත්තයාව ගාවට තව ලෙඩ්ඩු දෙන්නෙක්ම ඇවිල්ලා. අපි ක්වොට් කිට්ගේ වාරය එනකං ඔසු සල වටේ ටිකක් ඇවිදිමුද?

ඇතුල් වෙන තැනම දකින්න තිබෙන්නේ බාල්දිවල තබා තිබෙන වියළුණු ද්‍රව්‍ය ගොඩක්. ඒවා අතර හතු, මුහුදු බෙල්ලෝ, අත්තික්කා, ඇට වර්ග හා කෑමට ගන්න පුළුවන් වෙනත් දේවල්ද දැකගන්න පුළුවන්. ඔව්, මෙතන කෑම ජාතීත් තිබෙනවා. සමහර විට ඒවත් බෙහෙත් වට්ටෝරුවට ඇතුළත් කරන ඒවා වෙන්න ඇති.

ඒවා පහු කරගෙන යද්දී අපි ඔසු සලේ දෙපැත්තේ වීදුරුවලින් සෑදූ ප්‍රදර්ශන කුටි දකිනවා. ඒවායේ දුර්ලභ ගණයේ බෙහෙත් පැළෑටි, ඛනිජ වර්ග, වියළන ලද සත්ව කොටස් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඇත්තෙන්ම ඒවා හරිම ගණන්. අපි ටිකක් ළඟට ගිහින් බලනවා. ඒකේ මුව අං, මුතු, වියළුණු කටුස්සෝ හා මුහුදු අශ්වයෝ වැනි දේවලුත් තියෙනවා! මෑතක් වෙනකං රයිනෝසිරස් අං හා වලස් පිත්තාශ වැනි දේවලුත් ඒවායේ ප්‍රදර්ශනය කර තිබුණත් දැන් නම් ඒවා විකුණන එක තහනම් කර තිබෙනවා.

ඔසු සලේ තවත් පැත්තක හෙම්බිරිස්සාව, බඩේ අමාරුව වගේ ලෙඩවලට ගන්නා එක එක වර්ගයේ පේයා පැකට්ටු දකින්න තිබෙනවා. බෝතල්වල ඇසුරුම් කළ විවිධ බෙහෙත් වර්ගත් තිබෙනවා. ඔසු සලේ අත් උදව්වට සිටින කෙනාට ඔබේ ලෙඩේ කිව්ව ගමන්ම ඔහු ඔබට හරි යන බෙහෙතක් දී ඒක පාවිච්චි කරන විදිහත් ඔබට කියා දෙයි.

ඔසු සලේ සේවකයාට පිටිපස්සේ තිබෙන බිත්තිය දිගේ රාක්ක සාදා තිබෙනවා. ඒවා මත තබා තිබෙන දිග වීදුරු භාජනවල තිබෙන්නේ වියළුණු මුල්, කොළ හා අතු කැබලි. ඒවා සාමාන්‍යයෙන් කෑම පිසීමට එහෙමත් නැත්නම් ගෙදරදී හදාගන්නා විවිධ අත් බෙහෙත් වර්ගවලට පාවිච්චි කරන නිසා ඔසු සලට බෙහෙත් ගන්න එන අයට ඒවා මොනවාද කියා අමුතුවෙන්ම හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඔසු සලේ එක් කෙළවරක වහල දක්වා උස අල්මාරියක් පේන්න තිබෙනවා. ඒකට “දරුවන් සියදෙනෙක් ඉන්න අල්මාරිය” යන අදහස ඇති බිට්සිග්වා යන නම දී තිබෙන්නේ, ලාච්චු සීයක් නැත්නම් ඊට වැඩි ගණනක් තිබෙන නිසයි. නිතරම පාවිච්චියට ගන්නා බෙහෙත් වර්ග එම ලාච්චුවල දමා තිබෙන්නේ පහසුවෙන්ම එළියට ගන්න පුළුවන් වෙන විදිහටයි. සාමාන්‍යයෙන් ඔසු සලේ අත් උදව්වට සිටින සේවකයාට සෑහෙන අද්දැකීම් තිබෙනවා නම් ඔහුට පුළුවන් සෑම ලාච්චුවකම තිබෙන බෙහෙත් මතකයෙන් වුණත් එළියට ගන්න. ඒ නිසා ලාච්චුවල ලේබල ගහන්නේ කලාතුරකින්.

දැන් ඔසු සලේ සේවකයා ලෙඩෙකුට බෙහෙත් පැළෑටි කිහිපයක් දක්ෂ ලෙස කිරලා දෙනවා. ඔහු පාවිච්චි කරන්නේ හුඟක් නිවැරදි ලෙස බර කිරන්න පුළුවන් තරාදියක්. ඒක තැනින් තැන බර ප්‍රමාණය සටහන් කරලා තියෙන කෝදුවක් වැනි උපකරණයක්. ඒකේ එක් කොණක නූල් තුනකින් එල්ලා ඇති රවුම් තැටියක් තිබෙනවා. අනිත් කොණේ පඩියක් එල්ලා තිබෙනවා. කෝදුවෙන් තරාදිය සමබර කරගන්න අවශ්‍යයි. සමහර ඖෂධ පැළෑටි ටිකක් හරි වැඩියෙන් ගත්තොත් භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් කියලා සේවකයා දන්න නිසා ඔහු ඒවා ඉතාමත් පරෙස්සමෙන් කිරලා බලනවා. හැබැයි හැම දෙයක්ම කිරලා දෙන්නේ නැහැ. සමහර පැළෑටි නිකම්ම ලාච්චුවලින් එළියට අරං කඩදාසියකින් ඔතලා ලෙඩාට දෙනවා. මේ වට්ටෝරුවට ඔහු රැහැයියන්ගේ පිට පොතුත් ඇතුළත් කරනවා. ඔහු වට්ටෝරුව සකස් කරලා දෙන ගමන්ම ලෙඩාට කසාය හදාගන්න හැටිත් කියා දෙනවා.

බෙහෙත් පැළෑටි විවිධ ක්‍රමවලට හදාගෙන බොන්න පුළුවන්. සමහර ඖෂධ කුඩු කළ මිශ්‍රණයක් හැටියට සකස් කර තිබෙනවා. ඒ වගේ මිශ්‍රණ උණු වතුරේ දිය කරලයි බොන්නේ. තවත් සමහර බෙහෙත් තලපයක් වාගේ සකස් කර තිබෙන අතර ඒවා ගන්නේ මී පැණි නැත්නම් මත් පැන් එක්ක මිශ්‍ර කරලයි. හැබැයි මේ ලෙඩාට නම් ඔහු කියන්නේ ඔක්කොම පැළෑටි ටික පිඟන් මැටි භාජනයකට දාලා පැයක් විතර තම්බා කසායක් හදාගන්න කියලයි. ඊට පස්සේ ලෙඩා පැයෙන් පැයට ඒක බොන්න ඕනේ. ඖෂධ පැළෑටි වැඩියෙන්ම සකස් කරගන්නේ ඒ ක්‍රමයටයි. ලෙඩාට තවත් බෙහෙත් අවශ්‍ය නම් ඔසු සලට ඇවිත් තව පැළෑටි ටිකක් අරගෙන යන්න පුළුවන්.

ආහ්! දැන් ක්වොක් කිට්ට වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. වෙදා ඔහුගේ රුධිර පීඩනය පරීක්ෂා කරන්නේවත් හෘද ස්පන්දන වේගය පරීක්ෂා කරන්නේවත් නැහැ. හැබැයි ඔහු ක්වොක් කිට්ගෙන් රෝග ලක්ෂණ ගැන නම් විමසා බලනවා. ඔහුට මේ දවස් ටිකේ හොඳට නින්ද යනවාද? හොඳට කෑම දිරවනවාද? කෑම කන්න පුළුවන්ද? සාමාන්‍ය විදිහට වැසිකිළි යනවාද? උණ තියෙනවාද? සමේ යම් වෙනසක් දකින්න තියෙනවාද වගේ ප්‍රශ්න ක්වොක් කිට්ගෙන් අහනවා. දැන් වෙදා ක්වොක් කිට්ගේ ඇසුත්, දිවත්, දිවේ පාටත් හොඳට පරීක්ෂා කර බලනවා. ඊට පස්සේ වෙදා ක්වොක් කිට්ගේ අත් දෙකේම නාඩි බලනවා. ඔහු විවිධ ආකාරවලින් අත අල්ලා ඒ මත එල්ල කරන පීඩනය වෙනස් කරමින් තමයි ඒක කරන්නේ. එහෙම කළාම ශරීරයේ විවිධ අවයවයන්වල තත්වය දැනගන්න පුළුවන් කියා පිළිගැනීමක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, වෙදා ලෙඩාගේ ශරීරයෙන් අමුතු දුගන්ධයන් නික්මෙනවාද කියාත් බලනවා! වෙදාගේ නිගමනය මොකද්ද? ක්වොක් කිට්ට උණක් හැදිලාලු. පුළුවන් තරම් ඇඳට වෙලා විවේක අරගෙන හුඟක් දියර ජාති ගන්න කියලා වෙද මහත්තයා ක්වොක් කිට්ට උපදෙස් දෙනවා. ඒත් එක්කම එයාට තම්බලා බොන්න බෙහෙත් වට්ටෝරුවකුත් දෙනවා. ඒක තිත්ත කසායක් වුණත් ක්වොක් කිට් ඒක බිව්වොත් සනීප වේවි. නොකෑ යුතු දේවල් සඳහන් කරනවාට අමතරව වෙද මහත්තයා ක්වොක් කිට්ට කසාය බිව්වට පස්සේ කන්න රස පළතුරු ජාතියකුත් දෙනවා. ඒකෙන් කටේ තිත්ත ගතිය අඩු කරගන්න පුළුවන් කියලා ඔහු පැහැදිලි කරනවා.

ඉතිං දැන් ක්වොක් කිට් ඔහුගේ බෙහෙත් වට්ටෝරුවත් අරගෙන ගෙදර යනවා. ඔහුට රුපියල් 1,560ක් විතර වියදම් වුණා. ඇත්තෙන්ම ඒ රටේ හැටියට ඒක ලාභයි. හැබැයි ක්වොක් කිට් එක පාරටම සනීප වෙන එකක් නම් නැහැ. උණ බහින්න දවස් දෙක තුනක් විතර යයි. හැබැයි පරෙස්සම් වීමට කාරණයක් තිබෙනවා. සමහර අය හිතනවා බෙහෙත් වැඩියෙන් බොන තරමට ලෙඩේ ඉක්මනටම සුව වෙනවා කියලා. නමුත් එහෙම කරන්න ගිහිල්ලා සමහර අයට දරුණු ප්‍රතිඵල අද්දැකීමට සිදු වෙලා තියෙනවා.

සමහර රටවල ඖෂධ පැළෑටි භාවිතය හා චීන සම්ප්‍රදායික වෙදකම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිම අධීක්ෂණයක් නැහැ. ඒ නිසා සමහර අවස්ථාවලදී වංචනික ලෙස වෙදකම් කරන අය සුවයක් ගෙන දෙනවා කියා පවසමින් භයානක ප්‍රතිඵල අත් කර දිය හැකි බෙහෙත් මිශ්‍රණයන් විකුණනවා. ඒ හේතුව නිසාම බොහෝදෙනෙක් සම්ප්‍රදායික චීන වෙදෙක් ගාවට යන්නේ, තමන්ගේ කිට්ටු මිත්‍රයන්ගෙන් නැත්නම් නෑයන්ගෙන් විමසා බැලීමෙන් පසුවයි.

ඇත්තෙන්ම, චීන සම්ප්‍රදායික වෙදකමෙන්වත් බටහිර රටවල ලබා දෙන ප්‍රතිකාරවලින්වත් සෑම ලෙඩක්ම සුව කරන්න බැහැ. කොහොම වුණත්, ආසියාතික රටවල චීන ඔසු සලවල් හා චීන සම්ප්‍රදායික වෙදකම දිගටම ක්‍රියාත්මක වෙන බව නිසැකයි.

[පාදසටහන්වල]

a පිබිදෙව්! සඟරාව සෞඛ්‍ය ගැටලු සඳහා කිසිම නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ. ක්‍රිස්තියානියෙක් යම් ප්‍රතිකාර ක්‍රමයක් තෝරාගනිද්දී එය බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි නොවන බවට වගබලා ගත යුතුයි.

b ප්‍රබන්ධ කථාවල පවසන ආකාරයට, කහ අධිරාජ්‍යයා කියන්නේ ජෝ රාජවංශයට කලින් ජීවත් වූ පාලකයෙක්. ඔහු පො.යු.පෙ. 2697 සිට 2595 දක්වා පාලනය කළ බවට පැවසෙනවා. නමුත් නේ ජිං අත්පොත ලේඛනගත කළේ පො.යු.පෙ. 1100 සිට 250 පමණ දක්වා දිව ගිය ජෝ රාජවංශයේ අවසාන කාලයේදී කියා බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරනවා.

c “යින්” කියන චීන අක්ෂරයේ පදගතාර්ථය “සෙවනැල්ල” වන අතර එය අන්ධකාරය, සීතල හා ස්ත්‍රී ලක්ෂණ නියෝජනය කරනවා. “යැං” කියන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තයි. එය දීප්තිය, උෂ්ණත්වය හා පිරිමි ලක්ෂණ නියෝජනය කරනවා.

[17වන පිටුවේ පින්තූර]

මුහුදු අශ්වයෝ වැනි දේවල් පවා ඔසු සලේ දැකගන්න පුළුවන්

[18වන පිටුවේ පින්තූර]

වියළුණු මුල්, කොළ හා අතු කැබලි කිරන්නේ ඉතා පරෙස්සමින්