Skip to content

පටුනට යන්න

දෙවිගේ ශක්තියෙන් පීඩා හමුවේ ස්ථිරව

දෙවිගේ ශක්තියෙන් පීඩා හමුවේ ස්ථිරව

දෙවිගේ ශක්තියෙන් පීඩා හමුවේ ස්ථිරව

ස්ටෙපෑන් කොසම්බගේ කතාව

මේ සිද්ධිය 1951 අප්‍රියෙල් මාසයේ මුලදී එක් රාත්‍රියක සිද්ධ වුණ දෙයක්. එදා සෝවියට් හමුදාව රැගත් ට්‍රක් රථ කීපයක් යුක්‍රේන්හි අපේ ස්ටෙන්යැටින් ගම්මානයට ආවා. අවි අමෝරාගත් සොල්දාදුවන් සමහර ගෙවල් විතරක් වැටලුවා. ඒ ගෙවල්වල හිටිය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පවුල් පිටින්ම පටවගෙන සයිබීරියාවට අරගෙන ගියා. දොළොස් හැවිරිදි හැඟීම්බර ළමයෙක් වූ මම ඒ වෙලාවේ කල්පනා කළේ ඒගොල්ලන්ට ඒ වගේ සැලකුවේ ඇයි, කොහොමද ඒගොල්ලෝ මේ වේදනාව දරාගන්නේ කියලයි.

මම ඉපදුණේ 1938 ඔක්තෝබර්වල ස්ටෙන්යැටින් ගම්මානයෙදීයි. මම ඉපදිලා සති දෙකකට පස්සේ අම්මා මැරුණා. ඊළඟට 1944දී ජර්මානුවන්ට විරුද්ධව සෝවියට් හමුදාවත් එක්ක සටන් කරමින් ඉන්න අතරතුරේදී තාත්තාත් මැරුණා. ඒ නිසා ඔලෙනා නැන්දයි ඇනා නැන්දයි මාව අරං හදාගත්තා. ඒ දෙන්නා මගේ තාත්තාගේ සහෝදරියන් දෙන්නෙක්.

ඒ කාලෙදී අපේ නගරයේ හිටිය යෙහෝවාගේ සාක්ෂිකරුවන් කීපදෙනෙකුව මම දැනගෙන හිටියා. ලැබුණ හැම අවස්ථාවකදීම ඔවුන් මටත් අනිත් අයටත් මෙසියානු රාජ්‍යය ගැන කතා කළා. ටික කාලයක් යද්දී, යෞවන සාක්ෂිකරුවන් කීපදෙනෙක් මාත් එක්ක යාළු වුණා. ඒගොල්ලන්ව සෝවියට් හමුදාව සයිබීරියාවට පිටුවහල් කළහම මට ඒක අදහගන්නවත් බැරුව ගියා.

ඒත් හැම සාක්ෂිකරුවෙක්වම පිටුවහල් කළේ නැහැ. මගේ ගේ කිට්ටුව පදිංචි වෙලා හිටිය සාක්ෂිකරුවෙක් වූ ස්ටෙපෑන්ගේ පවුලේ අය සාක්ෂිකරුවන් නොවූ නිසා ඔහුව අරගෙන ගියේ නැහැ. ඔහු මට වඩා අවුරුදු හයකින් වැඩිමල්. මම ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ ඔහුත් එක්ක වඩු වැඩවල යෙදුණා. ඔහුට ලැබුණු ඕනෑම මුරටැඹ සඟරාවක් යොදාගෙන ඔහු මාත් එක්ක බයිබල් පාඩමක් පැවැත්තුවා. සැබෑ දෙවිට සේවය කරමින් දැන් එස්ටෝනියාවේ සිටින ස්ටෙපෑන් හුඟාක් සතුටු වුණා, මම 1956 ජූලිවලදී බව්තීස්ම වුණහම.

යුක්‍රේන්වල හිටිය හැම යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුටම අනිවාර්යයෙන්ම මොකක් හරි විරුද්ධවාදිකමකට මූණ දෙන්න සිද්ධ වුණා. බලධාරීන් බයිබල් පොත් පත් සොයාගැනීමට ගෙවල් සෝදිසි කරන නිසා මම ඒවා වෙනත් තැන් කීපයකම හැංගුවා. මගේ ඔලෙනා නැන්දයි, ඇනා නැන්දයි ග්‍රීක කතෝලිකයන් වූ නිසා මම සාක්ෂිකරුවන් එක්ක සම්බන්ධකම් පවත්වන එකට ඒගොල්ලන් වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. සාක්ෂිකරුවන් එක්ක තිබුණ මගේ ඇසුර නවත්වන්න ඒගොල්ලෝ වෑයම් කළා. මේ වගේ අවස්ථාවලදී, ‘උසුලන්ට බැරි තරම් බර අප පිටට පැමිණෙනවා’ කියලා ප්‍රේරිත පාවුල්ට හැඟුණ විදිහටම මටත් හැඟිලා තියෙනවා. නමුත් යෙහෝවා දෙවි එක්ක තිබුණ මගේ සම්බන්ධය, හැම පීඩාවක්ම විඳදරාගන්න මට ලොකු ශක්තියක් වුණා.—2 කොරින්ති 1:8; පිලිප්පි 4:13.

මධ්‍යස්ථව ඉන්න මම දරපු වෑයම

වයස අවුරුදු 18 සම්පූර්ණව සිටි තරුණයන්ට සෝවියට් හමුදා සේවයට බැඳීම අනිවාර්ය කරලා තිබුණා. මට තිබුණ බයිබල් දැනුම නිසා, ලෝකයේ කටයුතු සම්බන්ධයෙන් මධ්‍යස්ථව ඉන්නවා කියන අධිෂ්ඨානයෙනුයි මම හිටියේ. ඒ නිසා මම සෝවියට් හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කළා. (යෙසායා 2:4; යොහන් 17:14-16) ඔලෙනාගෙයි, ඇනාගෙයි සහෝදරයා, ඒ කියන්නේ මගේ තාත්තා යුද්ධයේදී මියගියත් මට ඒ දෙන්නා උනන්දු කළේ සෙබළෙක් වෙන්නයි.

යුද්ධයට බඳවාගැනීමේ ලියකියවිලි ලැබුණට පස්සේ මම අපේ ප්‍රදේශයේ තිබුණු හමුදා මූලස්ථානයට ගිහින් මගේ ස්ථාවරය ගැන පැහැදිලි කළා. ඒ වෙලාවෙම ඒ අය මාව අත්අඩංගුවට අරගෙන මට විරුද්ධව දැම්ම නඩුව අහන තෙක්ම එහි රැඳෙව්වා. හැබැයි නඩුව ඇහැව්වේ රහසිගතවයි. අඩුම තරමින් මගේ නැන්දලාටවත් ඒ දිනය දන්වා තිබුණේ නැහැ. විනිශ්චයකරුටත්, නීතිඥයාටත්, ජූරි සභිකයන් දෙන්නාටත් මම ප්‍රබල සාක්ෂියක් දැරුවා. මිනිත්තු 20කින් සියල්ලම අවසන් වුණා. අවුරුදු පහකට සිර දඬුවමකුයි, ඊට පස්සේ තවත් අවුරුදු පහකට මගේ පුරවැසි අයිතිවාසිකම් සමහරක් අහෝසි කෙරෙන දඬුවමකුයි නියම වුණා.

හිරේ ගත කළ කාලය

නඩුවෙන් පස්සේ මාව ලවෙෆ් බන්ධනාගාරයට දැම්මා. බර වැඩ සහිත සිර කඳවුරකට දානකම් ගත වුණු මාස තුනේදී මට ක්‍රිස්තියානි ඇසුරවත්, බයිබලයවත් වෙන බයිබල් ආධාරක පොත් පත්වත් ලැබුණේ නැහැ. කොහොම වුණත්, මම අනිත් සිරකරුවන්ට සාක්ෂි දරමින් ආත්මිකව ක්‍රියාශීලීව හිටියා. නමුත් ඒගොල්ලන්ට තේරුම්ගන්න බැරි වුණා මම හමුදා සේවයට බැඳුණේ නැත්තේ ඇයි කියලා. ඒ මාස ගානේදී මට අවශ්‍ය ශක්තිය ලැබුණේ හිරේට එන්න කලින් මම කරලා තිබුණ පෞද්ගලික පාඩම්වලිනුයි. මේ අද්දැකීමෙන් මට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ පීඩා පැමිණෙන විට ඒවා දරාගෙන ඉන්න පුළුවන් ආකාරයේ ආත්මිකත්වයක් ගොඩනඟාගැනීමට, පෞද්ගලික පාඩම අපට උපකාර කරනවා කියන එකයි.—යොහන් 14:26.

වර්ෂ 1958 අප්‍රියෙල්වලදී මාව අපේ නිවසෙන් කිලෝමීටර් 700කට වඩා ඈතින් වූ නිප්‍රෝපැට්‍රෝෆ්ස්ක් කිට්ටුව පිහිටි බර වැඩ සහිත 21-කඳවුරට මාරු කළා. මගේ දණ්ඩනයේ ඉතිරි කාලය ගෙවුණේ එතැනයි. සාමාන්‍යයෙන් උදේ 6:00ට නැඟිටලා කෑම කෑවට පස්සේ, අපිව ට්‍රක් රථවලට පටවගෙන කඳවුරේ ඉඳලා කිලෝමීටර් 50ක් විතර දුරින් තිබුණ වැඩපොළට අරගෙන ගියා. එහේ ඉදි කිරීමේ භූමියේ පැය අටක් වැඩ කළාට පස්සේ ආපහු රෑට අපිව කඳවුරට ගෙනාවා.

අපිට නිදාගන්න ලැබුණේ බැරැක්කවලයි. එකක හිරකාරයන් සීයක් විතර හිටියා. හරි හමන් කෑමක් ලැබුණෙත් නැහැ. ජීවත් වෙන්න සිද්ධ වුණේ හරිම අපහසුතාවකින්. ඒත් මගේ බැරැක්කයේ තවත් සාක්ෂිකරුවන් දෙන්නෙක් හිටිය නිසා ඔවුන්ගේ ඇසුරවත් ලැබුණ එක ලොකු දෙයක්. අපි තුන්දෙනා එකිනෙකාව දිරිගන්වාගන්න සෑහෙන වෑයමක් දැරුවා. තම සේවකයන් මානසික පීඩනයකින් ඉන්නකොට යෙහෝවා ඔවුන්ට ශක්තිය සපයන තවත් ක්‍රමයක් තමයි සෙසු ඇදහිලිවන්තයන්ගේ ඇසුර ලැබීමට සැලැස්වීම.—2 කොරින්ති 7:6.

මුළු කඳවුරේම සාක්ෂිකරුවන් 12දෙනෙක් හිටියා. ඒගොල්ලන්ගෙන් සමහර අයගේ නෑදෑයෝ කෑම පාර්සල්වල මුරටැඹ පිටු හංගලා හොර රහසෙම ගෙනත් දුන්නා. මුරකරුවන් හුඟක් වෙලාවට පාර්සල් ලිහලා බලලා තමයි අපිට දුන්නේ. නමුත් ඒ අය අහු නොවෙන විදිහට ප්ලාස්ටික් කොළවලින් මුරටැඹ ඔතලා ඒවා ජෑම් ටින් ඇතුලේ දාලයි ගෙනාවේ. ඒවා අරින්න මුරකරුවන් ඒ තරම් වෙහෙසුණේ නැහැ. ඒ ලිපි ලැබුණහම අපි ඒවා අතින් පිටපත් කරලා අපි අතරේම බෙදාගත්තා.

අපි අපේ උපරිමයෙන් දේවරාජ්‍යය ගැන දේශනා කරන්නයි වෑයම් කළේ. අපේ වෑයමට යෙහෝවා ආශීර්වාද කළා. ඒකට එක උදාහරණයක් කියන්නම්. සර්ගේ කියලා හිරකරුවෙකුව මට අඳුනගන්න ලැබුණා. එයා නැඟෙනහිර යුක්‍රේන්වල රාජ්‍ය ව්‍යාපාරයක ගණකාධිකාරිවරයෙක් හැටියට සේවය කරලා තිබුණා. ඔහුගේ කාර්යාලයේ සිද්ධ වුණ වංචාවකට ඔහු වගකිව යුතු බව තීරණය වුණ නිසා ඔහුට අවුරුදු දහයක සිර දඬුවමක් නියම කරලා තිබුණා. ලැබෙන ඕනෑම සඟරාවක් පාවිච්චි කරමින් සාක්ෂිකරුවන් කීපදෙනෙක්ම ඔහු එක්ක පාඩම් කළා. මීට හොඳ ප්‍රතිචාරයක් දැක්වුව සර්ගේ දවසක් මට මෙහෙම කිව්වා. “කඳවුරෙන් පිට වුණ දාකට යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට බව්තීස්ම වෙන්න මට ඕනේ!” සර්ගේ නිදහස් වෙලා වැඩි කල් යන්න කලින් ඔහුගේ වචනය ඒ විදිහටම ඉටු කරමින් බව්තීස්ම වුණා විතරක් නෙමෙයි මරණය දක්වාම යෙහෝවාට පක්ෂපාතව සේවයත් කළා.

රෝම 13වන පරිච්ඡේදය සම්බන්ධයෙන් වියවුලක්

වර්ෂ 1963 ජනවාරිවලදී මාව හිරෙන් නිදහස් කළාට පස්සේ මම ආපහු ස්ටෙන්යැටින්වලට ගියා. සෝකැල්හි සභාවේ මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙන බව මට එකපාරටම තේරුණා. සහෝදරයන් අතරේ කලබලකාරි වාතාවරණයක් තිබුණා. ගැටලුව මොකක්ද? මේ වගේ අවිනිශ්චිත තත්වයක් ඇති වුණේ කොහොමද?

සෝවියට් බලධාරීන් යෙහෝවාගේ සෙනඟ අතරේ අසමගියක් ඇති කරන්න අවුරුදු ගණනාවක්ම වෑයම් කරලා තිබුණා. ප්‍රශ්න කරන්න සහෝදරයන්ව අරගෙන ගිය අවස්ථාවලදී අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලනික ඉලක්ක වැඩිදියුණු කරන්න සහෝදරයන්ව සූක්ෂ්ම විදිහට යොදාගන්නා බව ඔවුන් සාක්ෂිකරුවන්ට කියන්න උත්සාහ කළා. සෝවියට් ජනරජය තුළ ඉන්න සාක්ෂිකරුවන් තමන්ගේම සංවිධානයක් හදාගන්නවා නම් හොඳයි කියලා නිලධාරීන් නිර්දේශ කළා. එතකොට ඔවුන්ට රජය එක්ක සාමකාමී සම්බන්ධකම් පවත්වන්න පුළුවන් බවත්, කිසිම පීඩාවක් නැතුව ඔවුන්ගේ ආගම අදහගන්න පුළුවන් බවත් එම නිලධාරීන් පැවසුවා. මේ හැම අදහසක්ම සිත් ඇදගන්නා ආකාරයෙන් ඉදිරිපත් කරන්න නිලධාරීන් වගබලා ගත්තා.

වර්ෂ 1962 නොවැම්බර් 15 වොච්ටවර් සඟරාවෙත්, පසුව යුක්‍රේන් භාෂාවෙන් 1964 ජූලි 1 කලාපයෙත් රෝම 13වෙනි පරිච්ඡේදය ගැන අලුතෙන් අවබෝධ කරගත් අදහසක් ඉදිරිපත් කළා. ඒ වෙනකම්ම අපි අවබෝධ කරගෙන තිබුණේ එහි 1වෙනි පදයේ සඳහන් වන “උසස් බලධාරීන්” යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස් කියලයි. නමුත් “උසස් බලධාරීන්” කියන්නේ ඇත්තෙන්ම භූමික නායකයන්ට බවත්, මොවුන්ව “දෙවි විසින් සාපේක්ෂ තනතුරුවල තබා තිබෙන” බවත් එම මුරටැඹ සඟරාවේ සඳහන් කරලා තිබුණා.—රෝම 13:1, NW.

සෝවියට් ජනරජයේ පාලකයන් දෙවිගේ සැබෑ නමස්කාරය නැත්තටම නැති කරලා දාන්න කෲර උත්සාහයක යෙදෙද්දී මේ වගේ අලුත් අදහසක් පිළිගැනීම සමහර සාක්ෂිකරුවන්ට අමාරු දෙයක් වුණා. ඒ නිසා, මේ සාක්ෂිකරුවන් හිතුවේ මුරටැඹ සඟරාවේ අලුතින් අවබෝධ කර දී ඇති දෙය, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නියම සංවිධානයෙන් ලැබුණු මඟ පෙන්වීමක් නෙවෙයි කියලයි. සාක්ෂිකරුවන්ව සෝවියට් රජයට තවත් කීකරු කරවන්න උත්සාහ කරමින් බලධාරීන් එක්ක සමාගම් පවත්වන අය එම තොරතුරු ගොතන්න ඇති කියලයි ඔවුන් හිතුවේ.

ඒ නිසා යුක්‍රේන්වල ඉන්න හැම යෙහෝවාගේ සේවකයෙක්ම හරි කණ්ඩායම මොකක්ද, වැරදි එක මොකක්ද කියන ප්‍රශ්නයට මූණ දුන්නා. සාක්ෂිකරුවන් මේ සම්බන්ධයෙන් දෙපැත්තකට බෙදිලා හිටියා. ‘ඔවුන්ට තියෙන්නේ මොන වගේ චේතනාවන්ද’ කියලා මම මගෙන්ම ප්‍රශ්න කරගත්තා. වැඩි කල් යන්න මත්තෙන් කණ්ඩායම් දෙක අතර පැහැදිලි වෙනසක් දකින්න මට පුළුවන් වුණා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනා රෝම 13වන පරිච්ඡේදයේ අලුත් පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්ම අවබෝධ කර නොගත්තත්, යෙහෝවා සහ ඔහුගේ සංවිධානයට පක්ෂපාතව ඉන්න ඔවුන්ට ඕනෙ වුණා. අනෙක් අය වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ අලුත් ප්‍රකාශන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නියම සංවිධානයෙන්ද තවමත් එන්නේ කියලා සැක පහළ කරන්න පටන්ගෙන තිබුණා. එවැනි අය කාරණා ගණනාවක් සම්බන්ධයෙන්ම අන්තවාදී අදහස් දරන්නත් නැඹුරු වෙලා හිටියා. උදාහරණයකට, මනමාලියක් ඇගේ විවාහ දිනයේදී සුදු ඇඳුමකින් සැරසීමත්, විවාහ සහකරුවන් මංගල මුද්දක් පැළඳීමත් වැරදියි කියලා ඔවුන්ට හැඟුණා. හුඟදෙනෙක් සංවිධානය අත්ඇරලා ගියා. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තමන්ගේ වැරදි වටහාගෙන ආයෙමත් යෙහෝවාට සේවය කරන්න හැරිලා ආවා.

රහස් ක්‍රියාමාර්ගයක්

අපේ ක්‍රිස්තියානි වැඩකටයුතු තහනම් කරලා තිබුණත්, අපි 10ත් 15ත් අතර සංඛ්‍යාවක් ඉන්න කණ්ඩායම්වලට බෙදිලා හැකි සෑම අවස්ථාවකදීම රැස්වීම් පැවැත්තුවා. රැස්වීම්වලදී බයිබලය පාඩම් කිරීමෙන් හා පාඩමෙන් පසුව පවත්වපු අපේ ඇසුරෙන් අපි ආත්මිකව ශක්තිමත් වුණා. අපි අපේ අද්දැකීම් සන්සන්දනය කරලා බැලුවා. එතකොට අපි හැමෝටම එක විදිහට වෙහෙසක් දරන්න වෙලා තියෙන බව වටහාගන්න පුළුවන් වුණා. ඉතින් ප්‍රේරිත පේතෘස් ලිව්ව දේ අපි අපේ හෘදයට ගත්තා. “ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.”—1 පේතෘස් 5:9.

අපේ සාකච්ඡාවලට අපි යොදාගත්තේ මුරටැඹ සඟරාවේ ලිපියි. අපිට සඟරා ලැබුණේ කොහොමද? පණිවිඩකරුවන් හැටියට ක්‍රියා කළ සාක්ෂිකරුවන් දේශ සීමාව හරහා පුංචි සේයා පට (මයික්‍රෝෆිල්ම්ස්) යුක්‍රේනය තුළට ගෙනාවා. කලින් සැලසුම් කරගත් පරිදි එක් සාක්ෂිකරුවෙකුගෙන් තවත් සාක්ෂිකරුවෙකුට ඒවා පිළිවෙළින් ලැබෙන්න සැලැස්සුවා. ඊට පස්සේ ඔවුන් හැම කෙනෙකුම තමන්ගේ සභාවට අවශ්‍ය සඟරා පිටපත් ප්‍රමාණය නිපදෙව්වා. සමහර අවස්ථාවලදී මටත් සිද්ධ වුණා එවැනි පිටපත් හදන්න. දිවා රෑ දෙකේම සඟරා නිපදවමින් හා වෙනත් වැඩවල නිරත වෙමින් මම මුළු දවස පුරාම යෙහෝවාගේ සේවයෙහි කාර්ය බහුලව හිටියා. කාලසටහනට අනුව වැඩ කරන එක අභියෝගයක් වුණත් සංවිධානයේ වගකීම් ඉසිලුව අපි, යෙහෝවා “ක්ලාන්තවූ අයට ශක්තිය දෙන” බව තේරුම්ගත්තා.—යෙසායා 40:29.

අපිට මුණගැහෙන අය එක්ක බයිබලය ගැන කතා කරන්න අපි ප්‍රස්තාවන් උදා කරගත්තා. අපෙන් වැඩිදෙනෙක් එහෙම කළේ පොදු වාහනවල ගමන් කරන කොටයි. සංවාදයක් ඇරඹීමට යොදාගැනුණු පොදු ක්‍රමයක් වුණේ පුවත්පතක් කියවමින් සිට පසුව ළඟ සිටින මඟියෙකුට එහි සඳහන්ව තිබූ අලුත්ම ආරංචියක් පැවසීමයි. ඔහු සමඟ සංවාදයක් ඇරඹුවාට පස්සේ, අපි ඒක ක්‍රමානුකූලව බයිබල් විෂයකට මාරු කරනවා. මේ ආකාරයෙනුයි අපි අපේ ප්‍රදේශයෙහි ශුභාරංචිය පැතිරෙව්වේ.

ගුණවත් භාර්යාවක්

වර්ෂ 1965දී මම ටමාරාව විවාහ කරගත්තා. සැබෑ දේව සේවිකාවක් හැටියට හැදී වැඩුණු ඇය පීඩා හමුවේ ඇදහිල්ල වෙනුවෙන් ස්ථිරව සිටීම කියන්නේ මොකක්ද කියලා හොඳින් දැනගෙන හිටියා. ඇගේ සහෝදරයා වූ සර්ගේව අත්අඩංගුවට අරගෙන සාක්ෂිකරුවෙක් හැටියට ඔහු විසින් කළ වැඩකටයුතු සම්බන්ධයෙන් තුන්පාරක්ම නඩු විභාග පැවැත්වූවා. අන්තිම වතාවේදී ඔහු ළඟ තිබුණු මුරටැඹ පොත් පත් වගයක් අහු වුණ නිසා ඔහුව අවුරුදු දහයකට හිරේ දැම්මා. ඒ විතරක් නෙමෙයි, ටමාරාවත් ඔවුන්ගේ මූලස්ථානයට අරගෙන ගිහින් ප්‍රශ්න කරලා, හිරේ දාන බවට බලධාරීන් තර්ජනය කළා.

අපේ විවාහයෙන් පස්සේ පදිංචියට තැනක් හොයාගන්න එක ලේසි වුණේ නැතත්, සෝකැල්හි පදිංචිව හිටිය සාක්ෂිකරුවන්ට හිතවත් පවුලක් ඔවුන්ගේ නිවසේ පුංචි කාමරයක් අඩු ගානකට අපිට කුලියට දුන්නා. හදිස්සියේවත් ආපහු මාව අත්අඩංගුවට අරං හිරේ දැම්මොත් ටමාරාට ඒ කාමරයේ දිගටම ඉන්න පුළුවන් කියලා ඔවුන් අපේ බිය සැක දුරු කළා. අපිට ආශීර්වාද ලබා දුන් යෙහෝවාටත්, කරුණාව දැක්වුව එම පවුලටත් මගේ භාර්යාවයි මමයි ස්තුතිවන්ත වුණා. දවසක්, මේ පවුලේ කෙනෙක් මියගිය අවස්ථාවේදී ඔවුන්ගේ දියණිය වූ ගලිනාට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන පැහැදිලි කරන්න ටමාරා අවස්ථාවක් උදා කරගත්තා. බයිබල් සත්‍යයේ බීජ ඵල දැරුව අතර ගලිනා මැවුම්කරුට ප්‍රේම කරන්න පටන්ගත්තා. පසු කාලයේදී බව්තීස්ම වූ ඇය දැන් ඇගේ සැමියා එක්ක යෙහෝවාට සේවය කරමින් ඉන්නවා.

මම 1970 ගණන්වලදී බොහෝ සති අන්තවල යුක්‍රේනයේ මෝල්ඩෙවියා (මෝල්ඩෝවා) සහ කාපේතියන් වැනි කඳුකර ප්‍රදේශවලට ගමන් කළා. එහිදී යෙහෝවාගේ සංවිධානයේ පෙරමුණ ගෙන කටයුතු කළ අයව මුණගැසී මම ඔවුන්ව දිරිගැන්නුවා. සාමාන්‍යයෙන් මම සිකුරාදා හවස ගියාම ආපහු ගෙදර ආවේ ඉරිදා රෑ වෙලයි. මම යන්නේ කොහෙද කියලවත්, ආපහු මම එයිද කියලවත් ටමාරා හුඟක් වෙලාවලදී දැනගෙන හිටියේ නැහැ. අවුරුදු ගානක්ම මේ තත්වය මේ විදියටම පැවතුණා. ඇත්තටම ගුණවත් භාර්යාවක් ගැන බයිබලයේ කියන දේ සත්‍යයක් බව මට ස්ථිරයෙන්ම කියන්න පුළුවන්. එහි පවසන්නේ “ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය” කියලයි.—හිතෝපදේශ 31:10.

ඒ දවස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන් කළ ඕනෑම වැඩක් අවදානම් තත්වයකයි තිබුණේ. ඇත්තටම, අපිට ඒවා කරන්න පුළුවන් වුණේ යෙහෝවා ශක්තිය දුන්න නිසයි. මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බැරි අමාරු අවස්ථාවලට මම සෑහෙන්න මූණ දීලා තියෙනවා. ඒ වෙලාවට මම කරන්නේ නිහඬව යෙහෝවාට යාච්ඤා කරලා ඔහුගේ ශක්තිය මත රඳා ඉන්න එකයි. ඒ විදිහට කරන එක පස්සේ කාලයේදී අපේ ජීවිතයේ කොටසක් බවට පත් වුණා.—ක්‍රියා 4:29, 30.

මෑත කාලවලදී

කාලය ගෙවී යත්ම, යුක්‍රේන්හි විසූ යෙහෝවාගේ සේවකයන්ට කලින් තිබුණු තත්වයට වඩා පහසු තත්වයක් උදා වුණා. ඔවුන්ට පැමිණි පීඩා අඩු වුණා. සිර දඬුවම් විඳිනවා වෙනුවට දඩ ගෙවීමට නියම කෙරුණා. එක්දාස් නවසිය අසූගණන්වලදී බලධාරීන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ජාත්‍යන්තර සංවිධානයක් වශයෙන් පිළිගත්තා. මේ නිසා යුක්‍රේන්හි සහ සෝවියට් ජනරජයේ ඕනෑම තැනකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සිරභාරයට ගත්තොත්, විදේශ රටවලින් තමන්ට ලැබී තිබෙන කීර්ති නාමයට එයින් කැළලක් ඇති වෙයි කියා ඔවුන් කල්පනා කෙරුවා. කලින් මගෙන් ප්‍රශ්න කරලා තිබුණ එක නිලධාරියෙක් පසු කාලයකදී මෙහෙම කිව්වා මට මතකයි. “කිසිම ආගමකින් නරකක් වෙන්නෙ නැති බව දැන් අපිට වැටහෙනවා. මොනයම් හෝ ආගමික කණ්ඩායමක් රජයට අනතුරු කරන්නේ නැත්නම් ඒ ඇති.”

එක්දාස් නවසිය අසූගණන්වල අගභාගයේදී, නැඟෙනහිර යුරෝපයේ තිබුණු දැඩි නීති රීති ලිහිල් කරන්න පටන්ගත් අතර, එතැන් පටන් යුක්‍රේනයෙහි අපිට ඇති නිදහසත් ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන්න පටන්ගත්තා. වර්ෂ 1991දී අපේ දේශනා සේවය නීත්‍යානුකූල කළා. ඊට පස්සේ, 1998 සැප්තැම්බර්වලදී, වොච් ටවර් සමිතිය ලවෙෆ්හි ශාඛා කාර්යාලයක් පිහිටෙව්වා. වර්ෂ 1999 මුලදී, සේවකයන් 170දෙනෙකුට වඩා වැඩි පිරිසකට ප්‍රමාණවත් අලුත් ශාඛා ගොඩනැඟිල්ලක් ඉදි කරන්න පටන්ගත්තා. දැන් යුක්‍රේන්වල 1,12,000කට වඩා වැඩිදෙනෙක් දේශනා වැඩයෙහි හවුල් වෙමින් ඉන්නවා. ඒ වගේම වසර 2000 සිහි කිරීමේ උත්සවයට 2,50,000කට වඩා වැඩි පිරිසක් ආවා. මේවාවලින් වඩාත්ම සිත්ගන්නේ අපේ යෞවනයන්ගේ සංඛ්‍යාවයි. වර්ෂ 1991 කීව්හි පැවැත්වූ සමුළුවකදී පුවත්පත් වාර්තා කරන්නියක් මගෙන් මෙහෙම ඇහැව්වා.

“මෙච්චර සෙනඟක් එන්නේ කොහෙ ඉඳලද? මම හිතුවේ සෝවියට් ජනරජයේ සාක්ෂිකරුවන් එක්කෙනෙක්වත් නැහැ කියලයි. ඒත් බලන්නකෝ එකපාරටම දහස් ගානක් ඇවිල්ලා!”

“අපි එක රැයකින් මතු වුණු කට්ටියක් නෙවෙයි. අපි මෙහේ අවුරුදු ගානක් තිස්සේ යෙහෝවාට සේවය කරලා තියෙනවා” කියලා මම කිව්වා.

“යෞවනයන් මෙච්චර ගානක් ඔබේ ආගමට ඇදගන්නේ කොහොමද” කියලා ඇය විමසුවා.

“හොඳම දේ තමයි යෞවනයන්ගෙන්ම ඒක අහලා බලන එක. යෙහෝවාට සේවය කරන්න වුවමනා වෙලා තියෙන්නේ ඇයි කියලා ඒගොල්ලොම කියයි.”

“මම දැනටමත් අහලා ඉවරයි” කියලා වාර්තා කරන්නිය පැවසුවා. “ඒගොල්ලො සේවය කරන්නේ හරිම සතුටින් කියලා මට කිව්වා.”

“ඒක තමයි හේතුව. අපේ යෞවනයන් කියන්නේ ඒක නම් ඊට වඩා දෙයක් කියන්න අවශ්‍ය නැහැ” කියලා මම ඇයට පැවසුවා.

යෙහෝවාට සතුටෙන් සේවය කරන්නේ යෞවනයන් විතරක්ම නෙවෙයි. ටමාරායි මමයි එකට අවුරුදු 80කට වඩා වැඩි කාලයක් යෙහෝවාට සේවය කරලා තියෙනවා. මොනම හේතුවක් නිසාවත් අපේ ඇදහිල්ල නැති කරගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන් වුණත් අපිටත් ගැටලු තියෙනවා. මේ පරණ පිළිවෙළ තියෙන තාක් කල් හැම කෙනෙකුටම එක එක කරදරවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් පොළොවේ ඉන්න වෙන ඕනෑම කණ්ඩායමකට වඩා පීඩාවලට මූණ දෙන්න අපි හොඳින් සූදානම් වෙලයි ඉන්නේ. අපි අපේ සර්වබලධාරි දෙවි වූ යෙහෝවාගේ ශක්තියෙන් අතීතයේදී පීඩාවලට මූණ දුන්නා වගේම ඉදිරියේදීත් එන ඕනෑම දේකට මූණ දෙන්න අධිෂ්ඨාන කරගෙනයි ඉන්නේ. “මාගේ ශක්තියද බලයද යෙහෝවාය. ඔහු මාගේ ගැළවීමය” කියමින් මෝසෙස් විජයග්‍රාහි ගීතය ගයද්දී ඔහුට එදා තිබුණු හැඟීමමයි අද අපිටත් තියෙන්නේ.—නික්මයාම 15:2, NW.

[22වන පිටුවේ පින්තූරය]

බර වැඩ සහිත 21-කඳවුරේ සෙසු සාක්ෂිකරුවන් සමඟ

[22වන පිටුවේ පින්තූරය]

යුක්‍රේනියානු “මුරටැඹ” සඟරාවක පුංචි සේයා පටයක් (නියම ප්‍රමාණය)

[23වන පිටුවේ පින්තූරය]

මගේ භාර්යාව වන ටමාරා එක්ක

[24, 25වන පිටුවේ පින්තූරය]

ලවෙෆ්හි ඉදි කෙරෙමින් තිබෙන නව ශාඛා කාර්යාලය චිත්‍ර ශිල්පියෙකුගේ තෙලි තුඩෙන්

[25වන පිටුවේ පින්තූරය]

යුක්‍රේන්හි සිටින යෞවනයන් බොහෝදෙනෙක් යෙහෝවාට සේවය කරන්නේ මන්ද?