Skip to content

පටුනට යන්න

වතිකානුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් කිරීමට උත්සාහයක්

වතිකානුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් කිරීමට උත්සාහයක්

වතිකානුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් කිරීමට උත්සාහයක්

වතිකානුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන (NGOs) 70කට වැඩි ගණනකින් සමන්විත ජාත්‍යන්තර සන්ධානයක් මගින් ලොව පුරා වැඩ පිළිවෙළක් දියත් කර තිබෙන බව රෝමයේ පිහිටි පුවත් සපයන ආයතනයක් වන ඉන්ටර් ප්‍රෙස් සර්විස් (IPS) වාර්තා කළේය. වර්තමානයේදී වතිකානුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නිරීක්ෂකයෙකු නොහොත් සාමාජිකත්වය නොදරන රාජ්‍යයක් ලෙස කටයුතු කරයි. වර්ෂ 1964 සිට වතිකානුව එම නිලය දරමින් සිටියි.

පසුගිය අවුරුද්දේ අප්‍රියෙල් මාසයේ අවසානය වන විට රාජ්‍ය නොවන සංවිධාන එක්ව පිහිටුවාගත් සන්ධානයේ සාමාජික සංඛ්‍යාව සියය දක්වා වැඩි විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වතිකානුව දරන නිලයට එම සන්ධානය විරෝධය දක්වන්නේ මන්ද? වතිකානුව ආගමික වශයෙන් යම් අධිකාරියක් හෙබවුවද, එය දේශපාලනික රාජ්‍යයක් නොවන බව පවසමින් රාජ්‍ය නොවන සංවිධාන ඔවුන්ගේ විරෝධයට හේතු දක්වයි. අදහස් ප්‍රකාශ කිරීමට වතිකානුව සතු අයිතියට කලින් සඳහන් කළ සන්ධානය විරුද්ධ නොවුවත්, “මතභේදයට තුඩු දී තිබෙන්නේ, දේශපාලනික රාජ්‍යයක් නොවන වතිකානුවට සෙසු රාජ්‍යයන් හා සමානම තත්වයක් හිමි වී තිබීම” බව, ස්වාධීනත්වයට පක්ෂ කතෝලිකයන් නමැති සංගමයේ සභාපතිනි ෆ්‍රැන්සිස් කිස්ලිං මහත්මිය IPS ආයතනයට පැවසුවාය.

ප්‍රජනන නීති හා ප්‍රතිපත්ති සම්පාදන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර වැඩසටහන්වල අධ්‍යක්ෂිකාව වන ඇනිකා රාමාන් මෙම අදහසට එකඟ වෙයි. ඈ පැවසූ මේ වදන් IPS මෙසේ උපුටා දක්වයි. “වතිකානුව සතු ආගමික බලතල හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වතිකානුව නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස සලකනවා නම්, තමන්ටද එවන් තත්වයක් ලබා දෙන මෙන් වෙනත් ආගම් ඉල්ලා සිටින විට එක්සත් ජාතීන් ඒ ගැන සලකා බැලිය යුතුයි.” ඈ තවදුරටත් මෙසේ සඳහන් කළාය. “එක්සත් ජාතීන් යම් ආගමකට විශේෂ සැලකිලි නොදක්වන බව සහතික කිරීමට නම්, රෝමානු කතෝලික සභාව වැනි ආගම්වලට එහි සාමාජිකත්වය නොලත් නිලතල දරන්නෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ නොදිය යුතුයි.”

වතිකානුව රාජ්‍යයක් ලෙස සලකනු ලබන නිසා, එය වර්තමානයේ දරන නිලතල දැරීමට එයට අයිතියක් තිබෙනවා කියා ගෙනහැර දක්වන තර්කය ගැන කුමක් කිව හැකිද? කිස්ලිං මහත්මිය එක් සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන පැවසුවේ “මෙහිදී, රාජ්‍යය යන වචනයට වැරදි අර්ථ කථනයක් දී තිබේ” කියාය. “වතිකානුව කතෝලික සභාව පාලනය කරන රාජ්‍යයක් පමණයි කියායි අප පවසන්නේ. එම තත්වය පැවතෙන්නේ 15වන සියවසේ සිටයි.” “වතිකානුව” හා “පාප්ගේ බල ප්‍රදේශය” යන යෙදුම් දෙක “රෝමානු කතෝලික සභාව සඳහා තිබෙන තවත් යෙදුම් දෙකක්” කියා ඇය තවදුරටත් පැවසුවාය.

වර්තමානයේ රාජ්‍ය නොවන සංවිධාන හා වතිකානුව අතර මතභේදයක් පැවතීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ජනගහන ගැටලුව සම්බන්ධයෙන් වතිකානුව දරන මතයයි. උදාහරණයක් හැටියට, එක්සත් ජාතීන් විසින් සංවිධානය කරන ලද 1994දී කයිරෝ නුවර පැවැත්වූ ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ සම්මේලනය හා 1995දී බීජින්හි පැවැත්වූ කාන්තා සම්මේලනය වැනි සම්මේලනවලදී වතිකානුව පවුල් සැලසුම්වලට එරෙහිව තමන්ගේ දැඩි විරෝධතාව ප්‍රකාශ කර ඇත. “බොහෝ අවස්ථාවලදී එක්සත් ජාතීන් විවිධ කාරණා සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණෙයි. එහෙත් වතිකානුව ප්‍රකාශ කළ විරෝධතා නිසා ජනගහනය, උපත් පාලනය, කාන්තා අයිතිවාසිකම් හා ප්‍රජනන සෞඛ්‍යය වැනි කාරණා සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡා බිඳ වැටී තිබේ” කියා IPS වාර්තා කරයි.

කිස්ලිං මහත්මිය පවසන පරිදි, “වතිකානුවට හිමි වී තිබෙන තැන රාජ්‍ය නොවන සංවිධානවලටත් හිමි විය යුතුයි. මෙයින් අදහස් කරන්නේ ඉස්ලාම්, හින්දු, බෞද්ධ, බාහායි හා වෙනත් ආගමික සංවිධානවලටද වතිකානුව සතු හිමිකම් තිබිය යුතු බවයි.” මේ නිසා ලෝකයේ තිබෙන විශාලතම දේශපාලනික සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වතිකානුවට හිමි තැන නිල මට්ටමින් යළි සැලකිල්ලට භාජන කරන්න කියා එහි මහ ලේකම් වන කෝෆී අනන්ගෙන් ඉහත කී සන්ධානය ඉල්ලා සිටියි. එමෙන්ම මේ කාරණය මහ සභා රැස්වීමේදීද සලකා බලන්න කියා ඔවුහු ඉල්ලා සිටිති.

[31වන පිටුවේ පින්තූර]

වතිකානුවේ නිලධාරියෙක් එක්සත් ජාතීන් අමතයි

[හිමිකම් විස්තර]

UN/DPI Photo by Sophie Paris

UN photo 143-936/J. Isaac