Skip to content

පටුනට යන්න

විකල්ප ප්‍රතිකාර ක්‍රම—ඉල්ලුම වැඩිවීමට හේතු

විකල්ප ප්‍රතිකාර ක්‍රම—ඉල්ලුම වැඩිවීමට හේතු

විකල්ප ප්‍රතිකාර ක්‍රම—ඉල්ලුම වැඩිවීමට හේතු

විකල්ප ප්‍රතිකාර ක්‍රම යන යෙදුම සුවයක් ලබා දෙන ප්‍රතිකාර ක්‍රම රැසකට අදාළ වේ. මින් බොහොමයක් ස්වභාව චිකිත්සාව (naturopathy) යටතේ වර්ග කෙරේ. ස්වාභාවික ද්‍රව්‍යයන් හෝ භෞතික ක්‍රම ආධාරයෙන් ශරීරය යථා තත්වයට පත් කිරීමට මෙම ප්‍රතිකාර ක්‍රම දායක වේ. සියවස් ගණනාවක් පුරා පොදුවේ භාවිත කර ඇති මෙවන් ප්‍රතිකාර ක්‍රම රැසක්ම නවීන වෛද්‍ය විද්‍යාව මගින් නොසලකා හැර ඇත.

නිදසුනක් සලකා බලමු. එක්දහස් නවසිය හැටේ අගෝස්තු 27වනදා අමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලය පිලිස්සුම්වලට සිසිල් යමක් තැවරීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. “මෙම ක්‍රමය පුරාණයේ විසූ ජනයා විසින් භාවිත කළද, අද වෛද්‍යවරුන් සහ සාමාන්‍ය ජනතාව විසින් එය නොසලකා හැර තිබේ. මෙම ප්‍රතිකාර ක්‍රමය පුරාණ ග්‍රන්ථවල තැනින් තැන පැසසුමට ලක් කළද, වර්තමානයේ එය සාමාන්‍යයෙන් භාවිත නොකෙරේ. ඇත්තෙන්ම බොහෝ වෛද්‍යවරුන්ගේ අදහසට අනුව, ‘කවුරුත් ඒ ක්‍රමය භාවිත කරන්නේ නැහැ.’ එනමුත් ඊට හේතුව කුමක්ද කියා කිසිවෙක් නොදනිති.”

කෙසේවෙතත්, මෑතකදී, පිලිස්සුම් තුවාලවලට ප්‍රතිකාර කිරීමට සිසිල් ජලය නැතහොත් සිසිල රඳනයක් (පැක් එකක්) භාවිත කිරීම, සම්මත ක්‍රම අනුගමනය කරන වෛද්‍යවරුන් විසින් නැවතත් අනුමත කරන ලදි. වර්ෂ 1963 සැප්තැම්බර් මස පළ වූ සඟරාවක (The Journal of Trauma) මෙසේ වාර්තා විය. “වර්ෂ 1959 සහ 1960දී ඕෆේග්සන් සහ ෂූල්මන් තම වාර්තා පළ කළ දා පටන්, පිලිස්සුම් තුවාලවලට වහාම ප්‍රතිකාර කිරීම සඳහා සිසිල් ජලය භාවිත කිරීම සම්බන්ධයෙන් දක්වන උනන්දුව වැඩි වී ඇත. පසුගිය වර්ෂයේදී මෙම ක්‍රමය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අප යොදාගත් අතර, ලැබූ ප්‍රතිඵල දිරිගන්වනසුලුය.”

සිසිල් ජලය භාවිත කරමින් තුවාලවලට ප්‍රතිකාර කිරීම බොහෝදුරට ආරක්ෂා සහිත වන අතර, ඉන් සෑහෙන දුරට සහනයක් අද්දැකිය හැක. රෝගවලට විවිධ අන්දමින් ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා ජල චිකිත්සාව (hydrotherapy) විකල්ප ප්‍රතිකාර ක්‍රමවලදී උපයෝගි කරගන්නා අතර, මෙවැනි ප්‍රතිකාර ක්‍රමවලට නූතන වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීමක් ඇත. a

මීට අමතරව, විකල්ප ප්‍රතිකාර ක්‍රමවලදී, රෝග සුවපත් කිරීමට ශාක භාවිත කෙරේ. මෙය, පොළොවේ ඇතැම් ප්‍රදේශවල වසර සිය ගණනක නැත්නම් දහස් ගණනක සිට භාවිතයේ පවතී. නිදසුනකට, ඉන්දියාවේ වෛද්‍ය ප්‍රතිකාරවලට ප්‍රධාන වශයෙන් යොදාගන්නේ ඖෂධ පැළෑටිය. ඇතැම් පැළෑටිවලට විශේෂ ඖෂධ ගුණයක් ඇති බව අදදින ලොව වටා වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකු තුළ පිළිගැනීමක් ඇත.

මතකයේ රැඳෙන අද්දැකීමක්

ශාකවල ජෛවරසායනය පසු කාලයකදී අධ්‍යයනය කළ රික්හාට් විල්ස්ටාටර්ට වසර සියයකට පමණ පෙර තම සමීප මිතුරෙකු වූ දස-හැවිරිදි සෙප් ෂ්වාබ්ට සිදු වූවක් බෙහෙවින් බලපෑවේය. සෙප්ගේ කකුල තුවාල වී කොතරම් පැසෙව්වාද කිවහොත්, ඔහුගේ ජීවිතය බේරාගැනීමට නම්, කකුල කැපිය යුතු බව වෛද්‍යවරයෙක් පැවසීය. එනමුත් සෙප්ගේ දෙමාපියෝ එම ශල්‍යකර්මය පසුදා උදෑසන දක්වා කල් දැමූහ. ඒ අතරතුරේදී, ඔවුහු ඖෂධ පැළෑටි භාවිතය සම්බන්ධයෙන් යම් ප්‍රසිද්ධියක් ලැබ සිටි එඬේරෙකුගේ උපකාරය පැතූහ. එම එඬේරා පැළෑටි කිහිපයක් එකතු කර, ඒවා ඉතා තුනී තීරුවලට කැපීය. අන්තිමේදී ඒවා පෙනුමෙන් පිසිනු ලැබූ නිවිතිවලට සමාන විය. ඉන්පසු ඔහු මෙම පැළෑටි මිශ්‍රණය තුවාලය මත තැවරීය.

උදෑසන වන විට, තුවාලය යම් දුරකට හොඳ වී තිබිණ. එමනිසා, ශල්‍යකර්මය නැවතත් කල් දැමිණ. මෙම ප්‍රතිකාරය දිගටම කෙරීගෙන ගිය අතර, කලක් යද්දී, තුවාලය සම්පූර්ණයෙන්ම සුවපත් විය. විල්ස්ටාටර් පසු කාලයකදී ජර්මනියේ මියුනික් සරසවියේ රසායන විද්‍යාව හැදෑරූ අතර, ශාක වර්ණකයන් නොහොත් සායම්, විශේෂයෙන් හරිතප්‍රද සම්බන්ධයෙන් කළ සොයාගැනීම් හේතුවෙන් නොබෙල් ත්‍යාගයද දිනාගත්තේය. දැනට භාවිතයෙහි පවතින ඖෂධවලින් සියයට 25ක්ම සෑදීමට සම්පූර්ණයෙන්ම හෝ යම් දුරකට ශාකවල ස්වාභාවිකව තිබෙන රසායනික ද්‍රව්‍යයන් යොදාගැනේ.

සමබර වීමේ අවශ්‍යතාව

කෙසේවෙතත්, වෛද්‍ය ප්‍රතිකාර ගත් කල, අප තේරුම්ගත යුතු යමක් ඇත. එනම් එක් පුද්ගලයෙකුට හරි යන දෙයක් වෙනත් කෙනෙකුට ප්‍රතිඵල ගෙන නොදිය හැකි බවය. ඕනෑම ප්‍රතිකාර ක්‍රමයකින් ප්‍රතිඵල ලැබීමට සාධක කිහිපයක්ම ඉවහල් වේ. රෝගය කුමක්ද, එය කොතරම් දුරට පැතිර ඇද්ද, රෝගියාගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය කුමක්ද යනාදිය මෙම සාධකවලට ඇතුළත්ය. නිසි වේලාවට ප්‍රතිකාර ගැනීම පවා ඉක්මන් සුවයකට ඉවහල් විය හැක.

සාමාන්‍යයෙන් සම්මත ක්‍රමවලට වඩා විකල්ප ක්‍රම මගින් සුවයක් ලැබෙන්නේ සෙමිනි. කලින්ම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට හැකියාව තිබූ රෝගයක් පසුව දරුණු අතට හැරීම නිසා ජීවිතය බේරාගැනීමට ප්‍රබල ඖෂධ, සමහරවිට ශල්‍යකර්මයක් පවා අවශ්‍ය විය හැක. මෙනිසා, සෞඛ්‍ය ගැටලුවක් සමඟ කටයුතු කිරීමේදී එක ප්‍රතිකාර ක්‍රමයකට පමණක් වහල් වී සිටීම නුවණට හුරු දෙයක් නොවේ.

විකල්ප ප්‍රතිකාර සම්මත ප්‍රතිකාර ක්‍රමවලට වඩා පැති කිහිපයකින්ම වෙනස් වේ. සාමාන්‍යයෙන් විකල්ප ක්‍රමයකදී වැඩි අවධානයක් දෙන්නේ රෝගයක් වැළැක්වීමටය. එමනිසා, පුද්ගලයෙකුගේ ජීවන රටාව, ඔහු ජීවත් වන පරිසරය සහ එම සාධක ඔහුගේ සෞඛ්‍ය තත්වයට බලපාන ආකාරය යන කාරණාවලට වැඩි අවධානයක් යොමු කෙරේ. වෙනත් වචනවලින් කිවහොත්, විකල්ප ප්‍රතිකාර ක්‍රම ලබා දෙන අය, රෝගී තත්වයකට හෝ ආබාධයට ලක් වූ ඉන්ද්‍රියයකට අවධානය යොමු කරනවා වෙනුවට, රෝගී පුද්ගලයාට අවධානය දෙති.

විකල්ප ප්‍රතිකාර ක්‍රමවලට මිනිසුන් ඇදී යන්නේ එහිදී භාවිත කෙරෙන ස්වාභාවික ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම, සම්මත ක්‍රමවලදී භාවිත කරන ඒවාවලට වඩා අනතුරුවලින් අඩු සහ ශරීරයට එතරම් හානිකර නොවන ඒවා වීම නිසාය. ආරක්ෂා සහිත මෙන්ම සාර්ථක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හඳුනාගැනීමට දැන් දැන් වැඩි උනන්දුවක් දක්වන බැවින්, මීළඟ ලිපියෙහි විකල්ප ප්‍රතිකාර ක්‍රමවලට උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරනු ලැබේ.

[පාදසටහන]

a 1988 ජූනි 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්), 25-6 පිටු බලන්න.