Skip to content

පටුනට යන්න

සෞඛ්‍ය සම්පන්න දිවියක් සොයා

සෞඛ්‍ය සම්පන්න දිවියක් සොයා

සෞඛ්‍ය සම්පන්න දිවියක් සොයා

සාමාන්‍යයෙන් ජනයා තම සෞඛ්‍යය ගැන ඉමහත් සැලකිල්ලක් දක්වති. ඇතැම් අවස්ථාවලදී එක එක වෛද්‍යවරයා එක එක මත දරන නිසා, මතයන් රැසක් දක්නට ලැබේ. මෙවැනි දේවල් සම්බන්ධයෙන් පිබිදෙව්! පැති නොගනී. මෙම ලිපි මාලාව තුළින් විකල්ප ප්‍රතිකාර ලෙස පොදුවේ හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රම භාවිතය සම්බන්ධයෙන් විවරණයක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. මෙහිදී සාකච්ඡාවට බඳුන් වන ප්‍රතිකාර ක්‍රම හෝ වෙනත් ඒවා නිර්දේශ කිරීම අපගේ අභිප්‍රාය නොවේ. ජනප්‍රිය මෙන්ම, විවාදයට තුඩු දී ඇති සමහර ප්‍රතිකාර ක්‍රම මෙම ලිපිවල සඳහන් කර නැත. සෞඛ්‍යය හා සම්බන්ධ කාරණා ගැන ජනයාව දැනුවත් කිරීම ප්‍රයෝජනදායක බවත්, සෞඛ්‍යය හා සම්බන්ධ ප්‍රශ්නවලදී තීරණ ගැනීම පෞද්ගලික කාරණයක් බවත් අපි විශ්වාස කරන්නෙමු.

සෑම කෙනෙකුගේම ආශාව වන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමයි. එනමුත් අදදින රෝගී තත්වයන්ට ගොදුරුව ඇති ජන සංඛ්‍යාව දෙස බලද්දී පෙනෙන්නේ, යහපත් සෞඛ්‍යයක් භුක්ති විඳීමේ භාග්‍යය බොහෝදෙනෙකුගෙන් ගිලිහී ගොස් ඇති බවය. වෙන කිසිදාකටත් වඩා අදදින ජනයා ලෙඩ රෝගවලට ලක්ව සිටිත්.

රෝග මර්දනය කිරීමේ අරමුණින් බොහෝ වෛද්‍යවරු, ඖෂධ සමාගම් මගින් නිපදවා ඉතා ප්‍රබල ලෙස ප්‍රචාරණය කරනු ලබන බෙහෙත් නිර්දේශ කිරීමට නැඹුරු වෙති. මේ නිසා මෑත දශක කිහිපයේදී, මෙවැනි ඖෂධ සඳහා ඇති ඉල්ලුම පුදුමාකාර ලෙස ඉහළ ගොස් ඇත. ඉන් ලැබෙන ආදායම වසරකට ඩොලර් බිලියන කිහිපයක සිට බිලියන සිය ගණනක් දක්වා ඉහළ නැඟ ඇත. කුමන ප්‍රතිඵල ඇතුවද?

වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන ඖෂධවලින් බොහෝ රෝගීන්ට සහනයක් ලැබී ඇත. එනමුත්, ඖෂධ ලබාගෙන ඇති සමහරෙකු ඉන් ගුණයක් ලබා නැත. එසේ නැතහොත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය තවත් දුර්වල වී ඇත. මේ හේතුවෙන්, සමහරෙකු විකල්ප ප්‍රතිකාරවල පිහිට පැතීමට නැඹුරු වී ඇත.

කුමන විකල්පද?

සම්ප්‍රදායික ඖෂධ, සම්මත ප්‍රතිකාර ක්‍රමය වී ඇති ප්‍රදේශවල, බොහෝදෙනා විකල්ප නොහොත් ආදේශක ප්‍රතිකාරවල පිහිට පතති. “සම්මත ඖෂධ සහ විකල්ප ප්‍රතිකාර ක්‍රම අතර තිබූ බාධකය බිඳ වැටෙන බව පෙනේ.” මෙය වාර්තා කරන ලද්දේ 2000 මැයි මස නිකුත් වූ ඉංග්‍රීසි භාෂා පාරිභෝගික වාර්තාවේය.

වර්ෂ 1998 නොවැම්බර් 11වන දින පළ වූ, අමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයේ (JAMA) මෙම නිරීක්ෂණය සඳහන් විය. “රෝගයක වර්ධනයට බාධා කරවන හෝ ඊට යම් බලපෑමක් කිරීමට යොදවන යමක් ලෙස හඳුන්වන විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව වෛද්‍ය විද්‍යාලවල උගන්වන්නේ නැති අතර, ඒවා එක්සත් ජනපදයේ රෝහල්වල යොදා නොගැනේ. කෙසේවෙතත්, එය දැන් දැන් ජන මාධ්‍යයේ, වෛද්‍යවරුන්ගේ, රජයේ ආයතනවල සහ මහජනයාගේ අවධානයට ලක් වෙමින් පවතී.”

කෙසේවෙතත්, මෑතකදී දක්නට ලැබුණු ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් එක්තරා ජර්නලයක් (Journal of Managed Care Pharmacy) 1997දී මෙසේ අදහස් දැක්වීය. “අතීතයේ සම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම භාවිත කළ අය විකල්ප ප්‍රතිකාර ක්‍රම දෙස බැලුවේ වපර ඇසිනි. එනමුත්, දැන් හාවඩ්, ස්ටැන්ෆඩ්, ඇරිසෝනා සරසවිය සහ යේල් ඇතුළුව, එක්සත් ජනපදයේ වෛද්‍ය විද්‍යාල 27කම [වඩාත් මෑත වාර්තාවක එම සංඛ්‍යාව 75 දක්වා වැඩි වී ඇති බව පෙන්වයි] විකල්ප වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව පාඨමාලා හැදෑරීමට අවස්ථාව උදා කර දී ඇත.”

තම සෞඛ්‍ය තත්වය දියුණු කරගැනීමට රෝගීන් වැඩිදෙනා කරන දේ JAMA සඟරාවෙහි මෙසේ වාර්තා වී ඇත. “වර්ෂ 1990දී, යම් වෛද්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු බැලීමට ගිය සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් (සියයට 19.9ක්) විකල්ප ප්‍රතිකාරවලද පිහිට පැතීය. එනමුත් 1997දී මෙම ප්‍රතිශතය ආසන්න වශයෙන් සියයට 31.8ක් (තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක්) දක්වා වැඩි විය.” එම ලිපියෙහි තවදුරටත් මෙසේ සඳහන් විය. “එක්සත් ජනපදයෙන් පිට, ජාතික මට්ටමකින් පවත්වා ඇති සමීක්ෂණවලින් පෙනී යන්නේ, විකල්ප ප්‍රතිකාර ක්‍රම කාර්මික ලොව පුරා ජනප්‍රිය වී ඇති බවය.”

JAMA නමැති සඟරාවට අනුව, මෑතකදී සමීක්ෂණයකට ලක් කළ පහත දැක්වෙන රටවල, මාස 12ක කාලයක් ඇතුළත විකල්ප ප්‍රතිකාර භාවිත කළ ජනයාගේ ප්‍රතිශතය මෙසේය. කැනඩාවේ සියයට 15කි. ෆින්ලන්තයේ සියයට 33කි. ඕස්ට්‍රේලියාවේ සියයට 49කි. “විකල්ප ප්‍රතිකාර සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු අන්දමින් වැඩි වී ඇති” බව JAMA පිළිගනී. විකල්ප ප්‍රතිකාර රක්ෂණ ඔප්පුවලින් බොහෝදුරට ආවරණය නොකළද, ඒ සඳහා නැඹුරුවාවක් දක්නට ලැබේ. එමනිසා JAMA සඟරාවේ පළ වූ ලිපියෙහි මෙම නිගමනයට එළඹ තිබිණ. “අනාගතයේදී විකල්ප ප්‍රතිකාර රක්ෂණයෙන් ආවරණය කළහොත්, විකල්ප ප්‍රතිකාර සඳහා තිබෙන වත්මන් නැඹුරුවාව අනාගතයේදී වැඩි විය හැක.”

බොහෝ රටවල දක්නට ලැබෙන ප්‍රවණතාවකි, විකල්ප ප්‍රතිකාර සම්ප්‍රදායික ඒවා සමඟ සම්බන්ධ කිරීම. දැන් විකල්ප ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම “බොහෝ තැන්වල සම්මත ඒවා” බවට පත්ව ඇතැයි රාජකීය ලන්ඩන් සමචිකිත්සා (හෝමියෝපති) රෝහලේ වෛද්‍ය පීටර් ෆිෂර් සඳහන් කළේය. ඔහුගේ අදහසට අනුව, “සම්මත සහ විකල්ප කියා ප්‍රතිකාර ක්‍රම දෙකක් තිබෙන බව තවදුරටත් පැවසිය නොහැක. දැන් තිබෙන්නේ යෝග්‍ය ප්‍රතිකාර ක්‍රම සහ යෝග්‍ය නොවන ප්‍රතිකාර ක්‍රම යන දෙක පමණයි.”

මේ කරුණු අනුව පෙනී යන්නේ, සම්මත හා විකල්ප යන ප්‍රතිකාර ක්‍රම දෙකේම වටිනාකම වෛද්‍යවරුන් බොහෝදෙනෙකු පිළිගෙන ඇති බවයි. එමනිසා, එක් ප්‍රතිකාර ක්‍රමයක් නැතහොත් වෙනත් ක්‍රමයක් භාරගැනීමට රෝගීන්ට බල කරනවා වෙනුවට, ඔවුන් නිර්දේශ කරන්නේ රෝග සුව කිරීමට යොදාගන්නා ප්‍රතිකාර ක්‍රම රාශිය අතුරින් ප්‍රයෝජනදායක විය හැකි ඕනෑම ප්‍රතිකාර ක්‍රමයකින් ප්‍රයෝජන ගැනීමටය.

විකල්ප ප්‍රතිකාර ලෙස හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රම සමහරක් මොනවාද? මේවා බිහි වූයේ කවදාද? කෙසේද? බොහෝදෙනෙකු ඒවායෙහි පිහිට පතන්නේ මන්ද?