Skip to content

පටුනට යන්න

හිතේ දුක වෙන කෙනෙකුට කියන එක හොඳද?

හිතේ දුක වෙන කෙනෙකුට කියන එක හොඳද?

යෞවන අය අසති . . .

හිතේ දුක වෙන කෙනෙකුට කියන එක හොඳද?

“මගේ හිතට දුකක් දැනුණාම මම ඉස්සෙල්ලාම හිතනවා ඒ ගැන නොකියා ඉන්න. මම කියන්න ගියොත් සමහර විට මිනිස්සු මං ගැන වැරදි විදිහට හිතන්න පුළුවන්. ඒත් පස්සේ හිතෙනවා හිත සැහැල්ලු කරගන්නත් එක්ක කාට හරි කිව්වොත් හොඳයි කියලා.”—ආලෙහෙන්ඩ්‍රො, වයස අවුරුදු 13යි.

“මට දුකක් දැනුණහම මම නම් යහළුවෝ ළඟට යන්නේ නෑ. මම හිතන්නේ නෑ මට උදව් කරන්න එයාලට පුළුවන් කියලා. සමහර විට එයාල මාව විහිළුවකට ගනීවි.”—ආටූරෝ, වයස අවුරුදු 13යි.

සෑම කෙනෙක්ම පාහේ යම් කාලවලදී කාංසාවන්ට මුහුණ දෙනවා. a විශේෂයෙන්ම ඔබ යෞවන වියේ පසු වන නිසාත් අද්දැකීම් නොමැතිකම නිසාත් ජීවිතයේ යම් ගැටලුවලට මුහුණ දෙන විට හෝ බලාපොරොත්තු සුන් වන විට දරාගත නොහැකි දුකක් අද්දකින්න පුළුවන්. ඔබේ දෙමාපියන්, මිතුරන් සහ ගුරුවරුන් ඔබ කෙරෙහි තබා තිබෙන බලාපොරොත්තු නිසාවෙනුත් යෞවනයේ මල් පූදින සමයේ ඇති වන කායික හා චිත්තවේගීය වෙනස්කම් නිසාවෙනුත් එසේ නැතහොත් ඔබ අතින් සිදු වන යම් අතපසු වීම් නිසාවෙනුත් කාංසාවන් ඇති විය හැකියි.

මනසට වද දෙන කාංසාවන් ඇති වූ විට ඒ ගැන විශ්වාසවන්ත කෙනෙකුට පැවසීම සුදුසුයි. දාහත් හැවිරිදි බියට්‍රිස් පවසන්නේ, “මගේ ප්‍රශ්න ගැන කාත් එක්ක හරි කතා කළේ නැත්නම් මට නම් හිතන්නේ මාව මැරෙයි” කියලා. නමුත් කනගාටුවට කාරණයක් වන්නේ බොහෝ යෞවනයන් තමන්ගේ ප්‍රශ්න ගැටලු හිතේම හිර කරගෙන සිටීමයි. මෙයින් සිදු වන්නේ ඔවුන්ව තව තවත් ප්‍රශ්නවලින් හෙම්බත් වීමයි. මැඩ්‍රිඩ් වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක් වන මාරියා ඩි හෙසූස් මර්ඩොමෙංගො නිරීක්ෂණය කරන ආකාරයට යෞවනයන් සියදිවි නසාගැනීමට තැත් කරන්නේ ඔවුන් තුළ ඇති පාලනය කරගත නොහැකි තනිකම නිසයි. සියදිවි නසාගැනීමට තැත් කර බේරුණ යෞවනයන්ගෙන් බොහෝදෙනෙක් කියා සිටින්නේ තමන්ගේ හිතේ තියෙන දුක කියාගන්න හෝ විශ්වාසය තබන්න පුළුවන් කිසිම වැඩිහිටියෙක් තමන්ට නොසිටි බවයි.

ඔබේ තත්වය කුමක්ද? ඔබට කාංසාවක් දැනුණ විට ඒ ගැන පවසන්න කෙනෙක් ඔබට සිටිනවාද? ඔබේ පිහිටට කිසිවෙක් නැත්නම්, පිහිට පැතිය යුත්තේ කාගෙන්ද?

ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න

මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ ආලෙහෙන්ඩ්‍රො, ඔහුට කාංසාවක් දැනුණ විට ගන්නා ක්‍රියාමාර්ගය ගැන මෙසේ පැහැදිලි කරනවා. “මම නම් යන්නේ මගේ අම්මා ළඟට. මොකද මම ඉපදුණ දවසේ ඉඳලා අම්මා මට උදව් කරනවා. ඇත්තටම එයා මට ලොකු ශක්තියක්. ඒ වගේම මට තාත්තාත් උදව් කරනවා. එයාටත් එයාගේ තරුණ කාලේදී මට තියෙන ප්‍රශ්නම තිබිලා තියෙනවා. හැබැයි මම ප්‍රශ්නය කාටවත් කියන්නේ නැතිව හිටියොත්, ඒක තමයි ලොකුම ප්‍රශ්නේ.” එකොළොස් හැවිරිදි රොඩොල්ෆෝ, තමා මුහුණ දුන් සිද්ධියක් මෙසේ සිහිපත් කරනවා. “එක දවසක් ටීචර් මාව කොන් කළා. මට බැන්නා. මට හරිම දුකක් දැනුණා. ඒ වෙලාවේ මම ටොයිලට් එකට ගිහිල්ලා හිතේ දුක අඩු වෙනකම් ඇඬුවා. ගෙදර ගියාට පස්සේ මගේ අම්මාත් එක්ක ඒ ගැන කතා කළා. අම්මා මට උදව් කෙරුවා ඒ ප්‍රශ්නය විසඳගන්න. මම අම්මාට කියන්නේ නැතුව දුක හිතේ තියාගෙන හිටියා නම් වෙන්නේ දුක දරාගන්න බැරිව යන එකයි.”

ඔබේ හිතේ තියෙන දේ ඔබේ දෙමාපියන්ට පැවසීම ගැන ඔබ සිතා බැලුවාද? සමහර විට ඔබේ ප්‍රශ්න ඔවුන්ට තේරුම්ගන්න බැරි බව ඔබ සිතනවා ඇති. වර්තමාන ලෝකයෙන් යෞවනයන්ට එල්ල වෙන පීඩනය මුළුමනින්ම තේරුම්ගන්න ඔවුන්ට බැරි බව ඇත්තයි. නමුත් ඔබ ගැන ඔවුන් තරම් හොඳින් දන්න අය මේ ලෝකයේ තවත් නැති බව ඔබට අමතකද? ආලෙහෙන්ඩ්‍රො මෙසේ පවසනවා. “සමහර වෙලාවට දෙමාපියන්ට මගේ හිතේ තියෙන දුක සියයට සියයක්ම දැනෙන්නේ නැතුව ඇති. ඒත් මට එක දෙයක් විශ්වාසයි. ඒ ඔවුන්ගෙන් මට උපකාර ලබාගන්න පුළුවන් කියන එක.” සමහර යෞවනයන් තම දෙමාපියන් ඔවුන්ගේ ප්‍රශ්න තේරුම්ගන්න ආකාරය දැකලා පුදුම වෙනවා! මෙය පුදුම වීමට දෙයක් නෙවෙයි. මන්ද ඔවුන් ඔබට වඩා වයසින් මුහුකුරා ගොස් තිබෙන අතර ජීවිතේ ගැන ඕන තරම් අද්දැකීම් ලබා තිබෙනවා. ඔබට තිබෙන ප්‍රශ්න ඔවුන්ට අලුත් දෙයක් නෙමෙයි. එනිසා ඔවුන්ට උපකාර කිරීමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම බයිබල් ප්‍රතිපත්ති තමන්ගේ ජීවිතයට අදාළ කරගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට අද්දැකීම් තිබේ නම් මෙය බොහෝදුරට ප්‍රායෝගිකයි.

“මගේ දෙමාපියන් එක්ක කතා කරනකොට මට දිරිගැන්වීමක් ලැබෙනවා වගේම මගේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම්ද ලැබෙනවා” කියා කලින් සඳහන් කළ බියට්‍රිස් පවසනවා. එසේනම් යෞවනයන්ට බයිබලය මෙම උදේශය දෙන්නේ හොඳ හේතු ඇතිවයි. “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න. නුඹේ මවුගේ උපදෙස්ද අත්නොහරින්න. නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න. නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.”—හිතෝපදේශ 6:20; 23:22.

මේ දේ කිරීමට නම් දෙමාපියන් සමඟ සමීප සබඳතාවක් ඔබට තිබිය යුතුයි. වෛද්‍ය කැටලිනා ගොන්සාලස් ෆොටෙසා විසින් පාසැල් ශිෂ්‍යයන් කණ්ඩායමක් යොදාගෙන කළ අධ්‍යයනයකින් පෙනී ගිය ආකාරයට නොවටිනාකමේ හැඟීමක් හෝ සියදිවි හානි කරගැනීමේ පෙලඹීමක් ඇති වී ඇත්තේ දෙමාපියන් සමඟ සමීප සබඳතාවක් නොමැති දරුවන්ටයි. නමුත් “තමන්ගේ අම්මායි තාත්තායි සමඟ සමීප සබඳතාවක් තිබුණ අයට” එවැනි නිෂේධාත්මක හැඟීම් තිබුණේ නෑ.

එමනිසා, ඔබේ දෙමාපියන් සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගැනීමට වෑයම් කරන්න. ඒ සඳහා ඔවුන් සමඟ නිතර නිතර කතා කිරීමට පුරුදු වන්න. ඔබ මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ට කියන්න. ඒ ගැන ඔවුන්ගේ අදහස් විමසන්න. මෙලෙස දෙමාපියන් සමඟ හොඳ අදහස් හුවමාරුවක් ඇත්නම් ඔබට විශාල ගැටලුවකට මුහුණ දීමට සිදු වූ අවස්ථාවකදී පවා කිසි අපහසුතාවයකින් තොරව ඔවුන් ළඟට යන්න පුළුවන්.

ඔබේ මිතුරෙකු සමඟ කතා කරන්න

සමහර විට ඔබ සිතනවා ඇති යම් දේවල් මිතුරෙකුට පවසන එක වඩාත් පහසුයි කියා. ඇත්තෙන්ම ඔබට විශ්වාසය තබන්න පුළුවන් කල්‍යාණ මිත්‍රයෙක් සිටිනවා නම් එය භාග්‍යයක්. මන්ද බයිබලයේ හිතෝපදේශ පොතේ 18:24හි පවසන්නේ, “සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය” කියායි. නමුත් බොහෝ විට ඔබේ මිතුරන්ට හැකි වන්නේ ඔබේ ප්‍රශ්නයකදී ඔබ එක්ක දුක් වෙන්න විතරයි. ඔවුන් ඔබේ ප්‍රශ්නයට ඥානවන්ත උපදේශයක් දෙයි කියා සිතන්න අමාරුයි. මන්ද ඔවුන්ටත් ඔබට වගේම ජීවිතය ගැන එතරම් අද්දැකීම් නෑ. ඔබට රෙහොබොවම්ව මතකද? ඔහු බයිබල් කාලවල සිටි රජ කෙනෙක්. ඔහු වැඩිමහල්ලන්ගෙන් උපදෙස් නොගෙන තම සම වයසේ මිතුරන්ගෙන් උපදෙස් ගත්තා. ඒ නිසා ඔහු මහත් විනාශයකට මුහුණ දුන්නා! රෙහොබොවම් රජුට ඔහුගේ රටවැසියන් වැඩිදෙනෙකුගේ සහයෝගයත් යෙහෝවාගේ අනුමැතියත් අහිමි වුණා.—1 රාජාවලිය 12:8-19.

තවත් ගැටලුවක් වන්නේ, මිතුරන් කොතරම් විශ්වාසවන්තද යන කාරණයයි. මුලදී සඳහන් කළ ආටූරෝ මෙසේ නිරීක්ෂණය කළා. “මම දන්න ගොඩක් පිරිමි ළමයි එයාලට දුකක් දැනුණාම ඒගොල්ලන්ගේ යහළුවන්ට තමයි කියන්නේ. හැබැයි පස්සේ ඒ යහළුවෝ ඒවා වෙන අයට කිය කිය හිනා වෙනවා.” දහතුන් හැවිරිදි ගාබ්‍රීයෙලාටත් එම අද්දැකීමම තියෙනවා. “එක දවසක් මගේ මිතුරිය මගේ පෞද්ගලික දෙයක් එයාගේ තවත් මිතුරියකට කියනවා මගේ අතටම අහු වුණා. ආයෙත් නම් මම කවමදාකවත් එයාව විශ්වාස කරන්නේ නෑ. මම දැන් මගේ වයසේ අය එක්ක කතා කළත්, මං ගැන හැමෝම දැනගන්නවට අකමැති දේවල් එයාලත් එක්ක කියන්නේ නෑ.” එනිසා ඔබ උපකාරයක් පතන විට ‘කෙනෙකුගේ රහස් අන් අයට හෙළි නොකරන’ කෙනෙකුව සොයාගැනීම ඉතා වැදගත්. (හිතෝපදේශ 25:9, නව අනුවාදය) ඇත්තෙන්ම එසේ කටයුතු කරයි කියා බලාපොරොත්තු විය හැක්කේ ඔබට වඩා වයසින් මුහුකුරා ගිය කෙනෙකුගෙන් පමණි.

ඔබගේ පවුල තුළින් අවශ්‍ය උපකාරය සොයාගත නොහැකි නම් විශ්වාසය තැබිය හැකි මිතුරෙකුගෙන් උපකාර පැතීමේ කිසිදු වරදක් නෑ. නමුත් ඔහුට හෝ ඇයට ජීවිතය පිළිබඳ අද්දැකීම් සහ බයිබල් ප්‍රතිපත්ති පිළිබඳ දැනුම තිබෙනවාද කියා සොයා බලන්න නම් අමතක කරන්න එපා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් තුළ මෙවැනි කෙනෙකුව සොයාගන්න පුළුවන්. දහසය හැවිරිදි ලිලියානා පවසන්නේ, “මම මට වඩා වැඩිමහල් ක්‍රිස්තියානි සහෝදරියන්ගෙන් තමයි උපකාර ලබාගන්නේ. ඇත්තෙන්ම එයාලගේ උපදෙස් ප්‍රයෝගිකයි. දැන් එයාලා තමයි මගේ හොඳම මිතුරෝ.”

කාංසාවන් නිසා ඔබේ ආත්මිකත්වය දුර්වල වීමට පටන්ගෙන තිබෙනවාද? සමහර විට යාච්ඤාව සහ බයිබලය කියවීමේ පුරුද්ද අතපසු වී තිබෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ගය ගැන යාකොබ් 5:14, 15 හොඳ උපදේශයක් දෙනවා. “නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු [යෙහෝවාගේ] නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤා කරත්වා. එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ, [යෙහෝවා] ඔහු නැගුටුවනවා ඇත.” යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ සභාවන්වල අද්දැකීම් ලත් වැඩිමහල් පුරුෂයන් සිටිනවා. ඔවුන්ට හැකියාවක් තිබෙනවා, අධෛර්යයට පත්ව සිටින අයව සහ ආත්මිකව රෝගීව සිටින අයව දිරිගැන්වීමට. එවැනි අය සමඟ ඔබේ ගැටලුව ගැන කතා කිරීමට කිසිවිටෙක පසුබට වෙන්න එපා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින එවැනි පුරුෂයන්ව බයිබලයේ හඳුන්වා ඇත්තේ “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක්” ලෙසයි.—යෙසායා 32:2.

‘නුඹලාගේ ඉල්ලීම් දෙවිට දන්වන්න’

අපට අවශ්‍ය කරන නියම උපකාරය ලැබෙන්නේ “සෑම සැනසිල්ලේ දෙවි” තුළිනුයි. (2 කොරින්ති 1:3) ඔබට දුකක් කාංසාවක් දැනුණ විට පිලිප්පි 4:6, 7හි සඳහන් අවවාදය පිළිපදින්න. “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” යෙහෝවා නිරතුරුවම ඔබට ඇහුම්කන් දීමට කැමැත්තෙන් සිටිනවා. (ගීතාවලිය 46:1; 77:1) සමහර විට ඔබේ හිතේ බර සැහැල්ලු කරගන්න අවශ්‍ය කරන්නේ යාච්ඤාවක් විතරයි.

කලින් කලට ඔබ සිත්තැවුලට පත් වන විට වෙනත් යෞවනයන්ටත් එවැනිම හැඟීම් ඇති වන බව අමතක කරන්න එපා. ඒ වගේම, කාලයත් සමඟ එම හැඟීම් නැති වී යන නිසා ඒ ගැන එතරම් කලබල වීමට හේතුවක් නෑ. එසේ වුවත්, ඔබේ දුක තනිවම දරාගැනීම අවශ්‍ය නෑ. ඔබේ දුක කාට හරි පවසන්න. හිතෝපදේශ 12:25හි පවසන්නේ “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි” කියායි. (නව අනුවාදය) දිරිගැන්වීමක් ගෙන දෙන “කාරුණික වචන” ඇසීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ ඔබේ දුක, දැනුම් තේරුම් තිබෙන දිව්‍ය ප්‍රඥාවෙන් කටයුතු කරන කෙනෙකුට පැවසුවොතින් පමණයි. එමනිසා ඔබේ දුක වෙනත් කෙනෙකුට පැවසීමෙන් සහනයක් ලබාගන්න.

[පාදසටහන]

a දුක්බර හැඟීම් දිගටම පවතී නම් සමහර විට එය අධිමානසික පීඩනය දක්වා උග්‍ර විය හැකි නිසා ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. අපගේ සහායක සඟරාව වන මුරටැඹ සඟරාවේ 1990 මාර්තු 1 කලාපයේ “අධි මානසික පීඩනය—ක්‍රිස්තියානිවරයෙක් ඉන් පෙලෙන විට” යන ලිපිය බලන්න.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මගේ දෙමාපියන් එක්ක කතා කරනකොට මට දිරිගැන්වීමක් ලැබෙනවා වගේම මගේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම්ද ලැබෙනවා”

[15වන පිටුවේ පින්තූරය]

ඔබේ මිතුරන්ට වඩා ඔබට උපදෙස් ලබා දිය හැකි හොඳම අය වන්නේ ඔබේ දේවභයැති දෙමාපියනුයි