Skip to content

පටුනට යන්න

ආදරණීය සැලකිල්ල ලැබීමට වටිනා අපගේ දරු සම්පත

ආදරණීය සැලකිල්ල ලැබීමට වටිනා අපගේ දරු සම්පත

ආදරණීය සැලකිල්ල ලැබීමට වටිනා අපගේ දරු සම්පත

“දරුවෙකුට ටිකක් ආදරය පෙන්නුවොත්, ඒ දරුවා ඔබට ගොඩක් ආදරය කරයි.” එම අදහස ලිව්වේ 19වන සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකු මෙන්ම විචාරකයෙකුද වූ ජොන් රස්කින්ය. දෙමාපියන් බොහෝදෙනෙකුද මෙම අදහසට තම එකඟත්වය පළ කරනවාට සැකයක් නැත. ඔව්, ඔබේ දරුවන්ට ආදරය කිරීම වැදගත් වන්නේ, ඔවුන් ඔබට නැවතත් ආදරය කරන නිසාම නොව, එවන් ආදරයක් ඔවුන්ට ඒකාන්ත ආකාරයකින් බලපාන නිසාය.

නිදසුනක් ලෙස, ස්වභාවධර්මයා තුළ ආදරය සහ ඊට හිමි තැන යන පොත (ඉංග්‍රීසියෙන්), ආදරය නොලැබීම නිසා “දරුවන් මියයා හැකිය” යන වැදගත් අදහස ඉදිරිපත් කළේය. තවද බ්‍රිතාන්‍යයේ ඉපදුණු ප්‍රසිද්ධ මානව විද්‍යාඥ ඇෂ්ලි මොන්ටෙගු මෙසේ අදහස් දැක්වීය. “ආදරය ලබා නැති දරුවෙකු, ආදරය ලබා ඇති දරුවෙකුට වඩා කායිකව, මානසිකව මෙන්ම සිරුරේ රසායනික ප්‍රතික්‍රියා සිදුවීම අතින් බෙහෙවින් වෙනස්ය. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනා වැඩෙන්නේද එකිනෙකාට වෙනස් ආකාරවලින්ය.”

ඒ හා සමාන නිගමනයකට එළඹි අධ්‍යයනයක් ගැන ටොරොන්ටෝ ස්ටාර් නමැති පුවත්පත පළ කළ වාර්තාවක මෙසේ සඳහන් විය. “දරුවන්ව නිතරම පාහේ සිප වැලඳ නොගෙන සුරතල් නොකර ඇති දැඩි කරන විට, අධිමානසික පීඩනය නිසා ඔවුන්ගේ සිරුරෙන් ස්‍රාවය වන හෝමෝනවල මට්ටම සාමාන්‍යයට වඩා වැඩි වේ.” ඇත්තෙන්ම බිළිඳු අවධියේදී දරුවන්ව මෙලෙස නොසලකා හරිනවා නම්, ඔවුන්ගේ “ඉගෙනීමේ හැකියාවට සහ මතක ශක්තියට දිගු කාලීනව බරපතළ හානි සිදු විය හැක.”

මෙම සොයාගැනීම්වලින් පැහැදිලි වන්නේ, දෙමාපියන් තම දරුවන් සමීපයෙහි සිටීම කොතරම් වැදගත්ද කියාය. එසේ නොවන්නට, දෙමාපියන් සහ දරුවන් අතර ශක්තිමත් සම්බන්ධයක් වර්ධනය වන්නේ කෙසේද? ලොවේ ධනවත් රටවල පවා ඇතැම් දෙමාපියන් තම දරුවන් කෙරෙහි අවධානයක් නොදී ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතාවන් පමණක් සැපයීමට නැඹුරු වී තිබීම කනගාටුවට කරුණක්ය. සෑම දෙයකටම දරුවන්ව නිවසෙන් බැහැර කර යවනු ලබන්නේ දෙමාපියන්ගේ කිට්ටු අවධානයෙන් තොරවය. දෙමාපියන් ඔවුන්ව පාසැලට, දහම් පාසැලට සහ වෙනත් වැඩ කටයුතුවලටත් පිට කර යවයි. නිවාඩුවලට සහ සතුටු උද්‍යානවලටද මුදල් දී ඔවුන්ව පිටත් කර යවයි. මෙසේ සමීප පවුල් රාමුවෙන් ගිලිහී යන මෙවන් දරුවන් මිලියන ගණනකට හැඟෙන්නේ තමා ගැන කිසිදු සැලකිල්ලක්, අවධානයක් සහ ආදරයක් දක්වන්න කෙනෙකු නොසිටින, සිත් පිත් නැති වැඩිහිටියන්ගෙන් පිරුණු ලොවකින් තමා වට වී ඇති බවය. බර්ලිනයේ වීදිවල දරුවන් 3,000ක් පමණ වෙසෙන්නේ මෙවන් හැඟීමක් නිසා විය නොහැකිද? මීට කදිම ආදර්ශයක් සපයන මිහා මෙසේ පැවසීය. “මට අවධානයක් දෙන්න කවුරුත් හිටියේ නැහැ.” තවත් නව හැවිරිදි ජර්මානු දරුවෙකුගේ පැමිණිල්ල වූයේ “බල්ලෙක් වුණා නම් මීට වඩා හොඳයි” කියාය.

දරුවන්ට කරන හිරිහැරවල විවිධ පැති

දරුවන්ව නොසලකා හැරීම, “ජන්ම ස්නේහය” ලෙස බයිබලය හඳුන්වන ගුණාංගයේ ඌනතාවක් ඇති බවට සාක්ෂියක් වන අතර, එසේ නොසලකා හැරීම දරුවන්ට කරන යම් ආකාරයක හිරිහැරයකි. (2 තිමෝති 3:3; රෝම 1:31) ඇත්තෙන්ම දරුවන්ව මෙලෙස නොසලකා හැරීමෙන් වඩා බරපතළ හිරිහැරවලටද මඟ පෑදිය හැකිය. නිදසුනකට, 1979 පැවැත්වූ අන්තර්ජාතික ළමා වසරෙන් පසු, දරුවන්ට ශාරීරිකව අඩන්තේට්ටම් කිරීම සහ ලිංගිකව අතවරයට ලක් කිරීම වැනි ගැටලුවලට වැඩි අවධානයක් දෙන ලදි. මේ සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යා ලේඛන ලබාගැනීම දුෂ්කර බවත්, ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒවා වෙනස් වන බවත් නොකිවමනාය. කෙසේවෙතත්, ලිංගික අතවරවලට ලක් වන දරුවන් තුළ ඇති වන මානසික පීඩනය ඔවුන්ගේ වැඩිහිටිභාවය කරාද පැමිණෙන අතර, එහි දරුණු චිත්තවේගීය බලපෑමෙන් මිදීම දුෂ්කර බවට කිසිදු සැකයක් නැත.

දරුවෙකු කවර ආකාරයේ හිරිහැරයකට ලක් වුවද, ඉන් සිදු වන එක් පොදු දෙයක් වන්නේ ඔවුන්ට ආදරය සහ සැලකිල්ල දක්වන්න කිසිවෙකු නැතැයි යන පණිවිඩය ඔවුන්ගේ මනස්වල කෙටීමය. ඇත්තෙන්ම ළමයින්ට හිරිහැර කිරීම, වර්ධනය වෙමින් පවතින ප්‍රශ්නයක් බව පෙනේ. ඩයි වෙල්ට් නමැති ජර්මන් පුවත්පත පවසන පරිදි, “සමාජයට නිසි ලෙස හැඩ නොගැසුණු දරුවන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වේ.” එහි තවදුරටත් මෙසේද පැවසේ. “දරුවන්ට අවශ්‍ය උණුසුම ඔවුන්ට නොලැබේ. හැම්බර්ග්හි ළමා ශුභසාධන මධ්‍යස්ථානයක අධ්‍යක්ෂකවරයෙකු වන ගර්ට් රොමෙයිකෙ පවසන පරිදි, දරුවන් හා දෙමාපියන් අතර පැවතිය යුතු චිත්තවේගීය බැඳීම දිනෙන් දින දුර්වල වෙමින් පවතී. එසේ නැතහොත් එවන් බැඳීමක් කිසිවිටකත් පැවතී නැත. මෙවැනි දරුවන්ට හැඟෙන්නේ තමන්ට සැලකිල්ල දක්වන්න කිසිවෙකු නැති බවයි. තවද සුරක්ෂිත ජීවිතයක් සඳහා තිබෙන ඔවුන්ගේ පැතුමද ඉටු නොවේ.”

ආදරය සහ අවධානය ලැබී නොමැති දරුවන් තුළ දැඩි වෛරයක් ඇති විය හැකි අතර, ඔවුන්ව නොසලකා හැර ඇති අයට විරුද්ධව හෝ මුළු සමාජයටම එරෙහිව කටයුතු කිරීමට පවා ඔවුන් පෙලඹිය හැක. ඇත්තෙන්ම දශකයකට පමණ පෙර, කැනඩාවේ එක් විශේෂ කාර්ය මණ්ඩලයක් පළ කළ වාර්තාවක මෙසේ නිර්දේශ කර තිබිණ. “තමාට සලකන්න සමාජයේ කිසිදු කෙනෙකු නැතැයි සිතන” පරම්පරාවකින් විනාශ වී යෑමේ අන්තරාවක් පවතින නිසා, වහාම යම් ක්‍රියාමාර්ග ගත යුතුය.

ප්‍රේමය සහ අවධානය නොලබන දරු දැරියන් තම ගැටලුවලින් මිදීම සඳහා නිවසෙන් පලා යෑමට තීරණය කළද, අපරාධ, මත්ද්‍රව්‍ය සහ දුරාචාරයෙන් පිරුණු නගරවලදී ඊටත් වඩා භයානක ගැටලුවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. අවුරුදු 20කට ඉහතදී, නිවසින් පලා ගිය වයස අවුරුදු 16න් පහළ දරුවන් 20,000ක් පමණ එක්සත් ජනපදයේ එක් නගරයක් ආසන්නයේ ජීවත්ව සිටි බව පොලිසිය ගණන් බැලීය. මෙම දරු දැරියන් “බිඳුණු පවුල්වලින් සහ මත්පැනට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දෙමාපියන්ගේ අඩන්තේට්ටම්වලින් පලා ගිය බව” වාර්තා විය. එනමුත් “ඔවුන් පාරට බසින විට දිවි ගැටගසා ගැනීම සඳහා තම සිරුරු කාමය සඳහා විකිණීමට සිදු වේ. එනමුත් පිම්පියන්ගේ හිංසාවලට ලක් වී, තම ආත්ම-ගරුත්වය අහිමි කරගත්තත්, පලා යෑමට ඔවුන් උත්සාහ නොකරන්නේ ඔවුන්ගේ ජීවිතයට යම් හානියක් කරයි යන බිය නිසාවෙනි.” මෙම පිළිකුල්සහගත තත්වය නැති කිරීමට අවංක වෑයමක් දරා තිබුණද, එය තවමත් නොවෙනස්ව පවතී.

ඉහත සඳහන් තත්වයන්වලට මුහුණ දෙමින් වැඩෙන දරුවන්, වැඩිහිටිභාවයට පා තබන්නේ අසමබර පුද්ගලයන් ලෙසටයි. තමන්ගේම දරුවන් ඇති දැඩි කිරීමට බොහෝ දුරට ඔවුහු අසමත් වෙති. එමනිසා ඔවුන්ගේ දරුවන්ටද අවශ්‍ය ආදරය සහ අවධානය නොලැබෙන නිසා, ආදරය සහ අවධානය නොලද තව නව පරම්පරාවක් බිහි වේ. ජර්මානු දේශපාලනඥයෙකුගේ අදහස මෙහිදී කදිමට ගැළපේ. “ආදරය නොලබන දරුවන්, වෛරයෙන් පිරි වැඩිහිටියන් බවට පත් වෙයි.”

කෙසේවෙතත්, තම දරුවන්ට ආදරය සහ අවධානය ලබා දීමට උපරිම උත්සාහයක් දරන දෙමාපියන් මිලියන ගණනක් සිටින බව අප අමතක නොකළ යුතුය. ඔවුහු දරුවන්ට ආදරය කරනවා කියා මුවින් පවසනවා පමණක් නොව, නමුත් සෑම දරුවෙකුටම ලබා දිය යුතු ආදරය, සැලකිල්ල සහ පෞද්ගලික අවධානය දෙමින් තම වචන සැබෑ බව ක්‍රියාවෙන් ඔප්පු කරති. කෙසේවෙතත්, ගැටලු තවමත් පවතී. මෙම ගැටලු දෙමාපියන්ට පෞද්ගලික මට්ටමින් විසඳාගත හැකි ඒවා නොවේ. නිදසුනකට, ලෝකයේ ඇතැම් ප්‍රදේශවල පවතින ආර්ථික සහ දේශපාලන වාතාවරණය අස්ථාවර නිසා, දරුවන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය සහ ආහාර පාන යනාදිය නොලැබෙන අතර, මෙහෙකාරකම සහ ඉතා පහත් ජීවන තත්වයන් වැනි දුක්ඛිත දේවලින් ආරක්ෂාවක්ද නොලැබේ. ඇත්තෙන්ම බොහෝ දුරට මෙවැනි තත්වයන් තවත් දරුණු වන්නේ ගිජු, දූෂිත, ආත්මාර්ථකාමී සහ සිත් පිත් නොමැති වැඩිහිටියන්ගේ උපායන් නිසාය.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම් වන කෝෆි අන්නන් වර්තමානයේ දරුවන්ට මුහුණ දීමට සිදු වන ගැටලු කිහිපයක් ගැන සඳහන් කරමින් මෙසේ ලීවේය. “දරුවන් මිලියන ගණනක් දුගීකමේ කෲර ග්‍රහණයට හසුව සිටිති. යුද්ධ සහ ආර්ථික ගැටලුවලින් දෙදරුම්කන සමාජයක තවත් ලක්ෂ ගණනක් දිවි ගෙවති. තවත් දස දහසක් යුද්ධය හේතුවෙන් තුවාල වී සිටිති. HIV/ඒඩ්ස් තවත් බොහෝදෙනෙකුව අනාථ කරවයි නැතහොත් ජීවිතක්ෂයට පත් කරවයි.”

අප මෙතෙක් දුටුවේ අඳුරු පැත්ත පමණි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජගත් සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධාන දරුවන්ගේ ජීවන තත්වය දියුණු කිරීමට සෑහෙන උත්සාහයක් දරා ඇත. අන්නන් ඒ ගැන මෙසේ පවසයි. “සෞඛ්‍ය සම්පන්නව සහ ප්‍රතිශක්තිකරණය ඇතුව ඉපදෙන දරුවන් සංඛ්‍යාව දැන් පෙරට වඩා වැඩිය. කලින් මෙන් නොව ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට කියවීමට සහ ලිවීමටද පුළුවන. දශකයකට පෙර අප සිතුවටත් වඩා වැඩි දරු පිරිසක්, අධ්‍යාපනයක් ලැබීමට, සෙල්ලම් කිරීමට සහ ඇත්තෙන්ම කියනවා නම් දරුවන් වගේ ජීවත් වීමට සුදුසු නිදහස් වාතාවරණයක දිවි ගෙවති.” එනමුත් ඔහුගේ අවවාදය වූයේ මෙයයි. “අතීතයේ අප ඉටු කළ දේවල් ගැන පුරසාරම් දොඩා, අප අතෙහි තිබෙන දැවැන්ත කාර්යය අමතක කිරීමට මෙය කාලය නොවේ.”

විශේෂ අවධානයක් ලැබිය යුත්තෝ

සමහර දරුවන්ට විශේෂ අවධානයක් දීම අවශ්‍යය. එක්දහස් නවසිය හැටගණන්වල මුලදී, තැලිඩොමයිඩ දරුවන් ලෙස හැඳින්වූ දරුවන් දහස් ගණනකගේ උපත ගැන රටවල් කිහිපයකින් ලැබූ වාර්තාවලින් ලොවම සසල විය. ගැබිනි මව්වරුන් තැලිඩොමයිඩ් යන නමින් යුත් නිදි පෙත්ත භාවිත කළ විට, එහි අනපේක්ෂිත අතුරු ආබාධයක් වූයේ, ඔවුන්ගේ දරුවන් පාද නොමැතිව හෝ කුරුව ඉපදීමය. ඇතැම් දරුවන්ගේ අත් පා, මත්ස්‍යයන්ගේ වරල් තරම් කුඩා විය.

එතැන් සිට දශක සතරකට පමණ පසුව, දරුවන්ගේ ප්‍රධාන සතුරා බිම්බෝම්බය විය හැකිය. a ගණන් බලා ඇති ආකාරයට ලොව පුරා නිෂ්ක්‍රිය නොකළ බිම්බෝම්බ මිලියන 60 සිට 110 දක්වා ප්‍රමාණයක් වළලා ඇත. තවද දරුවන් බොහෝදෙනෙකු ඇතුළුව වසරකට 26,000ක් පමණ මරණයට හෝ බරපතළ තුවාලවලට ගොදුරු වෙති. බිම්බෝම්බ තහනම් කිරීමට ගෙන ගිය ව්‍යාපාරය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ජෝඩි විලියම්ස් හිමි කරගත් අතර, ඇය දැරූ ප්‍රයත්නය නිසා 1997 සිට මෙම ගැටලුවට සෑහෙන අවධානයක් දී ඇත. එනමුත් බිම්බෝම්බ වළලා ඇති පෙදෙස් තවමත් පවතී. ජර්මානු දේශපාලනඥයෙක් ලෝකය බිම්බෝම්බවලින් තුරන් කිරීමට දරන වෑයම ගැන පැවසුවේ මෙසේයි. “මේක හරියට කරාමය නොවසා බේසමකට වැටෙන වතුර තේ හැන්දකින් ඉවත් කරන්න හදනවා වගේ වැඩක්.”

විශේෂ අවධානයක් ලැබිය යුතු තවත් දරු පිරිසක් වන්නේ දෙමාපියන් අහිමි වී ඇති අයය. මිනිසාගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි මුලින්ම අරමුණ කළේ, පියා සහ මව යන දෙදෙනාගේම ආදර සැලකිල්ල ඇතුව දරුවන් ඇති දැඩි වීමයි. ඇත්තවශයෙන්ම එවැනි සමබර මාපිය අවධානයක් දරුවන් ලැබිය යුතුවා පමණක් නොව එය ඔවුන්ට ලැබීමටද වටී.

දෙමාපියන් දෙදෙනාම නොමැති දරුවන්ගේ අවශ්‍යතා පිරිමැසීමේදී අදදින අනාථ නිවාස සහ ළමුන්ව දරුකමට හදාගැනීම සඳහා විධිවිධාන සලසන ආයතන යම් කාර්ය භාරයක් ඉටු කරයි. කෙසේවෙතත්, දරුකමට හදාගැනීම සඳහා වැඩි අවශ්‍යතාවකින් පෙළෙන රෝගී, ඉගෙනීමේ දුර්වලතා ඇති, ශාරීරිකව ආබාධිත වූ, දෙමාපියන් විදේශගතව සිටින දරුවන්ගේ අවශ්‍යතා බොහෝදුරට නොසලකා හැරීම කනගාටුවට කරුණකි.

විධිමත්ව යම් ගෙවීමක් කර, දිළිඳු රටවල සිටින දරුවන්ව “හදාගැනීම” සඳහා ඇතැම් සංවිධාන මගින් වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කර තිබේ. අනුග්‍රාහකයෙකු මේ සඳහා පරිත්‍යාග කරන මුදල ඒ දරුවන්ගේ අධ්‍යාපනය හෝ ජීවිතයේ අවශ්‍යතා සපුරාලීම සඳහා යොදාගැනේ. ඔවුන් අතර ඇති සබඳතාව ශක්තිමත් කිරීමට ආශාවක් ඇත්නම්, ඡායාරූප සහ ලිපි පවා හුවමාරු කරගත හැකිය. මෙවැනි ක්‍රමයකින් දරුවන්ට යම් සහනයක් ලැබුණද, එය සම්පූර්ණ විසඳුමක් සේ ගණන් ගත නොහැකිය.

දෙමාපියන් අහිමි වූ දරුවන්ට උපකාර කිරීම සඳහා දියත් කළ හැකි ව්‍යාපාරයකට හොඳ උදාහරණයක් වන්නේ, 1999 වන විට අඩ සියවසක් පුරා ක්‍රියාශීලි මෙහෙවරක නිරතව තිබූ එක් ව්‍යාපාරයකි.

SOS ළමා ගම්මානය

වර්ෂ 1949දී, හෙර්මාන් ග්මයිනර් ඔස්ට්‍රියාවේ ඉම්ස්ට්වල SOS ළමා ගම්මානය ලෙස හැඳින්වූ ආයතනය පිහිටුවීය. කුඩා ආරම්භයක් තිබුණද, මෙම සංවිධානය දැන් අප්‍රිකාවේ, අමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ රටවල් 131ක පිහිටා ඇති ගම්මාන 1,500ක් දක්වා ආසන්න වශයෙන් ව්‍යාප්ත වී ඇත.

ග්මයිනර් තම ව්‍යාපාරයට පදනමක් සැපයීම සඳහා ප්‍රතිපත්ති සතරක් යොදාගත්තේය. එනම්, මවක් සිටීම, සහෝදර සහෝදරියන් සිටීම, නිවසක් තිබීම මෙන්ම ගමක් තිබීම යන ප්‍රතිපත්ති සතරය. දරුවන් පස්දෙනෙකුට හෝ හයදෙනෙකුට, සමහරවිට ඊටත් වඩා වැඩිදෙනෙකුට “පවුලක්” වශයෙන් කටයුතු කිරීමට පදනම සපයන්නේ “මවක්” ලෙස පත් කරන කෙනාය. ඇය ඔවුන් සමඟ දිවි ගෙවමින්, මවකගෙන් අපේක්ෂා කරන ප්‍රේමය සහ අවධානය ඔවුන්ට ලබා දීමට වෙර දරයි. “නිවස” හැර යෑමට කාලය එළඹෙන තෙක් ඒ දරුවෝ එකම “මවක්” සහ “පවුලක්” සමඟ දිවි ගෙවති. මෙම “පවුල්වලට” විවිධ වයස් මට්ටම්වල සිටින දරුවන්ව ඇතුළත් කර ඇත. මෙම පවුලේ “අයියලා මල්ලිලා,” “අක්කලා නංගිලා” සිටින නිසා, එකිනෙකාට උපකාර කරන ආකාරය ඉගෙනගත හැකි අතර, ආත්මාර්ථකාමී ආකල්පයක් ඇතුව වැඩීමද මඟහරවා ගත හැක. මෙම දරුවන්ව හැකි තරම් ළාබාල වයසක සිට “පවුල්” ජීවිතයකට හුරු කිරීමට වෑයම් දරනු ලැබේ. එකම පවුලේ සහෝදර සහෝදරියන් එකම “පවුලක්” තුළ තබාගැනීමට නිතරම කටයුතු කෙරේ.

සාමාන්‍යයෙන් ගම්මානයක මෙවන් “පවුල්” 15ක් පමණ සිටින අතර, ඒ සෑම පවුලකටම තමාටම කියා නිවසක් ඇත. ගේ දොර වැඩ කටයුතු කිරීමට තම “මවට” සහයෝගය දක්වන්න, දරුවන් සියල්ලන්ටම අවශ්‍ය පුහුණුව ලැබේ. පියෙකු නොසිටියද, පියෙකුගෙන් ලැබෙන්නා සේ උපදෙස් සහ අවශ්‍ය හික්මවීම ලබා දීමට පිරිමියෙකුගේ උපකාරයද මෙම පවුල්වලට ලැබේ. මෙම දරුවෝ, එම ප්‍රදේශයේ තිබෙන පාසැල්වලට යති. වියදම් පිරිමැසීමට සෑම “පවුලකටම” නියමිත දීමනාවක් ලැබේ. ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් ප්‍රාදේශීය මට්ටමින් මිල දී ගැනේ. මෙහි ඉලක්කය වන්නේ, දුක සැප දෙකටම මුහුණ දිය හැකි සාමාන්‍ය ජීවිතයකට දරුවන්ව හුරු කරවීමය. මේ අනුව, ඔවුන් වැඩිහිටිභාවයට පිවිසෙද්දී, ඔවුන්ගේම පවුලක් නඩත්තු කරගෙන යෑමට අවශ්‍ය අඩිතාලම සැපයේ.

අංග සම්පූර්ණ විසඳුමක් සොයමින්

අනාථ නිවාස, SOS ළමා ගම්මාන, UNICEF, දරුවන් හදාගැනීමට මඟ සලසන ආයතන සහ ඒ හා සමාන වෙනත් සංවිධාන හෝ කණ්ඩායම් තුළින් නැති බැරි ළමුන්ට උපකාර කිරීමට ප්‍රයත්න දරන විට, ඔවුන්ගෙන් ඉමහත් සේවයක් ඉටු වේ. එනමුත්, සමහරුන්ගේ අසරණ තත්වය ඉවත් කිරීමට මෙම සංවිධානවලට නොහැකිය. අත් පා දුබල වී හෝ අහිමි වී ඇති දරුවෙකුට අලුතින් අත් පා ලබා දිය නොහැක. මානසික ආබාධ ඇති දරුවෙකුට නිරෝගී මනසක් දිය නොහැක. වෙන් වූ හෝ දික්කසාද වූ දෙමාපියන් සිටින දරුවෙකුට දෙමාපියන් දෙදෙනාව ආපසු ලබා දිය නොහැක. එසේ නැතහොත් ඔවුන්ව තම මියගිය ප්‍රේමනීය පියාගේ හෝ මවගේ තුරුලට ආපසු භාර දිය නොහැක.

දරුවන්ගේ ගැටලුවලට පූර්ණ විසඳුමක් ලබා දීමට මනුෂ්‍යයෝ කොපමණ උත්සාහ කළත්, ඒ දේ කිරීමට ඔවුන්ට හැකි වී නැත. එනමුත් ඒ සඳහා පිළියම ඔබ සිතන තරම් දුර ඈතකද නොවේ. එහෙත් එය සිදු වන්නේ කෙසේද?

[පාදසටහන]

a වර්ෂ 2000 මැයි 8වනදා පිබිදෙව්හි! පළ වූ “බිම් බෝම්බ පිළියමක් නැද්ද?” යන ලිපි පෙළ බලන්න.

[8, 9වන පිටුවේ පින්තූර]

දරුවෙකුට දෙමාපියන් දෙදෙනාගේම ප්‍රේමය අවශ්‍යය, එය ලැබීමට ඔහු සුදුස්සෙක්ය